මං විප්ලවීය දේශපාලනය අතහැරලා නැහැ.

 

අජිත් පැරකුම් ජයසිංහ

මගේ කතාව ඉතා සරලයි. ලංකාව ඉදිරියේ පාරවල් තුනක් තියෙනවා.
1. සමාජවාදය
2. ධනේශ්වර ක්‍රමය ප්‍රතිව්‍යූහගත කිරීම
3. අරාජිකවාදය

2022 අර්බුදය හමුවෙ සමාජවාදී විකල්පයේ අභියෝගය භාරගත්තෙ කවුරුද? අපි ඒක පාර්ශ්විකව ණය ගෙවීම කල් දානවා, පුළුවන් කාලෙක ගෙවනවා, එතකල් අපි පුළුවන් විදියට ආර්ථිකය ගොඩනගමු, අරපිරිමැස්මෙන් කටයුතු කරමු, සමාජවාදී ක්‍රමයකට හැරෙමු කියලා ජනතාවට කියන්නට කාටවත් ධෛර්යය තිබුණද? නැහැ. ජවිපෙ පවා කතා කරන්නෙ ධනවාදය ප්‍රතිව්‍යූහගත කරන ආකාරය ගැනම තමයි. හැබැයි, ඔවුන් ඇත්තෙන්ම පෙනී ඉන්නෙ තියෙන තත්වය රැකගන්න. ඒක කරන්න බැහැ. හොරුන් නොවන පිරිසක්ය කියා තමන් හඳුන්වා ගන්නා පිරිසක් අතට බලය ගත්තාය කියලා ආදායම් වියදම් තුලනය කරගන්නෙ නැතුව රජයවත්, රටේ ආර්ථිකයවත් පවත්වාගෙන යන්න බැහැ. ඔවුන් හිතන තරම් සරල ප්‍රශ්නයක් නෙමෙයි ආර්ථිකයෙ තියෙන්නෙ.

රනිල් කළේ ධනේශ්වර ක්‍රමය ප්‍රතිව්‍යූහගත කරන්නට අවශ්‍ය පියවර ගැනීම. ඒවා කරන විදිය ලස්සනද කැතද කියන එක එච්චර වැදගත් නැහැ. මොකද, කළේ නැතිනම් මේ රටට පැවැත්මක් නැහැ. නොකළොත් වෙන්න පුළුවන් දේ අපි 2022දී දැක්කා. කාටද ආපහු ඒ තත්වය ඕනැ. ඒ නිසා මං ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලන වැඩපිළිවෙලට විවේචනාත්මකව සහාය දක්වනවා. ඇත්තම කියනවා නම් විවේචනය කරන්නට තරම් ලොකු දෙයක් නැහැ. රනිල් අපට වඩා වේගයෙන් වැඩ කරනවා. විවේචනය කරනවාය කියන අයත් කරන්නෙ මේ වගේ වකවානුවක පැවතිය හැකි තත්වයන් අධි සංවේදීකරණය කරන එක.

පැවතිය හැකි අනෙක් තත්වය තමයි අරාජිකවාදය. ඒක තවමත් සම්පූර්ණයෙන්ම පාලනය වෙලා නැහැ. රාජ්‍ය සේවයේ, අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ, ප්‍රවාහනයේ වගේම වෙළඳපොළේත් තවම අරාජිකත්වය රජ කරනවා. කවුරුද ඒවට කැමති? පූර්ණ අරාජිකත්වයකට කවුරුද කැමති.

මං කරන්නෙ මේ මොහොතේ කළ හැකි විප්ලවීයම දේශපාලනය. මං ඒ ගැන ඕනැ කෙනෙකු එක්ක තර්ක කරනවා. අපි සමාජවාදී විකල්පය තෝරාගත්තා නම්, ඒක කිසි සේත්ම ප්‍රජාතන්ත්‍රවාදයෙන් කරන්නට ලැබෙන්නෙ නැහැ. ධනේශ්වර විකල්පය තෝරාගත්ත නිසා අපට ප්‍රජාතාන්ත්‍රික ප්‍රමිති එක්ක හැකි තරම් කටයුතු කරන්නට පුළුවන්. හැබැයි ඉතින් ප්‍රජාතන්ත්‍රවාදීව මේ රට අරාජිකවාදයට ඇද දමන තීරණය ගන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදී පිස්සුවක් මට නැහැ. විප්ලවවාදීන්ට ප්‍රජාතන්ත්‍රවාදය අදාළ වෙන තරම කොච්චරද කියලා විප්ලවවාදීන් දන්නවා.

මං කරපු තෝරාගැනීම කරන්නට මගේ පැරණි සහෝදරයන්ට බැරි වීමට හේතු තියෙනවා. ඒක තමන්ගෙ ඉතිහාසය අතහැර දැමීමක්. මං ඉතිහාසගත වෙන්න ඉන්න කෙනෙකු නොවන නිසා මට ඒක වැදගත් නැහැ.

සමාජවාදය ජීවන විලාසයක්

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා