2013-05-28

තව පන්සියයක් ගිනි තබා ගත්තත් ඔය ටික තමා ය

Bowatte Indrarathana funeral
බෝවත්තේ ‍ඉන්ද්‍රසාර හිමියන්ගේ ආදාහනය අද ඔහුගේ ගමේදී පැවැත්විණි. ඡායාරූපවලින් පෙනෙන ආකාරයට එයට ලොකු සෙනගක් සහභාගි වී නැත. කොළඹ සිංහල බෞද්ධ වීරයන්ට කහවත්ත දුර වැඩි හෝ තමන් වැඩ කරන තැන්වල නිවාඩු නැති හෝ වන්නට ඇත.

මා දුටු තවත් දෙයක් වන්නේ පුද්ගලයන් දෙතුන් දෙනෙකු ඉන්නා සංවිධාන ඉටි රෙදි කපා, කෝටුවල අමුණා අතන මෙතක කහ කොඩි දැම්මා මිස ජනතාව ස්වේච්ඡාවෙන් කහ කොඩි දැමීමක් කළේ නැති බවයි.

ඉන්ද්‍රසාර හිමියන් ගිනි තබා ගත් මහනුවර නගරයේ පවා කහ කොඩි නො එසවීම පිළිබඳ උරණ වූ ජාතික හෙළ උරුමයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තුෂාර ස්වරණතිලක මැයි 27දා දහවල් මහනුවර ජෝර්ජ් සිල්වා උද්‍යානය අසල පැවැති රැස්වීමකදී "හෙට දහවල් 12 වෙන්නට පෙර මහනුවර කහ කොඩි දමන්න කියලා ඉල්ලා සිටිනවා. නැත්නම් අපි හෙට ක්‍රියා මාර්ගයක් ගන්නවා" යි කී බව වාර්තා විය.

මිනිස්සු මේ ගිනි තබා ගැනීම ගැන කතා කරනු ඇසුණ මුත්, ඒ ගැන කම්පනයක් ඇති වී තිබුණු බවක් නම් දක්නට නො ලැබිණි. වෙසක් තොරණ්, පහන් කූඩු, දන්සල් ආදිය ගැන මිනිස්සු ඊට වඩා කතා කළ හ. සිංහල බෞද්ධ ජනතාව කිසිවක් සිදු නො වූවා සේ වෙසක් බලන්නට යනු පෙනිණි.

ඉගෙන ගන්නවා නම් සිංහල බෞද්ධ අන්තවාදීන්ට පමණක් නො ව සියලු ජාතිවාදීන්ට හා ස්වෝත්තමවාදීන්ටත් මේ පාඩමකි. ජාතිවාදය, ආගම්වාදය හා ජනප්‍රිය අන්තවාදයන් යනු සිතූ පැතූ සම්පත් මවා දෙන සුරබිදෙනකැයි මෙතෙක් සිතා සිටියා නම් දැන් ඒ ගැන නැවත කල්පනා කරන්නට මේ අත්දැකීම හොඳ අවස්ථාවකි. 

අන්තවාදය ඔස්සේ බලය හා කීර්තිය නිර්මානය කර ගැනීම දැන් අන්තයකට එමින් තිබෙන බව අපේ අදහසයි. කුමන තත්වයක් තුළ වුණත් ජනතාව මෙවැනි ප්‍රචණ්ඩත්වයක් තම දෑස් අභියස දකින්නට කැමති නැත. එය ස්වපීඩක වුවත්, අන්ත ප්‍රචණ්ඩ ක්‍රියාවකි. එය දෑසින් දුටු අයගේ හා රූපවාහිනියෙන් නැරඹූ අයගේ මනසට කරන ලද දැවැන්ත ප්‍රචණ්ඩ බලපෑමකි.

අනෙක් පැත්තෙන් ජාතික, ආගමික අන්තවාදයන් යනු පූර්ණ පාලනයකට නතු කර ගත හැකි දේ නො වේ. අල් කයිඩා මතවාදයන්ගෙන් පෝෂණය වූ තරුණයෝ දෙදෙනෙක් එම සංවිධානය සමග කිසිදු සම්බන්ධයක් නැතිව, ස්වයංව බෝම්බයක් හදා බොස්ටන්හි පුපුරුවා හැරිය හ.

අන්තවාදයෙන් මෝහයට පත්ව සිටි ඉන්ද්‍රරත්න හිමියෝ ද අන්තවාදී සංවිධානවලට මිනියවත් සාර්ථක ලෙස විකුණා ගන්නට බැරි අන්දමේ ක්‍රියාවකින් දිවි තොර කර ගත් හ. 

තව පන්සියයක් ගිනි තබා ගත්තත් ඔය ටික තමා ය. 

2003දී සෝම හිමි 'අපවත් කළ' අවස්ථාවේ එම මරණය දේශපාලන බල ව්‍යාපෘතිය තුළ ස්ථානගත කළේ අසපු භික්ෂු බලවේගය විසිනි. දිලිසෙන සිවුරු පෙරවූ, මුහුණුවල පියරු ගා, තොල්වල ලිප්ස්ටික් ගා, සුවඳ විහිදුවමින් හුරතල් අන්දමින් බණ කියූ මේ සාදුලා මැද පංතික උපාසකම්මලා අතර මාකට් විය. 

අසපු සාදුලාගේ දේශපාලන ‍අවසානය සලකුණු වුණේ සත්ගුණවත් ආචාර්ය මර්වින් සිල්වා විසින් සිවුර ය‍ටින් අත දමා කලටි පොල් වල්ලක් කරකවන්නා ‍සේ කරන ලද සාංඝික වෘෂණ කෝෂ ඇඹරිල්ලෙනි.

රැඩිකල් දේශපාලන භික්ෂුවක් වන අතුරලියේ රතන හිමි අසපුවක සිරගත වී සිටියදී ඉදිරියට ආවේ බණක්,  භාවනාවක් නො දන්නා, මැරවරකම, ටුවරිස්ට් ගයිඩ් වැඩ, කාර් විකිණීම, බිස්නස් වැනි වැඩ කර කර සිටි අලුත් වලිකාර සංඝ පරපුරකි. හුරතලේට බණ කියන්න නො දත් මේ පරපුර තමන් දන්න, දන්න විධියට එක, එක දේ කරමින් සිටිති. ඔවුන් කරන දේ හැම අතින් ම රටටත්, සිංහල ජාතියටත් වින වේ. 

අනෙක් පැත්තෙන් මේ පරපුර පාලකයන්ගේ අතින් කන කුක්කෝ ය. ඒ බව ඉන්ද්‍රරතන හිමියන්ගේ මරණින් පසු බුද්ධ ශාසන අමාත්‍යංශය සම්බන්ධයෙන් ඔවුන් විසින් කරන ලද‍ ඉල්ලීමෙන් ම පැහැදිලි වේ. 

අන්තවාදය අන්තවාදයෙන් ම අවසන් වෙමින් තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com