2013-11-03

ගහෙන් වැටුණු දරුවාට විදුහල්පති ඇනීම

දරුවකු අතින් ලිංගිකත්වය හා සම්බන්ධ වරදක් සිදු වූ කල පවා ලංකාවේ නීතිය අනුව එය සැලකෙන්නේ දරුවාගේ වරදක් ලෙස නො වේ. වරද සිදු කළ අනෙක් පාර්ශ්වය වැඩිහිටියකු වේ නම්, එම පාර්ශ්වයේ වරදක් ලෙසයි. එය ලංකාවේ නීතිය අනුව ලිංගික දූෂණ ගන‍යේ ලා සැලකේ.

නීතිය ඉදිරියේ අනුකම්පාවට ලක් වන ළමයි පාසල් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඉදිරියේ යළි අසරණ වන්නේ කෙසේ ද? ගුරුවරු හා විදුහල්පතිවරු ඉන්නේ නීතියට ඉහළින් ද?

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති අතින් දූෂණය වූ දැරියක එම ප්‍රදේශයේදී අවමානයට ලක් වීම නිසා ඇය බංඩාරවෙල කුඩා කුසුම් බාලිකා පාසලට ඇතුළත් කරන ලදී. එහෙත්, එම පාසලේ විදුහල්පතිනිය මේ සිද්ධිය පිළිබඳ සොය දැනගෙන ඇය පාසලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

නේවාසික පහසුකම් සහිත එම විදුහලේ ඉගෙනීම ලබමින් සිටින අතර විදුහල්පතිනිය දිනක්‌ මව කැඳවා දියණිය තරුණයන් දෙදෙනකුගෙන් හා ප්‍රාදේශීය සභාපතිවරයකුගෙන් අතවරයකට භාජනය වී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි කියමින් විදුහලෙන් අස්‌කර ගන්නා ලෙස දන්වා ඇත. විදුහල්පතිනිය ගෙන් එල්ල වූ දැඩි බලපෑම් නිසාම ඇඳුම් හා පාසල් පොත් රැගෙන දියණිය සමග ආපසු ගෙදර එන්නට මවට සිදු වී තිබේ.

දැන් මේ පිළිබඳව දැරියගේ මව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබේ. විදුහල්පතිනියගෙන් රු. කෝටියක වන්දියක් ඉල්ලා ඇත.

මේ දැරිය නැවත පාසල් ගොස් සිය අධ්‍යාපනය කරගෙන යන්නට උත්සාහ කිරීම ඇත්තෙන් ම ලංකාවේ සාමාන්‍ය තත්වය නො වේ. මෙවැනි අතවරවලට ලක් වන දැරියන්ගේ අධ්‍යාපනය එතැනින් අවසන් වීම ලංකාවේ සාමාන්‍ය තත්වයයි. පළමු හේතුව වන්නේ පාසල්වල ගුරුවරු හා විදුහල්පතිවරු ඒ දැරිය නැවත පාසලට වැද්ද නො ගැනීමයි. එහි ඇත්තේ ඉතා පටු, සරළ තර්කයකි. එවැනි දැරියක නැවත පාසලට පැමිණියහොත් සෙසු දරුවන් ද නරක් විය හැකි බවයි. එතකොට ඒ දැරිය 'නරක්' වුණේ කෙසේ ද? ඒ පිළිබඳ අදාළ විදුහල්පති හෝ ඇයට ඉගැන්වූ ගුරුවරුන් වගකිව යුතු නො වේ ද? ඒ ගැන පැවැත්විය යුත්තේ විගණන පරීක්ෂණයකි.  

මෙවැනි සිද්ධිවලට මුහුණ දෙන දැරියන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර දැමීම ලංකාවේ පාසල්වල නිල නො වන සාමාන්‍ය තත්වයකි. විදුහල්පතිවරු හා ගුරුවරු එවැනි දැරියන් යළි පාසල් ඒම වළක්වන අතර අස් කර ගෙන යන්නැයි මව්පියන්ට බල කරති. සෙසු දෙමව්පියෝ ද එම දැරිය අස් කරන්නැයි විදුහල්පතිට බලපෑම් කරති. ඉන් පසු එම දැරියට වෙනත් පාසලකට යාමට ද ඔවුහු ඉඩ නො දෙති. ඒ පාසල්වලට ද බලපෑම් කරති.

එහෙත් අපචාර සිද්ධියක කොටස්කරුවකු වූ පිරිමි දරුවකුට මෙවැනි ගැටලු ඇති වන්නේ නැති තරම් ය. 

හොඳයි, වරදක් සිදු වුණා ම ය කියමු. එවැනි දැරියකට සිය වරද නිවැරදි කරගෙන යළි සාමාන්‍ය පරිදි අධ්‍යාපනය කරගෙන යාමට අවස්ථාවක් ලංකාවේ නැද්ද? 

සියලු විදුහල්පතීන්ට පාඩමක් ලෙස මේ විදුහල්පතිවරියගෙන් දැරියට රුපියල් කෝටියේ වන්දිය අය කර දිය යුතු බව මගේ අදහසයි. මනුස්සකම අංශභාග වුණත් සල්ලි ක්‍රියාත්මක වේ.

ලංකාවේ පාසල් යනු ළමා අපචාර කේන්ද්‍රයකි. දැන් පවතින කලිසම් හිරට අඳින මෝස්තරය නිසා විදුහල්පතිවරු දැන් කලිසම් පලන්නන්ගේ භූමිකාව ද කරති. වැලිගම පාසලක සිසුවකුගේ එකම කලිසම පැලීම නිසා ඇති වූ උද්ඝෝෂණයක් පිළිබඳව මෙම වාර්තාවේ පළ වේ. 

නිල ඇඳුම යනු කුමක්දැයි ළමයින්ට අවබෝධ කර දීමට අසමත් වීමේ මහා අධ්‍යාපනික හා සංස්කෘතික ගැටලුවක් කලිසම් පැලීමෙන්, ගවුම් වාටි ලිහීමෙන් විසඳිය නො හැකි බව තේරුම් ගන්නට තරම් බුද්ධියක් විදුහල්පතිවරුන් ‍විසින් ගොඩනඟා ගත යුතුව තිබේ. 

එහෙත් දැන් විදුහල්පතිවරුන් අතර රැල්ල ඇත්තේ අධ්‍යාපනඥයන් වීමට නොවේ‍. තරු, පටි ආදිය පැළඳගෙන හමුදා නිලධාරීන් වන්නට ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com