2022 ජුලි මාසය යනු කුමක්ද?

 

අජිත් පැරකුම් ජයසිංහ

2022 ජුලි 9 සටන සමග සම්බන්ධ වූ අයට එය ජීවිත කාලය තුළ අමතක නොවන, ආඩම්බර විය හැකි අත්දැකීමක් බව ඇත්තය. දැවැන්ත ජනරාශියකට හෙවත් මහා මොබ් එකකට සිදුකළ හැකි බලපෑම පිළිබඳ එය නිදසුනකි. එසේම එවැනි මහා මොබ්වල සීමාව ද එයින් සලකුණු වේ.

දේශපාලනයෙන් තොරව හෝ දේශපාලනික වශයෙන් නන්නත්තාරවාදීව, අරාජිකවාදී ප්‍රවණතා ඔස්සේ සරලමතික විරෝධය හා වෛරය ඔස්සේ දේශපාලනික පරිවර්තන හෙවත් විප්ලව සාර්ථක කරගත හැක්කේ කෙතරම් දුරටද යන්න 2022 ‘අරගලය’ විසින් පෙන්වා දී තිබේ.

2022 ජුලි 9 යනු අරාජිකවාදීන්ගේ කූටප්‍රාප්තිය වන අතර ජුලි 22 වන විට රනිල් වික්‍රමසිංහ බලය තහවුරු කරගෙන අරාජිකවාදයට එරෙහි තීරණාත්මක ක්‍රියාමාර්ගවලට මුල පිරුවේය.

විවෘත අවකාශයක් බවට පත් කරගෙන තිබුණු ගාලු මුවදොර පිටිය යළි පොදු අවකාශයක් බවට පත් කරගැනීම රනිල්ගේ දේශපාලනය සංකේතවත් කරයි. විවෘත අවකාශයක් යනු කිසිවකුගේ පැහැදිලි අයිතියකින් හෝ පරිපාලනයකින් තොරව මහජනයා විසින් හිතුමතේ භාවිතා කරනු ලබන ස්ථානයකි. පොදු අවකාශයක් යනු රාජ්‍ය පාලනය යටතේ පවතින, පරිපාලනය කරනු ලබන මහජන අවකාශයකි.

අරගලය විසින් කරන ලද බුද්ධිමත් මෙන්ම විප්ලවවාදී හෝ ප්‍රතිවිප්ලවවාදී කාර්යයක් වන්නේ සමාජවාදය අඩපණ කර දැමීමයි. ජවිපෙට හා පෙසපට ඍජුව ගෝල්ෆේස් අත්පත් කරගැනීමට ඉඩ නොදීමෙන් මෙය සංකේතවත් විය. සමාජවාදය අර්බුදයට එක්තරා විකල්පයකි. එහෙත්, ඒ හා සම්බන්ධ කතිකාව ගොඩනැගුණේ නැත. විදේශ ණය ආපසු නොගෙවා දේශීය ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවට මුල් කාලයේදී සමාජවාදී අදහසක් තිබුණු මුත්, එය ඉතා ඉක්මනින්ම ප්‍රායෝගික ලෝක යථාර්ථය විසින් නිහඬ කර දමන ලදී. එම අදහස් ඉදිරිපත් කරන ලද අය එය අධ්‍යයනය කිරීමට කිසිදු වෙහෙසක් ඉන් පසුව හෝ දැරූ බවක් නොපෙනේ.

සමාජවාදී විකල්පය ලෙස අනුමාන කළ හැක්කේ, භූ දේශපාලනිකව ලෝකයෙන් හා කලාපයෙන් හුදකලා වෙමින්, චීනය වැනි බලවතකුගේ උපකාර ලබාගනිමින්, එරට සමග ස්වාමි සේවක සම්බන්ධයක් තුළ, ආනයන සීමා දැඩිව ක්‍රියාත්මක වන, දේශීය නිෂ්පාදනයට මුල් තැන දෙන, සීමිත පරිභෝජනවාදයක් මත පදනම් වූ, නවීනත්වය සමග පියනැගීමට උත්සාහ නොකරන, රාජ්‍ය මූලික ආර්ථිකයක් හා යටහත් සමාජයක් නිර්මාණය කිරීමයි. මෙය විප්ලවීය පරිවර්තනයක් වන අතර, දැඩි පාලනයක් තුළ මිස අන් ආකාරයකින් එය කළ නොහැකිය. සමාජවාදය කොහොමත් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරන තනි පක්ෂ ඒකාධිපතිවාදයක් නිසා වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදයේ මිනුම් දඬු අදාළ වන්නේ නැත.

ලංකාව ඉදිරියේ තිබුණේ සීමිත විකල්ප ප්‍රමාණයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන, ආර්ථිකයේ හා රාජ්‍යයේ ආදායම් වියදම් තුලනය කරගෙන, බංකොලොත්භාවයෙන් මිදී, ණය තිරසරභාවය ඇති කරගෙන, වෙළඳපොළ පදනම් කරගත් ආර්ථික වර්ධනය නැවත අත්පත් කරගනිමින් තිරසර සංවර්ධන මාවතක් කෙරෙහි අවධානය යොමු කිරීම ඉදිරියෙන්ම තිබුණු ප්‍රායෝගික විකල්පයයි.

මෙම ධනේශ්වර ආර්ථික පරිවර්තනය ද ලෙහෙසි පහසු එකක් නොවේ. එයට හේතුව, මෙතෙක් පැවති ක්‍රමයේ පැවති සමාජවාදී ලක්ෂණයි. ලාංකිකයන් දිගු කලක සිට ඉතා පාරිභෝජනවාදී ලෙස ජීවත් වූයේ ආනයනවලට යන වියදම සඳහා අපනයන ආදායම ප්‍රමාණවත් නොවන නිසා ඉතුරු ටික විදේශ ණයවලින් පියවා ගනිමිනි. රජය ද කළේ ප්‍රධාන වශයෙන් රැකියා ද, රාජ්‍ය රැකියාවල අතුරු ඵලය ලෙස යම් සුබසාධන සේවාවන් ද, ඵලදායී නොවන ව්‍යවසාය ද, සංවර්ධන ව්‍යාපෘති ද පවත්වාගෙන යාමයි. ඒ සඳහා රාජ්‍ය ආදායම් ප්‍රමාණවත් නොවූ අතර අති විශාල වශයෙන් දේශීයව ණය ලබාගන්නා ලදී. රජයේ ආදායම රාජ්‍ය ණය හා වාරික ගෙවීමටවත් ප්‍රමාණවත් නැත. ඒ මදිවාට රාජ්‍ය ආදායමෙන් 85%ක් පමණ 2021දී වැය වූයේ රාජ්‍ය සේවක වැටුප්/ විශ්‍රාම වැටුප් ආදිය ගෙවීමටයි.

මෙම තත්වය වෙනස් කිරීම සඳහා අතිශය වේදනාකාරී ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සිදු වේ. එය ගැන ද කියන්නට ඇත්තේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ බටහිර ප්‍රමිතීන් රැකගෙන එය කිරීම පහසු නැති බවයි. එහෙත්, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බොහෝ දුරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් ආරක්ෂා කරගෙන තිබේ. සමාජවාදය පැත්තට යොමු වුණා නම් මේ කිසිවක් නැත.

ධනේශ්වර ප්‍රතිසංස්කරණවල එක් ගැටලුවක් වන්නේ ඒවා සමාජවාදී මට්ටමට දිළිඳු හිතවාදී නොවීමයි. වත්මන් ආණ්ඩුවේ දැක්ම අනුව, සමාජ ප්‍රශ්න තිරසරව විසඳිය හැක්කේ නිදහස් වෙළඳාම හා ව්‍යවසායකත්වය ඔස්සේය. එහෙත්, තවමත් ශ්‍රී ලංකා රජය ප්‍රබල මැදිහත්වීම් රැසක් සිදුකරයි. දිළිඳුභාවය නැති කිරීම සඳහා සමෘද්ධිය වෙනුවට අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ක්‍රමය හඳුන්වාදීම එහිදී කැපීපෙනෙන ලක්ෂණයකි.

2023 ජුලි මස වන විට තිබෙන තත්වය වන්නේ, ලංකාව ආර්ථික අගාධයෙන් ගොඩගෙන තිබුණත් කොස්සක් හේත්තු කළත් එය යළි අගාධයට ඇද වැටිය හැකි වීමයි. එහෙත්, සමාජමය වශයෙන් ගත් කල රට ගොඩට ඇදගැනීමට සිටින පිරිසට වඩා ප්‍රබල පිරිසක් රට යළි අගාධයට ඇද දැමීමට සූදානම්ය. එසේ වී තිබෙන්නේ රටේ පවතින දැඩි දේශපාලන ධ්‍රැවීකරණය නිසාය. සමාජවාදී, අරාජිකවාදී මෙන්ම ලිබරල්වාදී බලවේග ද රට බිඳදැමීමට සැදී පැහැදී සිටිති. පුද්ගලයන් වශයෙන් මෙම බලවේගවල සාමාජිකයන් අධ්‍යයනය කළ විට දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ සුවිසල් රෝගී ඊගෝව හෝ එවැනි අති විශාල රෝගී ඊගෝ හිමියන් සමග ඇති ස්වාමි සේවක සම්බන්ධයයි.

මනෝවිද්‍යාවට අනුව, ego හෙවත් මමත්වය යනු id (සහජ ධාවකවල අවිඥානක සංචිතය) සහ superego (අභ්‍යන්තර සදාචාර මාලිමා යන්ත්‍රය) අතර මැදිහත් වන පෞරුෂ සාධකයකි. එය අපගේ ස්වයං හැඟීම, තාර්කික තීරණ ගැනීමට ඇති හැකියාව සහ අප අවට ලෝකය සමඟ අන්තර් ක්‍රියා කිරීමට ඇති හැකියාව සඳහා ලබාදෙමින් අපගේ ආවේග පාලනය කිරීමට සහ සමාජ සම්මතයන්ට අනුගත වීමට අවස්ථාව ලබාදෙයි. එය අපගේ පැවැත්මට සහ යහපැවැත්මට අත්‍යවශ්‍ය වේ. එහෙත් එය ගැටුම් සහ කාංසාවේ මූලාශ්‍රයක් විය හැකිය. අපගේ මමත්වය තර්ජනයට ලක් වූ විට, අපි කෝපයෙන්, ආරක්‍ෂාවෙන් හෝ ඉවත් වීමෙන් ප්‍රතිචාර දැක්විය හැක.

නිරෝගී ඊගෝවක් යනු සමබර හා යථාර්ථවාදී එකකි. එය අපගේ ශක්තීන් සහ දුර්වලතා අගය කිරීමට, යථාර්ථවාදී ඉලක්ක තැබීමට සහ පසුබෑම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට අපට ඉඩ සලසයි. අනෙක් අතට, සෞඛ්‍ය සම්පන්න නොවන ඊගෝව අධික ලෙස පිම්බීම හෝ අධික මාන්නය විය හැකිය. එය උඩඟුකමට, ආත්මරාගයට හෙවත් තමන් කෙරෙහිම තිබෙන රාගයට හෝ හීනමානයට හේතු විය හැක.

2022 ජුලි මාසය යනු මහජන ඊගෝව වර්ධනය වූ මාසයක් වන අතර එමගින් පුද්ගල ඊගෝවලට ද එසේම විය. කිසිදු නායකත්වයක් පිළි නොගන්නා, මං පොර ජාතක පඳුරක් පඳුරක් ගානේ හොල්මන් කරන තත්වයක් ඇති වී තිබෙන්නේ එහෙයිනි. මොවුන් නායකත්වය සම්බන්ධයෙන් තීරණ ගන්නේ වෛරී මනසකින් වන අතර වත්මන් ආණ්ඩුව මෙන්ම හිටපු පාලකයන් ද එම වෛරයේ ගොදුරු බවට පත්ව තිබේ. අනුර කුමාර දිසානායක වැනි වත්මන් අර්බුදය නිර්මාණය කිරීමට ප්‍රබල දායකත්වයක් දුන් පක්ෂයක නායකයකු මෙන්ම පෞද්ගලිකවත් ඒ වෙනුවෙන් දායක වූ අයෙකුට මෙම රෝගී ඊගෝ මත ආයෝජනය කිරීමට හැකි වී තිබේ. එහෙත්, එය ගෝඨාභය රාජපක්ෂගේ උන්නතියට වඩා දෙයක් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

කෙසේ වෙතත්, ලංකාව මේ මොහොතේ සිටින්නේ දරුණු නායකත්වය අර්බුදයක් මැදයි. රනිල් වික්‍රමසිංහ මෙම අර්බුදය මැද බැබළෙන්නේ ඔහුගේ දැක්ම, තික්ෂණ බුද්ධිය, තීරණ ගැනීමේ එඩිතරභාවය, රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්ද හා ජාත්‍යන්තර පිළිගැනීම වැනි සාධක නිසාය. සහකම්පනය සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂයේ අය පවා ඔහුට චෝදනා එල්ල කරති. කුමන අඩුපාඩු තිබුණත්, මෙවැනි අර්බුදකාරී සමයක රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අසලින් හෝ යා හැකි නායකයකු නොමැති බව පැහැදිලි සත්‍යයකි. ඔහු යටතේ නායකයන් බිහි වෙමින් තිබේ. එහෙත්, ලංකාවේ පවත්නා අරාජිකවාදී නිසරු පස මත එම අලුත් නායකත්වයන් මුල් අල්ලාගැනීම සඳහා කල් ගත වනු ඇත.

Adapted f rom praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා