මාලිමාවට තුනෙන් දෙකේ බලයක් දිය යුතු එක හේතුවක් තමයි රථගාය සුව කිරීම

 

අජිත් පැරකුම් ජයසිංහ

මේ වෙනකොට වාහන බලපත්‍ර හිමියන් 8,000ක් පෝලිමේ ඉන්නවා. සමහරුන්ට දෙක තුන තියෙනවා. මේ ටික තීරු බදු සහන මත ආනයනය කරන්නට දුන්නොත්, රටේ ඩොලර් ටික පිටරට යනවා. රජයට ආදායමක් ලැබෙන්නෙත් නැහැ. රජයට ආදායමක් නැති නිසා රජයේ සේවකයන්ට පඩි වැඩි කරන්නට වෙන්නෙත් නැහැ.

මේ බලපත්‍ර හිමියන් වැඩිදෙනෙකු ඒවා විකුණනවා. අවසානයේදී මෙයින් සිදුවෙන්නෙ වාහන ආනයනකරුවන් අධික ලාභයක් ලබන එක. ආනයනය කරන සැපපහසු වාහන මිල දී ගන්නෙ රාජ්‍ය නිලධාරීන් නෙමෙයි. ධනවත් ව්‍යාපාරිකයන්. සහන මිලට ඉන්ධන දුන්නොත්, ඒ සහනාධාරයත් වැඩිපුර භාවිතා කරන්නෙ ඔවුන්. ඉන්ධන ආනයනයත් ඉහළ ගිහින් රටේ ඩොලර් තව තවත් අහිමි වෙනවා.

මේ බලපත්‍ර වසංගතේ අවසන් කරන්නට ඕනැ. ඒකට බාධාවක් වෙන ප්‍රධානම වසංගතේ වෙන දොස්තර මාෆියාවෙත් දැන් හුළං බැහැලා තියෙන්නෙ. වාහන අවශ්‍ය සියලු රාජ්‍ය නිලධාරීන්ට රජයේ වාහන සංචිතයේ වාහන මගින් ප්‍රවාහන පහසුකම් ලබා දෙන්නට පුළුවන්. පහුගිය කාලෙ ප්‍රදර්ශනය කරපු වාහන එහෙම ඒ වෙනුවෙන් යොදාගන්නට පුළුවන්.

පසුගිය කාලයේ දේශපාලන සංස්කෘතිය ජරාජීර්ණ කරන්නට හේතු වුණ ප්‍රධාන කාරණයක් තමයි මේ වාහන පර්මිට් සංස්කෘතිය. එය අවසන් කරන එක අත්‍යවශ්‍යයි. මාලිමාවට ලංකාවෙ සමාජ සංවර්ධනයට දායක වෙන්නට පුළුවන් එක් ප්‍රධාන ආකාරයක් ඒක. මේ මජර සංස්කෘතිය නැවත ඇති නොවන ආකාරයට නීති පනවන්නට ඕනැ.

වරප්‍රසාදිත රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයන් පිරිසක් අවුරුදු පහෙන් පහට තීරු බදු සහනවලින් වාසි ලබාගන්නවා. සමහර රාජ්‍ය නිලධාරීන්ට වයස අවුරුදු 60න් විශ්‍රාම යන විටත් තවත් වාහන බලපත්‍රයක් ලැබෙනවා. ඇතැම් ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට පාවිච්චි කළ වාහනය ගෙදර ගෙන යන්නට පුළුවන්.

මේ මජර සංස්කෘතිය නිසා පර්මිට් හිමියන් නොවන අයට මෝටර් සයිකලයක්, ත්‍රිරෝද රියක්, පුංචි කාර් එකක් මිල දී ගන්නත් අති විශාල බද්දක් ගෙවන්නට සිදු වෙනවා.

මාලිමා ආණ්ඩුව යටතේ මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට රාජ්‍ය නිලධාරීන්ට පර්මිට් ලබාදීමට විරුද්ධ වෙන්නටත් පුළුවන්. මේ මජර සංස්කෘතිය පටන් ගත්තෙ දේශපාලනඥයන්ගෙන්. ඒක දේශපාලනඥයන්ගෙන්ම අවසන් කළ යුතුයි. දේශපාලකයන්ට දුන්න වරප්‍රසාද තමයි ඔය ඉන් පස්සෙ රාජ්‍ය නිලධාරීනුත් තමන්ට ලියාගත්තෙ.

මාලිමාවට තුනෙන් දෙකේ බලයක් වුණත් දිය යුතු එක හේතුවක් මේක. හැබැයි, දේශපාලනඥයන්ට මේක අහිමි කරලා රාජ්‍ය නිලධාරීන්ට දෙන්න බැහැ. මේ මජර වරප්‍රසාදය අයින් කරලා කාටත් සාධාරණ තීරු බද්දක් වාහනවලට පනවන්න.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න