ඔලුව වටේ අත දමා කණ ඇල්ලීම හෙවත් ජංගම දුරකථනයෙන් වාහන දඩ ගෙවීම / Mobile cash for paying traffic fines

වැරදි කරන රියදුරන්ට ජංගම දුරකථනයෙන් දඩ ගෙවිය හැකි ක්‍රමයක් හඳුන්වා දෙන්නට පොලිසිය සූදානම් වන බව පොලිස්පත්තුමා ලක්බිම පුවත්පතට පවසා තිබිණි.


දුරබැහැර ගමනක් යන විට පොලිසියෙන් මොකක් හෝ වැරැද්දක් කළ බව කියා රියදුරු බලපත්‍රය ගෙන දඩ කොළයක් දුන් විට එය ගෙවා රියදුරු බලපත්‍රය ආපසු ගැනීම තරමක් සංකීර්ණ කාර්යයක් බවට පත් වේ.


දඩ කොළය රැගෙන තැපැල් කන්තෝරුවකට ගොස් එය ගෙවා රිසිට් පත රැගෙන ආපසු පොලිසියට පැමිණ අර පොලිස් නිලධාරියා වෙන කොහේ හෝ මගුලක නොගොස් පොලිසියට පැමිණ රියැදුරු බලපතුය එහි තබා ඇතිනම් එය රැගෙන යා යුතු ය. නැතිනම් එදා යන ගමන ගොස් වෙන දවසක ආපසු ආ යුතු ය.


හඳුන්වා දෙන්නට යන ක්‍රමය යටතේ ජංගම දුරකථනයෙන් දඩ ගෙවන්නට පුළුවන් ලු. ඉතින් ඕකට ඔච්චර දුර යන්න ඕනෑත් නැත. උපදෙස් ගන්නට ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ඕනෑත් නැත. ඔලුව වටේ අත දමා කණ අල්ලන්නට ඕනෑ නැත. දඩය එවේලේ ම පොලිස් නිලධාරියාට ගෙවන්නට පුළුවන් ක්‍රමයක් හැදුවා නම් ප්‍රශ්න අහවර ය. මොකද, පොලිස් නිලධාරීන් වනාහි ඔය ආරණ්‍යවාසී හාමුදුරුවරුන් වැනි මුදල් අතපත ගෑම නො කරන පිරිසක් නො වන බැවිනි.


මෙතැන ඇති ප්‍රශ්නය ආණ්ඩුවට හා ඉහළ නිලධාරීන්ට රාළහාමිලා විශ්වාස නැතිකමයි. මහජනතාවට නම් රාළහාමිලා කොහෙත් ම විශ්වාස නැත. මහජනතාව පාරේ රිය පදවන්නේ පාර මැද තනි ඉරි, ද්විත්ව ඉරි ආදිය බලු මයිලකට නො තකා ය. රාළහාමිලා මහජනතාව ඉරි කපන තැන් හොඳින් දැනගෙන ඒ තැන්වල ඉන්නේ හැංගිලා ය.


ආණ්ඩුවට ද මේ රටේ මහජනතාව නීතිගරුක වීම අවශ්‍ය නැත. ආණ්ඩුවට අවශ්‍ය දඩ ගෙවන ජනතාවකි. ඇතැම් පොලිස් රාළහාමිලා උදව්වක් වශයෙන් ය කියා දඩ කොළය තමන් ම ගෙවීමට ඉදිරිපත් වෙති. රැයැදුරන් එවිට කියන්නේ ඕකුන් ගාව හොර පොත් තිබෙනවා ය කියා ය.


හැබැයි, එකක් නම් සහතික ය. රාළහාමිලා පගා නම් ගහන්නේ ම නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා