කුමාර් ගුනරත්නම් ප්‍රශ්නය හා කන්‍යා සිවිය රැකගෙන දරුවන් වැදීම

කුමාර් ගුණරත්නම් පිටරට ගියේ ශ්‍රී ලංකාවේ ඔහුට තර්ජන තිබුණ නිසා බව ඔහු හා ඔහුගේ පක්ෂය පර සක්වල ගසති. රටින් පිට වන විට ඔහු ජවිපෙ ඉදිරි පෙළ නායකයෙකි. ඊට මඳ කලකට පෙර ජවිපෙ ශ්‍රීලනිපය සමග හවුල් ආණ්ඩුවක සිටි අතර, දෙමළ විරෝධී යුද්ධයට කුමාර් ගුනරත්නම් ඇතුළු ජවිපෙ පූර්ණ සහාය පළ කළේ ය. ඒ අන්ත සිංහල ජාතිවාදී ස්ථාවරයක් ගනිමිනි. 

ඔහුට ජීවිත අවදානමක් ඇති වන්නේ අභියෝගාත්මක ක්‍රම විරෝධී දේශපාලනයක් නිසා නොව, විමල් වීරවංශ වැනි පිරිස් ජවිපෙන් කැඩී යාම හා පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජවිපෙන් කැඩී යාම සමග ඇති වූ කල්ලිවාදී කුළල් කා ගැනීම් නිසා ය.

හිරු කණ්ඩායමේ රෝහිත භාෂණ අබේවර්ධන වැනි ඇතැම් අය රටින් පිට වන්නේ දෙමළ විරෝධී යුද්ධයේදී ආණ්ඩුවට විරුද්ධව අභියෝගාත්මක දේශපාලන ස්ථාවරයක සිටිමින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ඇති වූ සත්‍ය තර්ජන නිසා ය. (ඔහු සමග ගිය සියලු දෙනා එසේ බවක් අපි නො කියමු.)

දෙමළ ජාතිකවාදය හා සම්බන්ධ දේශපාලන කටයුතුවල යෙදුණු තවත් බොහෝ අය සම්බන්ධයෙන් ද මෙම කාරණය සාධාරණ ය. ඔවුන් රටින් පළා ගියේ ජීවිතාරක්ෂාවට ය. ඔවුන්ට ජීවිත අනතුරු ඇති වූයේ දේශපාලන හේතු මත ය. 

කුමාර් ගුණරත්නම් නොයෙල් මුදලිගේ වූයේ නීත්‍යානුකූලව ද, නැද්ද, ඒ අනුව ඔහු ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගනිමින් විදේශගත වූ ආකාරය නිවැරදි ද යන්න පිළිබඳ නීතිමය ගැටලුවක් ඇත. 

අප දන්නා කුමාර් ගුනරත්නම්ට නීති විරෝධී ජීවිතයක් ගත කිරීමට කිසිදු හේතුවක් නො තිබිණි. ඔහු නොයෙල් මුදලිගේ වීමත්, විමල් වීරවංශගේ උපන් දින පැටලිල්ලත් එකම ක්‍රම විරෝධී මනෝභාවයකින් මතු වන දේවල් ය. විමල් වීරවංශ නම් එය කරන්නේ හුදෙක් පෞද්ගලික අභිලාෂයකිනි. කුමාර් ගුනරත්නම් කරන්නේ තමන් විප්ලවය වෙනුවෙන් කැප වූ ක්‍රම විරෝධියකු බව පෙන්වමින් තමන් අනුගමනය කරන්නට සෙසු අය පොළඹවන්නට ය. 

අමු සිංහල ජාතිවාදය, ආගම්වාදය සමග සන්ධානගත වෙමින් දෙමළ සංහාරයක යෙදුණු ආණ්ඩුවකට ආවැඩූ ජවිපෙ නායකත්වය කුමාර් ගුනරත්නම්ගේ මේ ලක්ෂණය පක්ෂයේ දර දිය ඇද්ද සාමාජිකයන්ට අලෙවි කළේ ය. විමල් වීරවංශ, නන්දන ගුණතිලක, සෝමවංශ අමරසිංහ හා තවමත් ජවිපෙ නායකත්වයේ සිටින හාමු මහත්තුරු පෞද්ගලිකව සැප සම්පත් හා කීර්තිය විඳින්නේ ජවිපෙ වෙනුවෙන් බර උසුලන පීඩිත තරුණයන්ගේ ශ්‍රමයෙනි. කුමාර් ගුනරත්නම්ගේ කාර්යය අප ප්‍රශ්න කරන්නේ එතැනිනි. එහෙත්, ඔහුට නිවැරදි වීමට තිබෙන අයිතියට අපි ගරු කරමු. 

එම නීතිමය ගැටලුව සම්බන්ධයෙන් අදාළ නඩු පැවරීම් කළ යුතු ය. හේතුව, උද්ඝෝෂණ කරන්නට මිනිසුන් බලමුළුගැන්විය හැකි දේශපාලන පක්ෂයක නායකයකු වූ පළියට නීතියට පිටින් යන්නට වරප්‍ර‍සාද හිමි නො විය යුතු ය. වගකිව යුතු දේශපාලන පක්ෂයක් එහෙම ඉල්ලීම් කිරීම ද වැරදි ය. 

මෙම නීතිමය ගැටලුව රිසානා නෆීක්ගේ ප්‍රශ්නයට සමාන ය. රිසානා පිටරට ගියේ හොර පාස්පෝට් එකකිනි. එහෙත්, එය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් නීත්‍යානුකූලව නිකුත් කළ එකක් නිසා, පසුව මොනවා කීවත්, සවුදි අරාබිය එය හොර පාස්පෝට් එකක් බව පිළි ගත්තේ නැත. කුමාර් ගුනරත්නම් නොයෙල් මුදලිගේ වන්නේ ශ්‍රී ලංකාවේදී නම් හා ඔහු ඔස්ට්‍රේලියා යන්නේ ඒ නමින් නම්, ඕස්ට්‍රේලියාවට ඔහු කුමාර් ගුනරත්නම් වීම අදාළ නැත. මෙම ගැටලුව නීත්‍යානුකූල ලෙස ලිහා ගැනීම පහසු නැත. හේතුව, මෙම පුද්ගලයා අඩු වශයෙන් රටවල් දෙකකට වංචා කළ අයෙක් නිසා ය. 

මේ රටේ ජීවත් වන්නට බැරිකම නිසා ඔය විදියට ම රටින් පළා ගිය තවත් විශාල පිරිසක් සිටිති. විශේෂයෙන් ම දෙමළ ජාතිකවාදියෝ විශාල පිරිසක් දේශපාලන හේතු මත මේ ආකාරයෙන් විදේශගත වී තිබේ. ඔවුන්ට නො දෙන වරප්‍ර‍සාදයක් තමන්ට පමණක් ඉල්ලා සිටීමට සිංහල ජාතිවාදියකු වී සිටි පමණින් කුමාර් ගුනරත්නම්ට හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයිතියක් නැත. 

කුමාර් ගුනරත්නම්ට දිය යුත්තේ දේශපාලන සමාවකි. එය සෝමවංශ අමරසිංහට දුන් ආකාරයේ අප්‍ර‍කාශිත සමාවක් විය යුතු නැති බව අපේ ස්ථාවරයයි. එය පැහැදිලි ප්‍ර‍කාශිත සමාවක් විය යුතු ය. එම සමාව කේපීටත් ඒ අන්දමින් ම හිමි විය යුතු ය. 

එසේම, ඒ හා සමාන සමාවක් ඒ අන්දමින් රටින් පිට වන්නට සිදු වූ, ආපසු එන්නට කැමති සියලු දෙනාට දිය යුතු ය.

මේ කාරණය සඟවා කොළේ වසා ගසන ඊනියා වාමාංශිකයන් ඒ වෙනුවෙනුත් පෙනී සිටිනවා ද යන්න අපි නො දනිමු. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් අප ඉල්ලා සිටින්නේ බොරුව මත පදනම් වූ දේශපාලනය වෙනුවට ඇත්තට සම්මුඛ වන ලෙසයි. 

කුමාර් ගුනරත්නම් සිර කර තබා ගැනීම වැරදි ය. එක්කෝ ඔහුට එරෙහිව වහා නඩු පැවරිය යුතු ය. නැතිනම් නිදහස් කළ යුතු ය. එහෙත්, ඔහුට යම් මුක්තියක් පිරිනමන්නේ නම්, එය සියලු දෙනාට සමාන අන්දමින් පිරිනැමිය යුතු ය.

මේ ප්‍රශ්නය විසඳා ගත හැකි අනෙක් ආකාරය ආණ්ඩුව සමග ඩීල් එකක් දමා ගැනීමයි. බ්ලැක් ලිස්ට් වී සිටි කුමාර් ගුනරත්නම්ට යළි ලංකාවට එන්නට ලැබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග එවැනි ඩීල් එකක් මත යයි අපි විශ්වාස කරන්නෙමු. අපි එයට විරුද්ධ නැත. දේශපාලනයේදී එවැනි දේ කරන්නට සිදු වේ. කන්‍යා සිවිය රැකගෙන දරුවන් වැදීම පහසුවෙන් කළ හැකි දෙයක් නො වේ.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ සිද්ධිය සම්බන්ධ කිසිවෙකු සම්පූර්ණ ඇත්ත කියන්නේ නෑ.

    ප්‍රේමකුමර්ට ද, විමලසිරිට මෙන් උපන් දින දෙකක් ඇතිබවට මට කලකට පෙර සැක සිතුනා! ඒ ඔහු පැහැර ගත් දිනවල සිඩ්නි නගරයේ ප්‍රවෘත්ති නරඹන විටයි.

    ReplyDelete
  2. හොඳම දේ නම් මහින්ද විතරක් පැත්තකින් තියලා අනිත් ඔක්කෝම එක්ක කලින් කරපු ඔක්කෝම විගඩම් කරගෙන යන එක.

    මගේ පරම පැතුම එයයි..

    ReplyDelete
  3. පැරා ,

    //එහෙත්, ඔහුට යම් මුක්තියක් පිරිනමන්නේ නම්, එය සියලු දෙනාට සමාන අන්දමින් පිරිනැමිය යුතු ය.//

    රජය කරුණට සමාව දුන්න වගේ සුනිල් රත්නායකට සමාව දෙමු නේද ?


    {යාපනයේ මිරුසුවිල්හීදි 2000 වසරේදි කුඩා දරුවන් දෙදෙනෙකු ඈතුලු පුද්ගලයින් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෑරදිකරු වු යුද හමුදාවේ හිටපු මාණ්ඩලික සෑරයන්වරයෙකු වන රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක නැමැත්තාට පසුගිය 25දා කොළඹ මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කෙරිනි. - See more at: http://offair.nethfm.com/article/22453#sthash.1YpKXcLk.dpuf}

    ReplyDelete
    Replies
    1. යුද්ධයේදි දෙපාර්ශවයෙන්ම අඩුපාඩු සහ වැරදි සිදුවී ඇති බැවින් ඒවා පිලිබදව පරික්ෂාකර බලා යුධමය කරුණු මත වැරදි සිදුකරන ලද පුද්ගලයින්ට (හමුදාවේ සහ LTTE) පොදු සමාවක් ලබා දිය යුතුයි. මෙම වැරදි සිදුවීමට බොහෝවිට බලපෑවේ පැවති ආයතනික රාමුව, යුධමය තත්වය සහ පාලන ක්‍රමවල තිබුන දුර්වලතාවයන් නිසා. හැබැයි මේ පිලිබදව විමර්ශනයක් සිදු කිරීම වඩාත් වටිනවා. මම දන්නා තරමට පැරකුම්ද මෙවැනි යෝජනාවක් ඉදිරිපත්කර ඇත.

      ඒ අනුව යමින් අගුලානේ තරුණයන් දෙදෙනකු මරා දමන ලද පොලිස් නිලධාරින්ටද (ඒ ආකාරයේ වරදවල් සිදුකරන ලද නිලධාරින්ට, යුධ සිරකරුන් සහ පැහැරගෙන ගොස් පුද්ගලයින් මරා දමන ලද නිලධාරින්ට සහ පාලකයින්ට)සමාව ලබා දීම සිදු නොවිය යුතුයි.

      Delete
  4. ඔහුව 2011 හෝ 2012 වර්ෂයේදි පැහැර ගැනීමකට ලක්වීම පිලිබදව මෙහි සටහනක් යෙදිමට පැරකුම්ට අමතක වී ඇත.

    කුමාර්ගේ භාවිතාව පිලිබදව මෙන්ම පැරකුම්ලාගේ භාවිතය පිලිබදවද ගැටලු ඇත. ඔබ දන්නා තරමින් ඔහුට ගැටලුවක් නොතිබුනද ඔහු සමග දේශපාලනය කරන ලද ලලිත් කුගන් දෙදෙනා අතුරුදහන්කර අදට වසර 5ක් පමණය. ඔබ දන්නා දේශපාලනයේ තරමට වඩා වැඩි දෙයක් ආරක්ෂක අංශ සහ පාලකයන් දන්නා බැවින් ප්‍රසිද්ධ දේශපාලනයක නොසිටි (එලෙස සිටිම මමද අනුමත කරන්නේ නැත)ඔහුට පැවති තත්වය අනුව ජිවිත අවදානමක් ඇතිවිය හැකිය.

    කුමාර් ගුනරත්නම්ට දිය යුත්තේ දේශපාලන සමාවකි. ඔහු නිතීයට පිටින් කටයුත් කර ඇත්තේ දේශපාලන අවශ්‍යතාවයක් සදහාය. පැරකුම් සදහන් කරන පිරිසද (යුධවිරෝධි වීම නිසා ජිවිත අවදානමකට ලක්වු පිරිස, (ඔබද ඒ ගොඩේ සිටිනබව ඔබ විසින් පවසයි, එබැවින් සමහර විටකදි ඔබද ජිවිතය බෙරා ගැනීම සදහා නිතිවිරෝධි දේ කරන්නට ඇත))නිතීයට පිටින් කටයුත් කර ඇත්තේ දේශපාලන අවශ්‍යතාවයක් සදහාය. ඔහු (කුමාර්)කරන දේශපාලනය පැරකුම් ප්‍රාර්ථනා කරන දේශපාලනය නොවේය. ඒ වු පමණින් පැරකුම් ප්‍රාර්ථනා කරන දේශපාලනය කරන පිරිසට පමණක් විශේෂ අවස්ථාවක් ලබාදිය යුතු නැත. (පැරකුම් එලෙස සදහන් කර නැති වුවද ඒ පිරිසට පමණක් නීතීය කඩකර යැමට හේතු තිබුනු බව සටහන් කර ඇත.) එබැවින් සියලුම දෙනාට දේශපාලන සමාවක් ලබාදිය යුතුය.(ඔබද යෝජනා කර ඇත)

    පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ දේශපාලන භාවිතයේ ගැටලු ඇත. එය නිවරදිම දේශපාලනයනම් එය රටේ බහුතරයක් විසින් වැලද ගනු ඇත. එලෙස නොවි තිබෙන්නේ ඒ පිලිබද විශ්වාසය තවමත් ජනතාව තුල ඇතිකර නොමැති බැවින්ය. පැරකුම්ට මා දන්නා තරමින් එවැනි දේශපාලන භාවිතාවක් නොමැත.(සමහරවිට තිබෙන්නට පුලුවන). ඔහුට ඇත්තේ සමාජය විවේචනය කරමින් සිටින විට සමාජය නිවරදි වේය යන විශ්වාසයක්ය. එය නරක නැත.

    පැරකුම් මෙම ලිවිම තුල සම්පුර්ණයෙන්ම අමතක කර ඇත්තේ පැවති පාලනයේ සහ ඉදිරියට පවතින පාලනයේ ක්‍රියාත්මක ක්‍රමවේදය අනුව යම් පිරිසක් දේශපාලනය කිරීම නිසා ජිවිත අවදානමකට මුහුණ දී සිටින බව ලිවීමටය. ඊයේ, අද මෙන්ම හෙටද දේශපාලනය කරන පිරිසට ජිවිත අවදානම් තත්වයන් ඇතිවනවාය එමෙන්ම නීතීයට පිටින් වැඩ කරන්නට සිදුවනවාය.

    ReplyDelete
    Replies
    1. මුලින් ම මෙය කිව යුතුයි. මම මගේ මූලික කාර්යභාරය ලෙස තෝරාගෙන තිබෙන්නේ දේශපාලනය වෙනුවෙන් මාධ්‍යකරණයේ යෙදීමයි. ඔබ සිතන්නේ එය දෙකක් ය කියා බව ඔබගේ ප්‍ර‍කාශයෙන් පෙනේ. දේශපාලනය කරනවා ය කියන අය ද මා කරන දෙය ම වෙනත් ආකාරවලින් කරති. ඔවුුහු රූපවාහිනියේ හෝ රැස්වීම්වල හෝ කරන්නේ ද මා කරන දේ ම ය. පෝස්ටර් ගැහීම වැනි දේවලින් කරන්නේත් මෙය ම ය. දේශපාලනය කරනවා ය කියා ඊට අමතර දෙයක් කරනවා නම්, ඒ වනාහි සංවිධානගත වීමයි. සංවිධානගත නො වීම මගේ දේශපාලනයයි. හේතුව, මා පෙරටුගාමී පක්ෂ සංවිධාන රටාව ප්‍ර‍තික්ෂේප කිරීමයි. සංවිධාන පිළිබඳ මගේ අදහස ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවාදයයි.

      ඒ නිසා පක්ෂවල ඉන්න අය වැඩ කරනවා ය, අපි ඉන්නේ සයිබර් අවකාශයේ ය වැනි මුග්ධ අදහසක් මට නම් නැත. මා කරන්නේ දේශපාලනයයි. එහිදී කුමාර් ගුනරත්නම් හෝ මෛත්‍රීපාල සිරිසේන හෝ මගෙන් වෙනස් වන්නේ ඔවුන්ට ලැබී ඇති අවකාශයෙහි ඇති වෙනස නිසා ය.

      අනෙක් කාරණය මා කරන කාර්යයේ වැදගත්කම පිළිබඳ මට ඇති හැඟීමයි. මා මෙය නො ලියුවා නම් බොහෝ විට සිදු වන්නේ පෙසප ප්‍ර‍බන්ධය පමණක් ස්ථාපිත වීමයි. වෙනත් වාමාංශිකයෝ ද තමන්ගේ වාසිය වෙනුවෙන් ඇත්ත වසන් කරති. නැතිනම් කතා නො කර සිටිති. මේවා විවෘතව කතා නො කර සිටීමෙන් සිදු වන්නේ ළාබාල තරුණයන් පිරිසක් අඳබාලකරණය හරහා ගඟේ යවන්නට නායකයන්ට අවස්ථාව ලැබීමයි.

      නීති කිසි කලෙක ඉතිහාසයට උඩින් පවතින දෙයක් නො වේ. නීති හදන්නේ මිනිස්සු ය. ඒ නිසා සමාජය යහපත් අන්දමින් වෙනස් කිරීම උදෙසා පවත්නා නීති කැඩීමට සිදු වේ. ඉතිහාසය පුරා බොහෝ විප්ලවවාදීහු එසේ කර ඇත.

      කුමාර් ගුනරත්නම් කළේ කුමක්ද යන්න දන්නේ ඔහු ය. කෙසේ වෙතත්, ඔහුට ආපසු ලංකාවට පැමිණ දේශපාලනය කරන්නට උවමනා වී තිබේ. එය නීත්‍යානුකූලව කරන්නටත් ඔහුට උවමනා වී තිබෙන බව පෙනේ. එහෙම උවමනා නො වුණා නම්, ඔහුට සැඟවී වැඩ කිරීම අති දුෂ්කර වන තත්වයක් ලංකාවේ තිබුණේ නැත. සරළව කියනවා නම්, යටිබ්ම්ගත දේශපාලනයක උවමනාව තිබෙන, වගකීම් සහගත විප්ලවවාදියකු නම් ඔය අන්දමින් කුකුළු පැටියකු සේ කොටු වන්නට උවමනා නැත.

      මෙය නීතියෙන් විසඳ ගන්නවා නම්, අදාළ වරද සම්බන්ධයෙන් වන දණ්ඩනයට මුහුණ දෙන්නට සිදු වේ. ඉතින් මොකද? විප්ලවවාදීන් හිරේ ගිහින් නැද්ද?

      අනෙක් ක්‍ර‍මය දේශපාලන හයිය භාවිතා කිරීමයි. මහජන බලය භාවිතා කිරීම යුක්තියුක්ත වන්නේ තමන් කරන කාර්යය පිළිබඳ විශ්වාසයක් මහජනතාව අතර ඇති කළ හැකි නම් පමණි.

      අප එයට විරුද්ධ වන්නේ ඔවුන්ගේ දේශපාලනය ප්‍ර‍ගතිශීලී එකකැයි අපට ඒත්තු නො යන බැවිනි.

      දේශපාලන අභියෝගය මෙයයි. එයට ඔවුන් මුහුණ දිය යුතු ය.

      Delete
    2. Dear Ajith,

      As far as I understand, your vision is based on all values are baseless and that nothing can be known or communicated. It is often associated with extreme pessimism and a radical skepticism that condemns existence. In simple form, you would believe in nothing, have no loyalties, and no purpose other than, perhaps, an impulse to destroy.

      Delete
    3. මා ප්‍රකාශ කරන ලද්දේ ඔබ විසින් විශ්වාස කරන දේශපාලනය සංවිධානයවීම නොව විවේචනය කිරීම මගින් සමාජය වෙනස් කල හැකිය යන්න බවයි.එය ඔබ මාධ්‍යකරණයේ යෙදීම ලෙස ප්‍රකාශ කර ඇත. //පැරකුම්ට මා දන්නා තරමින් එවැනි දේශපාලන භාවිතාවක් නොමැත.(සමහරවිට තිබෙන්නට පුලුවන). ඔහුට ඇත්තේ සමාජය විවේචනය කරමින් සිටින විට සමාජය නිවරදි වේය යන විශ්වාසයක්ය. එය නරක නැත. //

      එයින් දේශපාලන පක්ෂවල සිටින පිරිස පමණක් වැඩකරන බව පවසන්නේ නැත.

      ඔහු පළමුවරය පැහැරගෙන යනු ලැබුයේ ප්‍රසිද්ධ දේශපාලනයට ඒමට එක් දිනකට කලිනි.(මම සිතන පරිදි) එයට පෙර ඹහු පිලිබදව අනාවරණය වුවුද පාලකයින්ට අවශ්‍ය නොවු නිසා හෝ ඔහුගේ දක්ෂතාවය නිසා යටිබිම්ගත දේශපාලනයේ නිරතවිය. 89 පසු නැවත ජවිපෙ ගොඩනැංවිමේදි කුමාර්, සෙනවි සහ නන්දන විසින් විශාල කාර්යයක් සිදුකරන ලදි. එය සිදුකරන ලද්දේ සැගවී සිටිමින්ය. ඉන්පසු ඔහුට ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණිමට ඕනැ තරම් අවස්ථාවන් තිබුනද ඔහු ඒවා භාවිතා නොකිරීම ගැටලුවක් ලෙස මමද දකිමි.

      පෙරටුගාමි සමාජවාදි පක්ෂය බිහිකිරිමෙන් පසු (ජවිපෙන් ඉවත්විමෙන් පසු) ඔහුට සැගවි දේශපාලනය කිරිමේ අවශ්‍යතාවයක් තිබුනේ නැත. ඔහු ඉන්පසු සැගවී සිටියේ නැත. ඔහු විසින් පසුගිය වසරේදි විසා කාලසිමාව දික් කරන ලෙස ඉල්ලීමක් සිදුකර තිබුනි. තවද ලංකාවේ පුරවැසිභාවයද ඉල්ලා සිටින ලදි. එලෙස ඉල්ලා සිටිනවිට ලබා නොදි සිටින්නේ දේශපාලන ගැටලුවක් නිසාය.

      ඔබද මේ පිලිබදවම මේ ආකාරයට පෙර කලකදි ලියා ඇත. http://www.w3lanka.com/2015/11/blog-post_19.html

      Delete
    4. To Anonymous January 22, 2016 at 11:15 AM

      As far as I understand, your vision is based on the fact that all criticizers and questioners are pessimists or radical skeptics.

      You fail to prove your argument through quotes from my write up. The simple reason is FSP narration of Kumar's story is based on devoted loyalty which does not pave way for questioning.

      It is like religious truth. For example one can carbon test the sacred tooth relic and find if it is true tooth of Lord Buddha. But no one ever thinks of it. The reason is that the entire belief system is based on that perception.

      Should politics also be same? Do you suggest that we must believe the narrations of the leftist leaders like religious truth?

      But politics need such believers. They are the ones who give life for their beliefs.

      Such politicians want the other section of the society to be political morons. What is your solution for people like us? Is it execution, the solution most of the Marxists have practiced?

      But you can't move forward in this way. Think and find some way.

      Delete
    5. //. The simple reason is FSP narration of Kumar's story is based on devoted loyalty which does not pave way for questioning. // I agree wholeheartedly to this comment Ajith Parakum. I talked to few of them and their position cannot be challenged. It's sacred.

      Delete
  5. එක් අන්තයක් ගැන පමණක් සලකා කරන ලද විග්‍රහයක් බවයි මගේ හැඟිම. ඔබ වැනි ජීවිත හා දේශපාලන අත්දැකීම් බහුල රචකයෙකුගෙන් මෙයට වඩා මැදිහත් විවරණයක් බලාපොරොත්තු වුණා.

    ReplyDelete
    Replies
    1. අනෙක් අන්තය පිළිබඳ ලිවීම් ඕනෑ තරම් ඇත. ඒවා සමග මෙය ගලපා ඔබගේ අදහස සකස් කර ගන්න.

      Delete
  6. [අමු සිංහල ජාතිවාදය, ආගම්වාදය සමග සන්ධානගත වෙමින් දෙමළ සංහාරයක යෙදුණු ආණ්ඩුවකට ආවැඩූ ජවිපෙ නායකත්වය කුමාර් ගුනරත්නම්ගේ මේ ලක්ෂණය පක්ෂයේ දර දිය ඇද්ද සාමාජිකයන්ට අලෙවි කළේ ය.]

    ඔහේ දැන් වික්‍රමබාහු කරුණාරත්නටත් අන්ත වෙලා
    දෙමළ සංහාරයක් සිද්ධ වුනා නම් ලංකාවේ දැනට ඉතුරු වෙලා ඉන්නේ සහ එක එක එව්වා ඉල්ලන්නේ මොක්කුන් ජාතියක්ද පැරෝ
    ඔය විදිහේ පඩත්තල බොරු කතා කියන්න එපා මනුස්සයෝ, ඒක රටට හොඳ නැහැ

    ReplyDelete
    Replies
    1. කැරැලිකරුවන් වූ පළියට එතරම් විශාල දෙමළ තරුණයන් පිරිසක් මරා දැමීම ගැන භාවිතා කළ යුතු වෙනත් වචනයක් ඔබ යෝජනා කරන්න. මම එවිට සංහාරය යන වචනය ඉවත් කරගන්නම්.

      Delete
  7. මා සිතනා පරිදි අප කුමාර් ගුණරත්නම්ගේ ප්‍රශ්නයේදි සිට ගත යුත්තේ ඔහුට දේශපාලනය කිරිමට අවශ්‍ය නිදහස ලබා දිය යුතුයැයි කියන ස්ථාවරයේය. පැරකුම් විසින් මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කර ඇත්තේ ආණුඩුව විසින් සිදුකරමින් සිටින ක්‍රියාව සාධාරණිකරණය කිරීම සදහාය. පසුගිය ආණ්ඩුව විසින් එම රජයට විරුද්ධව දේශපාලනය කරන ලද පුද්ගලයින්ව නිතී විරෝධිව පැහැර ගන්නා ලදි. මෙම ආණ්ඩුව විසින් තමන්ට විරුද්ධව දේශපාලනය කරන කණ්ඩායම් වෙතට නීතීමය කරුණු ඉදිරිපත් කරමින් සිටියි.

    අප සියල්ලන් දන්නා ආකාරයට ලංකාවේ ඉතා විශාල පිරිසක් විදේශ රටවලට බොට්ටු මගින් සංක්‍රමනයවී වෙනත් රටවල පුරවැසිභාවය ලබාගෙන ඇත. ඔවුන් නැවත ලංකාවට පැමිණි පසු ලංකාවේ ආණ්ඩුව ඔවුන්ව අධිකරණය ඉදිරියට පමුණවන්නේ නැත.ආණ්ඩුව මෙවැනි ආකාරයට විදේශගතවී නැවත ලංකාවට පැමිණ සිටින පුද්ගලයින් කී දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේද යන්න පිලිබදව හැකිනම් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන ලෙස මම පැරාගෙන් ඉල්ලා සිටිමි.

    පැරකුම් විසින් ආරක්ෂා කරමින් සිටින්නේ මෙම ආණ්ඩුව සිදුකරන සදාචාර සම්පන්න නොවන දේශපාලනික භාවිතය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනි සිටිමය. මෙය මහින්ද විසින් තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ අඩු කැඩිමේ සිට අතුරුදහන් කිරීම දක්වා වන ක්‍රියාවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනි සිටිමට වඩා දශමයක්වත් වෙනස් වන්නේ නැත.

    ReplyDelete
  8. කුමාර්ගේ දේශපාලන භාවිතාව නිසා තමයි ඔහු මේ පීඩාවන් වලට ලක් වෙන්නේ කියන එක පැහැදිලියි.රටේ නීතිය කඩ කිරීමෙන් ඔහු වරදක් කර තිබෙනවා නම් ඒ සඳහා නීති මගින් කටයුතු කිරීම ගැටළුවක් නොවේ.නමුත් මේ හා සමාන වරදකට චෝදනා ලබපු විමල් නිදහසේ හැසිරෙන්නත් කුමාර් දිගටම බන්ධනාගාර ගත කර තැබීමත් නිසා මට හිතෙන හැටියට ආණ්ඩුව විසින් නොදැනුවත්වම හෝ විරත්වයක් ආරෝපණය කරනවා කුමාර්ට සහා ඔහුගේ දේශපාලන භාවිතාවන්ට.

    ReplyDelete
  9. ප්‍ර‍දීප් මංගල, ලංකාවට ආපසු එන දෙමළ තරුණයන් අත්අඩංගුවට ගන්නා බව ඔබ නො දන්නේ එය දැන ගැනීමට ඔබට අවශ්‍යතාවක් නැති නිසායි. පහත පළ වන්නේ සිලෝන් ටුඩේ පුවත්පතේ වාර්තාවකින් කොටසක්.

    Nearly 10 Tamils were arrested by the Terrorism Investigation Department (TID) following their return to Sri Lanka from European countries – Australia, Italy, Middle East and Canada, at the Bandaranaike International Airport in Katunayake, in the past two months.


    Most of these Tamils are those who had left the country during the war, yet due to the change in government, have decided to visit the country on the invitation and request by the new government.


    Even though these Tamils confidently travelled back to their home country, once they arrived at the airport, the situation and the treatment they received seemed surprising. They are either checked or interrogated for hours and arrested, if not, after several hours of questioning they are allowed to enter the country, but kept under observation. Read more

    ඔබ කියන මෙම වාක්‍යය රසවත් ය. “මෙම ආණ්ඩුව විසින් තමන්ට විරුද්ධව දේශපාලනය කරන කණ්ඩායම් වෙතට නීතීමය කරුණු ඉදිරිපත් කරමින් සිටියි.“ මහින්දලා, බැසිල්ලා, ගෝටලා, නාමල්ලා, ජොනීලා, රෝහිතලාත් කියන්නේ ඔය ටික ම ය.

    ඔබ සිතන්නේ දේශපාලන පක්ෂයක නායකකමක් කියන්නේ නීති කඩන්නට ලයිසන් එකක් කියා ද?

    අන් සියලු කාරණාවලදී නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින අය කුමාර් ගුනරත්නම් වෙනුවෙන් නීතිමය මුක්තියක් ඉල්ලා සිටීම තරම් විහිළුවක් තව තිබේ ද?


    ReplyDelete
    Replies
    1. මම කියන්නේ එලෙස දෙමළ තරුණයින්වද අත්අඩංගුවට ගන්නවානම් එය වැරදි බවයි.

      // ඔබ කියන මෙම වාක්‍යය රසවත් ය. “මෙම ආණ්ඩුව විසින් තමන්ට විරුද්ධව දේශපාලනය කරන කණ්ඩායම් වෙතට නීතීමය කරුණු ඉදිරිපත් කරමින් සිටියි.“ මහින්දලා, බැසිල්ලා, ගෝටලා, නාමල්ලා, ජොනීලා, රෝහිතලාත් කියන්නේ ඔය ටික ම ය. //

      ඔවුන් සම්බන්ධව ආණ්ඩුව කර තිබෙන්නේ මොකක්ද? ප්‍රකාශයන් ගැනීම සහ ඒවා පිළිබදව මාධ්‍ය ප්‍රචාරයක් දීම පමණයි මම දන්න තරමට වෙලා තියෙන්නේ. අනිත් සියලුම කරුණු සම්බන්ධව ඩීල් දා ගෙන ඉවරයි....

      ආණ්ඩුව එය කරන්නේ තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමටයි. මහින්දද ඒ ආකාරයටම කටයුතු කලේ තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගන්නයි.

      මට තිබෙන ගැටලුව ඔබ ආණ්ඩුව විසින් කරන මෙම තක්කඩි ක්‍රියාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනි සිටිමයි.

      Delete
    2. මම ඉහතින් සදහන් කලේ මාගේ දැනුමේ තරමට දේශපාලනික නොවන කරුණු මත බොට්ටු මගින් සංක්‍රමනයවී වෙනත් රටවල පුරවැසිකම් ලබාගත් පුද්ගලයින් නැවත ලංකාවට පැමිණිවිට අත්අඩංගුවට නොගන්නා බවයි.

      Delete
    3. බෝට්ටුවලින් යන අය යන්නත් කලින් අල්ලලා නඩු දානවා. මුහුදෙදි අල්ලලා ආපහු ගේනවා. දේශපාලන රැකවරණ පතා නේපාලයේ හිටපු ලංකාවේ මාධ්‍යවේදීන් පිරිස භූමිකම්පාවෙන් පසු පවා මුලින් ම ලංකාවට ගෙන එන එක අලුත් ආණ්ඩුවත් ප්‍රතික්ෂේප කළා. ඒකට විරෝධය පළ කළ පසුවයි ඔවුන්ව අරගෙන ආවෙ.

      බෝට්ටුවලින් ගිය අැතැමෙක් ආපහු එන්නේ ඒ රටවල ගමන් බලපත්‍රවලින්. ඒ නිසා ලංකාවට කරන්න දෙයක් නැහැ.

      අනෙක් කාරණය මහින්දලාගේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම පමා වෙන්න හේතුව ඔවුන් විසින් ම දූෂ්‍ය කළ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයයි. නීතිය ක්‍රියාත්මක වීම වළක්වන්නට පාලකයන් බලපෑම් කළ බවට පැහැදිලි සාක්ෂි විරලයි. නීතිය ක්‍රියාත්මක කරන අයට අවශ්‍ය නම් නිදහසේ ඒවා කරන්නට හැකියාව තිබෙනවා. ඒත්, ඔවුන් ඒවා කරන්නේ නැහැ.

      මේවාට දේශපාලකයන් අත නො දමා සිටීම නරක තත්වයක් නෙමෙයි. දේශපාලකයන් කළ යුතුව තිබෙන්නේ නීතියේ ආධිපත්‍යය පිහිටුවන්නට අවශ්‍ය යටිතලය සැකසීමයි. එහෙම නැතිව අහවලුන්, අහවලුන් අත්අඩංගුවට ගන්න කියා නියෝග දීම නෙමෙයි.

      මෙහිදී ජනතාව කළ යුතුව තිබෙන්නේ ධනාත්මක ලෙස විවේචනය කිරීමයි. ඔබ කරන්නේ කිසිවක් සිදු නො වන බවට අන්තවාදී ප්‍රකාශ කිරීමයි. කිසිවක් සිදු වන්නේ නැතිනම් රෝහිත අබේගුණවර්ධනට නඩු පැවරුණේ ඇයි?

      අනෙක් පැත්තෙන් නිසි පරිදි විමර්ශන නො කර, හිතුමතේ මිනිසුන් අත්අඩංගුවට ගත්තොත් සිදු වන්නේ නඩු ඔප්පු කර ගන්නට බැරිව ඔවුන් වීරයන් වී නිදහස් වන එකයි.

      Delete
    4. වසර කිහිපයක පිටුවහල් ජීවිතයකින් පසු නැවත මෙරටට පැමිණීමේදී පසුගිය 20 වැනිදා කටුනායකදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී පී සසීකරන් මහතා දැඩි ඇප කොන්දේසි යටතේ නිදහස් කර ඇති බව වාර්තා වේ. ඊයේ (21) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 10,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කර තිබේ.
      ඔහුට නැවත විදෙස්ගත වීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් පනවා ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණයේ භාරයට ගෙන තිබේ. ඊට අමතරව සෑම මසකම පළමු ඉරිදා දිනයේදී කටුනායක පොලීසියේ පෙනී සිටිය යුතු බවට ද නියෝග කර තිබේ.

      දමිළ මාධ්‍යවේදියෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ සසීකරන් මහතාට පසුගිය රජය සමයේ එල්ල වූ තර්ජන හේතුවෙන් ඔහු රහසිගතව ඕස්ට්‍රේලියාවට පළාගියේය. යහපාලන රජය පත්වීමෙන් පසු තර්ජන හේතුවෙන් විදෙස්ගත වූ මාධ්‍යවේදීන්ට නැවත පැමිණීමට රජය ආරාධනා කළ අතර ඒ අනුව ඔහු පසුගිය 20 වැනිදා නැවත මෙරටට පැමිණියේය.(http://sinhala.lankanewsweb.net/news/item/2536-2016-01-22-06-19-51)

      Delete
  10. මේ දවස් වල ඕවා ලියල වැඩක් නෑ. සීපා වලට එන විරෝධය තමයි මේ දවස් වල ආණ්ඩුවට තියෙන ලොකුම කරදරේ. පොඩ්ඩක් ඒකේ හොරි ටික කහලා ගිණි පිම්බා නම් සෑහෙන වටිනවා.

    ReplyDelete
  11. යහපාලන චොම්පිකෑස් තුමා ඇතුලු නඩේ දූශිතයන් ගේ අසාදු ලේකනයක් හදනවා කීවා නේද? ලේකනේ කොර වෙලා වගේ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා