2010-08-25

වෙල්ලස්සේ කැරැල්ල නැවත කියවීමක් | Reading Wellassa rebellion in post-LTTE context


(2010 අගෝස්තු 25, W3Lanka - අජිත් පැරකුම් ජයසිංහ)
ගිය අවුරුද්දේ ජුනි මස අප විසින් ලියන ලද මෙම ලිපියෙන් අප අරමුණු කළේ කුමක්ද යන්න අප ඒ වන විට පැවති වාතාවරණය තුළ නො ලියුවෙමු. එහෙත්, අ‍පගේ අරමුණ වූයේ 1818 වෙල්ලස්ස කැරැල්ල, කැරැලි මර්දනය හා දෙමළ කැරැල්ල හා 2009දී කැරැලි මර්දනයත්, මර්දනයෙන් පසු තත්වයනුත් අතර සමානකම් හුවා දැක්වීමයි. 


සමස්ත උඩරට රාජධානිය පුරාම 1817-1818 සමයේදී ව්‍යාප්ත වූ වෙල්ලස්සේ කැරැල්ල හේතුවෙන් යටත් විජිත පාලනය බිඳ වැටෙන්නට ඔන්න මෙන්න තත්වයකට පත් විය. මුලදී ස්වදේශික ප්‍රශ්න මත පැනනැඟුණු එය පසුව බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි කැරැල්ලක් බවට පත් විය. නායක්කර් වංශික රජ පෙළපතින් පැවත එන බව කී දොරේසාමි නමැත්තෙක් ඔටුන්නට හිමිකම් කීවේය. වෙල්ලස්සේ ජනතාව ඔහු රජු ලෙස පිළිගත් අතර, කිවුලේගෙදර මෙහොට්ටාල වැනි වැදි නායකයන්ගේ ආරක්ෂාව සහ සහාය ඔහුට ලැබිණි. කතරගම දෙවියන් විසින් තමන් රජකමට පත් කර ඇති බව 1817 ජුලියේදී දී ප්‍රකාශයට පත් කළ දොරේසාමි 'කුමාරයා' සපිරිවර සමඟ කතරගම සිට බුත්තලටද, එතැනින් වැදි ජනයාගේ පූජනීය කඳුවැටියක් වූ පදියතලාවේ කොකාගලට පැමිණියේය. මහ බදුලුගම ර‍ටේ රාළ වැනි ප්‍රාදේශීය නායකයෝ රැසක් ඔහුට සහාය පළ කළහ.


එකල බදුල්ලේ සිටි ඉංග්‍රීසි පාලකයා වූ විල්සන් මෙම 'කුමාරයා' හමු වීමට යවන ලද පිරිසට වැදි ජනයා අතර සැඟවී සිටි දොරේසාමි සොයාගැනීම දුෂ්කර විය. බකිනිගහ ගම්මානයේදී බූටෑවේ රටේ රාළ විසින් මෙම පිරිස අල්ලාලෙන කොකගල සිටි රජු වෙත පිටත් කරන ලදී. 'රජු' ඔවුන්ගේ නායකයාට මරණ දඬුවම පැනවීය. 1817 දෙසැම්බරයේදී විල්සන් මැලේ හා කාපිරි සොල්දාදුවන් 20ක් සමඟ බූටෑවේ අල්ලාගැනීම සඳහා පිටත් වූවද ඒ වන විට බූටෑවේ රටේ රාළ කැළෑ පැන තිබිණි. ආපසු එමින් සිටින අතර ඉතනවත්ත පත්තිනි දේවාලය අසලදී සැඟවී සිටි කැරළිකරුවන්ගේ ඊතලයකින් විල්සන් මරුමුවට පත් විය. පෝල් ඊ. පීරිස්ට අනුව, විල්සන් මියගොස් සතියකින් දෙරේසාමි වීරවික්‍රම ශ්‍රී කීර්ති නාමයෙන් රාජත්වය ප්‍රකාශයට පත් කරමින් රාජ සභාවක්ද පත් කළේය.


කන්ද උඩරට පාලකයා වූ ජෝන් ඩොයිලිගේ දෙවැන්නා වූ සයිමන් සෝවර්ස් බදුල්ලේ කටයුතු සඳහා පත් කර එවන ලද අතර කැප්පෙටිපොළ නිලමේ ද ඩොයිලි විසින් කැරැල්ල මර්දනය කිරීම සඳහා එහි එවන ලදී. ප්‍රදේශය හුදකලා කිරීම බ්‍රිතාන්‍යයන්ගේ යුද උපාය වූ අතර, මෙම කාර්යය සම්පූර්ණ කරනු ලැබුවේ මේජර් මැක්ඩොනල්ඩ් විසිනි. මහනුවර, බදුල්ල හා බින්තැන්න යන තැන්වලින් අනුඛන්ඩ හතරක් ලෙස 1817 ඔක්තෝබර් 27දා පිටත් වූ ඔවුහු මඟ දිගට හමු වන ගම් බිම්, කෙත් වතු ගිනි තබා සහමුලින්ම වනසා දමමින්, ජනයා මරා දමමින් 31දා විල්සන් මරණයට පත් වූ ස්ථානය ආසන්නයේදී එකට එකතු වූහ. යුද සමයේදී පවා කෙත්වතු ගිනි තැබීම අපරාධයක් ලෙස සැලකූ උඩරට වැසියන්ට බ්‍රිතාන්‍යයන්ගේ මෙම මහපොළව දවා හළු කිරීමේ පිළිවෙත දරාගැනීමට නොහැකි වූ බව පෝල් ඊ. පීරිස් පවසයි. කැප්පෙටිපොළ ඇතුළු බොහෝ උඩරට ප්‍රභූන් කැරැළිකරුවන්ගේ පාර්ශ්වය ගැනීමට මෙම තත්වය හේතු වූ බව කියැවේ. කැප්පෙටිපොළ කැරැල්ලේ නායකත්වයට පත් වීමත් සමඟම කැරැල්ල යටත් විජිත විරෝධී ජාතික ව්‍යාපාරයක් බවට පත් විය.


කැරැල්ල මර්දනය කරනු ලැබුවේ සමස්ත වෙල්ලස්සම ගිනි තබා විනාශ කරමින්, එහි පදිංචි වැසියන් පළවා හරිමින් හා නායකයන් අත්අඩංගුවට ගෙන මරණ දඬුවම පනවමින් හා තවත් අය මුරුසියේ සිරගත කරමිනි. වෙල්ලස්සේ ජනයා බ්‍රිතාන්‍යයන්ගේ මර්දනයෙන් බේරීමට කඳු මුඳුන්වලට හා ගිනිකොණදිග වෙරළට පළා ගියහ. ඇතැම් අය බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය පරදි බලහත්කාරයෙන් යළි පදිංචි කරන ලදී. වෙල් ලක්ෂයක් නිසා වෙල්ලස්සය වූ මෙම සරුසාර කලාපයේ සමහර පාළු වූ කුඹුරු කිසිදිනෙක යළි අස්වැද්දුණේ නැත. අදත් වෙල්ලස්ස ප්‍රදේශය දිවයිනේ දරිද්‍රම කලාප අතරින් එකකි. පොළව දවා හළු කිරීමේ ප්‍රතිපත්තියට ප්‍රජාවක් සහමුලින්ම විනාශ කළ හැකි තරමේ ගැඹුර පෙන්වන ‍නිදසුනකි, වෙල්ලස්ස.


සයිමන් සෝවර්ස් ඩොයිලිට ලිපියක් ලියමින් පවසන්නේ "වලපනේ සහ වියලුවේ ප්‍රධාන නායකයන්ද වෙල්ලස්සේ නායකයන් මෙන් අතුගා දමන තෙක් එහිද ආරක්ෂාවක් නැත. කිවුලේගෙදර, හාපතගම, අඳවැල්ල, බොරගොල්ල සහ යාලේගම පවුල්වල සෑම පුද්ගලයකුම පිටිසර ප්‍රදේශවලින් ඉවත් කළ යුතු යයි මා නිර්දේශ කරන්නේ මෙම පදනමෙහි පිහිටා සිටිමිනි."


අසූ වසරකට පසු බ්‍රිතාන්‍ය විනිශ්චයකාරවරයෙකු වූ ආචිබෝල්ඩ් ලෝරි වෙල්ලස්සේ කැරැල්ල මර්දනය කළ ආකාරය පිළිබඳ පවසන්නේ මෙසේයි. "1817, 1818 සමයේ බ්‍රිතාන්‍යයන්ගේ උඩරට පාලනයේ කතාව ලජ්ජාවකින් තොරව සිහිපත් කළ නොහැක. 1819 වන විට, ජනතාවගේ නායකයන් සහ ප්‍රධාන පවුල්වල කිසිදු සාමාජිකයෙක් ඉතිරි නොවූ තරම්ය. තුවක්කුවෙන් හා කඩුවෙන් බේරුණු අය කොළරාවට හා වසූරියට ගොදුරු වූ අතර අගහිඟකම් නිසා සිය ගණන් මිය ගියහ."


යටත් විජිත රාජ්‍යයන් හැමෙකකම ප්‍රතිපත්තිය වූ පරිදි පසු කාලීන සංවර්ධනයන් ගොඩනැඟුනේ මෙම බියකරු පදනම මත බව මහාචාර්ය ගනනාථ ඔබේසේකර පවසයි. කැරැල්ලෙන් පසු අවුරුදුවලදී විශේෂයෙන්ම ඌවේ විශාල භූමිභාගයන් කෝපි සහ පසුකාලීනව තේ වගාවන්ට පවරා දෙන ලද අතර, මෙම ඉඩම් ජනශුන්‍ය ඒවා බවට පතුරුවා ඇති අදහස සත්‍ය නොවන බවද මහාචාර්ය ඔබේසේකර පවසයි. ඇතැම්විට මෙම ඉඩම්වල අයිතිය තහවුරු කරන්නට ඉංග්‍රීසීන් අපේක්ෂා කළ ලියකියවිලි ඉතිරි වූ වැසියන් සතුව නොතිබෙන්නට ඇත.


ඌව වෙල්ලස්ස ප්‍රදේශවල ඉඩම් නැවත වරක් බහුජාතික සමාගම්වලට විකිණීමට නූතන පාලකයන් දරන උත්සාහය පිළිබඳව මහාචාර්ය ගනනාථ ඔබේසේකර පවසන්නේ මෙසේයි: "සමකාලීන ධනේශ්වර සංවර්ධනයේ මුවාවෙන් ආපසු එමින් ඇත්තේ ලංකාවේ පාලකයන් වෙතින් මතු වන, ඔවුන්ගේ අඳුරු හෝ ආවරණය වූ කලාපයන්හි තිබෙන මෙම යටත් විජිත පුද්ගලභාවයයි. එමඟින් වෙල්ලස්සේ දෙවන දූෂණය සිදු විය හැකිය."


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity