මාලිමා ආණ්ඩුවේ නෝට්ටුවලින් ගනුදෙනු කරන්නට පුළුවන් කවදා සිටද?
අජිත් පැරකුම් ජයසිංහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ අත්සනින් යුත් මාලිමා ආණ්ඩුවේ මුදල් නෝට්ටු භාවිතයට ගන්නට දැන්ම බැරි වනු ඇත. එහෙනම්, ආණ්ඩුව රුපියල් බිලියන 100ක සල්ලි අච්චු ගැහුවා කියන එක බොරුවක්ද? එහෙම තමයි ඒ ක්‍රියාවලියට කියන්නෙ. ඒ වුණාට නෝට්ටු අච්චු ගහලා නැහැ. කරලා තියෙන්නෙ මුදල් මැවීමක්. ඔය භාණ්ඩාගාර බැඳුම්කර වගේ ගත්ත ණය තියෙනවානෙ. කල් පිරුණාම ඒ ණය පොළියත් එක්ක ගෙවන්නට ඕනැනෙ. ඒවා ගෙවන්නට නම්, භාණ්ඩාගාරයේ මුදල් තියෙන්නට ඕනැ. මුදල් ලැබෙන්නෙ බදු හා වෙනත් රජයේ ආදායම්වලින්. සාමාන්‍යයෙන් ණය ගෙවන්නට රජයේ ආදායම් මදි. ඒ නිසා රජය ණය ගෙවන්නත් ණය ගන්නවා. මෙතනදි කළේ වෙනත් දෙයක්. ඒක කළේ මෙහෙමයි. රජය තමන් සතුව නැති මුදලකින් තමයි ණය ගෙව්වෙ. ඒ මුදල මැව්වා. ඒ වුණාට අච්චු ගැහුවෙ නැහැ. දැන් ඉස්සර වගේ මුදල් කියන්නෙ නෝට්ටු හා කාසි විතරක් නෙමෙයිනෙ. ඔබේ පඩිය බැංකුවට යනවා. ඔබ ඩෙබිට් කාඩ් එක දීලා කඩෙන් බඩු ගන්නවා. මුදල් අතගෑමක් ඇත්තෙම නැහැනෙ. මේකත් ඒ වගේ දෙයක්. නෝට්ටු මුද්‍රණය නොකර කළ මේ වැඩෙන් මොකක්ද වෙන්නෙ? මුද්‍රණය කළා නම් වෙන දේම තමයි. ඒ කියන්නෙ රුපියලේ වටිනාකම බාල්දු වෙනවා. එතකොට ඩොලරය ඉහළ ය...