2016-05-16

දේශපාලන න්‍යාය හා අශෝක හඳගමගේ ඇගේ ඇස අග

අජිත් පැරකුම් ජයසිංහ (2016 - 05 - 15 දින රාවය පුවත්පතේ මුලින් පළ වූ ලිපියකි)

අශෝක හඳගමගේ ඇගේ ඇස අග චිත්‍ර‍පටය ඔහුගේ මෙතෙක් සිනමා වෘත්තියේ සිනමාත්මක අතින් වඩාත් ම පරිණත හා පරිසමාප්ත චිත්‍ර‍පටය බව පැහැදිලි ය. එය බොහෝ දේ කතා කළ හැකි සංවාදයකට බිම සකසන අනගි නිර්මානයකි.

හඳගම එක පැත්තකින් විශ්වීය අහසක් කරා එසවෙන අතර ලාංකීය මහ පොළවේ ඇති රැහැන් විසින් ඔහු ආපසු ලංකාවේ මහ පොළවට ම ඇද ගනියි.

මෙම කරුණ පැහැදිලි කිරීම සඳහා හඳගම සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහනක් උපයෝගී කර ගනිමි. “'ඇගේ ඇස අග' මාධ්‍ය දැක්ම ඊයේ තුබුණා. මාධ්‍ය සගයින් වෙනුවෙන් මේ දර්ශනය හදිසියේ සංවිධානය කලේ ඉතාම කෙටි කාලයකට, ඉතාම සීමිත සිනමා ශාලා ප්‍රමාණයක ප්‍රදර්ශනය සඳහා ඉඩක් ලැබුනොත් නිදහස් කරන්න හිතාෙගෙන. ආරාධිතවත් අනාරාධිතවත් බොහෝ අය ඇවිත් තිබුණා. අනාරාධිත සමහරුන් ආවේ ආරංචියට ආදරේට. තව සමහරුන් ආවේ තරහට. කිසි කෙනක් ආපහු හරවලා යවන්නේ නැතුව හැමෝටම බලන්න ඉඩ දුන්න."

අශෝක හඳගම නම් සිනමාවේදියා විශ්වීයත්වය කරා එසවිය හැකි ඉපිලුම අතහැර ඇද වැළඳ ගන්නේ මේ සොඳුරු, අවලස්සන ලංකාවයි. ලංකාව සමග ආසක්ත වීමෙහි වරදක් ඇද්දැයි මම නො දනිමි. මන්ද, ඔහු ද එහි ඓන්ද්‍රිය කොටස්කරුවෙකි. එය දමා යන්නට ඔහුට උවමනාවක් නැති වීම සාධාරණ ය. විශ්වීයත්වය හා ස්වීයත්වය අතර ගැටුම ද කලාකරුවකු තුළ අනවරතයෙන් පවතින්නකි.

ඔහු සඳහන් කර තිබෙන කාරණාවලට අමතර තවත් ආර්ථික කාරණාවක් ද මෙහි තිබේ. ඒ වනාහි ලංකාවේ මුල් බැසගෙන තිබෙන හැම දෙය ම නිකම් බලාපොරොත්තු වෙන මානසිකත්වයයි. දේශපාලකයෝ සුර සැප ද, රජයේ නිලධාරීහු අඩුවෙන් වැඩ කර වැඩියෙන් පඩි හා විශ්‍රාම වැටුප් ද, ගොවියෝ ජලය, පොහොර හා අස්වනු සඳහා මිළ ද, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ රස්සා ද, මාධ්‍යවේදියෝ ලැප්ටොප්, කාර් හා මෝටර් සයිකල් ද, කලාකාරයෝ ගෙවල් ද ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙති. මෙම මධ්‍යම පංතියේ ම කොටසක් වන සංස්කෘතික ජනමත නායක පිරිවර ද නාට්‍යවලට ආරාධනා ද, පොතක නම් තිලිණයකි කියා අත්සන් කළ පිටපත් ද, චිත්‍ර‍පටවලට ප්‍රෙස් ෂෝ ද බලාපොරොත්තු වෙති. පුංචි කාලේ සිට ම පෙළ පොත, නිල ඇඳුම, සපත්තු කුට්ටම ආණ්ඩුවෙන් හිඟා කන්නට පුරුදු කළ පසුගාමී ධනේශ්වර සමාජයක කලාවක් පවතින්නේ කොහොම ද? ගීත තැටියක් නිකුත් කළ දා සිට එහි හොර කොපි පදික වේදිකාවේ විකිණේ. චිත්‍ර‍පටය ශාලාවල පෙන්නද්දී ම එය හොරෙන් ඩවුන්ලෝඩ් කරගත හැකි ලින්ක් ගැන සමාජ මාධ්‍යවල ප්‍ර‍චාරය වේ. චිත්‍ර‍පට ශාලාවල මැස්සන් ඇහිරේ. එහෙත් හඳගමගේ චිත්‍ර‍පටයේ ප්‍රෙස් ෂෝ එක ඇතැමෙක් බැලුවේ බිම වාඩි වෙලා ය. එවැනි සංදර්භයක් තුළ චිත්‍ර‍පටයක්, නාට්‍යයක් වැනි අතිශය වියදම්කාරී ව්‍යාපෘතියක් වෙනුවෙන් අතගැසීම ද වීරත්වයකි.

හඳගම 'ඇගේ ඇස අග' තුළින් අමතන්නේ විශ්වීය තේමාවකි. ඒ අතරවාරයේ ලංකාවේ සංස්කෘතික දේශපාලනඥයන්ට හා වාමාංශිකයන්ට සූප්පු කරන්නට ටොපි දෙකක් ද දී තිබේ. පළමුවැන්න චිත්‍ර‍පටයේ වියපත් විශ්වවිද්‍යාල ආචාර්යවරයාට පෙම් බඳින සිසුවියගේ පියා ගැන ඇය ලවා කියවන කතාවයි. ඒ අනුව ඇය සොයන්නේ පියා ය කියන්නට ද සංකේතීය පියා ගැන කතා කරන්නට කැමති අයට ඒ ගැන කතා කරන්නට ද දැන් අවස්ථාව තිබේ. ඒ සඳහා මනෝ වෛද්‍ය විශේෂඥයන් ද අතික්‍ර‍මණය කරමින් මනස ගැන අතැඹුලක් සේ දත් සාහිත්‍ය මනෝ විශ්ලේෂකයෝ මේ රටේ සිටිති. අප නම් මනස ගැන සිතන්නේ එය නිරීක්ෂණය කිරීම මිස න්‍යායකින් විශ්ලේෂණය කළ නො හැක්කක් ය කියා ය. බුදු අම්මෝ, මිනිස් මනස ගැන මේ වගේ අප නම් දන්නේ නැත. ‘අර්චනකාමය පරපීඩකත්වය සමග ගමන් ගන්නේ පරපීඩක විපරීත ක්‍රියාවන්හි උපභෝග පරිභෝග භාණ්ඩ හෝ ආයිත්තම් ලෙස යොදා ගැනෙද්දී පමණි. නොඑසේව රහසින් සඟවා ගෙන සිටින ස්ත්‍රී යට ඇඳුම් පිළිබඳ අර්චනකාමය දර්ශනාශ්වාදය සේම අතිශය අහිංසක ස්වයං පීඩාකාමී ස්වයං මෛථුන්‍යමය ක්‍රියාවක් පමණි. (සර්පයාගේ දියණිය- මනෝවිශ්ලේෂණාත්මක සහ සංඥාර්ථවේදී කියවීමක්, කේ.කේ. සමන් කුමාර, බූන්දි වෙබ් අඩවිය)"

ලංකාවේ ජනගහණයෙන් අඩු තරමේ දහයෙන් එකක්වත් මානසික රෝගවලින් පෙළෙන්නේත්, අවුරුදු 120කට වඩා පැරණී මානසික සෞඛ්‍ය පනතක් මෙරට තවමත් ක්‍රියාත්මක වන්නේත් මේ තරම් මනස ගැන දන්නා අය සිටියදී ය. සාහිත්‍ය මනෝ විශ්ලේෂකයන් මනෝ විනිශ්චයකරුවන් බවට පත් නො විය යුතු ය. තරුණිය සොයන්නේ සංකේතීය පියා ද, වෙන මොකක්දැයි කියා විනිශ්චය කරන්නට දන්නේ කවුරුද? අනුමාන කරන්නට නම් ඕනෑම කෙනෙකුට නිදහස තිබේ. භෞතික විද්‍යාව ගැනවත් පරම සත්‍යය ප්‍රකාශ කළ නො හැකි සංදර්භයක් තුළ මිනිස් මනස වැනි ඉතා සංකීර්ණ, දුරවබෝධ දෙයක් ගැන මෙවැනි නිගමන දෙන සාහිත්‍ය විචාරකයන් සිටින ලංකාව අශෝක ඇද බැඳ තබා ගනියි.

කෙසේ වෙතත්, මෙම චිත්‍ර‍පටය පුරා ම පාසල් දැරිය හැර අන් සැවොම යමක් සොයන බව පැහැදිලිවම පෙනේ. පාසල් දැරිය යමක් සොයනවා ද? සොයනවා නම් එය වනාහි රූපවාහිනියෙන්, අයිපෑඩයෙන් සොයන අපේ පරම්පරාවට නො තේරෙන යම් දෙයක් විය යුතු ය. ඇය එක් අවස්ථාවක සිය පියා සහභාගි වන රූපවාහිනී වැඩසටහනක් නරඹමින් සිටියි. අවශ්‍ය නම් ඇය ද සංකේතීය පියා සොයමින් සිටින බව කිව හැකි ය.
ඇගේ මව නිරතුරු බුදු පිළිම ළඟ වැඳගෙන සොයන්නේ කුමක් ද?

ඇගේ පියා සිය තරුණ සිසුවියගේ සිරුර තුළ සොයන්නේ කුමක් ද? සිය බිරියගෙන් ගිලිහී ගිය තාරුණ්‍යය ද? නැතිනම් අහිමි වූ යමක් ද? බිරිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවට වෛර කරන ගමන් ම ඇයට ආදරය කරන්නේ ඇයි?
“ඔයත් දැන් ඔහොම හිටියට වයසට යනකොට පෙට්ටියක් වගේ මහත් වෙයි.” ඇය එසේ වී ඇති බව ඇගේ පරණ ඡායාරූප හා සන්සන්දනය කරන විට පෙනේ. ඇය ආගමෙන් සොයන්නේ අහිමි වීම දරා ගැනීමේ හැකියාව ද?

“තරුණ ළමයි මොකට ද පන්සල් යන්නෙ?” යි කියමින් ඇය සිය දියණිය ආගම වෙත නැඹුරු වීම වළක්වයි. ඒ ඇයි? තුරුණු විය යනු හිමි කර ගත යුතු වයසකැයි ඇය සිතනවා විය හැකි ය.

විශ්වවිද්‍යල සිසුවිය ඇත්තෙන් ම සොයන්නේ කුමක් ද? සුන්දරත්වය යනු බලන ඇස තුළ ඇති දෙයකි. ඇය තමන් අතිශය සරාගී යයි සිතයි. එය ස්වයං මෝහනයකි. ඇය සොයන්නේ ඇයට ආදරය කරන කෙනෙකු නොව ඇයට ආදරය කළ හැකි අයෙකු බව ඇය පවසයි. ආචාර්යවරයාගේ දරුවකු කුසින් දැරීමට වුව ඇය කැමති බව ඇය විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ බිරියට පවසයි. දරුවා යනු වැඩි කාලයක් සන්තක කර තබා ගත හැකි වස්තුවකි. ඇය සොයන්නේ කුමක් ද? තමාව ම ද?

ජීවිතය යනු අත්පත් කර ගැනීම්වලට වඩා අහිමි වීම් ය. හෝටල්, කලාගාර වැනි ගෙවල්, රූපවාහිනී, අයිපෑඩ්, පොත් රාක්ක, සුඛෝපභෝගී වාහන, ආර්ථික සුරක්ෂිතභාවය අත්පත් කර ගත හැකි මුත්, අපට තුරුණු විය සදා අප ළඟ තබා ගත නො හැකි ය. පුරුෂයා ගෙදර එන විට රූපවාහිනී බලමින් සිටින දියණිය දොර අරියි. ඇගේ අතට රසකැවිල්ලක් පත් වේ. දෙදෙනා ඉතා වියළි ලෙස හායි කියති. ඔහු උඩු මහලට යන විට බිරිය බුදුන් වඳියි. ඔහු ඇඳ මත වාඩි වී සපත්තු ගලවන විට ඇය එයි. ඇය සපත්තු රාක්කයේ තබා ඔහු අතට තුවාය දෙයි. මේ ඒකාකාරී ජීවිතය සිනමාකරුවා අපට ද එපා වන තුරු පුන පුනා පෙන්නයි. කතා රසය මතු වන්නට පටන් ගන්නේ මේ ඒකාකාරිත්වය බිඳීමත් සමගයි.

සිනමාකරුවා දෙවන ටොපිය දෙන්නේ වාමාංශිකයන්ට ය. ඒ චිත්‍රපටයේ අවසන් දර්ශනයෙනි. එම දර්ශනය නිර්මානයට පිටින් බද්ධ කරන ලද එකකි. මධ්‍යම පංතික කුටුම්බ ජීවිතය තුළ එතෙක් දක්නට ලැබුණු අහිංසාවාදී, සාමකාමී බුදුදහම වෙනුවට එක පාරට ම වානිජ අරමුණු සහිත ප්‍රචණ්ඩ සිංහල බුද්ධාගම වෙත සිනමාකරුවා ප්‍රේක්ෂකයා නිරාවරණය කරයි. එය චිත්‍රපටයේ මෙතෙක් ගලා ආ රිද්මය සම්පූර්ණයෙන් ම අවුල් කරයි. එක පැත්තකින් එය සාමකාමී මධ්‍යම පංතික කුටුම්බ දූපත් හා ඒ වටා ඇති කෘර වානිජ සාගරය අතර ගැටුම නිරූපණය කරන්නකි. අසපු වැනි ගෙවල් හා මුඩුක්කු වැනි සැබෑ පන්සල් අතර සම්බන්ධය හා ගැටුම නිරූපණය කරන්නකි. බොලිවුඩ් හෝ කොලිවුඩ් චිත්‍රපට දර්ශනයක් වැනි අවසානයෙන් පළා යන මධ්‍යම පංතික පවුලට ඇත්තෙන් ම එසේ පළා යා හැකි ද? ඔවුන්ට ලංකාවේ පසුගාමී සංස්කෘතික ජීවිතයෙන් සම්පූර්ණයෙන් ම මිදිය හැකි ද?

මෙම කෘර අනාරක්ෂිත සමාජය වෙත මෙම සුරක්ෂිත පවුල නිරාවරණය වන එක ම අවස්ථාව පන්සලයි. එහෙත්, එය එසේ විය හැකි තවත් බොහෝ අවස්ථා තිබේ. විශ්වවිද්‍යාලයේදී සිසුවිය බාහිර ලෝකයෙන් වසා තබන්නට උත්සාහ කරන ආචාර්යවරයාගේ කුටි දොර හැර ආචාර්යවරයා එය නො වැසෙන පරිදි එයට බරක් තබයි. එපමණකින් සියල්ල ලෝකයෙන් සඟවා තැබිය හැකි ලංකාවක් ද මේක? විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හෝ සිසු සිසුවියන් ද, සිසුවියගේ නවාතැනේ අසල්වැසියන් ද, ඔවුන් යන එන තැන්වල සිටින ඕපාදූප සොයන වෙනත් මිනිස්සු හා ගැහැනු ද මේ සාමකාමී මිනිස් සම්බන්ධතා ගොනුව බාහිර කෘර ලෝකයට විවර කරන්නට ඉඩ තිබිණි. එහෙත් කතුවරයා එය නො තකා හැර, වඩා කෘත්‍රිම අවසානයේදී පමණක් එසේ කරයි.

චිත්‍රපටයේ අවසානය ලංකාවේ ආගමික අන්තවාදීන්ට ද සූප්පු කරන්නට නියම ටොපියකි. එසේම, සිනමාකරුවාට ගතානුගතික වාමාංශිකයන් අතර සිය වීරත්වය රැක ගැනීමට එය උපයෝගී වනු ඇත. මීට පෙර අප ප්‍රසන්න විතානගේ විසින් නිර්මානය කරන ලද ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය විවේචනය කළ විට අප වැනි කුහකයන්ගෙන් ප්‍රසන්න නම් ජනතාවාදී විචාරකයා බේරා ගන්නට පවා ඇතැම් වාමාංශිකයෝ ඉදිරිපත් වූ හ.

අවසාන වශයෙන් කිව යුත්තේ හඳගමගේ සිනමා සීමාව මෙම ටොපි බෙදීමේ උපායෙන් මුදා ගැනීම ඔහු විසින් කළ යුතුව ඇති දෙයක් බවයි. අශෝක හඳගම සිය සිනමා සුවිසැරියේ මිනිස් හැඟීම් ස්පර්ශනය යළි සිය මුල් සිනමා කෘතිය වූ ඩී.එච්. ලෝරන්ස්ගේ Odour of Chrysanthemums ස්පර්ශ කරමින් නිර්මානය කළ චන්දකින්නරිය බිහි වූ උල්පත වෙත යොමු කර තිබෙන බව පෙනේ. දේශපාලන න්‍යාය වෙනුවෙන් චිත්‍රපට නිර්මානය කරන්නට යාම දේශපාලන සිනමාව නො වේ. නිර්මානකරුවාට ජීවිතය විනිවිදීමේ කාර්යයේදී දේශපාලනයට වඩා ඉදිරියෙන් සිටිය හැකි ය. ජීවිත පරිණතිය විසින් අශෝක හඳගම තුළ එම විභවය පැළ කර ඇති බවට ඇගේ නෙතු අග චිත්‍රපටය සාක්ෂියකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.