වෑත්තෑවේ කුසුම්රුවන් (සාහිත්‍ය මාසය වෙනුවෙනි)

කුසුමරත්න, එන්නෙල්ඩී වෑත්තෑවේ
කුසුම් රුවන් කවියා විය ලංකාවේ
කවිමල් නිතර පූදිනවා සිත් යායේ
ඒ මල් නෙළා අමුණනවා පත්තරයේ

ඔහොම කාලයක් යනකොට කුසුම් රුවන්
පොරක් වුණා කවි පිටුවල අමාරුවෙන්
මොනව වුණත් ලියවෙන කවි එයා අතින්
පත්තරවල පළ වෙනවා මදැයි ඉතින්

කවි පිටු සකසනා හැම ඔහුගේ මිතුරෝ
නිතර දුරකතන ඇමතුම් ඔහු දෙනවෝ
අරක හොඳයි මේක නරකයි ඒත් ඉතින්
ඔබෙ කවි පිටුව මල් මසුරන් සහසුද්දෙන්

තැන්කියු මචං උඹගේ අදහස් අපට
උපකාරයකි සේවය කරගෙන යන්ට
පෘථිවිය කැරකෙන්නෙ මේ ලෙස තමා වට
මගෙ කවි පිටුව හින්දයි අද වගේ හෙට

කුසුම් රුවන් කුසුම් රුවන් කුසුම් රුවන්
කුසුම් රුවන් කුසුම් රුවන් කුසුම් රුවන්
කුසුම් රුවන් කුසුම් රුවන් කුසුම් රුවන්
කුසුම් රුවන් කවි ලියනව කුසුම් රුවන්

කන්නෙත් කවියක් ය හවසට කවි බොනවා
වැනි වැනි ඇවිත් කවියක් වී සැතපෙනවා
කවි බර නිසා උදේට හිස කැරකෙනවා
ජීවිතය ම කවි වී වමනය වෙනවා

අනේ මගේ ඇඹනිය නුඹ කවියක් ය
පුතේ දුවේ උඹලත් මට කවි පද ය
අම්මේ බුදු අම්මෙ කවියේ මුල උඹ ය
බැලු බැලු හැම තැන ම පීදෙන කවි මල් ය

හිතට දුකයි ලලනී නුඹ දුටුවා ම
ඇදිල ගිහින් තිබු සුන්දර වත බොහොම
සරසවියෙදි පෑයූ පුන් සඳ සේම
සිටි නුඹ මෙහෙම කටුස්සියක් වුණෙ කෝම

උඹට නො තේරේ දැන් මං ලියන කවි
කවි ලිව්වොත් හරි යාවි ද උඹ අහවි
ලෝකය වර්ණනා කරනා මගේ කවි
ලලනිගෙ එක බැල්මකින් අළු වී යාවි

උඹලා විඳින දුක මට තේරෙනවා ය
ඒ ගැන පවා මම කවි අමුණනවා ය
ඒ කවි නිසා ලෝකය හොඳ වෙනවා ය
ලස්සන ලෝකයක් හෙට ඉපදෙනවා ය

අම්මගෙ රෙද්දෙ ස්ත්‍රීවාදය බැල්ලී
කට වහපන් කණ පලනව කෙළ තොල්ලී
බලපං මචං, චියර්ස්, එඩිටර් මල්ලී
මැරෙන්න හිතනවා මට බෙල්ලෙන් එල්ලී

අයියේ අපි කවියො ලෝකය උර දරන
කවියට උරුම දුකමනෙ මනුසත් දෙරණ
අපටත් තිබුණ නම් අන් හැමට ම තිබෙන
පටු හදවතක් අපි එහෙනම් නැත මෙතැන

අනේ අපේ හදවත් හරි සංවේදී
මේ ලෝකෙට අප වැනි අය හොඳින් වැඩී
ලෝකය වෙනස් වෙනවා දවසක ළඟදී
මල්ලී මචං දැන් මට නම් ටිකක් වැඩී

බීගෙන ඇවිත් කටගොන්නක් රෑ තිස්සේ
මොනවද තමුසෙලා කරනා වැඩ අයිසේ
ළමයින් එක්ක අප විඳිනා දුක් බෝ සේ
මොන පත්තරෙද කවදද ලියවුණෙ අයිසේ

අක්කා කියන දේ බොරු හෙම නෙමෙයි මචං
කවි ලිය ලියා හිටියොත් නම් ඉතින් හුළං
ගීයක් දෙකක් පඩ්ඩා ගත්තොතින් හොඳින්
ගානක් මරා ගත්තැකි අත උඩින් යටින්

ජිංගල් ලියතහැකි ඇඩ් කොම්පැනිවලට
රිංටොං සල්ලි මවනව අයියේ එලට
තව දේශන ද අරව ද මේව ද යසට
කවියට නැතත් ලැබෙනව ගී රචකයට

සුභාවිත ගීය කදිමට පණ පොවන
නහයෙන් අඬන ජනදිනු ගායකයාණ
ගී කර ලියූ මගෙ කවි මිණි තෝරගෙන
එකක්වත් කියා මා ගොඩ දමනු මැන

උදේ හවා දුරකථනෙන් කතා කර
ගුඩ් මෝනිං ගුඩ් ඊවිනිං කියාගෙන
හැම සිංදුවෙම ඔහුගේ ගුණ වයාගෙන
මං ඉන්නවා හිත පැතුමන් දරාගෙන

කවියෝ ගහනවා පොත් කවි ලියාගෙන
ගුල්ලෝ ගහනවා සිතුවිලි පොත් නො වෙන
දැන් නං ඉතින් ලේඛකයෙක් මමත් හෙණ
පොතකට යන්න සිතුවිල්ලක් පහළ වෙන

පොත් මංගල්ල ඇරැයුම් කෙළවරක් නැති
ඒවට ගිහින් කෑ කට්ලට් ගණන් නැති
එක් රැස් කර ගත්ත මිනිසුන් ගණන ඇති
මගෙ මංගල්ලයට ආවෝතින් ගොඩක් තුති

ආපදා ණයක් ලලනිට හොරෙන් අරන්
දහදුක් විඳලා ය මේ පොත ගැහුවෙ ඉතින්
ලියලා දෙන්න පුළුවන් තිලිණයකි මගෙන්
අරගෙන ගිහින් අදහස කියපන්කො මචං

පත්තරවලට දුන්නා එක පොත ගානේ
ලොකු ලොක්කන්ට පිදුවා පොත පොත ගානේ
යන්තම් පත්තරේකින් පොඩියට වාගේ
ඉන්ටවීව් එකක් අපටත් ලැබුණානේ

මං කවි ලියන්නේ නැහැ ඇත්ත වශයෙන් ම
ඒ කවි ලියනවා නොව ලියවෙනවා ය
මගෙ කවි හිතේ තෙරපෙන සිතුවිලි දිනෙක
බැමි බිඳ ගලයි කවියක් වී නනනනන

පොත් මංගල්ලෙ දෙසුමට වැඩි කවිඳාන
ගිය අවුරුද්දෙ ලැබුවා ඔහු සම්මාන
විනිසුරු මඬුල්ලේ මෙවර මුලසුන
ඔහු දරනවා ඔහු ලියු පොත් නැති හෙයින

නිති මා දිරි වඩන මා පිය අඹු සුතන
සුව දුක් අසන ජන හද දිනු සුහදාන
මෙහි පසුවදන ලියු අහවල් පඬිරුවන
පොතට වඩා බර වැඩි එහි පෙරවදන

නංගී මමයි කවියා ලෝකෙම දන්න
මුහුණු පොතේ කවි දුටුවෙමි ඔබ ලියන
අයියේ ඔයා මාරයි සිත නැති මාන
පුදුමයි ඉදිරිපත් වෙන එක ගැන අත දෙන්න

නංගී මොනවාද ඔබ මේ කියන්නේ
ඔහොමද ලෝකයට අපි වැඩ කරන්නේ
වෙසෙසක් ඔබේ කවිවල මා දකින්නේ
ඒකයි ඔබට මා මේ ලෙස අමතන්නේ

කුසුම් රුවන් කුසුම් රුවන් කුසුම් රුවන්
කුසුම් රුවන් කුසුම් රුවන් කුසුම් රුවන්
කුසුම් රුවන් කුසුම් රුවන් කුසුම් රුවන්
කුසුම් රුවන් මල් කඩනව කුසුම් රුවන්

- අජිත් පැරකුම් ජයසිංහ

Comments

  1. මේ වෑත්තෑවේ කුසුම් රුවන් ගේ පොත දැන් පිටවී ඇතැයි සිතේ. ඒ ගැන විස්තර බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  2. වෑත්තෑවේ රුවන, වෑත්තෑවේ රුවන.....

    ReplyDelete
    Replies
    1. පරකන්දෙණියෙ රසික , පරකන්දෙණියේ රසික …..

      Delete
    2. ඇත්තටම රසික පරකන්දෙනියේද?

      Delete
    3. @ Anonymous September 8, 2015 at 2:23 PM

      ඔව්, අයිසේ..... රසික පරකන්දෙණියේ තමා.... නුවර පාරේ කොකිස් කඩේ හන්දියෙන් වමට හැරිලා යන්න ඕන.

      Delete
  3. කියවන්න කම්මැලියි. මෙලෝ රහක් නෑ.

    වෑත්තෑවේ රුවන නෙමෙයි අංගම්මන සුමන තමයි මතක් වෙන්නේ මට නම්.

    ReplyDelete
  4. අංගම්මන සුමනගේ අනිත් එක...

    එළ පැරා.....

    ReplyDelete
  5. මාත් කවි පොතක් ගහන්නඉ ඉන්නෙ. මේක කියෙව්වට පස්සෙ එපා වුනා.

    ReplyDelete
  6. වෑත්තැ හිමිට දෙවැනි නැහැ නේ පැරා මේක.:D

    ReplyDelete
  7. හෙහ් හෙහ්... රහයි.. ටොකු පෝලිමයි..
    ජයවේවා..!!

    ReplyDelete
  8. Mona reddakda ban me? Muta pissuwa thadawela. Allala getagahapan muwa angodata gihin danna.

    ReplyDelete
  9. එක විදිහක කවියෙක් ගැන ගස්ලබ්බ මෙහෙමයි කිව්වෙ..
    http://gaslabba.blogspot.com/2015/07/blog-post.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා