නොසැමරීම වෙනුවෙන් කළු ජූලිය ගැන ලියන සටහන

 

අජිත් පැරකුම් ජයසිංහ

“අපේ තාත්තා රාජගෙ පවුල ගෙයි සොල්දරේ හංගන් හිටියා. මං තමයි ඉනිමග දිගේ නැගලා ඒගොල්ලන්ට පාන් ගිහින් දුන්නෙ. රාජගෙ පුතා කුමාර් මගේ පන්තියෙ. රාජගෙ දූ මට වඩා අවුරුදු පහක් බාලයි. එයාගෙ ලස්සන ඇස් දෙක ලොකු කරගෙන මා දිහා බලන් හිටපු හැටි තවම මතක් වෙනවා. රාජලා පස්සෙ වන්නියට ගියා. රාජගෙ පුතා කුමාර් පස්සෙ කොටින්ට සම්බන්ධ වෙලා මැරුණලු. මං තාමත් රාජගෙ නංගිව හොයනවා.”

කළු ජූලිය ගැන ඔයාලට මේ වගේ රොමැන්ටික් කතාවක් නැද්ද? නැතිනම් මං වගේ බොරු කියන්න.

කෙසේ වෙතත්, ලංකාවෙ දකුණෙ ඇතැම් කට්ටිය කළු ජූලිය ගැන එන්න එන්න ෂොක් වෙන තරමට ඒ කාලෙ ෂොක් වුණේ නැති බව තමයි මගේ මතකය. සාතිශය බහුතරය ඒක වෙන්න ඇරලා පස්සෙ පැරදිච්ච මහින්ද මහත්තයව බලන්න මැදමුලනෙ යනව වගේ ට්‍රිප් ගියා. ඕව කරන්න පිටින් ආපු කට්ටිය කියන්නෙත් මෙහෙම කට්ටියම තමයි. ඒ වගේම මෙහේ කට්ටියත් ඒවට උදව් කළා. මෙහේ කියන්නෙ ඔයාලගෙ ගමේ. කවුරුවත් ඕවා වළක්වන්නට උත්සාහ කළේ නැහැ.

ඇත්තටම එහෙම අවදානම් අරගෙන උදව් කරපු අතළොස්සක් හිටියා. ඒ අයට ප්‍රණාමය! අර මං උඩ ඇද බාපු බොරුව වගේ ඒවා කියන එවුනුත් ඉන්නවා. චර්යාවෙන් තේරුම් ගන්න.

83 ජුලි කලබල වෙලාවෙ මං හිටියෙ උසස් පෙළ පන්තියෙ. බෙල්ලන ගෙදර යන්න විදියක් නැතුව හිටපු දැන් අයිටීඑන් එකේ පසුතල නිර්මාණය කරන රංජිත් ප්‍රේමකුමාරත් අපේ ගෙදර ආවා. අපි දවස් දෙක තුනක් කාලා, බීලා, නාලා, තේ වතුවල, වෙල්වල ඇවිදලා කයිවාරුවක් ගහගෙන හිටියා. ඇත්තම කියනවා නම් ඔය ගැන ලොකු උනන්දුවක් තිබුණෙ නැහැ.

ඇඳිරි නීතිය ඉවර වුණාට පස්සෙ ටවුමෙ ගිහින් අපිත් සිරි නැරඹුවා. එහෙම ලොකු ෂොක් එකක් මතුගම කාටවත් තියෙනවා නම් දැක්කෙ නැහැ. ඉස්සර මං අපේ තාත්තට සමසමාජෙ ජනදින පත්තරේ අරගන්න ගිය හතරමං හන්දිය ළඟ අගලවත්ත පාරෙ තිබුණු සුරුට්ටු, බුලත් විට කඩේ ගිනි තියලා තිබුණා. බුල්ටො කාපු ගාමිණී හෝල් එක ළඟ ග්‍රොසරිය කුඩු පට්ටං කරල තිබුණා. රෙදි කඩ ගණනාවක්, උගස් බඩු කඩයක්, ෆාමසියක් එහෙමත් ගිනි තියලා තිබුණා. මානික්කරාසා කියන දිගු කලක් මතුගම මිනිසුන්ට බෙහෙත් දුන්න දොස්තර මහත්තයගෙ ඩිස්පෙන්සරියත් ගිනි තියලා තිබුණා. අපි ඕවා බලලා ගෙදර ආවා.

අපේ ගමේ ලැයිමට පැනලා මිනිසුන්ට ගහලා එළුවන්, කුකුළන් පැහැරගෙන යනකොට දෙමළ මිනිසුන් ‘අනේ ෂාමි, අපේ ෂත්තු දීලා යන්න, උන් දෙමළ නෙමෙයි’ කිව්වාය කියලා විහිළු කතාවක් ගමේ පැතිරුණා.

ලැයිමෙ මිනීමැරුමක් වුණා. ඒකට නඩුවක් වැටිලා හිරේ ගිය එක්කෙනෙක් ඊට කලින් ජවිපෙ ක්‍රියාකාරිකයෙක්. හැබැයි, ඒක පක්ෂ මට්ටමේ වැඩක් නෙමෙයි.

කළු ජූලිය සම්බන්ධයෙන් සිංහල අපි සමාව ගත යුතුයි. දෙමළ අරගලයටත් උදව් කරලා මං නම් ඒ හෘදය සාක්ෂියේ ගැටලුව විසඳාගත්තා. ඒත්, ජාතියක් විදියට අපට සමාවක් නැද්ද? අප විතරද වැරදි? කළු ජූලිය පටන් ගැන්මද? අතීතයක් හා අනාගතයක් තිබුණේ නැද්ද?

කළු ජූලිය ගැන පසුගියදා තිබුණු වැඩසටහනකදි නිශාන්ත වර්ණසිංහ අහපු ප්‍රශ්නෙ හරයත් එක්ක මං එකඟයි. මං කියන්නෙත් මේවා ගැන අවුරුදු පතා සැමරුම් පවත්වලා වැඩක් නැහැ. එහෙම සමරනවා නම් කොච්චර සිදුවීම් තියෙනවද?

මං පදවියෙ ඉන්න කාලෙ පත්තර වාර්තාකාරයකු විදියට කොටි ගහපු ගම්වලට ගිහින් තියෙනවා. හේරත්හල්මිල්ලෑව කියන ගමේ වැඩිපුර මැරිල හිටියෙ ළමයි. ඒ ළමයින්ව කපල කොටල මරල තිබුණෙ බේරෙන්න ඔලුව විතරක් හංගගෙන හිටිද්දි. පදවියෙ එකේ කනුවෙ ගෙදරක කොටහලු වෙලා හිටපු ගෑනු ළමයෙකුවත් කපලා කොටලා මැරුවා. පදවියෙදි අපි ළඟින් ඇසුරු කරපු එෆ්.එච්. නිහාල් වගේ මිතුරන් කීපදෙනෙකුම කොටි ප්‍රහාරවලින් මැරුණා. ඒ අය සාමාන්‍ය මිනිසුන්. පදවියේ දිවයින වාර්තාකරු වුණ ගුණසිංහ මහත්තයා මං වැඩ කරපු බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙසත් කාලයක් හිටියා. මැරුණේ කොටින් විසින් බස් රියකට එල්ල කරපු බෝම්බ ප්‍රහාරයකින්.

ඔය වගේ කතා රැසක් හැමෝටම තියෙනවා. යුද්ධය කියන්නෙ හැමෝටම දුක්බර අත්දැකීමක්. එහෙම අත්දැකීමක් නැති කෙනෙකු හොයන එක කිසාගෝතමිය කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් සෙව්වා වගෙයි.

මේ කතාවෙ දෙපැත්තක් තියෙනවා. සිංහල මිනිසුන්ව විතරක් ජාත්‍යන්තර පරිමාණෙන්ම වරදකරුවන් කරන ව්‍යාපාරය මං නම් හිතන හැටියට ඒ තරම් අහිංසක නැහැ. ඒක එක්ක දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධ වෙන අය ඒ ගැන ගැඹුරින් සිතිය යුතුයි.

ඈන් රණසිංහ කියන්නෙ ලාංකික කිවිඳියක් සහ කෙටිකතාකාරියක්. ඇය ජර්මනියේ එසෙන්හි උපත ලැබුවේ සමූලඝාතනයෙන් පලා ගිය යුදෙව් දෙමාපියන්ට දාවයි. ඇය රණසිංහ වුණේ විවාහයෙනුයි. 1949 දී ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ ඇය ලංකා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍යය හැදෑරූ අතර පුවත්පත් කලාවේදිනියක සහ ගුරුවරියක ලෙස සේවය කළා.

Forgive Them කියන්නෙ ඇය ලියූ ප්‍රසිද්ධ කවියක්. “ඔවුන්ට සමාව දෙන්න” යනු සමූලඝාතනය සිදු කළ අයට සමාව දීමයි. කවියේ කථක සමූලඝාතනය නිසා ඇති වූ වේදනාව සහ දුක් වේදනා පිළිගන්නා මුත් සුවය සඳහා සමාව අවශ්‍ය බව විශ්වාස කරනවා.

කවිය ආරම්භ වන්නේ සමූලඝාතනය කළ අයට සමාව දෙන ලෙස කථක දෙවියන්ගෙන් ඉල්ලා සිටීමෙන්. සමූලඝාතනය බිහිසුණු අපරාධයක් බව පිළිගන්නා නමුත් ඉදිරියට යාමට ඇති එකම මාර්ගය සමාව දීම බව ද කියනවා,

“මා ඔවුන්ට සමාව නොදෙන්නේ නම්,
වෛරයේ දම්වැල් වලින්
මම ඔවුන්ට ගැටගැසෙන්නෙමි
කිසිදාක මට නිදහස් විය නොහැක.”

සංහිඳියාව අවශ්‍ය නම් අපි එතැනට යා යුතුව තිබෙනවා. කවිය කියවන්න.

Forgive Them

Help me to forgive them, God,
So that I can be free.
I know that they were wrong,
But I cannot hate them.

I have seen the pictures
Of the camps and the ovens,
And I have heard the stories
Of the people who were killed.

I know that they caused pain
And suffering and death,
But I know that I must forgive them,
Not for their sake, but for mine.

For if I do not forgive them,
I will be bound to them
By the chains of hatred
And I will never be free.

So help me to forgive them, God,
And to let go of the past.
Help me to open my heart
To love and compassion.

Help me to see them
As human beings,
Just like me,
Who have made mistakes.

Help me to forgive them, God,
So that I can be free.

ඡායාරූපයේ දැක්වෙන්නේ නාසි ජර්මනියෙන් බේරාගෙන බ්‍රිතාන්‍යයේ ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ආ යුදෙව් දරුවන් පිරිසක්. මෙම ඡායාරූපය බලාපොරොත්තුවේ සහ දයානුකම්පාවේ සංකේතයක් වන අතර, අඳුරුතම කාලවලදී පවා අන් අයට උපකාර කිරීමට කැමති අය තවමත් සිටින බව පෙන්නුම් කරනවා.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා