ළමා මනස හා ජීවිතය දූෂණය කිරීම සඳහා ටියුෂන් මුදලාලිලාට පාන අල්ලන පාසල්

 

අජිත් පැරකුම් ජයසිංහ

උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්‍රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට සිදු වී තිබේ. එහිදී විදුහල්පතිවරුන් මානුෂිකව කටයුතු කළ යුතු වුව ද, ඔවුන්ට මනුස්සකමට වඩා පාසලේ ප්‍රතිඵල ප්‍රතිශතය ගැන අවධානයක් ඇත. ඒ නිසා ඇතැම් සිසුන් පාසලෙන් විභාගය අයදුම් කරනවාට වඩා නොකර සිටීම ගැන ඔවුන් කැමතිය. ගුරුවරුන් ද එසේය. එසේ වන්නේ ඇයි?

පාසලේ විභාග ප්‍රතිඵලවල ප්‍රතිශත ඉහළ ගියාය කියා විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට ඇත්තෙන්ම ලැබෙන දෙයක් තිබේද? විදුහල්පතිවරුන්ට තමන් දක්ෂ ලෙස පාසල පාලනය කරනවාය කියා පෙන්විය හැකිය. එමගින් උසස්වීම්, ලොකු පාසල්වලට මාරුවීම් ආදිය ලබාගත හැකිය. වඩා ලොකු පාසල්වලට මාරු වන විට වඩා ලොකු වාසි හිමි වේ. මෑතදී හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු වී යන විට දෙමව්පියන් ඔහුට ලබාදුන් ත්‍යාගය රු. ලක්ෂ 30කි. ඔහු එම මුදල පාසලටම පරිත්‍යාග කිරීමට තරම් නිර්ලෝභී විය. ලොකු පාසල්වල විදුහල්පතිවරුන් තව කෙතරම් නම් විශ්‍රාම ගොස් හෝ මාරු වී ගොස් තිබේද? ඔවුන්ට ලැබුණු මෙවැනි ත්‍යාග ඔවුන් ගෙදර ගෙන යන්නට ඇත. ලොකු පාසලක විදුහල්පතිකමක් කිරීම නරක නැත. හොඳ බෝනස් එකක් මේ අන්දමින් ලැබේ. වෙනත් අයථා ක්‍රමවලින් මුදල් උපයන අය ද සිටිති.

ගුරුවරුන්ට ද මෙවැනි වාසි තිබිය හැකිය. මෙතරම් ලොකු වන්නට බැරිය. කෙසේ වෙතත්, ගුරුවරුන් ටියුෂන් වෙළඳපොළ සමග සම්බන්ධය. බොහෝ උසස් පෙළ ගුරුවරු විවිධ පරිමාණයෙන් ටියුෂන් කරති. මෙම ටියුෂන් පන්ති නිවෙස්වල ගරාජයේ සිට තට්ටු කීපයක දහස් ගණනක් සිසුන් පුරවා වෙන තැනක සිට කැමරාවක් ඉදිරියේ පන්තිය මෙහෙයවන මට්ටම දක්වා විවිධ වේ. ඉහළම මට්ටමේ එවැනි පන්ති පවත්වන ගුරුවරුන් රජයේ පාසල්වල ඉගැන්වීම ගැන සිතන්නේ නැත. ඔවුන් ඇත්තෙන්ම ගුරුවරුන් නොවේ. පාස්ටර් ජෙරම් වැනි සුව කරන්නන්ය. විභාග සමත් කරන්නන්ය. ඒ සඳහා සිසුන් වශී කරගෙන මුදල් උපයන්නන්ය. ඔවුන් කරන්නේ අධ්‍යාපනයක් නම්, අධ්‍යාපන මනෝ විද්‍යාව, ක්‍රම විද්‍යාව වැනි විෂයයන් වැඩක් නැත.

කෙසේ වෙතත්, මේ වන විට, දරුවා මව් කුසේ සිටින සමයේ සිටම ළමයා හැඩගස්වන්නේ මේ වර්ගයේ අධ්‍යාපනයකටයි. දිව විකාගෙන කරන අසීිමිත තරගයකටයි. මේ තරගයට හේතුව කුමක්ද? පළමු ශ්‍රේණියෙන් ඔබට හොඳ-ලොකු පාසලක් මිස් වුණොත් ඉන් පසු පහේ ශිෂ්‍යත්වයෙන් ඒ අවස්ථාව ලබාගත හැකිය. නැතිනම්, සාමාන්‍ය පෙළින් ඒ අවස්ථාව ලබාගත යුතුය. කෙසේ වෙතත්, උසස් පෙළ වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු, නීතිය වැනි ඉහළ ඉල්ලුමක් ඇති උපාධි සඳහා තේරෙන්නේ ඉහළ පෙළේ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් පමණි. එහෙම නොවන සිසුන් තේරෙන්නේ අතිශය අඩුවෙනි.

මේ වන විට විදේශ ශ්‍රමිකයන් වැනි බොහෝ අය තම දරුවන් ජාත්‍යන්තර යයි කියන පාසල්වලට යැවීමට පෙළඹී සිටිති. පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේ අසීමිත තරගය එයට හේතුවයි. ඒ ළමයින් මුල සිටම හුරු කරනු ලබන්නේ ජාත්‍යන්තර විභාග සඳහාය. ඔවුන් එක්කෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යා යුතුය. නැතිනම්, විදේශගත විය යුතුය.

මේ වන විට ඇත්තටම වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු, නීතිය වැනි සීමිත ක්ෂේත්‍ර කීපයක හැර අනෙකුත් අංශවල ඔය කියන තරම් තරගකාරීත්වයක් නැත. රජයේ විශ්වවිද්‍යාල 18ක් තිබේ. සාමාන්‍ය උපාධි ගත්තාය කියා රැකියා ද නැත. බොහෝ කාර්මික විද්‍යාලවල අධ්‍යාපනය නොමිලේ ලබාගත හැකිය. වෘත්තීය පුහුණු අධිකාරිය වැනි තවත් ආයතන ද තිබේ. අධ්‍යාපන විද්‍යා පීඨ, හෙද විදුහල් ආදිය ද තිබේ. උපාධි කඩ ඕනෑ තරම්ය. ඉඩමක් කඩමක් විකුණා උපාධියක් ලබාගත හැකිය. බොහෝ මව්පියන් එසේ කර දරුවන් පිටරට ද යවති.

එහෙත්, තරගය ද තිබේ. ඒ මොකටද?

මේ වන විට ඇත්තෙන්ම අධ්‍යාපන තරගය යනු කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දකි. එය මහා පරිමාණ ටියුෂන් මුදලාලිලාගේ ලාභ වැඩි කිරීම සඳහා නිර්මාණය කරනු ලබන්නකි. නිවසේ ගරාජයේ කරන පන්තිය දක්වාම මේ ජාවාරම විහිදේ.

පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් කොච්චර නැටුවත්, මේ වන විට උසස් පෙළ තරග විභාගය පමණක් නොව, උසස් පෙළට සිසුන් තෝරාගැනීමට හා පිරිසක් අධ්‍යාපනයෙන් නෙරපා හැරීමට පමණක් තිබෙන සාමාන්‍ය පෙළ ද ටියුෂන් වෙළඳපොළට යට වී තිබේ. මේ සිසුන් ලබන අධ්‍යාපනයක් නැත. ටියුෂන් මුදලාලිලා ඔවුන් රවටති. විදුහල්පතිලා හා පාසල් ගුරුවරුන් කරන්නේ ළමා මනස හා ජීවිතය දූෂණය කිරීම සඳහා ටියුෂන් මුදලාලිලාට පාන ඇල්ලීමයි.

වෘත්තීය සමිති නම් හොර ජාවාරම විසින් කරනු ලබන්නේ මෙම පවත්නා තත්වය වෙනස් කිරීම සඳහා වන ඕනෑම ක්‍රියාමාර්ගයක් කඩාකප්පල් කිරීමයි. ඒ සඳහා ටියුෂන් මුදලාලිලා ඔවුන්ට යම් යම් ටොපි සීනිබෝල දෙති. රෙද්ද පෙන්නුවත් ඇත. කපලා මහලා ඇඳගන්න වාමාංශිකයන් රැසක් වෘත්තීය සමිති නායකත්වයේ ඇත.

රජය අධ්‍යාපනයට මැදිහත් වී දැඩි ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුය. ඒවා ඉන්ධන මාකට් එකට, ලංකා විදුලි බල මණ්ඩලයට කළ යුතු ආකාරයේම තද ප්‍රතිසංස්කරණයි. කෘත්‍රිම බුද්ධියේ යුගය හමුවේ පාස්ටර් ජෙරම් පන්නයේ ටියුෂන් මුදලාලිලාට තව දුරටත් අනාගත පරපුරේ ඔලු කන්නට ඉඩ දිය යුතු නැත. ඔලු කෑමට ලක් වූ පරපුරක් දැනටමත් වැඩිහිටියන් වී තිබේ.

මෝඩකම අයිතිවාසිකමක් නොවේ. සමාජවාදය ජීවන විලාසයකි.

මේ සමග ඇති ඡායාරූප 2014දී රනිල් උපුල් ශාන්ත සන්නස්ගලගේ ටියුෂන් පන්තියකට ගිය අවස්ථාවේ ලබාගත් ඒවාය.

මේ සමග ඇති පිංතූරවල තිබෙන පංති කාමරය හෙවත් දේශන ශාලාවේ හැටි බලන්න. සිසුන්ට භාවිතාවට තිබෙන මේසයක පළල සෙන්ටිමීටර් කීය ද? වාඩි වෙන බංකුවක පළල සෙන්ටිමීටර් කීය ද? කෝ හේත්තු වන්නට ඇඳි. පැය පහ හය මෙසේ වාඩි වී සිටින ඔබේ දරුවාගේ සෞඛ්‍ය තත්වය කෙසේද? හදිසි අවස්ථාවක් ඇති වුණොත්, මෙතනින් පිටවෙන්නට ඔබේ දරුවාට පුළුවන්ද? ටියුෂන් මුදලාලිලා හම්බ කරන ධනස්කන්ධයෙන් මීට වඩා දෙයක් සිසුන් වෙනුවෙන් කරන්නට බැරිද? මේ ටියුෂන් කර්මාන්තය තහනම් නොකිරීමට හේතු තිබේද?

ගෙවුණු අවුරුදු දහය තුළ මේ කුකුළු කූඩුමය තත්වය වෙනස් වී තිබේදැයි සොයා බලන්න.

“රොටරි ශාලාවේ උපුල් ශාන්ත සන්නස්ගලගේ ටියුෂන් පංතියට ගිය රනිල් වික්‍රමසිංහ විසින් සිසුන් තුළ බලාපොරොත්තු දල්වන ලද අනාගතය තුළ මෙවැනි කුකුළු කූඩුවල දුක් විඳීමේ පාපයෙන් මිදෙන්නට ලංකාවේ ළමයින්ට අවස්ථාව ලැබේවා යි අපි පතමු,” යි මම 2014දී ලියුවෙමි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා