දේශීය ණය ප්‍රශස්ථකරණය: බොරුව සහ ඇත්ත


 

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

දේශීය ණය ප්‍රශස්ථකරණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ සමහර නායකයන් විසින් කරනු ලැබ තිබූ ප්‍රකාශ සහ අනතුරු ඇගවීම් සමාජ මාධ්‍යයන්හි වේගයෙන් පැතිර ගියේය. බොහෝ දෙනකු, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බැංකුවල මුදල් තැන්පත් කර තිබූ බොහෝ පිරිස් එකී ප්‍රචාරවලින් නොමග ගොස් විශාල කම්පනයකට ගොදුරුව සිටි බව සමාජ මාධ්‍ය ජාලාවල එම අය විසින් ප්‍රකාශ කර තිබූ අදහස්වලින් පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන එක් අප්‍රසන්න සහ අවාසනාවන්ත තත්ත්වයක් වන්නේ රටේ මුල්‍ය ආයතන සහ ව්‍යාපාර අංශවලට හානි කරන එවැනි ප්‍රකාශ කිරීමට දේශපාලනඥයන් සහ අනෙක් අයට ඉඩ ලබා දී තිබීමයි. 

මහජන බැංකුව විසින් ව්‍යපාරිකයන් පිරිසකගේ ණය අහෝසි කරන බවට නාමලේඛනයක් සහිතව අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලාවල නොබෝදා ප්‍රකාශයට පත් කර තිබුණි. මහජන බැංකුව එවැනි පියවරක් ගැනීමට කිසිසේත්ම කටයුතු කර නැති බවට ප්‍රකාශයක් නිකුත් කර  එය දැන්වීම් මගින් ද ප්‍රචාරය කිරීමට කටයුතු කළ නමුත් තවමත් සමහර පිරිස් එම අසත්‍ය ප්‍රචාරය අඛණ්ඩව පතුරවමින් සිටිති. බැංකු කඩා වැටීම පිළිබඳව පැතිර වූ අසත්‍ය ප්‍රචාරය බැංකු වැඩ කරන දිනවල ප්‍රචාරය වූයේ නම් සමහර විට මීට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වක් රට තුළ ඇති වීමට ඉඩ තිබුණි.  

IMF ආයතනය සමග ශ්‍රී ලංකාව විස්තීරණ ණය ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අදහසක් ප්‍රකාශ වී තිබුණේ නැත. එසේ වුවද  ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබූ විදේශ රටවල්, ආයතන සහ පුද්ගලයන් සමග විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සාකච්ඡා පවත්වද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවශ්‍යතාව ද මතු විය. විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ගෙවීම් කාල සීමාව දීර්ඝ කිරීම, පොලිය අඩු කිරීම සහ කපා හැරීම සහ මුල් ණය මුදල් කපා හැරීම වැනි කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් යෝජනා ඉදිරිපත් වෙනු ඇත.  විදේශ ණය හිමියන් සමග එවැනි කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නම් දේශීය වශයෙන් ද එවැනි කරුණු ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දීමට ශ්‍රී ලංකාවට සිදු වේ. 

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් ඒවායේ ආයෝජනය කර ඇති පුද්ගලයන්ට ද වැඩි අලාභයක් නොවන ආකාරයට කවර පියවරක් ගන්නේ ද යන්න  ශ්‍රී ලංකාව විසින් ලෝකයට පෙන්වා දිය යුතුව ඇත. ශ්‍රී ලංකාවට යම් සහනයක් සැලසෙන කොන්දේසි මත ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නම් දේශීය වශයෙන් ද ප්‍රශස්ථ ආකාරයේ පියවර ගත යුතුව ඇත. එවැනි තත්ත්වයක් තුළ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වූ වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අවසානයේ දී ශ්‍රී ලංකාවට සිදු විය. 

එසේ  දේශීය ණය ප්‍රශස්ථකරණයකට එළැඹීමේ දී බැංකු හා මුල්‍ය පද්ධතියට හානියක් සිදු නොවන අයුරින් සහ බැංකු සහ මුල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ගේ සහ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සිදු වේ. ආණ්ඩුව විසින් එහිදී  ගනු ලැබූ ක්‍රියාමාර්ග කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබා ගෙන  ඉන්පසු පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ද අනුමැතිය ලබා ගෙන අවසානයේ දී  පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබීය. එම යෝජනාවලින් යම් යම් වෙනස්කම් ඇති කිරීමට යෝජනා කර ඇත්තේ අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල විසින් මේ දක්වා මිලදී ගෙන ඇති බැඳුම්කර සම්බන්ධයෙනි.

එම බැඳුම්කර වෙනුවට අලු‍ත් බැඳුම්කර නිකුත් කර  ඒවායේ පොලී අනුපාතය පළමු වසර තුන සඳහා සියයට 12ක් ලෙස ද  ඉන් පසු  සියයට 9ක් ලෙස ද  නියම කරනු ලැබීය.  කිසිදු අවස්ථාවක සාමාජික පොලී අනුපාතය සියයට 9කට වඩා අඩු වීමට  ඉඩ නොතබනු ඇත. දේශීය ණය ප්‍රශස්ථකරණයේ දෙවැනි පියවර ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල දී ගෙන ඇති භාණ්ඩාගාර බිල්පත් සඳහා ආපසු ගෙවීමේ කාල සීමාව දීර්ඝ කර ඒවා භාණ්ඩාගාර බැඳුම්කර බවට පරිවර්තනය කරනු ඇත. දේශීය ණය ප්‍රශස්ථකරණය සම්බන්ධයෙන් රජය විසින්  අනුගමනය කරනු ලබන්නේ මෙම ක්‍රියාමාර්ග පමණි.  

කෙසේ වුවද මේ වනවිට ආර්ථික විද්‍යාඥයන් ද නොවන, මුල්‍ය විශේෂඥයන් ද නොවන,  ඒවා පිළිබඳ කිසිදු දැනුමක් නොමැති පුද්ගලයන් විසින් විවිධ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් මේ තුළින් අර්ථසාධක අරමුදල් හිමියන්ට විශාල පාඩුවක් සිදු වනු ඇතැයි පෙන්වා දීමට උත්සාහ කරන බව පෙනේ. රජය විසින් දේශීය ණය ප්‍රශස්ථකරණයේ දී තෝරා ගනු ලැබුවේ මුල්‍ය ක්ෂේත්‍රය තුළ හිමිකම් කියන පිරිස්වලට අවම මට්ටමේ පීඩනයක් ගෙන දෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමටය. මෙහි දී උපයෝගි කරගෙන ඇති මූලික උපායමාර්ගය වන්නේ ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමේ කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් වෙනසක් ඇති කිරීමය. එම ණය කපා හැරීමක් කිසිසේත්ම සිදුව නැත. 

බංකොලොත් බව ප්‍රකාශයට පත් කළ රටවල මුල්‍යකරණය යළි ස්ථාපිත කර ගැනීමේ දී එම රටවලට බොහෝ අවාසි සහගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය. බැංකු සහ මූල්‍ය ආයතන බිඳ වැටුණි. විශ්‍රාම වැටුප් අරමුදල්, අර්ථසාධක අරමුදල්, රක්ෂණ අරමුදල් සහ සුබසාධක අරමුදල් ආදිය ද බිඳ වැටුණි. එහෙත් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතා විචක්ෂණ අන්දමකින් සිදුවන නිසා එවැනි බරපතළ තත්ත්වයකට මුහුණ නොදී අර්බුදය විසඳා ගැනීමේ හැකියාවක් රටට සහ ජනතාවට ලැබී ඇත.

එවැනි තත්ත්වයක් තුළ සියල්ල දත් පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් අර්ථසාධක අරමුදල් හිමියන්ට  මහ පාඩුවක් සිදුවන බවට ගෙන එන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පෙනේ. රටේ උද්ධමන අනුපාතය විශාල ලෙස  පහත වැටී ඇති බැවින්  මුල්‍ය වෙළෙඳපොළේ පොලී අනුපාත විශාල ලෙස අඩුවීමට ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් තුළ අර්ථසාධක අරමුදල් විසින් ආයෝජනය කරනු ලබන අරමුදල්වල පොලී අනුපාත පහත වැටීමට ඉඩ ඇත. එබැවින් පොලී අනුපාත පිළිබඳ  ගණන් බැලීමේ දී එවැනි තත්ත්වයන් සැලකිල්ලට ගත යුතුව ඇත.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම ආයතන බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ශ්‍රී ලංකාවේ මුල්‍ය තත්ත්වය පිළිබඳව දිගින් දිගටම අනතුරු ඇගවීම් කළ අතර කෙටි කලකින් ආර්ථිකය හොඳ අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ද පෙන්වා දෙනු ලැබීය. එසේ වුවද ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ආර්ථික නිරීක්ෂණ ආයතනයක් වන Bloomberg විසින් ජූනි 30 වැනිදා නිකුත් කර ඇති වාර්තාවකින් ප්‍රකාශ වන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට හරි මගට පිවිස ඇති බවත් ඉතා කෙටි කලකින් ඉතා හොඳ ආර්ථික තත්ත්වයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවන බවත්ය. අප විශ්වාස කළ යුතු වන්නේ බැංකු කඩා වැටී රජය විසින් මහජනතාවගේ ඉතුරුම් ‘සුද්ද කරනු’ ඇතැයි ප්‍රකාශ කරන දේශපාලනඥයන්ද? කෙටි කලකින් ශ්‍රී ලංකාවට හොඳ කලක් උදාවනු ඇතැයි පවසන ජාත්‍යන්තර ආර්ථික දත්ත නිරීක්ෂණ ආයතනද?

(උපුටා ගැනීම ලංකාදීප පුවත්පතෙනි)

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා