සුහුරු කෘෂිකර්මාන්තයේ යුගයක වී වපුරා අපෙන් පෝර ඉල්ලන ගොයියෝ

 

අජිත් පැරකුම් ජයසිංහ

ආහාර නිෂ්පාදනයෙදි කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය ඉතා වැදගත්.

එම ක්ෂේත්‍රවල සාකච්ඡා කළ යුතු නවීන විෂයයන් වන්නේ, තිරසාර කෘෂිකර්මාන්තය, දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව, ඩිජිටල් තාක්‍ෂණය සහ නවෝත්පාදනය, ආර්ථික ශක්‍යතාව, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, හානි සහ නාස්තිය අවම කිරීම සහ ජෛව විවිධත්ව සංරක්ෂණය වැනි විෂයන් පිළිබඳවයි.

දියුණු කෘෂිකර්මාන්තයක් ඇති රටවල සාකච්ඡා කරන්නේ නිරවද්‍ය (precision) කෘෂිකර්මය, පෝෂක කළමනාකරණය, බෝග විවිධාංගීකරණය, පස හා ජලය සංරක්ෂණය කරමින් ඵලදායිතාව ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති භාවිතය, ආදාන භාවිතයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පසු අස්වනු හානි අවම කිරීම සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ ප්‍රතිලාභ ඉහළ නැංවීම සඳහා අගය එකතු කළ ක්‍රියාකාරකම් ආදිය පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ද එතනට පැමිණිය යුතුය.

එහෙත්, ලංකාවේ සිදුවන්නේ වෙනත් දෙයකි. අන්න වී ගොවීන් කුඹුරු වපුරා පොහොර දියව් කියා ජනමාධ්‍යවලින් බදු ගෙවන ජනතාවට අණ කරනු පෙනේ. සරල ප්‍රශ්නයක් ඇත. පොහොර ගසන්නට සල්ලි නැතුව වී වැපුරුවේ ඇයි? දැන් මෙය කොතරම් කලක් තිස්සේ සිදු වෙනවාද? සියවසක් පමණ තිස්සේ මහජන මුදලින් ඉඩම්, වාරිමාර්ග, ජලය, පොහොර ආදිය සපයාත්, ගොවීන් තවමත් දිළින්දන්ය. එපමණක් නොව, අස්වැන්න ද අලෙවි කර දීමට රජය මැදිහත් විය යුතුය. බදු ගෙවන ජනතාව එච්චර කරලාත්, ගොවීන් ඔවුන්ට දෙන්නේ වස විසෙන් නැහැවූ බාල නිෂ්පාදනයි. මේ ගොවිතැන ගොවීන්ටත් වැඩක් නැත. පාරිභෝගිකයාටත් වැඩක් නැත. පරිසරයටත් හානියකි.

ලංකාවේ කෘෂිකර්මාන්තය තුළ 27%කට වැඩි ජනගහනයක් රැකියා කරති. එහෙත්, එමගින් ආර්ථිකයට ලැබෙන්නේ 8%ක පමණ දායකත්වයක් පමණි.

ලංකාවේ ග්‍රාමීය දිළින්දන්ට වාමාංශික ව්‍යාපාරය විසින් දී තිබෙන ලනුව අනුව ඔවුන් මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුය. පවුල ජීවත් කරවන්නට තරම් ප්‍රමාණවත් ඉඩමක් ඔවුන්ට නැත. එහෙත්, රැකියාව ගොවිතැන යයි කියනු ලැබේ. එම රැකියාව විධිමත් ලෙස සිදුකිරීම සඳහා අවශ්‍ය අධ්‍යාපනය, තාක්ෂණය හා විධිමත් වෙළඳපොළ ප්‍රවේශය ආදිය ගැන සිතන්නටවත් ඔවුන්ට ඉස්පාසුවක් නැත.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ විශාල පරිවර්තනයක් අවශ්‍යය. මූලිකවම යැපුම් ගොවියා කෘෂි ව්‍යවසායකයකු බවට පත් කළ යුතුය. ඒ සඳහා සැබෑ ගොවීන්ට, කෘෂි ව්‍යවසායකයන්ට ඉඩම් අවශ්‍යය. ඉඩම් වෙළඳපොළ නිදහස් කළ යුත්තේ ඒ නිසාය. කෘෂිකර්මාන්තය සඳහා කෘෂි කම්කරුවන් ද අවශ්‍යය. තමන්ගේ කුඩා ඉඩම විකුණා කෘෂි කම්කරුවන් බවට පත්වන පිරිස් ද අවශ්‍ය වන්නේ ඒ නිසාය. කම්කරුවකු වීම නරක දෙයක් නොවේ. එහෙත්, ලංකාවේ ඊනියා කම්කරු පක්ෂ ග්‍රාමීය දිළින්දාට උගන්වා තිබෙන්නේ කම්කරුවකු වීම සිදුවිය හැකි ලොකුම ව්‍යසනය ලෙසයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න