කුණුහරුප කියන සාදු, ICCPR පනත සහ වෛරී ප්‍රකාශ කිරීමේ වල් බූරු නිදහස

පසුගියදා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි විසින් නතාෂා පෙරේරාට ඇප ලබාදීමේ නියෝගය සමග සිදුකරන ලද පැහැදිලි කිරීම අතිශය වැදගත්ය. දැන් දැන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති (ICCPR) පනත සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවල යහපත් සංවර්ධනයක් දක්නට ලැබේ.

රාජාංගනයේ සද්ධාතිස්ස හිමිට ඊයේ ඇප ලැබුණි. එහිදී කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා පැවසුවේ එම භික්ෂුව විසින් කරන ලද වරද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරිය යුතු වරදක් නොවන බවයි.

අසභ්‍ය වචන භාවිතා කරමින් සැකකාර භික්ෂුව සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කර ඇති ප්‍රකාශ තුළින් ආගම් හා ජාතීන් අතර සංහිදියාව බිඳී යාමක් සිදු නොවන බවත් බැණ තර්ජනය කිරීම් පමණක් සිදු කර ඇති බවට නිරීක්ෂණය වන බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.

ICCPR පනත හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. සද්ධාරතන හිමි වැනි අය සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ICCPR පනත අත්‍යවශ්‍ය නොවේ. එහෙත්, වර්තමානයේදී විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල අතිශය සුලබ මෙම වෛරී ප්‍රකාශ වැළැක්වීම සම්බන්ධයෙන් යම් නීති අවශ්‍යය. සාපරාධී අපහාසය ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් වන්නේ නැත. ඒ නිසා වෛරී ප්‍රකාශ කිරීමේ හා අපහාස කිරීමේ වල් බූරු නිදහසක් ලාංකිකයන් භුක්ති විඳිමින් සිටින බව පෙනේ.

ශක්තික සත්කුමාරගේ සිට නතාෂා පෙරේරා දක්වාම පොලිසිය ICCPR පනත භාවිතා කළේ ජාතිවාදී පදනමින් හා පුද්ගලයන්ට ඇප ලබා නොදී දිගු කලක් සිර කර තැබීමේ අරමුණින් බව ඉතා පැහැදිලියි.

ලංකාවේ සිවිල් සමාජය 2018දී ඥානසාර හිමිට එරෙහිව පැමිණිලි කරනු ලැබුවේ ද බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව යටතේයි. ඔහු 2018දී කුරුණෑගල රැස්වීමකදී බුදු දහම සම්බන්ධයෙන් කරන ලද අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔහු ICCPR පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු බුදු දහම සම්බන්ධයෙන් කරන ලද විවේචනය සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී ප්‍රජාව වෙතින් විරෝධයක් මතු නොවීම විශේෂ කරුණකි. එසේම, අධිකරණයෙන් ඔහුට ඉතා කෙටි කාලයක් තුළ ඇප ලැබිණි. ඥානසාර හිමියන් වෙනත් ආගම් සම්බන්ධයෙන් ද මෙවැනි ප්‍රකාශ සිදුකර තිබේ. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූයේ නැත.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතේ අංක 3 දරන ඡේදය අනුව, යම් කෙනෙකු යුද්ධය පිළිබඳව ප‍්‍රචාරයේ යෙදීම හෝ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් පැතිරවීම මගින් උසි ගැන්වීමක් හෝ අන් ආකාරයක සැලකීමක්, එකිනෙකාට විරුද්ධත්වයක් දැක්වීමක් හෝ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව දක්වා තිබේ. එසේ කරන හෝ එසේ කිීරීමට ප‍්‍රයත්නයක් දරන හෝ එවැනි ක‍්‍රියාවකට අනුබල දීමක් කරන හෝ එවැනි ක‍්‍රියාවක් කරන බවට තර්ජනය කරන ඕනෑම කෙනෙකු එම වරදට වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව අවුරුදු 10ට නොවැඩි හිර දඩුවමක් නියම කළ හැකි බවත් එවැනි අයෙකුට ඇප දීම කළ හැක්කේ මහාධිකරණයකදී පමණක් බවත් ප‍්‍රකාශයට පත් කොට ඇත.

ලංකාවේ සිදුවන ඕනෑම අපරාධයක් පිළිබඳව පරීක්ෂණ කිරීමේ බලය ඇත්තේ අපරාධ නඩු විධිවිධාන පනතේ එන විධික‍්‍රමයන් යටතේ පමණි. එම විධික‍්‍රමය යටතේ යම් අපරාධයක් කිරීම පිළිබඳව පැමිණිල්ලක් පොලිසියකට ලැබුනහොත් ඒ ගැන පරීක්ෂණය කරන ආකාරය අපරාධ නඩු විධිවිධාන පනත යටතේ ඉතා පැහැදිලිව ප‍්‍රකාශයට පත් කොට ඇත.

පළමුවෙන්ම කළ යුතු වන්නේ මෙම පැමිණිල්ල පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම ය. පරීක්ෂණය පැවැත්වීමේ වගකීම පැමිණිල්ල ලැබෙන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත පැවරේ. මොනයම් අපරාධයක් පිළිබඳවවත් පරීක්ෂණයකින් තොරව නඩු දැමීමේ අයිතියක් හෝ අත්අඩංගුවට ගැනීමේ අයිතියක් කිසිම පොලිසියකට ඇත්තේ නැත.

පරීක්ෂණය පැවැත්වීමට පෙර පොලිස් ස්ථානාධිපතිවරයා තමන් වෙත ලැබී ඇති පැමිණිල්ල මත පරීක්ෂණයක් පැවැත්වීමට තරම් කරුණක් හෙළිදරව් වීද නැද්ද යන්න සෑහීමකට පත්විය යුතුය. එම අපරාධයට අඩංගු කරුණු මොනවාද එම කරුණු තුළින් අපරාධ කිරීමේ හෝ අපරාධය කිරීමට තැත් කිරීමේ හෝ එම අපරාධයට අනුබල දීමේ හෝ එම අපරාධය කරන බවට තර්ජනය කිරීමේ හෝ ආදී කරුණු පවතිනවා ද යන්න ගැන ඔහු සෑහීමකට පත් විය යුතු ය. එසේ සෑහීමකට පත් වීමේදී ඔහු සලකා බැලිය යුතු ප‍්‍රධාන කරුණ නම් යුද්ධයක් පිළිබඳව ප‍්‍රචාරය කිරීම හෝ ආගමික වෛරයක් ඇති කිරීමට උසිගැන්වීමක් හා වෙනස් ආකාරයකට සැලකීමක් මගින් තරහක් හෝ ප‍්‍රචණ්ඩත්වයක් ඇති කර ඇත් ද යන්න සලකා බැලිය යුතු ය. උදාහරණයක් වශයෙන් යම් ආගමක් පිළිබඳව වෛරයක් ඇති කිරීම යන්න පැමිණිලි කරුවන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල නම් පොලිස් පරීක්ෂකවරයාගේ යුතුකම වන්නේ එවැනි වෛරයක් ඇති කරන කිසියම් ක්‍රියාවක් කර හෝ කිරීමට ප‍්‍රයත්න දරා හෝ කිරීමට අනුබල දී හෝ කරන බවට තර්ජනය කර තිබේද යන්න සොයා බැලීමය.

පොලිසිය මේ අන්දමින් කටයුතු නොකර, සැකකරුවන්ට බොරු චෝදනා ඉදිරිපත් කර අධිකරණයට ඉදිරිපත් කිරීම ලංකාවේ සුලබව සිදු වේ. එහිදී මහේස්ත්‍රාත්වරුන්ගේ වගකීම වන්නේ පොලිසිය කටයුතු කර තිබෙන ආකාරය සාධාරණදැයි මූලික අදියරේදීම විමසා බැලීමයි.

Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා