මාළුන්ට නැති දේශ සීමා වෙනුවෙන් කෙළ ගන්නා ලංකාවේ හා තමිල්නාඩුවේ ධීවරයෝ

(2011 පෙබරවාරි 22, W3Lankaයාපනයේ ධීවරයන් හා දකුණු ඉන්දීය ධීවරයන් අතර මුහුදු සම්පත් බෙදා ගැනීම පිණිස ඇති වී තිබෙන ගැටුම මේ වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් වී තිබේ. 


තමිල්නාඩු ධීවරයන්ගේ ප්‍රශ්නය එරට දේශපාලන පක්ෂ විසින් මැකිවරණයේදී වාසි ලැබීම සඳහා භාවිතා කරන බව ලංකාවේ ආණ්ඩුව චෝදනා කරයි. යාපනයේ ද පළාත් පාලන ඡන්ද පැවැත්වේ. ධීවර ගැටුම්වලින් වාසි ලැබීමට සූදානම් දේශපාලන පක්ෂ මෙහි ද ඇත.


නීතිය අතට ගෙන, ලංකාවේ මුහුදි සීමාවට පැමිණි බෝට්ටු අත්අඩංගුවට ගෙන, යාපනයට ගෙන ආ, එම බෝට්ටු නාවික හමුදාවට භාර දීම මුලදී ප්‍රතික්ෂේප කළ, දිගින් දිගට ම උද්ඝෝෂණයේ යෙදෙන යාපනයේ ධීවර සමිති කොටින්ට සම්බන්ධ යයි ආණ්ඩුව පැත්තෙන් චෝදනා ද නැ‍ඟේ. ආණ්ඩුව සාමාන්‍යයෙන් තමන්ගේ පාලනයට හසු නො වන ඕනෑම දෙයක් කොටින් පිට පටවයි. 


උතුරේ කොටි සංවිධානය බලවත්ව සිටියදී පවා වරක් ‍යාපනයේ ධීවර සමිති මේ අන්දමින් ම ඉන්දීය ධීවර බෝට්ටුවලට ප්‍රහාරයක් එල්ල කළ හ. 


කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර තිබුණු ඉන්දීය ධීවරයන් ඉන්දීය රජයේ දැඩි බලපෑම් හේතුවෙන් නිදහස් කර යැවීමට ලංකාවට සිදු විය. 


ප්‍රශ්නය එතැනින් අවසන් වී නැත. ලංකාවේ මුහුදු සීමාවෙන් ඈත්ව සිටින්නැයි ඉන්දීය වෙරළාරක්ෂක බලකාය අවවාද කර තිබියදීත්, එම අවවාද නො තකා හරිමින් ඉන්දීය ධීවරයෝ සංවිධානාත්මකව බෝට්ටු සිය ගණනින් එකට පැමිණ ලංකාවෙන් ගේම ඉල්ලන්නට පටන් ගෙන තිබේ. එම කටයුතු සංවිධානය කරන්නේ තමිල්නාඩුවේ ධීවර සමිති විසිනි. 


කච්චතිවු, මන්නාරම, කල්පිටිය ආශ්‍රිත මුහුදු කලාපයේදී ඉන්දීය ධීවරයන් මෙසේ ආක්‍රමණශීලී ලෙස ලංකාවේ මුහුදට ඇතුළු වන්නේ එරට ධීවර කර්මාන්තයේ ඇති ගැටලුවක් නිසා බව ධීවර ක්‍රියාකාරිකයකු වන එම්. විජේන්ද්‍ර පවසයි. ඔහු පවසන පරිදි ඉන්දියාවේ වෙරළාසන්න කලාපයේ ධීවර කර්මාන්තය යාන්ත්‍රික බෝට්ටුවලට තහනම් කර, සම්ප්‍රදායික සුළු පන්න ධීවරයන්ට වෙන් කර තිබේ. යාන්ත්‍රික බෝට්ටුවලට ධීවර කර්මාන්තයේ යෙදෙන්නට අවසර ඇති ඉන්දීය මුහුදු සීමාවේ මසුන් බහුලව ගැවසෙන කලාප නොමැති බැවින් ධීවරයෝ මසුන් සොයා ලංකාවේ මුහුදු සීමාවට පැමිණෙති. එපමණක් නොව ඔවුහු බොටම් ට්‍රෝලිං වැනි තහනම් ධීවර ක්‍රම අනුගමනය කරමින් මහ මුහුද සූරා කති. 


මෙහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධයේ අවසානයෙන් පසු යළි පිබිදෙමින් ඇති ලංකාවේ උතුරේ ධීවර කර්මාන්තයට ප්‍රශ්නයක් මතු වී තිබේ. ඉන්දීය ධීවරයන් විසින් සූරා කනු ලබන්නේ උතුරේ ධීවරයන්ට නෙළා ගැනීමට තිබෙන මුහුදු සම්පත් ය. 


කෙසේ වෙතත්, ධීවර ක්‍රියාකාරික එම්. විජේන්ද්‍ර කියන පරිදි තමිල්නාඩු බෝට්ටුවල සේවය කරන ඇතැම් ධීවරයෝ බත් පතට රැකියාවේ යෙදෙන අන්ත දිළින්දෝ ය.  අත්අඩංගුවට, වධ හිංසාවට හා ඇතැම් විට මරණයට පවා පත් වන්නේ ඔවුන් මිස ධනවත් බෝට්ටු හිමියෝ නො වෙති. 


තමිල්නාඩු ධීවරයන් ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරන පරිද්දෙන් ම, ලංකාවේ ධීවරයෝ ද ඉන්දීය මුහුදට අනවසරයෙන් ඇතුළුව කර්මාන්තයේ යෙදෙති. ඉන්දියාවත්, ලංකාවත් සමීපව පිහිටා ඇති උතුරු මුහුදේදී ඇතැම් විට මසුන් හඹා යන දෙරටේ ම ධීවරයන් අනෙක් රටේ මුහුදු සීමාවට නො දැන ම පිවිසෙන අවස්ථා ද ඇත. විශේෂයෙන් ම, බෙංගාල බොක්කේ අන්දමන්, නිකොබාර් දූපත් ආශ්‍රිත කලාපයේ කෙළවල්ලන් අල්ලා ගැනීම පිණිස ලංකාවේ ට්‍රෝලර් හිමියෝ ධීවරයන් එහි යවති. 



එම්. විජේන්ද්‍ර පවසන පරිදි ඉන්දීය ධීවර කර්මාන්තයේ අඩු දියුණුව හා මත්ස්‍ය සම්පත් හිඟකමින් රැකියා අහිමි වන තමිල්නාඩුවේ දිළිඳු ධීවරයන්ට විකල්ප රැකියා සොයා දීමට ඉන්දීය රජය අසමත් වීම මෙම ප්‍රශ්නය උග්‍ර කිරීමට හේතු වී තිබේ. 


මේ අතර, යාපනයේ හා තමිල්නාඩුවේ ධීවරයන් අතර ඇති වී තිබෙන ගැටුම හේතුවෙන් ජාතීන්ගේ ප්‍රශ්නයේ නව පැතිකඩක් ද විවර වී පෙනේ. තමිල්නාඩුවේ ධීවරයන් ද ඇතුළුව දෙමළ ජනයා ලංකාවේ උතුරේ දෙමළ ජනයාගේ හිමිකම් සම්බන්ධයෙන් උද්ඝෝෂණ කර තිබේ. එහෙත්, මේ දෙරට නිදහස් රාජ්‍ය බවට පත් වන්නට පෙර, කලාපයේ ධීවරයන් විසින් බෙදා හදා ගන්නා ලද මහ මුහුද ජාත්‍යන්තර මුහුදු සීමා අනුව බෙදා ගනිමින් දැන් ඔවුහු ගැටෙති. මහ පොළව බෙදා ගැනීමේ මිනිසුන්ගේ ප්‍රශ්න අතිශය සංකීර්ණ ය. මාළුන්ට නම් දේශ සීමා නැත. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. එකාලෙ තිබුන සහෝදර කැක්කුම දැන් මුන්ගෙ නැතිලුද, එහෙම නැත්නම් මුන් වෙන දෙමළ ජාතියක්ද :D

    ReplyDelete
  2. "මාළුන්ට නම් දේශ සීමා නැත."

    Haraktath netha!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා