ජාතිවාදයට විරුද්ධ වීම යනු සිංහල විරෝධී වීම‍ නො වේ (වටරැක විජිත හිමියන්ට පිළිතුරක්)

මහියංගන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී වටරැක විජිත හිමි හිටි හැටියේ වීරයකු ලෙස ඉස්මතු කර පෙන්වන්නට ජාතිවාදයට විරුද්ධ බලවේග උත්සාහ කළේ ය. ඒ සඳහා ඔවුන් විසින් යොදා ගනු ලැබුවේ එහිමියන් මුස්ලිම් මිනිසුන් සහභාගි වන සභාවකදී කළ කිසියම් දීර්ඝ කතාවකි. 

එම කතාව ලිපිය අවසානයේ තිබේ. මට නම් එම කතාවේ කිසිදු වැදගත්කමක් නො පෙනිණි. එහි තිබෙන මූලික දෙය වන්නේ තමන්ගේ ජාතිය වන සිංහලකම හා ආගම වන බුද්ධාගම හෙළා දකිමින් මුස්ලිම් ජාතිය හා ඉස්ලාම් ආගම උඩ දැමීමයි. 

එයට ප්‍රතිචාර ලෙස සිංහල ජාතිවාදීන් කළේ විජිත හිමි මේ කතාව පවත්වන්නට පෙර තමන් සමග සිටියදී කරන ලද කතාවක් ප්‍රචාරය කිරීමයි. එම කතාවේ විජිත හිමියන් කරන්නේ  අප මෙහි ඉහත සඳහන් කළ කතාවේදී කරන දෙයෙහි අනෙක් පැත්තයි. මට නම් මේ කතා දෙක ම අසන්නට විශේෂ උනන්දුවක් ඇති වූයේ නැත. 

සිංහල බෞද්ධයෝ ආක්‍රමණශීලී, ආධිපත්‍යවාදී ලෙස කටයුතු කරමින් සුළුතර ජාතීන් පාගති. ප්‍රගතිශීලී සිංහලයෝ මෙම ක්‍රියා හෙළා දකිමින්, ඒවාට එරෙහිව අරගළ කළ යුතු ය.

වටරැක විජිත හිමියෝ කුමන හේතුවක් මත හෝ ජාතිවාදී ව්‍යාපාරය සමග බිඳුණු පසු කරන්නට පටන් ගෙන තිබෙන්නේ සිංහලයන්ට බනිමින් මුස්ලිමුන්ගේ ගුණ වැයීමයි. කොටින් ම මුස්ලිම් මිනිසුන් මුත්‍රා කළ පසු ශිශ්නය අග සේදීම පවා ඔහුගේ අගය කිරීමට ලක් වේ. ඔහු කියන පරිදි සිංහලයෝ එසේ නො කරති. අතිශය පෞද්ගලික කාර්යයක් වූ එය තමන් කරන ආකාරයෙන් මුළු සිංහල ජාතිය ම නො කරන බව එහිමියන් දැන ගත යුතු ය. 

ලෝකයේ කිසිදු සංස්කෘතියක් තවත් සංස්කෘතියකට වඩා හොඳ යයි කිව නො හැකි ය. සෑම සංස්කෘතියක් ම පසුබිම් වන්නේ කිසියම් ඉතිහාසයක්, උරුමයක්, භූගෝලීය පසුබිමක්, භාෂාවක් වැනි දේ මත ය. එසේ ම සංස්කෘතිය නිරන්තරයෙන් වෙනස් වන දෙයකි. අනෙක් පැත්තෙන් සංස්කෘතිය යනු යම් සමාජයක සාමාන්‍ය තත්වයක් මිස සමාජයේ සියලු දෙනාට අනිවාර්ය වූ තත්වයක් ද විය යුතු නැත. 

සිංහලයන් අතරින් කොටසක් ජාතිවාදී, ආගම්වාදී, ගෝත්‍රවාදීන් වූ පළියට මම නම් මගේ ජාතිය හෙළා නො දකිමි. සිංහලයන් ලෙස විශේෂයෙන් ආඩම්බර වන්නට හෝ කණගාටු වන්නට හෝ දෙයක් නැත. සිංහලකම අප ලද උරුමයකි. අප හැදුනේ ම සිංහල භාෂාවේ හා සංස්කෘතියේ බලපෑම සහිත ලෝකයකයි. සිංහල ජාතිය ගැන ආඩම්බර වන්නට ඕනෑ නම් ඒ සඳහා ද ඕනෑ තරම් දේ තිබේ. සුළුතර ජාතීන් පෑගීම නම් කණගාටු වන්නට ‍කාරණයකි. එහෙත්, එසේ ය කියා අප සිංහල ජාතිය පිටු දැකිය යුතු නැත. තමන්ගේ ජාතිය ගැන ඇගයීමක් නැති කෙනෙකුට වෙනත් ජාතියක් ගැන ඇගයීමක් තිබේ යයි සිතිය නො හැකි ය.

සාම රාජ්‍ය නො වන සංවිධාන අත යහමින් මුදල් තිබුණු සමයේ බහුල වූ සාම වෘත්තිකයන් හෙවත් පීස්නික්වරුන් යයි ආචාර්ය සුමනසිරි ලියනගේ විසින් හඳුන්වන ලද ඔහු ද අයත් වූ වෘත්තික ප්‍රභේදය තුළ මා දුටු ඇතැම් සිංහල කාන්තාවෝ අඳුමෙන් පැළඳුමෙන් දෙමළ වෙස්  ගන්නට උත්සාහ කරන අයුර දැක ඇත්තෙමි. ඒ ඔස්සේ ඔවුන් උත්සාහ කළේ තමන් අලෙවි කර ගන්නට විය හැකි ය. 

ලිංගික අයිතිවාසිකම් හා ස්ත්‍රීන් සම්බන්ධ රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘතිවල නියැලෙන ඇතැමෙක් තමන් ලෙස්බියන්ලා ලෙස පෙනී සිටින්නට උත්සාහ කරනු ද මම දැක ඇත්තෙමි. ඒඩ්ස් සම්බන්ධ ව්‍යාපෘතිවල වෘත්තිකයෝ ඒඩ්ස් රෝගීන් ලෙස පෙනී සිටිනවාද යන්න නම් නො දනිමි.

සමාජමය වශයෙන් ශක්තිමත් නැති සුළුතර ප්‍රජාවන්ට අයත් අය  බහුතර හා ශක්තිමත් ප්‍රජාවන්ගේ අනන්‍යතාව තුළ සැඟවෙන්නට දරන අසරණ උත්සාහයන් නම් මම ඕනෑ තරම් දැක ඇත්තෙමි.

ජාතිවාදයට විරුද්ධ වීම යනු පීඩක ජාතිය හෙළා දකිමින් පීඩිත ජාතිය තොරොම්බල් කිරීම නො වේ. එය අතිශය මුග්ධකමකි. මහියංගන මහවැලි විහාරාධිපති වටරැක විජිත හිමි වැනි ගැමිප්‍රභූවරයකු මෙසේ කටයුතු කිරීම තේරුම් ගත හැකි තත්වයකි. එහෙත්, ජාතිවාදයට විරුද්ධ බලවේග හා වෙබ් අඩවි වැනි ඔවුන්ගේ මාධ්‍ය අවකාශයන් ඔහුගේ මේ තම අනන්‍යතාව හෙළා දකින කතාව අභිරුචියෙන් යුතුව වැළඳ ගැනීම මුග්ධකමකි. 

ජාතිවාදයට විරුද්ධ වීම යනු සිංහල විරෝධී වීම‍ නො වේ.  ස්ත්‍රීවාදී වීම යනු පුරුෂ විරෝධී වීම නො වේ යයි ද කිව හැකි ය. 

අශෝක හඳගම විසින් පත්තර වාර්තා ඇසුරින්, සම ලිංගිකත්වය අඳුරේ අතපත ගාමින් කරන ලද නිර්මානයක් වූ 'තනි තටුවෙන් පියාඹන්න' චිත්‍රපටය අරභයා හිරු පුවත්පත වෙනුවෙන් නෙවිල් උදිත වීරසිංහ විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයට සහභාගි නො වෙමින්, කොළ කෑල්ලක් බෙදමින් රෝහිත භාෂණ විසින් කරන ලද විචාරයකදී ඔහු විසින් මතු කර දක්වන ලද කරුණක් වූයේ ස්ත්‍රියට සිය හිමිකම් වෙනුවෙන් අරගළ කළ හැක්කේ ස්ත්‍රිය ලෙසින් ම පෙනී සිටිමින් මිස පිරිමි ලක්ෂණ ආරෝපණය කර ගනිමින් නො වන බවයි.

සිංහලයන්ට තමන්ගේ ජාතිවාදී ලක්ෂණ බැහැර කර ගත හැක්කේ වෙනත් ජාතියක් වර්ණනා කිරීමෙන් නො වන බව මෙම වීඩියෝවට ප්‍රචාරය දුන් ජාතිවාදී විරෝධීන් වටහා ගත යුතු ය. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. /* ලිංගික අයිතිවාසිකම් හා ස්ත්‍රීන් සම්බන්ධ රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘතිවල නියැලෙන ඇතැමෙක් තමන් ලෙස්බියන්ලා ලෙස පෙනී සිටින්නට උත්සාහ කරනු ද මම දැක ඇත්තෙමි. */

    කවුරුන් හෝ කාන්තාවක් ලෙස්බියන් ලෙස පෙනී සිටින්නට උත්සාහ කරන බව අඳුණා ගන්නේ කොහොමද? මොනවාද ඔබේ නිරීක්‍ෂණ?

    ReplyDelete
    Replies
    1. තමන්ගේ පෙම්වතිය යයි ඇඟවෙන ‍යව්වනියක් සමග රැස්වීම් ආදියට සහභාගි වන්නට යාම.

      Delete
  2. ඔව වීඩියෝව මං ඊයේ බලන්න පටන් ගත්තත් විනාඩි පහකට වඩා බැලුවේ නෑ. සාදු කතාකරන කොට මූණෙන් එකක් කටින් වෙන එකක් කියවෙන බවයි මට හිතුනේ.

    අද හවස හිත හදාගෙන බලන්න ඕනෑ!

    ReplyDelete
    Replies
    1. MEMA KATHAWE TOPIC EKA LESBIANS GENADA

      Delete
  3. What is wrong with his talk ? He is not criticising being sinhalese. He is only showing that we the sinhalese people accuse others of committing sins while we are worse than them..

    ReplyDelete
    Replies
    1. Isn't he telling Muslims are better than Sinhalese. Basically, no culture is better than another. All are unique.

      Delete
    2. All are "unique".
      The Problem is the centre of that "uniqueness" .

      Delete
  4. Lord Buddha has said " aththanax upmax kthwaa" Take self as an example. This is what he has done. We need more of this breed to bring harmony to our country. Truth hurts. Yet it is the truth.

    ReplyDelete
  5. සිංහල හෝ දෙමළ හෝ යනු "ජාති" නොවේ. පැරකුම් මහතා "ජාතිය" යන්න භාවිත කරන්නේ නුතනවාදී Nation අරුතින් නම් "ජාතිය" ක් විය හැක්කේ ජාතික රාජ්‍යය හා සබැඳිව "ශ්‍රී ලාංකීය " කියනා එකකට පමණි. පැරණි හෙළ බස අරුතින් නම් 'ජාති" යනු වෙනකෙකි.
    සිංහල, දෙමළ යනු ගෝත්‍රයන් ය . එය ඔවුන්ගේ පැරණි "කුලය" හෙවත් "ජාතියේ" [සිංහලෙන් කියතොත්] ම දිගුවයි. ළඟ වචනය Race වේ. අවශ්‍ය කෙනෙකුට "ජන වර්ග" යැයි ද කිව හැක.
    සිංහලයට "ජාතිය" යොදා ගත්තේ සුද්දා ගේ අවසන් කාලයේ දී [කොහොමත් යන්නට සිටියදී] සුද්දාට එරෙහිව මෙහි වැඩ කළ දේශපාලන බලවේගයයි. නුතනවාදය එයටත් වඩා පටු කල්පනාවන් තුළ හිඳ මෙහි පැල කළ ධර්මපාල ලා එය ස්ථාපිත කළහ. මේ සංකල්ප පටලවා ගැනීම ව්‍යසන මහත් ප්‍රමාණයක් කරා මෙහි වැසියන් මෙහෙයවීමට අවස්ථාවාදීන් ට ඉඩ සොයා දී තිබේ.
    භාවිත කරන්නේ "ජාතිය" ද "ගෝත්‍රය" ද යන්න වචන හරඹයක් පමණක් නොවේ. එය සංකල්පමය හඳුනා ගැනීමකි. මන්ද යත් එය නුතන Nation සංකල්පය සදොස්ව ස්ථාපනය කරන බැවිනි.

    ReplyDelete
    Replies
    1. nationality, race යන වදන් දෙකට ඔබ සපයා තිබෙන සිංහල වදන් සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයක් නැත. ශ්‍රී ලංකාව nation එකක් නම්, 'ශ්‍රී ලාංකික' යන්න nationality විය යුතු ය.

      එහෙත් මෙතැන ඇති ගැටලුව වන්නේ ශ්‍රී ලංකාව පවතින හැටියෙන් හෙවත් සුද්දා අපට දී ගිය ආකාරයෙන් nation එකක් ලෙස පිළි ගන්නේ සිංහලයන් පමණක් වීමයි. සුළු ජාතීහු අඛන්ඩව ම මෙය වෙනස් කිරීම වෙනුවෙන් අරගළයක යෙදී සිටිති. ඒ අනුව ප්‍රායෝගිකව ශ්‍රී ලාංකිකයන් වී තිබෙන්නේ සිංහලයෝ පමණි.

      නූතන කතිකාවන් අනුව, ජාතිය අනිවාර්යයෙන් ම දේශයක් මත පදනම් විය යුතු නැත. කිසියම් ජනවර්ගයක් තමන් ජාතියක් බව ප්‍රකාශ කරනවා නම් ඔවුන්ට දේශයක් තිබුණත්, නැතත්, සෙසු ජාතීන්ට ඔවුන්ගේ තර්කය ප්‍රතික්ෂේප කරන්නට අයිතියක් නැත. එහෙම ප්‍රතික්ෂේප කළත් වැඩක් නැත. මන්ද, එය එම ජාතියේ හිමිකමක් මිස අනෙක් අයගේ කාරණයක් නො වන බැවිනි.

      ඔබ ජාතිය ය කියන ශ්‍රී ලාංකිකත්වය යනු සිංහලකමට පර්යාය පදයක් පමණි. සිංහල, දෙමළ, මුස්ලිම් අනන්‍යතා අභිභවා ගිය පුළුල් අනන්‍යතාවක් ගොඩනඟාගන්නට නම් අප සියලු ජාතීන්ගේ හිමිකම් තහවුරු කර ඔවුන් අනුකලනය කර ගන්නා රාජ්‍ය ගොඩනැඟීමේ ක්‍රියාවලියක යෙදිය යුතු ය.

      Delete
    2. ධර්මපාලගේ පටු කල්පනාව බලන්න නම්ී ඉන්දියාවේ බරනැසට යන්න. ධර්මපාලතුමා විසින් ඒ ප්‍රදේශය සන්විධානාත්මකව ගොඩ නගල තියෙන විදිහ බලන්න. තනි පුද්ගලයෙක් විදිහට ඉන්දියදියාවේ බෞද්ධ සිද්ධස්තාන නිදහස් කරගත් ආකාරය බලන්න. තමන් සතු මහා ධන්ස්කන්ධය අතහැරල ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් කල සේවය බලන්න. එතුමා විසින් ‍රචිත "දැනගතයුතු කරුනු" නැමති ලිපි කියවා බලන්න. එම ලිපි කියවුවහොත් ඔබ සැබවින්ම විස්මයට පත් වේවි. කොතරම් බුද්ධියක්, අනාගතය ප්‍රක්ශේපනය කිරීමේ හැකියාවක් එතුමාට තිබුනද කියා

      Delete
    3. මෙය විකාර මාක්ස්වාදී තර්කයකි.යුරෝපයේ ජාතික රාජ්‍ය බිහිවීම ත් සමඟ ජාතිය බිහිවූ බව මාක්ස් මහතා පවසන නිසා ඔහුගේ බැතිමත්තු එය පිළිගනිති.යම් භාෂවක් කතා කරන පොදු සංස්කෘර්හික සංදර්භයක වෙලී සිටින ජනකොටස ජාතිය වේ.පුරාණ ගෝත්‍ර එක්වී බුදු දහම පදනම කොට ගෙන සිංහල ජාතිය දුටුගැමුණු යුගයේදී බිහිවිය.මට අනුව දුටුගැමුණුට පෙර සිංහලයන් සිටියේ නැත.දුටුගැමුණු යුගයේදී සියළු ගෝත්‍ර ස්වීකරණය කර සිංහල ජාතිය නිර්මාණය විය.විජය පැහැදිලිවම සිංහලයෙක් නොවේ.යක්ෂ ගෝත්‍රිඅකයන් පණ්ඩුකාබහය් යුගයේදී විජයගේ අනුප්‍රාප්තිකයන් පරදවා දේශී ය වාපි සංස්කෘතිය ස්ථාපිත කරන ලදී.

      නමුත් යුරෝපයේ ජාතික රාජ්‍ය ඇතිවුනේ මෑතකදීය.ප්‍රසියාවේ නායකත්වයෙන් ජර්මනිය බිහිවීම දෙස බලන්න.එය ඔස්ට්‍රියාවේ නායකත්වයෙන් සිදුවීම වැලකුණි.ප්‍රසියාවත් ඔස්ට්‍රියාවත් එකම බස භාවිතා කරයි.මේ සිදුවීම ලංකාවේ සිදුවුනේ දුටු ගැමුණු යුගයේදීය.

      නමුත් යුරෝපයට පෙර වෙනත් රටවල ජාතික රාජ්‍ය බිහි වූ බව කියන විට මාක්ස් මහතා අදහන අයට දිරවන්නේ නැත.

      Delete
    4. පැරා කියන විදියට වැඩ සිදු වුනොත් රාජ්‍ය යන් බිලියන ගනනක් ඇතිවේ.නෑදෑ පවුල් දෙක තුනක් අප වෙනම ජාතියක් යැයි ප්‍රකාශ කළොත්? ඒත් ඒ ජාතියක් ලෙස පිළිගත යුතුද? ජාතිය හෝ ජාතිකත්වය යනු කරුණු කිහිපයක් මත පදනම් වන්නකි.පොදු භාෂාවක් තිබීම.පොදු ආගමක් තිබීම.ජාතිය හා බැන්නුද්ණු ඓතිහාසික භූමියක් තිබීම.පොදු චාරීත්‍ර පද්ධතියක්/ජීවන රටාවක් තිබීම.පොදු දේශපාලන අභිලාශයන් තිබීම.භූමිය හා බැඳුණු ආක්‍රමණික නොවන පෞරාණික උරුමයක් තිබීම යන කරුණුයි.යම් ජනකොටසක් පළවා හැර භූමිය අත්පත් කරගෙන අපි වෙනම ජාතියක් යැයි කිසිවෙකුට කීමට නොහැක.

      ලෝකයේ ජාතීන් දෙස බලන්න.ඉහත කරුණු වලට පිටින් යම් ජනකොටසක් තමන් ජාතියක් යැයි කියන්නේ නම් එය අයුක්තියකි.ඊශ්‍රායල්වරුනෙගේ ක්‍රියාව හා උතුරේ එල් ටී ටී ඊ ක්‍රියා අයුක්ති සහගටහ් වන්නේ එහෙයිනි.

      භූමිය හා බැඳුණු අයිතිය චන්ඩිකමින් ලබා ගටහ් නොහැක.එය ප්‍රභාකරන් මෑතක්කදීද මීට්‍ර සියවස් දෙක තුනකට පෙර සංකිලි වැනි කෙනෙක් විසින් කිරීමද එක හා සමාන වැරදිය.දෙමළ ජනයාගේ මවුබිම වන තමිල්නාඩුව ගැන ඔවුන්ගේ උරුමය බලන්න.එහි සංගම් යුගය දක්වා දිවෙන ඓතිහාසික උරුමයක් ඇත.මෙබදු උරුමයන් රැසක් එක් කර බ්‍රිතාන්‍යයන් විසිස්න් ඉන්දියාව නිර්මාණය කිරීමනම් ඇත්තෙන්ම වරදකි.

      Delete
  6. ජාතිවාදය කියන්නෙ කාසියෙ දෙපැත්ත වගේ කේස් එකක්. ඒ වගේම එක් එක් කණ්ඩායම් මත ඇති කරන ජාතිවාදය එකිනෙක පෝෂණය කරනව. සිංහල ජාතිවාදය නිසා මුස්ලිම් ජාතිවාදයත් මුස්ලිම් ජාතිවාදය නිසා සිංහල ජාතිවාදයත් ඇතිවෙනව. හැබැයි මේකෙ ආරම්භය හෙවීම කිකිළි-බිත්තරේ කේස් එක වගේ දෙයක්.

    ඒ වගේම ජාතිවාදය විග්‍රහයේදී තියන අවුල ලෝකය පුරාම තියනව. සුළුතරයේ ජාත්‍යාලය විමුක්තිකාමය ලෙසත් බහුතරයේ ජාත්‍යාලය ජාතිවාදය ලෙසත් තමයි විග්‍රහ වෙන්නෙ.

    ReplyDelete
  7. මුස්ලිම් ඉන්න හැම රටකම ආගම් වාදි ජාතිවාදි ප්‍රශ්න එන්නෙ ඇයි ඕයි????

    ReplyDelete
    Replies
    1. අනෙක් අයට මුස්ලිම් අය ඉවසන්න බැරි නිසා වෙන්න ඇති

      Delete
    2. එහෙම ඉවසන්න බැරි හේතුව මොකක්දැ සෑර්

      Delete
    3. මුස්ලිම් සුලුතරයක් විසින් අන්තවාදි ලෙස ආගම හසුරුවනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බහුතරය මෙම අන්තවාදීන්ට අවනතව සිටිනවා. ආගමික හා ජාතීන් වශයෙන් පක්ෂ පිහිටුවා ගැනීමට ඉඩ දීමෙන් ගෝත්‍රීක ලෙස කටයුතු කිරීමට අපගේ ව්‍යවස්ථාව මගින් ද ඉඩ සලසා තියෙනවා.මුසල්මානුවන්ගෙ දැඩි ගෝත්‍රීක හැසිරීම අනෙකා තුල අසිමිත බිය සංකා මතු කිරීම පුදුමයක් නොවේ.අද මුලු ලෝකයම මුසල්මානුවන් හ මුසල්මානු රාජ්‍යයන් දෙස බලන්නේ සැකයෙන් බව රහසක් නෙමේ.

      මාගේ පුද්ගලීක මතය ද මුසල්මානුවන් [සුලුතර අන්තවාදීන්] ලෝකයේ මහා විනාශයකට හේතු විය හැකි බවයි.

      වටරැක හිමිගෙ කතාව කඩේ යන කතාවක් විතරයි. ඒක තනිකර සිවුරේ ඩියුටි එකක්.හරියට ගමේ හිටපු එපාම කරපු එකාගෙ මල ගෙදර ගිහින් උගේ ගුණ ගායනා කරනවා වගේම තමා.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. මුස්ලිම් විතරක් නෙමෙයි. තේරවාදි බෞද්ධයෝ ඉන්න හැම රටකමත් ඇයි මෙහෙම ප්‍රශ්ණ වෙන්නෙ. ?

      Delete
  8. බෙහෙවින් ලයික්මි.

    පුංචි කොටසක් එකතු කලොත්, ඔබ විසින් ජාතින් ලෙසද සිතුමිණ විසින් ගෝත්‍ර/වර්ග ලෙසද හඳුන්වන සිංහල දෙමල මුසල්මානු ගති ලක්ෂණ සංස්කෘතික හා පුද්ගල මට්ටම තුල සුරැකෙන්නේ නම් ඉතාමත් අගේය. මම හොඳම හොඳ සිංහලයෙක් වෙමි කියනවාටත් වඩා මම මගේ සිංහල කම රැකගත් එහෙත් සමානව සිතන ශ්‍රී ලාංකිකයෙක් වෙමි කියා සිතන්නේ නම් එය අනාගතයට යහපත් වනු ඇත.

    අනතවාදී බල්ලන් කොයි කූඩුවේ සිට බිරුවත් ඇහෙන්නේ කටෝර හඬකි. අවාසනාවට ලංකාව අන්තවාදීන්ගේ බලු පොරයක් පමණි.

    ReplyDelete
  9. විනෝදය හා සතුට ගෙනෙන ඡන්ද කතාවක්!
    වාච්‍යාර්ත, ව්‍යංගාර්ථ, ධ්වනිතාර්ථ හා භාවයන් තෝරා බේරා ගත යුතු කතාවක්!
    අනගාරික ධර්මපාල වර්ගයේ කතාවක්!
    බෞද්ධ දේශපාලන චින්තනයේ අග්‍රපලය, වල්පොල රාහුල ආදීන් නායකත්වය දුන් චින්තනයේ අග්‍රපලය කියල මට හිතෙනව,

    හැබැයි අවසානයේ විජිත හාමුදුරුවන්ගෙ කාසියේ අනෙක් පැත්ත එනම් ඥාණසාර හාමුදුරුවො කියන එකම තමයි හෝ එකම උවමනාව තමයි ඉෂ්ට වෙන්නේ.
    "පල්ලිය ඉවත් කිරීම"

    'ඉස්ලාම් ආගම අදහන්න
    ඔබට තිබෙන අයිතිය මා පිලිගන්නවා
    ඒත් හැම ගහ යටම පල්ලිත් එපා (පන්සලුත් එපා)'

    අනෙක විජිත හාමුදුරුවො අයියගෙ පැත්තෙ, ඥානසාර හාමුදුරුවො මල්ලිගෙ පැත්තෙ.

    -----------
    දයල් බතී කියන්නේත්;
    දැනට තිබෙන පන්සල්, පල්ලි, පිලිම සංඛ්යාවෙන් හොඳටම ඇති, පින් කරන්න කැමති අය කරන්නට තිබෙන්නේ ගෙවල් නැති අයට ගෙවල් හදල දෙන වගේ වැඩ.

    යේක ආමුදුරුවො කතාව දුන්නා , ඇට්ටි ඇලෙන්න,
    පට්ට තමයි,
    යිනා වෙලා පනගියා අප්පා

    අර 'ගල්?' ගහන සාදු ගල් ගහල ගියා විතරයි,
    අපේ ආන්දුරුවො පල්ලියම ඉස්සුවා අප්පා

    ReplyDelete
  10. මස්සිනේ උබ මේව ගැනත් ලියපන් බන්. උබගේ ජාම බේර ගන්ඩ නම් මේවත් ලියන්ඩ වෙනවා...

    http://lankacnews.com/sinhala/foreign-news/99362/

    ReplyDelete
  11. ජාතිවාදයට විරුද්ධ වීම යනු සිංහල විරෝධී වීම‍ නො වේ. ස්ත්‍රීවාදී වීම යනු පුරුෂ විරෝධී වීම නො වේ යයි ද කිව හැකි ය. //

    මෙරට ජාතිවාදයට එරෙහිවන්නේයයි කියන අය ඇත්තෙන්ම සිංහල විරෝධීහුය.ඒ මූල්‍යමය වාසි තකාය.ස්ත්‍රීවාදීහු සියල්ලෝම පුරුෂ විරෝධීය.එසේ නොවී ස්ත්‍රීවාදී වීමට බැරි වන්නා සේය.ජාතිවාදයට එරෙහිවීම යනු කිස්යම් සංදර්භයක සිදුවිය යුත්තකි.මෙරට සිංහල ජාතිකත්වයට එරෙහිවීම යනු ඊළමට පක්ෂ වීමකි.ස්ත්‍රීවාදය යනු ස්ත්‍රීන් පුරුෂකරනය කිරීමත් පුරුෂයන් ස්ත්‍රීකරණය කිරීමත්ය.එයද මූල්‍යමය වාසි තකා කෙරෙන විශාල ව්‍යාපෘතියකි.

    මෙම උදාහරණය වැරදිය.ජාතිවාදය යනු සියළු මනුෂ්‍යන් අදාල වන බැවිණි.නමුත් ස්ත්‍රීවාදය තුල ස්ත්‍රීන් පමණක් අදාල වේ.එබැවින් මේ සැසදීමද වැරදිය.ස්ත්‍රීවාදීන් පවුලට විරුද්ධ බවවත් පිරිමින්ට විරුද්ධ බවවත්පැරා අසා නැද්ද.නැතහොත් සියල්ල දත් මාක්ස් එසේ දේශනා කර නැද්ද? ස්ත්‍රීවාදීන්ගේ භාෂා ශෛලිය පැරා අසා නැද්ද? ඔවුන් සටනට කැදවන ඔවුන්ගේ අනෙකා කවුද? මේ විකෘති මතවාදයෙන් මානව සමාජයට වන හානිය කොතරම්ද ? ස්ත්‍රීවාදීන්ගේ ලේඛන කියවන්න .ඔවුන්ගේ වෛරය අවබෝධ කර ගන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා