ලස්සන ජීවිතයක් සඳහා එච්චරම පොහොසත් වෙන්නට අවශ්‍යද?

 

අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපතිතුමා හෙට ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. මේ දවස්වල රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සමාලෝචන සාකච්ඡා පවත්වමින් සිටිනවා.

උපයන විට බදු අය කරන අවම සීමාව රු. ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ නංවන්නට ජාතික ජන බලවේගය පොරොන්දු වුණා. ඒ කාරණය රජය ජා.මු.අ. සමග සාකච්ඡා කරනවා ඇති.

රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරන බවටත් පොරොන්දු දුන්නා. දිළිඳු සහනාධාර වැඩි කරන්නටත් පොරොන්දු වුණා. බෙහෙත් සඳහා වැට් බද්ද අඩු කරන්නටත් පොරොන්දු වුණා.

ඒවා කරනවා නම්, උපයන විට අය කරන බදුත් අඩු කරගන්නවා නම්, වෙනත් බදු වැඩි කරගන්නට වේවි. වැට් බද්ද දැනටත් 18%ක්.

ජා.මු.අ. වැඩසටහන අනුව රාජ්‍ය ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට වැඩි කරගන්නට ඕනැ. ප්‍රාථමික ගිනුමේ ශේෂය ධන 2.3%ක් විය යුතුයි. ණය තිරසරභාවය හෙවත් ප්‍රතිව්‍යූහගත කරගන්නා ලද ණය ගෙවන්නට ඒ මට්ටම් අවශ්‍යයි. නැතිනම් නැවතත් බංකොලොත් වෙයි.

ලබන අවුරුද්දේ වාහන ආනයනය සම්බන්ධ නීති ලිහිල් කරන්නට රජය තීරණය කරලා. එයින් රජයට විශාල ආදායමක් ලබාගන්නට පුළුවන්. වැඩි වන බොහෝ රාජ්‍ය වියදම් එමගින් පියවා ගත හැකියි. හැබැයි, ඒ සඳහා රටේ ඩොලර් පිටරට යා යුතුයි. මේ වන විට තීරු බදු රහිතව වාහන ආනයනය කරගැනීමේ බලපත්‍ර දහස් ගණනක් රාජ්‍ය නිලධාරීන් අත තිබෙනවා. ඒ හේතුවෙන් ඩොලර් ටික පිටරට යන අතරෙ රජයට ලැබෙන ආදායම අඩු වෙන්නටත් පුළුවන්.

කෙසේ වෙතත්, ආර්ථිකය මෙහෙම ඇකිළි ඇකිළී තිබිලා අපට ඉදිරියට යන්නට බැහැ. ආර්ථිකය ප්‍රසාරණය විය යුතුයි. ඒත් එක්කම උද්ධමනය ටිකක් වැඩි වෙයි. රුපියල ශක්තිමත් වෙන එක නවතියි.

ජාතික ජන බලවේග ආණ්ඩුව පෞද්ගලිකකරණයටත් විරුද්ධයි. ශ්‍රීලන්කන් වගේ සුදු අලින්ගේ ණය ටික රජයට පවරා ගනිමින් ඒවා තවදුරටත් පවත්වාගෙන යන්නට සිදු වේවි. දැවැන්ත රජයක් නඩත්තු කරන එක ලේසි නැති බව ඔවුන් තවම ප්‍රායෝගික අත්දැකීම්වලින් අවබෝධ කරගෙන නැහැ.

පෞද්ගලිකකරණයට විරුද්ධ රජයක් පවතින සංදර්භයකදී ලංකාව කොහොමත් ඍජු විදේශ ආයෝජන සඳහා ආකර්ශනීය වෙන්නෙ නැහැ. එසේ ආකර්ශනීය වෙන්නට අවශ්‍ය ලාභ ශ්‍රමය, බලශක්තිය හා විධිමත් යටිතල පහසුකම් වගේ සාධක අතින් ලංකාව එතරම් තරගකාරී තැනක් නෙමෙයි. ඒ මදිවට රාජ්‍ය මැදිහත්වීමත් වැඩි වෙන එක ආයෝජන හිතවාදී තත්වයක් නෙමෙයි.

අපනයන මූලික කර්මාන්ත සංවර්ධනය කියන එක අපට අත්පත් කරගත සීමාවක් තිබෙනවා. ඒක අපේ පරිසරයට, ජන ජීවිතයට එතරම් ඔරොත්තු දෙන එකක් නෙමෙයි.

ඒ වෙනුවට අප උත්සාහ කළ යුතුව තිබෙන්නෙ සංචාරක කර්මාන්තය නැංවීමට හා අපේ ශ්‍රම බලකායේ කුසලතා නැංවීමට. එහෙම වුණොත්, ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ඉන්දියාවට ශ්‍රමය සපයන්නටත්, එරට ධනවතුන්ට මෙහි සත්කාරක සේවා සපයන්නටත් අපට හැකියාව ලැබේවි.

මේ අතර, මූල්‍ය, තොරතුරු තාක්ෂණ, විනෝදාස්වාද වැනි අංශවල ඉදිරියට යන්නටත් අපට උත්සාහ කළ හැකියි.

මේ තත්වය තුළ හෙට ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන අවධානය යොමු කළොත්, ජාතික ජන බලවේගය තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නම වන ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ඉදිරියේදී රටට තවදුරටත් පොරොන්දු විය හැකිද?

මං නම් යෝජනා කරන්නෙ දැන්මම අපි හිත හදාගෙන ‘පොහොසත් රටක්’ කෑල්ල අයින් කරමු. ලස්සන ජීවිතයක් සඳහා එච්චරම පොහොසත් වෙන්නට අවශ්‍යද?

පොහොසත්කම ප්‍රකාශයට පත්කරන පාරිභෝජනවාදය වෙනුවට සරල ජීවිත තමයි ලංකාවේ 2024න් පසු සුසමාදර්ශීය වෙනස තුළ සමාජයේ ප්‍රවර්ධනය කළ යුතුව තිබෙන්නෙ.

දක්ෂිණාංශික ධනේශ්වර පක්ෂ විසින් කරන දේ වාමාංශික සමාජවාදී පක්ෂයකට කරන්නට බැහැ. කරන්නට ඕනැත් නැහැ.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා