මං ඡන්දෙ දුන්නෙ කාටද?
අජිත් පැරකුම් ජයසිංහ
මං ඡන්දෙ දුන්නෙ කාවින්ද රණවීරට. එයා කලක සිට අපේ දේශපාලන ලයින් එකේ වැඩ කරන කෙනෙක්. ඔහු ඡන්දෙ ඉල්ලන බවක්වත් මට කිව්වෙ නැහැ. ඡන්දපොළට යන ගමන් මං ඊෂාගෙන් ඇහුවා, ඡන්දෙ දෙන්නෙ කාටද කියලා. එයා හිටියෙ ගෑස් සිලින්ඩරේටත්, එහි අපේක්ෂකයන් දෙදෙනෙකුටත් ඡන්දය දෙන්න. මං පැහැදිලි කළා මං ඇයි කාර් එකටයි, කාවින්දටයි දෙන්නෙ කියන එක. අන්තිමට එයාත් එයාගෙ ඡන්දය කාවින්දටයි, චමිල ලියනගේටයි දීලා තිබුණා. ඔවුන් දිනන්නේ නැති බවත්, ඔවුන්ට අප දුන් මනාප ගණන් කරන්නේවත් නැති බවත් අපි දන්නවා. ඒත්, අපි එහෙම කරන්නට හේතුව පහත පැහැදිලි කරනවා.
කාවින්දයි, අපියි, තවත් බොහෝ අයයි හිටපු දේශපාලන ලයින් එක කියන්නෙ එක පක්ෂයක ලයින් එකක් නෙමෙයි. ඒකෙදි අපි බෙදිල හිටියට සාමූහිකයි. අපට ලයින් එක ක්ලියර්. ඒක මෙහෙමයි. ලංකාවෙ මේ මොහොතෙ ප්‍රධානම අර්බුදය තමයි ආර්ථික අර්බුදය. ඒක ගොඩදාගත්තෙ නැතිනම්, දේශපාලන හා සමාජ අර්බුද විසඳාගන්නට වෙන්නෙ නැහැ. ආර්ථික අර්බුදය ධනේශ්වර ක්‍රමයේ අර්බුදයක්. ඒකට සමාජවාදී විසඳුම් නැහැ. සමාජවාදී උරුමයක් සහිත ජනතා විමුක්ති පෙරමුණට ඒ අර්බුදය උග්‍ර කරන එක හැර වෙන විසඳුමක් දෙන්නට බැහැ. ඒ නිසා තමයි අපි රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේදී සහයෝගය දුන්නෙ. රනිල් තමයි මේ වෙලාවෙ රටට නායකත්වය දෙන්නට හැකියාව තිබුණු එකම නායකයා. අපට දේශපාලන අරමුණක් මිස රනිල් එක්ක කිසිම සම්බන්ධයක්වත් තිබුණෙ නැහැ. එහෙම එකක් අපට ඕනැ වුණෙත් නැහැ. අපි පෙරළා කිසිවක් බලාපොරොත්තු වුණෙත් නැහැ.
ලංකාව තවම ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා මේ රටේ ඉන්න ඡන්දදායකයන් අතරින් සැලකිය යුතු පිරිසක් හිතනවා ජනතා විමුක්ති පෙරමුණට (ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව කියල එකක් නැහැ පුතා. ඒක සෙලවෙන මනස) ඔවුන්ගේ පාරිභෝජනවාදී, ධනේශ්වර අපේක්ෂා ඉටුකරන්නට පුළුවන් කියලා. ඔවුන් තමන් බලයට පත් කරගන්නා පාලකයන් සම්බන්ධයෙන් වගවෙන්නට ඕනැ.
මං ජවිපෙ ආණ්ඩුවක දකින එකම පොසිටිව් දෙය ඔවුන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බව කීම. කලින් තිබුණු ඔවුන්ම නිර්මාණය කළ මහින්ද රාජපක්ෂවාදී මජර දේශපාලන සංස්කෘතිය හා ජේආර්ගේ යූඇන්පී සංස්කෘතිය වෙනුවට ජවිපෙ සංස්කෘතිය ආදේශ වේවි. ජවිපෙ දේශපාලන සංස්කෘතිය ගැන දන්න මට ඔය කරන්නට යන දේ ඔවුන් කැමති උපමාවකින්ම සරලව පැහැදිලි කරන්නට පුළුවන්. (ජවිපෙ අනුගාමිකයන්ගෙ ප්‍රධාන ලක්ෂණයක් තමයි අසූචි ලෝලය.) උපමාව මේකයි: ඕක හුජ්ජෙන් ගූ හෝදනවා වගේ වැඩක්.
ඉතින් ඉදිරි කාලයේ අපට රට වෙනුවෙන්, සමාජය වෙනුවෙන් අලුත් අභියෝග ගොඩකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ආර්ථික අභියෝගය තමයි සුවිසල්ම එක. ලංකාව කවදාවත් සංවර්ධිත රටක් වෙන්නෙ නැහැ. දැනට තිබෙන සමාජ සංවර්ධන මට්ටම හෝ රැකගන්නට පුළුවන් නම් ලොකු දෙයක්.
අපට මුහුණ දෙන්නට වන අවාසනාවන්ත තත්වය තමයි, ජවිපෙ විසින් මුළා කරන ජනතාව ඔවුන්ගේ අපේක්ෂා භංග වුණාම ජවිපෙට ප්‍රතිචාර දක්වන ආකාරය හා ජවිපෙ ඔවුන්ට පෙරළා ප්‍රතිචාර දක්වන ආකාරය. වපුරපු දේවල අස්වනු නෙළාගනිල්ලා කියලා පැත්තකට වෙලා බලා ඉන්නට බැරි මේක අපේ රට නිසා අපටත් ඒ සාමූහික ඉරණමට මුහුණ දෙන්නට සිදු වන නිසා.
ඒ වගේ සංදර්භයකදී අපට කාවින්දලා වගේ අය අවශ්‍යයි. ඔහුගේ දේශපාලන පක්ෂය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බව දැනගත්තෙත් මෝටර් රථය ඉදිරියෙන් කතිරය ගහනකොටයි. දේශපාලනයට එන්නට අවශ්‍යතාව තිබෙන මෙවැනි අයට ඒ සඳහා මාර්ගයක් නැහැ. අප විසඳා ගත යුතුව තිබෙන එක ප්‍රධාන ප්‍රශ්නයක් ඒක.
මං ගෑස් සිලින්ඩරයට ඡන්දය නොදුන්නේ, එය එවැනි ප්‍රශ්න සම්බන්ධයෙක් කිසිදු ආකාරයක විසඳුමක් නොවන නිසායි. විශේෂයෙන්ම, එහි ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය කියන්නෙ අන්තිම අසාර්ථක පක්ෂයක්. රනිල් වික්‍රමසිංහ හැර එහි වෙනත් කිසිම හරවත් දෙයක් නැහැ.
මධ්‍යස්ථ ධනේශ්වර දේශපාලනය වෙනුවෙන් විධිමත් වැඩසටහනක් ලංකාවට අවශ්‍යයි. රනිල්ගෙන් පසු එම ධාරාවට නායකත්වයක් අවශ්‍යයි. එය කිසි සේත්ම සජිත් ප්‍රේමදාසට සපිරිය හැකි එකක් නොවෙයි.
ලංකාවේ සමාජ සංවර්ධනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවට කළ හැකි වැඩ කොටස වෙනුවෙන් ඉදිරියේදී අපේ සහයෝගය ලැබේවි. ඒත්, ධනේශ්වර ප්‍රශ්නවලට සමාජවාදී ජවිපෙට විසඳුම් දිය නොහැකි බව නැවතත් සඳහන් කරනවා.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.