කැරැලි, කලබල ආවරණය කිරීම සඳහා මාර්ගෝපදේශ

මේක ටික කලකට උඩදි ලංකාවේ පැවති මාධ්‍ය පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ විසින් පරිවර්තනය කර දීපු ලියවිල්ලක්. ලංකාවේ මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නේ මාධ්‍යවලට ඇල්මක් තිබෙන අයව සූරා කා ඡායාරූප, පුවත් ආදිය අතරේ දැන්වීම් විකුණා ලාභ ලැබීමයි.

ලංකාවේ කිසිදු මාධ්‍යයකට තමන් වෙනුවෙන් වැඩ කරන මිනිසුන්ට, විශේෂයෙන් ම නිදහස් මාධ්‍යකරුවන්ට හා ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට සාධාරණ අන්දමින්, කලට වේලාවට මුදල් ගෙවීම පිළිබඳ කිසිදු හැඟීමක් නැත.

මාධ්‍යකරුවන් පුහුණු කිරීම යන්න මාධ්‍ය ආයතනවලට අදාළ ම නැති දෙයකි. මාධ්‍යකරුවන් කොහෙන් හෝ පුහුණු වී පැමිණ සේවය කළ යුතු යයි ඔවුහු සිතති. මේ හේතුවෙන් බොහෝ නිදහස් හා ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට සාමාන්‍යයෙන් කිසිදු පුහුණුවක් නැත.

එවැනි අයට මෙම ලේඛනයේ ප්‍රයෝජනයක් ඇතැයි සිතන බැවින් පළ කරමි. එය පරිවර්තනය කිරීම වෙනුවෙන් මට ගෙවීම් කළ ආයතනයට ස්තුතිය හිමි වේ. 

ආත්මාරක්ෂාව වෘත්තීය මාධ්‍යකරුවකුගේ මූලික ප්‍ර‍මුඛතාවකි. තවත් වාර්තාකරණයක් සඳහා ඔබ ජීවත් විය යුතු ය. 

පෙළපාලි හා සිවිල් අසහනයන් ආවරණය කිරීම සඳහා මාර්ගෝපදේශ සූදානම
1.    කල් තබා සැලසුම් කරන්න. බලාපොරොත්තු විය හැකි දේ දැනගන්න. සහාය ලබා ගත හැකි ආකාරය දැනගන්න. ආරක්ෂිත ප්‍රදේශ හඳුනා ගන්න.
2.    ඔබගේ කණ්ඩායමේ ඡායාරූප ශිල්පීන්, කැමරා ක්‍රියාත්මක කරන්නන්, නිෂ්පාදකයන් වැනි සෙසු අය විසිර යාමකදී නැවත හමු වීම සඳහා තැන් කතිකා කර ගන්න.
3.    ඉක්මණින් ඇමතිය හැකි ලෙස හදිසි අංක සුරක්ෂා කර තිබෙන ජංගම දුරකථනයක් හෝ චන්ද්‍රිකා දුරකථනයක් හෝ රැගෙන එන්න. මෙමගින් කාර්යාලය හා භූ‍මියේ සිටින සගයන් සමග සන්නිවේදනය පහසු කරනු ඇත.
4.    ප්‍රථමාධාර කට්ටලයක් රැගෙන එන්න. එය භාවිතා කරන හැටි ඉගෙන ගන්න.
5.    පිහිනුම් ගොගල්, කර්මාන්ත ඇස් ආරක්ෂක කණ්ණාඩි, මුහුණු ආවරණ, ගෑස් මුහුණු වැනි ආරක්ෂක උපකරණ රැගෙන එන්න.
6.    සැහැල්ලු, ස්වාභාවික කෙඳිවලින් වියූ රෙදිවලින් මැසූ ඇඳුම් අඳින්න. ‍ඒවා කෘත්‍රිම රෙදි මෙන් පහසුවෙන් ගිනි ඇවිලෙන්නේ නැත. පෙට්‍රල් බෝම්බ පිපිරීමේ ඉඩක් ඇති බව ද මතක තබා ගන්න.
7.    පොලිස් හෝ හමුදා නිල ඇඳුම්වලට වඩා වෙනස් පාට ඇඳුම් අඳින්න.
8.    සුවපහසු හොඳ සපත්තු පළඳින්න. ප්‍රායෝගික කටයුතුවලට උචිත, හොඳින් ලේස් ගැටගැසිය හැකි සපත්තු හොඳ ය.
9.    ප්‍රදේශයෙන් පිටතට යාමට නො හැකි වුණොත් දිනක් ආරක්ෂා වීමට ඇති තරම් ආහාර, වතුර ආදිය සහිත පිටේ එල්ලාගෙන යන කුඩා බෑගයක් රැගෙන එන්න. මෙවැනි බෑග් රබර් උණ්ඩවලින්, ජල ප්‍රහාරවලින් හා ගල්වලින් ආරක්ෂා වීම සඳහා ද භාවිතා කළ හැකි ය. වේගයෙන් දුවන්නට සිදු වුණහොත් නො වැටෙන පරිදි මෙම බෑගයේ එක් පටියක් හෝ පපුව හරහාත්, තවෙකක් බඳ වටාත් යන ආකාරයට සකසා ගන්න.
10.  වෛද්‍ය අවදානමක් තිබේ නම්, ඔබ‍ගේ නිර්දේශිත හා වෙනත් ඖෂධ රැගෙන එන්න.
ස්ථානයේදී
11.  හැම විටම කණ්ඩායම සමග සිටින්න. විශේෂයෙන් ම රාත්‍රියේදී ආරක්ෂාව සඳහා සංඛ්‍යාව වැදගත් වේ. ප්‍රචණ්ඩත්වයකදී එකිනෙකා සමග බැඳී සිටින්නට සිතාගන්න.
12. හැම විට ම ජනමාධ්‍ය හැඳුනුම්පත රැගෙන යන්න. එය අනවශ්‍ය අවධානයක් දිනා ගන්නවා නම් එය සඟවා ගන්න. එවැනි අවස්ථාවක ඔබ ජනමාධ්‍ය සාමාජිකයකු ලෙස හඳුන්වා දෙන්න එපා. ඇතැම් විට එමගින් සෙනග කලබල වන්නට පුළුවන.
13. අවධානය යොමු කර නො ගැනීම සඳහා හැකි තරම් අඩුවෙන් සටහන් ගන්න.
14. හැම විටම සම්මුඛ සාකච්ඡා කලබල ඇති ප්‍රදේශයට පිටතදී කරන්න.
15. ඔබ වාර්තාකරුවකු නම්, සිදු වන දෙය දැක ගන්නටත් පුළුවන් නම්, ඔබ සෙනග අතර ම සිටිය යුතු නැත. විරෝධතාකරුවන් සමග ඇවිද යන්න. සාමාන්‍යයෙන් ගල් ගසන්නන් සිටිනවා නම් ඔවුන් ඉන්නේ සෙනග මැදයි. එසේ සිටීමෙන් ඔවුන්ට නැවතත් සෙනග සමග මුසු වන්නට පුළුවන.
16.  ඔබ ඡායාරූප ශිල්පියකු හෝ කැමරාකරුවකු නම් උස්, වාසිදායක ස්ථානයක සිට ඡායාරූප ගන්නට උත්සාහ කරන්න.
17.  පොලිසිය කැරළි මර්දන උපකරණ ගෙන ඔබ දෙසට දිව එනවා නම් පසුබසින්න. නැතිනම්, පොලිසිය ඔබ විරෝධතාකරුවකු ලෙස සලකන්නට ඉඩ තිබේ.
18. කිසිවක් අහුලා ගන්න එපා. ඔබ ඉදිරියෙන් බිම වැටී ඇති සියලු දේ එසේ ම තිබෙන්නට හරින්න. ඔබ විරෝධතාකරුවන් විසින් විසි කරන ලද ගලක් අතට ගත්තොත්, ඔබ ගල් ගසන්නකු ලෙස සැකයට භාජනය වන්නට පුළුවන. කඳුළු ගෑස් කෑනයක් අසුලා ගත්තොත්, ඔබේ අත පිච්චෙන්නට පුළුවන.
19.  අත්අඩංගුවට ගන්නේ නම් එයට විරුද්ධ නො වන්න. විරෝධතාවකදී ඔබ අත්අඩංගුවට ගත්තොත්, විශාල අත්අ‍ඩගුවට ගැනීම් සංඛ්‍යාවක් සිදු වන නිසා ඔබ‍ව රඳවා තබා ගන්නා ප්‍රදේශයකට ගෙන යනු ලබාවි. පොලිස් නිලධාරීන් හට ආතතිය අඩු මෙම ප්‍රදේශයේදී ඔබ කවුරුදැයි හඳුන්වා දෙන්න.

කැළඹිලි අතරතුර
20. අවස්ථාවේ උණුසුම ඉතා තීව්‍ර වන විට සන්සුන්ව අවධානය යොමු කරගෙන ඉන්න. අනතුරු සංඥාවලට ප්‍රතිචාර දක්වන්න.
21.  දුමින්, ගින්නෙන්, පොලිසියෙන් හා උඩින් වීසි වන දේවලින් ඉවතට දුවන්නට සූදානමින් සිටින්න. දුවන අතර හිස පහතින් තබා ගන්න.
22.  කඳුළු ගෑස් භාවිතා කළ අවස්ථාවකදී හැකි නම් උඩු සුළඟට හසු වන සේ සිටින්න. ඔබට කඳුළු ගෑස් වැදුණා නම් ඔබට හැකි තරම් වේගයෙන් ඉවතට දුවන්න. ඉවත් වන අතරතුර හැකි තරම් අඩුවෙන් හුස්ම ගන්න. ආරක්ෂිත තැනකට ගිය පසු වතුර බෝතලය ගෙ ඇස් සෝදා ගන්න. එසේම තිබෙන්නට හරිනවාට වඩා එය හොඳ ය. එහෙත්, තවමත් දැවිල්ල ඇත. ඇදුම, ශ්වසන ආබාධ, ආසාදන, අසනීප, ප්‍රතිශක්තිය දුර්වල, ඇස් ආබාධ ඇති, ස්පර්ශ කාච පළඳින යනාදී අයත් ගැබිනි මාතාවනුත් කඳුළු ගෑස් ප්‍රහාරවලින් ආරක්ෂා විය යුතු ය.
23. ඔබ ස්පර්ශක කාච පළඳින්නේ නම් විෂ වායු කාචය හා ඇස අතර රැඳීමෙන් වේදනාව වැඩි විය හැකි ය. ඒ නිසා හැකි හැම විට ම කණ්ණාඩි ම පළඳින්න.
24.  පොලිසිය වැඩි වශයෙන් භාවිතා කරන්නේ රබර් උණ්ඩ ය.  ඔබට ආවරණයක් සපයා ගන්නට බැරි නම් පොලිසිය දෙසට පිටුපා ඉන්න. දන ගසා ගන්න. හිස හා මුහුණ සඟවා ගන්න. ඔබගේ පිටේ එල්ලාගෙන යන බෑගය ආවරණයක් කර ගත හැකි ය.
25.  පීඩන ජල ප්‍රහාර මගහැරිය නොහැකි අවස්ථාවකදී ඔබේ ඇස් හා නාසය අත්වලින් ආවරණය කර ගන්න. මෙම ජල ප්‍රහාරවලින් ඔබ විසි වී යා හැකි බවත් අවබෝධ කර ගන්න.
26. හැම විට ම ඔබගේ කණ්ඩායමත් සමග සිටින්න. තත්වය නරක අතට හැරුණොත් පළා යා හැකි මාර්ගය ගැන සිතේ තබා ගන්න.
27. ආවරණයෙන් පසු ඔබගේ ප්‍රවෘත්ති කාර්යාලයේදී එම ආවරණයේ අත්දැකීම් ගැන සාකච්ඡා කරන්න.

යෝජිත උපකරණ
ඔබගේ බෑගයේ තිබිය යුතු උපකරණ 
1)    ඝනකම හිස් ආවරණයක් 2)    ප්‍රමිතිගත ඇස් ආවරණ 3)    කඳුළු ගෑස්වලින් ආරක්ෂා වීම පිණිස කිමිදුම්කරුවන්ගේ වැනි ගොගල්ස් 4)    3M 4251 Respirator (කඳුළු ගෑස්වලින් හා දූවිල්ලෙන් ආරක්ෂා වීම සඳහා) 5)     පෞද්ගලික ප්‍රථමාධාර කට්ටලය 6)    දනහිස් පෑඩ් 7)    කුඩා ගිනි නිවනයක් 8)    ඉවත දැමිය හැකි කණ්වල ගසා ගන්නා පුළුන්

වෙනත් යෝජිත දේ
1)    ඇණුම්වලින් ආරක්ෂා වීමට විශේෂ යට ඇඳුම් 2)    විදිය හැකි ගිනි මර්දන ද්‍රාවණ 3)    ගිනිවලින් ආරක්ෂා විය හැකි යට ඇඳුම් 4)    ඇඟිලිවලට යකඩ ආවරණ ඇති සපත්තු 5)    අත් ආවරණ

කඳුළු ගෑස්වලින් ආරක්ෂාවට උපදෙස්
කඳුළු ගෑස් භාවිතා කරනු ලබන්නේ කැරලි පාලනයට, පුද්ගලයන් මර්දනය කිරීමට හා සෙනග විසුරුවා හැරීමටයි. එයින් වේදනාව ඇති කරනු ලැබේ. ගෑස්වල ප්‍රතිළුලය තාවකාලික ය. පැය කීපයක් ගත වන විට බොහෝ රෝග ලක්ෂණ පහව යයි. 

කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක් වූවන්ගේ ලක්ෂණ
1)    ඇස්, නාසය, මුඛය හා සම දැවිල්ල ගැනීම 2)    අධික ලෙස කඳුළු ගැලීම 3)     පෙනීම බොඳ වීම 4)    නහයෙන් සොටු දියර ගැලීම 5)     කෙළ ගැලීම 6)    සමේ කුෂ්ට ඇති වීම හා රසායනික මගින් පිළිස්සුම් ලකුණු 7)    හුස්ම ගැනීමේ අපහසුව හා කැස්ස, හුස්ම හිර වීම 8)    මානසික කැළඹීම හා අවධානයෙන් තොර වීම, අසහනය 9)    අධික කෝපය

සාමාන්‍යයෙන් කඳුළු ගෑස් විදිනු ලබන්නේ හිස් තුවක්කු පතුරමක් ආධාරයෙන් තුවක්කුවක අගට සවි කරනු ලබන බෝම්බයක ආකාරයටයි. එබැවින් කඳුළු ගෑස් විදින කල ද වෙඩි තබන ශබ්දය ඇසේ. ඔබට වෙඩි වැදුණා යයි වරදවා ‍වටහා නො ගන්න. කලබල වෙන්න එපා. වෙඩි ඇසුණු කල උඩ බලා කඳුළු ගෑස් බෝම්බය එන මාර්ගයෙන් ඉවත් වන්න. කඳුළු ගෑස් බෝම්බ බොහෝ විට ගුවනේදී ම පිපිරේ. දුම් පිට වන ලෝහමය කෑනයක් බිමට වැටේ.මෙම කෑනය ඉතා උණුසුම් විය හැකි ය. එබැවින් එය අල්ලන්න එපා. නො පිපුරුණු කඳුළු ගෑස් බෝම්බ ද අල්ලන්න එපා. මන්ද, එය පුපුරා ඔබට තුවාල සිදු විය හැකි ය. කඳුළු ගෑස්වලින් ආරක්ෂාවට ඇති හොඳම මාර්ගය ගෑස් මුහුණක් පැළඳීමයි. එවැන්නක් සපයා ගත නො හැකි නම්, කඳුළු ගෑස් එල්ල වේ යයි සිතිය හැකි අවස්ථාවක් ආවරණය කරන්නට යන විට තෙත තුවා රැගෙන යන්න. ඒවායින් නාසය හා මුඛය ආවරණය ක‍රගෙන දෙහි යුෂ හෝ විනාකිරි ස්වල්පයක් ඒ මතට මිරිකන්න.  දෙහි යුෂවලින් පෙඟවූ තෙත තුවා හෝ කඩදාසි තුවා ප්ලාස්ටික් බෑගයක දමා ‍ගෙන යන්නටත් පුළුවන. අධික ලෙස කඳුළු ගෑස්වලට නිරාවරණය වී නම්, එම බෑගය මුඛයට හා නාසයට තබා හුස්ම ගන්න. ලියා ගත් රතු ළූනු ද සයට ඇල්ලීම ද හොඳ ය. කලබල වෙන්න එපා. කලබල වුණොත් ඉක්මණින් හුස්ම ගෙන වැඩිපුර කඳුළු ගෑස් ආඝ්‍රානය කරන්නට ඉඩ තිබේ.  

තට්ටු කීපයක ඇඳුම් අඳින්න. කඳුළු ගෑස් වැදුණු ඇඳුම් තට්ටුව ගලවා දමන්න. මතුපිටින් වැසි කබා ඇඳීම  ‍සුදුසු ය. වෙනත් යමක් නැතිනම් කසල බෑග් වුණත් හොඳ ය.

ගොගල්ස් යනු ඉතා ප්‍රයෝජනවත් ඇස් ආවරණ විශේෂයකි. රසායනිකවලින් ඇස් ආරක්ෂා කර ගත හැකි ගොගල් කණ්ණාඩි නැති නම් තදින් හිර වන පිහිනුම් ගොගල් පළඳින්න. ස්පර්ශක කාච පැළඳ සිටී නම් වහා ම ඉවත් කරන්න. එවැනි තැන්වලට යන විට ඒවා පැළඳ නො යාම වඩා හොඳ ය. 

අමතර ඇඳුම් කට්ටලයක් (මේස් ද ඇතුළුව) තිබීම හොඳ ය. ගෑස් හා ජල ප්‍රහාරවලට ලක් වුණු ඇඳුම් මුල් වර සෝදන විට වෙනත් ඇඳුම් සමග සෝදන්න එපා. 

ගොගල්, ගෑස් මුහුණු වැනි කිසිවක් නැතිනම්, ඔබේ කමිසය ඇතුළෙන් හුස්ම ගන්න. එහි වාතය මඳ වේලාවකට හෝ කඳුළු ගෑස්වලින් තොර වෙන්නට පුළුවන. 

ඇස් සඳහා ප්‍රථමාධාරය වන්නේ දැවිල්ල නැති වී යන තෙක් ‍සේලයින් වතුරෙන් හෝ පිරිසිදු ජලයෙන් සේදීමයි.කඳුළු ගෑස් වැදුණු සම සබන් හා වතුරෙන් සෝදන්න. හුස්ම ගන්නට අපහසු නම් ඔක්සිජන් දිය යුතු ය. ඇදුමට දෙන ප්‍රතිකාර ද දෙන අවස්ථා තිබේ. 

පිළිස්සුණු තැන් බැන්ඩේජ් කරන්න.කඳුළු ගෑස් කිසි විටෙක උණුසුම් වතුරෙන් සෝදන්න එපා. සිසිල් ජලය භාවිතා කරන්න.       තෙල් පදනම් කර ගත් ක්‍රීම් වර්ග හෝ හිරු ආවරණ ක්‍රීම් භාවිතා නො කරන්න. එමගින් උරා ගැනීම වැඩි වනු ඇත. මේකප් කිරීමෙන් ද කඳුළු ගෑස් සමට උරා ගැනීම වැඩි විය හැකි ය. 

අත්අඩංගුවට ගතහොත් කළ යුතු දේ

  • ඔබගේ හිමිකම් පිළිබඳ දැනුවත් වන්න. කිසිවක් ප්‍රකාශ නො කර සිටීමටත්, ඔබ කැමති නීතිඥයකුගේ සහාය ලබා ගැනීමටත් ඔබට හිමිකමක් තිබේ.
  • හිංසනයට, තර්ජනයට, රැවටීමට ලක් නො වී සිටීමට ඔබට අයිතියක් තිබේ.
  • ඔබ කරන ප්‍රකාශ ඔබට එරෙහිව අධිකරණයකදී භාවිතා කරන්නට ඉඩ තිබෙන නිසා නිහඬව සිටීමට ඔබට අයිතියක් තිබේ.
  • රඳවා ගනු ලැබුවහොත්, ඔබේ මානව හිමිකම් ආරක්ෂා විය යුතු අතර, නීති ප්‍රකාරව කටයුතු කළ යුතු ය.

මුර කපොලු හා මාර්ග බාධකවලදී කටයුතු කළ යුතු ආකාරය

  • හැම විටම, විනීත වන්න.
  • ගැටුම් ඇති කර ගන්න එපා.
  • ඔබ පුවත්පත් කලාවේදියකු ලෙස හඳුන්වා දෙන්න.
  • පයින් යන්නේ නම්, අවශ්‍ය ලේඛන පමණක් අතින් රැගෙන මුරකපොල්ල වෙත යන්න.
  • වාහනයක යන්නේ නම් දොරවල්, ජනෙල් වසාගෙන යන්න. අණ කළොත් මිස බහින්න එපා.
  • අවසර නැතිව වීඩියෝ කරන්න එපා.
  • මුර කපොල්ල පවත්වාගෙන යන සොල්දාදුවන් හෝ සටන්කාමීන් එදිරිවාදී නම් ඔවුන් සමග සුහද වන්න. සිගරට්, රසකැවිලි වැනි දෙයක් පිරිනැමිය හැකි ය.
  • හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේදී ඔබගේ බිරිඳගේ, දරුවන්ගේ ඡායාරූප ද දකින්නට සැලැස්වීමෙන් වඩා මානුෂීය වාතාවරණයක් ඇති කළ හැකි ය.
  • ඔබ සිටින්නේ කොතැන ද යන්න වෙනත් අය දන්නා බව හා ඔවුන් ඔබ ආපසු පැමිණෙනු බලාපොරොත්තු වන බව කියන්න.
  • ඔබ තර්ජනයක් නො වන බව ඔවුන්ට ඒත්තු ගන්වන්න.
  • විනීත වන්න. එහෙත්, පරීක්ෂාකාරී වන්න. විශේෂයෙන් ම, කෙළින් ඇස් දෙස නො බලන, හැඟීම් විරහිත සොල්දාදුවන් ගැන සෝදිසියෙන් ඉන්න.

(මුල් ඡායාරූපයේ සිටින ප්‍රහාරකයා හිටපු නාවික හමුදා ප්‍රධානියෙකි. මෙම සිද්ධිය සිදු වූයේ හම්බන්තොට වරායේදීය.)

Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා