2015-07-04

හෙටට ගැලපෙන පක්ෂයක් ගොඩනැගීමේ මාවතට රුවන් දොරටු ඇරගන්නට ශ්‍රීලනිපය සමත් වෙයි ද?

1950 දශකයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වන්නේ ජාතිකවාදී මධ්‍යම පංතික පක්ෂයක් ලෙසයි. 1956දී ශ්‍රීලනිපය පළමු වරට බලයට පත් වන්නේ ගැඹුරු සමාජ ප්‍රතිසංස්කරණ යෝජනා කරමිනි. ඉංග්‍රීසියට තිබුණු ඉහළ තත්වය හා සිංහල, දෙමළ භාෂාවන්ට තිබුණු සම තත්වය පිටුදකිමින් සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ශ්‍රීලනිපය විසින් ගන්නා ලද ඉතා වැදගත් පියවරකි.

එදා කොල්වින් ආර්. ද සිල්වා මෙම පියවරෙහි ආදීනව හැඳින්වූයේ ‘භාෂා දෙකක් - එක රටක්; එක භාෂාවක් - රටවල් දෙකක්ලෙසයි. අවසානයේදී තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්නට යෙදුණෙ ද ශ්‍රීලනිපය නියෝජනය කළ ජනාධිපතිවරයකු වූ මහින්ද රාජපක්ෂ මහතාටයි.

ශ්‍රී ලංකාවේ පළමු වරට බලය බෙදා ගැනීමේ යෝජනාවලියක් ගෙන ඒමේ ගෞරවය ද ශ්‍රීලනිපයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාට හිමි වන බව ද අපි අමතක නො කළ යුතු ය. 1957දී ඔහු විසින් යෝජනා කරන ලද රට සභා වර්තමානයේ ක්‍රියාත්මක පළාත් සභා වැනි බලතල සහිත ව්‍යූහයකි.

නිදහසින් පසු ලංකාවේ පළමු පුළුල් පරිමාණයේ වාර්ගික කලබල ඇති වන්නේ 1958දී බණ්ඩාරනායක ආණ්ඩුව සමයේ ය. ලංකාවේ දේශපාලනික ඝාතනයට ලක් වූ පළමු රාජ්‍ය නායකයා ශ්‍රීලනිප නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ය.

ලංකාවට පමණක් නොව ලෝකයට ම පළමු අගමැතිවරිය හඳුන්වා දුන්නේ ශ්‍රීලනිපයයි. තෙවරක් අගමැති ධුරය හෙබවූ මෙම කාන්තාව කීර්තිමත් දේශපාලනඥවරියක ලෙස ලොව පතළ වූවා ය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ධනවාදී, සමාජවාදී හා සුබසාධනවාදී ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ නියමුවා වූයේ ද ශ්‍රීලනිපයයි. ජනසතුකරණය ඔස්සේ රාජ්‍ය ව්‍යවසාය පද්ධතියක් ගොඩනගන ලද අතර සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ පාලන කාලය තුළ රාජ්‍ය අංශයට ආර්ථිකයේ ප්‍රමුඛස්ථානය ලබා දෙන ලදී. 1977 සිට සිදු වූ පෞද්ගලීකරණයෙන් පසු 1994 සිට මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ද නැවත වටයකින් රාජ්‍ය ව්‍යවසාය පුළුල් කරන ලදී. පෞද්ගලීකරණය කරන ලද ගෑස්, ගුවන් සේවා වැනි ව්‍යාපාර රැසක් රජයට පවරා ගන්නා ලදී. රජය සමාගමක් ලෙස ක්‍රියාත්මක වනු දක්නට ලැබිණි.

බණ්ඩාරනායක මහතා ශ්‍රීලනිපයේ පදනම ලෙස ප්‍රවර්ධනය කරනු ලැබුවේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයයි. සම්ප්‍රදායිකව කොම්ප්‍රදෝරු ධනපති පංතියේ ආධිපත්‍යයට නතු පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය වෙනුවට සාර්ථක විකල්පයක් ලෙස මධ්‍යම පංතිය පෙරටු කොටගත් ශ්‍රීලනිපය නැගී සිටියේ ය. සිය ආණ්ඩු පාලන සමයන් තුළදී කෙතරම් සමීපව ධනපති පංතිය සමග කටයුතු කළත්, ශ්‍රීලනිපය සිය මධ්‍යම පංතික පදනම වෙත තිබුණු අවධානය නැති කර ගත්තේ නැත.

ශ්‍රීලනිපය හැමවිට ම වාමාංශික පක්ෂ සමග පහසුවෙන් සන්ධානගත වූයේ ය. වාමාංශික පක්ෂවලට ශ්‍රීලනිපය සමග සන්ධානගත වීම පහසු වන්නට ඇත්තේ එහි කේන්ද්‍රීය පංතිය මධ්‍යම පංතිය වූ නිසා විය හැකි ය. 1989 – 1994 වකවානුවේදී ශ්‍රීලනිපය ආරක්ෂා කරමින් ජයග්‍රහණය කරා මෙහෙයවූ නියමුවෝ කවුරු ද? එම වකවානුවේදී ක්‍රියාත්මක වූ අයෝමය පෞරුෂයන් වූ ඉන්ද්‍රපාල අබේවීර, අ.ම. කරුණාරත්න, අමරසිරි දොඩංගොඩ, රිචඩ් පතිරණ, මහින්ද රාජපක්ෂ වැනි අය මධ්‍යම පංතික වෘත්තිකයෝ ය. ඔවුහු ධනවතුන් නො වුණත් දක්ෂයෝ වූ හ.

එහෙත්, නව සහස්‍රකයේ පළමු දශකය දෙස බලන විට පැහැදිලිව දැකිය හැකි ලක්ෂණයක් වන්නේ ශ්‍රීලනිපය සිය සම්ප්‍රදායික පංති පදනමින් ඉවත් වෙමින් තිබෙන බවයි. සම්ප්‍රදායිකව මධ්‍යම පංතිය වෙත තිබුණු අවධානය වෙනුවට අලුත් සමාජ තීරයක් වෙත ශ්‍රීලනිපය ඇදී යන ආකාරය දකින්නට ලැබිණි.

අද වන විට ශ්‍රීලනිපයේ පදනම කුමක් ද යන්න විග්‍රහ කර ගැනීම වැදගත් ය. පසුගිය සමය වන විට ශ්‍රීලනිපයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයක් පවා තරග කිරීමට බොහෝ විට අවස්ථාව ලැබුණේ එක්කෝ ධනවතකුට ය. නැතිනම් චණ්ඩියකුට ය. ශ්‍රීලනිපයේ මහජන නියෝජිතයන් ලෙස පසුගිය සමයේ ඉදිරියට පැමිණි බොහෝ දෙනෙක් විවිධ ක්‍රමෝපායන්ගෙන් මහජන මුදල් යටිමඩි ගසා ගත් අයයි. නැතිනම් වෙනත් අයථා මාර්ගවලින් ධනය උපයා ගත් අයයි.

පසුගිය සමයේ ශ්‍රීලනිප නායකයන්ගේ අනුග්‍රහයෙන් රටේ ගොඩනගන ලද දේශපාලන ක්‍රමය තුළ සිදු වුණේ අපේක්ෂකයන් තම ඉපැයුම් මැතිවරණවලදී ආයෝජනය කර ඡන්දෙන් දිනූ දා සිට, තමන් ආයෝජනය කළ මුදල මෙන් කිහිප ගුණයක් ලාභ ලැබීමට ක්‍රම සකසා ගැනීමයි. අද වන විට මහජන නියෝජිතයා යනු රජය සමග කොන්ත්‍රාත් සහ වෙනත් විවිධ ජාවාරම් කරන කූට ව්‍යාපාරිකයෙක් බවට පත් වී තිබේ.

දේශපාලන හා සමාජ ක්‍රියාකාරිකයන්ට, වෘත්තිකයන්ට, කලාකරුවන්ට හෝ සමාජ සේවකයන්ට මහජන නියෝජිතයන් ලෙස තේරී පත් වීමට අවස්ථාවක් ශ්‍රීලනිපය හරහා සොයා ගැනීම අද වන විට අතිශය දුෂ්කර තත්වයට පත් වී තිබේ. කාන්තාවන්ට ලැබෙන අවස්ථා අවම වී තිබේ. අපේක්ෂකත්වයක් ලැබුණත් තේරී පත් වීම සිහිනයක් වන තරමට මුදල් හා මැර බලය ශක්තිමත් වී තිබේ. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය තුළ ශ්‍රීලනිපය එක්තරා දුරකට එක්සත් ජාතික පක්ෂයේ ම නිවුන් සොහොයුරකු බවට පත් විය. වෙනසකට තිබුණේ නිෂ්පාදන හා වෙළඳ ධනපති පංතිය වෙනුවට ශ්‍රීලනිපය තුළ ශක්තිමත් වූයේ රජයේ සමාගම්වල දේශපාලන පත්වීම් ලද විධායක නිලධාරීන්, දේශපාලන අනුග්‍රහය ලබන කොන්ත්‍රාත්කරුවන් හා සැපයුම්කරුවන් වැනි අයයි. ශ්‍රීලනිපය සිය පැරණි පංති පදනම් අහිමි කර ගත්තේ ය. 1956දී බණ්ඩාරනායක මහතා විසින් හඳුනා ගන්නා ලද සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය හා පසුකාලීනව වර්ධනය වූ සෙසු මධ්‍යම පංතික බලවේගවලට පවා ශ්‍රීලනිපයේ දොරටු විවර වූයේ නැත.

අවසාන ප්‍රතිඵලය ලෙස 2015 ජනවාරි 08දා මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ක්‍රමයත් සමග ම පරාජය කිරීමට පෙරමුණ ගත්තේ මෙම මධ්‍යම පංතික බලවේගයයි. 1950 ආසන්නයේදී පිහිටුවන ලද ගොවි ජනපදයක පදිංචි වූ සේවා මුක්ත භටයකුගේ පුතකු වූ, සිංහල බසින් උගෙන රාජ්‍ය පරිපාලන සේවයේ පහළ ම තනතුරක් වූ ග්‍රාමසේවක ධුරයේ සිට ඉදිරියට ආ නියම ශ්‍රීලනිප සුජාත පුත්‍රයකු ජනාධිපති පදවියට ඔසවා තබන ලදී.

ශ්‍රීලනිප ලේකම් ධුරයෙන් ඉවත් වී විපක්ෂ පොදු අපේක්ෂකයා බවට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ලෙස ලැබුණු ජනවරම ඉතා පැහැදිලිව ම රාජපක්ෂ ක්‍රමයට එරෙහි ජනවරමකි. රාජපක්ෂ ක්‍රමයට එරෙහි ඔහුගේ අරගලය අනිවාර්යයෙන් ම ශ්‍රීලනිපය තුළට ද විහිදිය යුතුව තිබිණි. ඔහු ශ්‍රීලනිප නායකත්වය භාර ගැනීම සිදු වන්නේ එම සංදර්භය තුළයි. එය අභාග්‍යවත් තත්වයක් ලෙස විග්‍රහ කරනවාට වඩා, සිදු විය යුතුව තිබුණු දෙයක් ලෙස තේරුම් ගැනීම වැදගත් ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතට පත් වන්නේ ඔහුට සතුරු, ඔහු පරාජය කිරීමට ක්‍රියා කළ, ඔහුගේ නායකත්වය පිළි ගැනීමට සූදානම් නැති, මහින්ද රාජපක්ෂ ක්‍රමය තුළ හැදුණු, වැඩුණු, නව තත්වයන් දරා ගත නො හැකි පිරිසක් වීම ඇත්තෙන් ම තියුණු අභියෝගයක් විය. මේ අතර පරාජිත මහින්ද රාජපක්ෂ මහතා ද තම ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා සටනට පිවිසුණේ ය. ඔහුගේ අනුගාමිකයෝ ඔහු ඒ මග වෙත තල්ලු කළ හ. 

අවසානයේදී ශ්‍රීලනිපය රාජපක්ෂ ක්‍රමයේ හා යහපාලනයේ බොක්සිං වළල්ලක් වී තිබේ.
ගැටුම යනු නරක තත්වයක් නො වේ. එය සංවර්ධනයේ ගාමක බලවේගයයි. සමාජය ඉදිරියට යන්නේ ගැටුම් හරහා ය. අවශ්‍ය වන්නේ ගැටුම් අවසන් කර ගැනීම නො වේ. ගැටුම් යහපත් අන්දමින් කළමනාකරණය කර ගැනීමයි.

ශ්‍රීලනිපයේ ගැටුම තමන්ට වාසිදායක සම්මුතියකින් අවසන් කර ගැනීමට රාජපක්ෂ අනුගාමිකයන්ට දැඩි උවමනාවක් තිබේ. ඒ වනාහි මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා ගැනීම හා අවසානයේදී ඔහුගේ නායකත්වයෙන් ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමයි. එහෙත්, මෙහි තිබෙන පරස්පරය වන්නේ ජනවාරි 08දා ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතාට දුන් ජනවරමේ අරමුණ රාජපක්ෂ ක්‍රමය පරාජය කිරීම වීමයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් අතර සම්මුතියක් ඇති වීමේ ඉඩකඩ අවම බව ඉතා පැහැදිලි ය. එවැනි සම්මුතියක් ඔස්සේ ශ්‍රීලනිපයට ඉදිරියට යන්නට බැරි බව ද ඉතා පැහැදිලි ය. ශ්‍රීලනිපය අභිමුව ඉතා වටිනා අවස්ථාවක් උදා වී තිබේ. ඒ වනාහි හෙට දවසට ගැලපෙන නවීන පක්ෂයක් බවට පරිවර්තනය වීමේ අවස්ථාවයි. ශ්‍රීලනිපයේ ඛණ්ඩනය පැහැදිලිව ම ප්‍රතික්ෂේපිත රාජපක්ෂ ක්‍රමය හා නවීන අපේක්ෂා අතර ඛණ්ඩනයකි. එය වේදනාකාරී ඛණ්ඩනයක් වුව ද, යහපත් ප්‍රතිඵල උදා කරන්නකි. දූෂිත, ප්‍රතිගාමී, ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගය ශ්‍රීලනිපයෙන් පලවා හැර පක්ෂය සුද්ද කිරීමේ ශක්තිය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට ශ්‍රීලනිප පාක්ෂිකයා සමත් වුවහොත්, පැරණි පිරිසිදු මධ්‍යම පංතික පදනම් මත යළි ස්ථාපිත වී හෙටට ගැලපෙන නවීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ගොඩනැගීමේ ස්වර්ණමය අවස්ථාවක් ශ්‍රීලනිපය ඉදිරියේ තිබේ.

එය සිය ප්‍රබල ම ප්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්ෂයට පවා ලැබී නොමැති, සෙසු පක්ෂවලටත් අත්පත් කර ගත නො හැකි අභිමානවත් තත්වයක් බව ශ්‍රීලනිප පාක්ෂිකයා අවබෝධ කර ගත යුතු ය.

- අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ 2015 - 07 - 05 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.