බෑ කියන හැටි

ලිංගිකව හැසිරෙන්නට කෙනෙකුට ආරාධනා කරන්නෙ කොහොමද? මේ ප්‍ර‍ශ්නය ඔබටත් ඇති.

හැබැයි ඉතින් මේ ගැන හරි අවබෝධයක් නැති අය හේතුවෙන් බොහෝ විට සිදු වන්නේ වඩා අධිපති බලවේගය වන පිරිමින්ගේ පැත්තෙන් ලිංගිකව එක් වීම සඳහා ස්ත්‍රීන්ට බලපෑම් සිදු වීමයි. ඒ වගේ ම, අනෙක් පැත්තටත් එය සිදු වෙන්නට පුළුවන්.

කැමැත්තෙන් තොරව සිදු වන ලිංගික ක්‍රියා ලිංගික හිංසනයන් ලෙස සලකන්නට පුළුවන්.  විවාහකව සිටින අයෙකු සම්බන්ධව ගත්තත් එය ලිංගික හිංසනයක්.

ඇතැම් අවස්ථාවලදී ලිංගික හැසිරීම සඳහා වෙනත් පාර්ශ්වවලින් දැඩි පීඩනයක් එල්ල වෙනවා. බොහෝ විට මිතුරුකම පවත්වා ගැනීමට මෙන්ම සහකරුවන් / සහකාරියන් සතුටු කිරීම සඳහා ද මෙසේ ලිංගිකව හැසිරීමට සිදු වෙනවා.

එහෙත්, ලිංගිකව හැසිරීම හෝ එසේ නො කිරීම තනිකර ම අදාළ පාර්ශ්වයන්ගේ කැමැත්ත මත පමණක් ම සිදු විය යුතු දෙයක්. තීරණය ඔබ අතේයි.

ඔබ අකැමැති නම් බෑ කියන්නට ඔබට අයිතිය තිබෙනවා. ඒ බෑ කීම විනීත විදියට කරන එකත් වඩා හොඳයි. කලබැගෑනියක් ඇති කර ගැනීමෙන් අනෙක් පාර්ශ්වය පමණක් නො ව, ඔබත් අපහසුතාවට පත් වන්නට පුළුවන්.

එසේම, බලහත්කාරයක් නො වන අවස්ථාවලදී අනෙක් පාර්ශ්වයේ පෞද්ගලිකත්වයට අවමානයක් නො වන අයුරින් එය කිරීමත් හොඳ දෙයක්.

ඔබට කණගාටුව පළ කරමින් මෙවැනි දෙයක් කියන්නට පුළුවන්:

  • ඊට කලින් අපි තව ටිකක් එකිනෙකාව හඳුනා ගනිමු.
  • අපි තව ටිකක් කල් ගනිමු.
  • අපි පසුව ඒ ගැන කතා කරමු.
  • දැන් මම සූදානම් නැහැ.
  • මම එයට කැමති නැහැ.
  • මට බල කරන්නට එපා.  ඔබට එහෙම කරන්නට අයිතියක් නැහැ.
  • කරුණාකර බලපෑම් කිරීම නවත්වන්න. මම පොලිසියට පැමිණිලි කරනවා. ඒක අප දෙදෙනාට ම කරදරයක්.

පහත දැක්වෙන ජනකවියේ යුගලයේ තිබෙන්නේ බොහොම ඉස්සර කාලෙක බෑ කියපු විදියක්. බලන්න එම කාන්තාව කෙතරම් උපායශීලී හා සංවර ලෙස එය කරනවා ද කියලා.

තනිමඟ තරුණියක යනු දුටු තරුණයකුගේ සිතෙහි රාගය මෝදු වෙයි. ඔහු ඇය අමතා සංයමයෙන් යුතුව ව්‍යංගයෙන් යමක්‌ පවසයි.

“අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
හිමියෙක්‌ නැති ගමන් තනිමග කිම්ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යම්ද නගෝ”

ඒ රසවත් කවිය ඇසූ තරුණිය ඔහුගේ සිත නොරිදවා තවත් කවකින් පිළිතුරු දෙයි.

“අල්ලාගෙන නෙරිය මඩතැවරෙන හන්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හන්දා
බාල මස්‌සිනා පස්‌සෙන් එන හන්දා
යඤ්ඤං අයියන්ඩි ගමරට දුර හන්දා”

ඔය බෑ කියන හැටි නේ. හා කියන්නට කලින් හිතන්නට ඕනැ දේවල් ඊළඟට.

 Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා