දෙමළ ජනතාවට දෙමළ වීම නිසා තියෙන ගැටලුව මොකක්දැයි නැවත ඇසීම

 

අජිත් පැරකුම් ජයසිංහ

දෙමළ ජනතාවට දෙමළ වීම නිසා තියෙන ප්‍රධාන ගැටලුව වෙන මොකක්වත් නෙමෙයි දේශපාලන බලය පිළිබඳ ගැටලුව. යටත් විජිත සමය තුළ ඉදිකළ මාර්ග පද්ධතිය හා කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ ඔස්සේ නිර්මාණය වුණ සිලෝන් ඒකීය රාජ්‍යය 1948 නිදහසෙන් පසු සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යයට යටත් ශ්‍රී ලංකාව බවට පත් වීමෙන් පසු රාජ්‍ය ආධිපත්‍යයෙන් මුළුමනින්ම පිටමං කරන ලද ප්‍රජාව තමයි දෙමළ කතාකරන ජනයා.

සිංහල මිනිසුන් මොන ස්වරූපයෙන් ඇවිත් ශ්‍රී ලංකාව ඔවුන්ට ගිල්ලවන්න හැදුවත් ඒක ඔවුන් දායක වෙලා නිර්මාණය කරපු රාජ්‍යයක් නෙමෙයි. ඒ නිසා ඔවුන් ඒක භාරගන්නෙ නැහැ. දැන් තියෙන කොළඹ කේන්ද්‍රීය සිංහල බෞද්ධ ගොවිගම පිරිමි රාජ්‍ය ආධිපත්‍යය යටතෙ නම් ඔවුන් ඒක කිසි සේත්ම භාරගන්නෙ නැහැ. ඒකට තමයි දෙමළ ජාතිකවාදය කියන්නෙ. සිංහල ජාතිකවාදය නිර්මාණය වෙන්නෙ ඒකට පරස්පරව. දෙමළ ජාතිකවාදය නැතිනම් සිංහල ජාතිකවාදයකුත් නැහැ. සිංහල ජාතිකවාදය නැතිනම් දෙමළ ජාතිකවාදයකුත් නැහැ.

ඔය ගැටලුවට ශ්‍රී ලංකා රාජ්‍යය තුළ ස්ථිර විසඳුමක් නැහැ. මර්දනය එක විසඳුමක්. බලය බෙදාගැනීම තව විසඳුමක්. ඔය කොයික කළත්, දෙමළ ජනයා ශ්‍රී ලංකාවට එකතු වෙන්නෙ නැහැ. ඒක වෙනම ප්‍රාන්තයක්. ඒක නිසා තමයි, ඡන්දෙ තියලා ප්‍රතිඵල එනකල් එහේ ඡන්දෙ ඉල්ලුවේ කවුද කියන එකවත් දකුණේ ජනමාධ්‍යවල පළවුණේ නැත්තෙ. අපිත් ඒක පිළිගන්න නිසා තමයි ඒක හෙව්වෙවත් නැත්තෙ.

ස්ථිර විසඳුම සමාජවාදය තරම් ෆැන්ටසියක් නෙමෙයි. ශ්‍රී ලංකාව ඉක්මවා යන දකුණු ආසියාතික වගේ රාජ්‍ය සංගමයක් ඇතුළෙ තමයි ඔය ගැටලුවට ස්ථිර විසඳුමක් හොයාගන්න පුළුවන් වෙන්නෙ. අඩු ගානෙ ඒක තමයි විසඳුම විදියට පෙන්නන්න හරි වෙන්නෙ. ඒක වෙනුවෙන් වැඩ කරන ගමන් තමයි මර්දනය හරි කරන්න වෙන්නෙ.

ඔය ශ්‍රී ලංකාව කියන රාජ්‍යය සිංහල බෞද්ධ ගොවිගම පිරිමි මූලික රාජ්‍යය. ඒක ඇතුළෙ ගැහැණුන්ට, සෙසු කුලවලට, ආගම්වලටවත් සමානාත්මතාව නිර්මාණය කරගන්නට බැරි වෙලා තියෙන්නෙ. ඒකට නම් කමක් නැහැ ඒ අය ඒ ආධිපත්‍යය පිළිගන්න නිසා. ප්‍රශ්නෙ තියෙන්නෙ දෙමළ අය පිළි නොගන්න එක. උන්ට මේක කොච්චර බලෙන් ඔබන්න හැදුවත් උන් පිළිගන්නෙ නැතිනම් කරන්න දෙයක් නැහැ. ඒ පිළි නොගැනීම පිළිගන්න වෙනවා.

විසඳුම් හොයන්න වෙන්නෙ ශ්‍රී ලංකාව ඇතුළෙ නෙමෙයි. ශ්‍රී ලංකාව ඉක්මවා ගිය දේශපාලන ප්‍රජාවක් ඇතුළෙ. ඒක ඇතුළෙ දෙමළ, මුස්ලිම්, කඳුරට දෙමළ අනන්‍යතාවන්ට අවස්ථා තියෙන්නට ඕනැ. මං නම් ඒකට කියන්නෙ ලංකාව කියලා. දෙමළෙන් ඉලංකෛ කියනවා. ඉංග්‍රීසියෙන් සිලෝන්. ඒ රාජ්‍යය පවතින්නට ඕනැ අර මං කලින් කිව්ව විදියෙ පුළුල් සංදර්භයක් තුළ.

අන්න ඒක නිසා තමයි අපි ලෝකය, ඉන්දියාව, රනිල් වික්‍රමසිංහ වගේ සාධක එක්ක වැඩ කරන්නෙ. ඒක විප්ලවීය වෙන්නෙ ඒ ඔස්සේ තමයි සමාජ සංවර්ධනය ඉදිරියට ගෙන යන්නට පුළුවන් වෙන්නෙ. ආර්ථික අර්බුදයයි, ජනවාර්ගික ප්‍රශ්නයයි විසඳගන්නෙ නැතුව ලංකාවෙ සමාජයට ඉදිරියට යන්නට බැහැ. විප්ලවයට හැම තිස්සෙම රතු කොඩි අවශ්‍ය වෙන්නෙ නැහැ.

(ඡායාරූපය: තමිල්නාඩුවේ ලාංකික දෙමළ සරණාගත කඳවුරක්)

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න