පොලිසිය අයිසීසීපීආර් පනත වැරදි අන්දමින් භාවිතා කිරීම වැළැක්වීමට මහේස්ත්‍රාත්වරුන්ට ඇති හැකියාව ගැන නිදසුනක්


 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතේ අංක 3 දරන ඡේදය අනුව, යම් කෙනෙකු යුද්ධය පිළිබඳව ප‍්‍රචාරයේ යෙදීම හෝ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් පැතිරවීම මගින් උසි ගැන්වීමක් හෝ අන් ආකාරයක සැලකීමක්, එකිනෙකාට විරුද්ධත්වයක් දැක්වීමක් හෝ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව දක්වා තිබේ. එසේ කරන හෝ එසේ කිීරීමට ප‍්‍රයත්නයක් දරන හෝ එවැනි ක‍්‍රියාවකට අනුබල දීමක් කරන හෝ එවැනි ක‍්‍රියාවක් කරන බවට තර්ජනය කරන  ඕනෑම කෙනෙකු එම වරදට වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව අවුරුදු 10ට නොවැඩි හිර දඩුවමක් නියම කළ හැකි බවත් එවැනි අයෙකුට ඇප දීම කළ හැක්කේ මහාධිකරණයකදී පමණක් බවත් ප‍්‍රකාශයට පත් කොට ඇත.

ලංකාවේ සිදුවන  ඕනෑම අපරාධයක් පිළිබඳව පරීක්ෂණ කිරීමේ බලය ඇත්තේ අපරාධ නඩු විධිවිධාන පනතේ එන විධික‍්‍රමයන් යටතේ පමණි. එම විධික‍්‍රමය යටතේ යම් අපරාධයක් කිරීම පිළිබඳව පැමිණිල්ලක් පොලිසියකට ලැබුනහොත් ඒ ගැන පරීක්ෂණය කරන ආකාරය අපරාධ නඩු විධිවිධාන පනත යටතේ ඉතා පැහැදිලිව ප‍්‍රකාශයට පත් කොට ඇත.

පළමුවෙන්ම කළ යුතු වන්නේ මෙම පැමිණිල්ල පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම ය. පරීක්ෂණය පැවැත්වීමේ වගකීම පැමිණිල්ල ලැබෙන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත පැවරේ. මොනයම් අපරාධයක් පිළිබඳවවත් පරීක්ෂණයකින් තොරව නඩු දැමීමේ අයිතියක් හෝ අත්අඩංගුවට ගැනීමේ අයිතියක් කිසිම පොලිසියකට ඇත්තේ නැත.

 පරීක්ෂණය පැවැත්වීමට පෙර පොලිස් ස්ථානාධිපතිවරයා තමන් වෙත ලැබී ඇති පැමිණිල්ල මත පරීක්ෂණයක් පැවැත්වීමට තරම් කරුණක් හෙළිදරව් වීද නැද්ද යන්න සෑහීමකට පත්විය යුතුය. එම අපරාධයට අඩංගු කරුණු මොනවාද එම කරුණු තුළින් අපරාධ කිරීමේ හෝ අපරාධය කිරීමට තැත් කිරීමේ හෝ එම අපරාධයට අනුබල දීමේ හෝ එම අපරාධය කරන බවට තර්ජනය කිරීමේ හෝ ආදී කරුණු පවතිනවා ද යන්න ගැන ඔහු සෑහීමකට පත් විය යුතු ය. එසේ සෑහීමකට පත් වීමේදී ඔහු සලකා බැලිය යුතු ප‍්‍රධාන කරුණ නම් යුද්ධයක් පිළිබඳව ප‍්‍රචාරය කිරීම හෝ ආගමික වෛරයක් ඇති කිරීමට උසිගැන්වීමක් හා වෙනස් ආකාරයකට සැලකීමක් මගින් තරහක් හෝ ප‍්‍රචණ්ඩත්වයක් ඇති කර ඇත් ද යන්න සලකා බැලිය යුතු ය. උදාහරණයක් වශයෙන් යම් ආගමක් පිළිබඳව වෛරයක් ඇති කිරීම යන්න පැමිණිලි කරුවන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල නම් පොලිස් පරීක්ෂකවරයාගේ යුතුකම වන්නේ එවැනි වෛරයක් ඇති කරන කිසියම් ක්‍රියාවක් කර හෝ කිරීමට ප‍්‍රයත්න දරා හෝ කිරීමට අනුබල දී හෝ කරන බවට තර්ජනය කර තිබේද යන්න සොයා බැලීමය.

පොලිසිය මේ අන්දමින් කටයුතු නොකර, සැකකරුවන්ට බොරු චෝදනා ඉදිරිපත් කර අධිකරණයට ඉදිරිපත් කිරීම ලංකාවේ සුලබව සිදු වේ. එහිදී මහේස්ත්‍රාත්වරුන්ගේ වගකීම වන්නේ පොලිසිය කටයුතු කර තිබෙන ආකාරය සාධාරණදැයි මූලික අදියරේදීම විමසා බැලීමයි.

පසුගිය මැයි මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ඉල්ලීමක් සම්බන්ධ නියෝගයේදී මේ සඳහා ආදර්ශයක් දක්නට ලැබිණි.

අකුරණ ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අසත්‍ය තොරතුරක් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන දින 16ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඉසදීන් මොහොමඩ් මොහොමඩ් නම් පුද්ගලයා සම්බන්ධ ඇප නියෝගය නිකුත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පැවසුවේ සැකකරුට එරෙහිව අයිසීසීපීආර් පනත යටතේ නඩුවක් ගෙනයාමට තරම් කරුණු ඉදිරිපත්ව නැති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අරමුණින් අයිසීසීපීආර් පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ඇති බව පෙනී යන්නේ යැයි ද, සැකකරු අදාළ පනත යටතේ ඇති චෝදනාවලින් මුදා හරින්නේ යැයි ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

සැකකරුට ලැබුණු තොරතුර නිසි බලධාරීන්ට ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති කරුණුවලින් ද පෙනී යන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා, පොලිසියට තොරතුරු ලබාදෙන පුද්ගලයන් අයිසීසීපීආර් පනත යටතේ අත්අඩංගුවට ගතහොත් මින් ඉදිරියට පුද්ගලයන් අපරාධ සම්බන්ධ තොරතුරු ලදහොත් පොලිසියට ලබානොදී සිටිනු ඇතැයි ද සඳහන් කළේය.

අයිසීපීපීආර් පනත මේ රටට අවශ්‍යය. එහෙත්, එය ඇප නොදී පුද්ගලයන් සිරකර තැබීම වැනි දණ්ඩනයන් සඳහා අනියමින් භාවිතා කිරීමට ඉඩ නොදී සිටීමට පොලිසිය වග බලා ගත යුතුය. පොලිසිය වැරදි අන්දමින් කටයුතු කරන්නේ නම් වහා එය නිවැරදි කිරීමේ හැකියාව මහේස්ත්‍රාත්වරුන්ට තිබේ.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා