සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මිදී සන්නිවේදන උපකරණ නැතිව ගැඹුරු මුහුදේ දින 14ක් යාත්‍රා කර ආපසු පැමිණි අපේ කාලයේ වීරයෙක්

(2011 පෙබරවාරි 26, W3Lankaධීවරයින් 5 දෙනෙකු සමගින් පසුගිය ජනවාරි 22 බේරුවලින් මුහුදු ගිය ඕෂන්-4 ධීවර යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයට පත් වූ බවට සැකයක් මතුව ඇති බව පසුගියදා ධීවර අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.


ඕෂන්- 4 යාත්‍රාවේ ධීවරයින් විසින් පසුගියදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයේ සිට නිදහස්ව යළි දිවයිනට පැමිණෙමින් සිටින දර්ශන -6 ධීවර යාත්‍රාවට තම යාත්‍රාව දෙසට සැකකටයුතු බෝට්ටුවක් පැමිණෙන බවට ලබාදුන් පණිවුඩයකට අනුව මෙම සැකය මතුව තිබිණි. ධීවර ක්‍රියාකාරිකයකු අපට පැවසූ කරුණක් මෙහිදී සිහිපත් වේ. ධීවරයන්ට සපයා තිබෙන සන්නිවේදන මාර්ග ධීවරයන් විසින් ම වැරදි ලෙස භාවිතා කරනු ලැබීම හේතුවෙන් ගැඹුරු මුහුදේදී අනතුරට පත් වන ධීවරයින්ට නිසි අන්දමින් හදිසි පණිවුඩයක් ලබා දීමේ හැකියාව නැතිව යයි. මෙහිදී ද එවැන්නක් සිදු වූවා වන්නට ඉඩ ඇත.


කෙසේ හෝ වේවා, මෙම යාත්‍රාව සමග තිබූ සියලුම සන්නිවේදන සබඳතා පෙබරවාරි 11 වැනිදා සිට බිඳ වැටී තිබිණි.


මෙම ධීවරයන් පස්දෙනා ඊයේ (25) දා අලුයම 3.30 ට පමණ බේරුවල ධීවර වරායට සේන්දු වූ බව මාධ්‍ය මගින් වාර්තා විය. මාධ්‍ය වාර්තා 100%ක් සත්‍ය ද යන්න අපි නො දනිමු. එහෙත්, වාර්තා අනුව, මෙම ධීවර යාත්‍රාවේ නියමුවා පුහු වීරයන් රජ කරන අපේ කාලයේ සැබෑ වීරයෙකි.


තෙරක් නො පෙනෙන ගැඹුරු මුහුදේ සරළ යාන්ත්‍රික උපකරණ කීපයක් සමග දිය රැළි සමග පොරබදිමින් ඔහු ආපසු බෝට්ටුව රැගෙන පැමිණි කතාව තවමත් වාර්තා නො වුණු සැබෑ වීර කතාවකි.


අප මෙහි පළ කරන්නේ ඔවුන්ගේ කතාව පිළිබඳ අද දිවයින පුවත්පතින් උපුටා ගත් කොටස් කීපයකි.


"සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවෝ අපේ බෝට්‌ටුවට මුල ඉඳලම වෙඩි තිබ්බා. අපි පහත්වෙලා හිටියා. පස්‌සෙ එයාල අපේ බෝට්‌ටුවට නැග ගත්තා. අපි පස්‌දෙනාවම බෝට්‌ටුවේ ඉස්‌සරහට ගෙනිහිල්ලා දණ ගස්‌සලා තුවක්‌කු ඔළුවට තියාගෙන හිටියා. ඒ අය කතා කළේ කැඩිච්ච ඉංග්‍රීසියෙන්. උඹල මොන රටේද කියලා ඇහුවා. අපි කිව්වා අපි ශ්‍රී ලංකාවේ කියලා. ඊට පස්‌සේ අපිට හොඳටම ගහලා අපේ හැමදෙයක්‌ම එයාල අර ගත්තා. පොල් ගෙඩි 30 ක්‌ විතර බෝට්‌ටුවේ තිබුණා. ඒ හැම දේමත් එක්‌ක කෑම බීම ඔක්‌කොම ගත්තා. බෝට්‌ටුවේ තිබුණ ටීවී එකයි, රේඩියෝ එකයි, බෝට්‌ටුවේ රේඩාර් උපකරණ ටිකයි අර ගත්තා. ඇන්ටනාවත් ගලව ගත්තා. අපේ ඇඳුම් පවා උදුර ගත්තා. ඇඟේ ඇඳුම විතරයි ඉතුරු වුණේ. ඊට පස්‌සේ අපිව ආපසු අතහැරියා. මහ මුහුදේ රේඩාර් පද්ධතියක්‌ නැතිව කොහේ යන්නද කියලා අපිට හිතා ගන්න බැරි වුණා. ඒත් අපේ ස්‌කීපර් චන්ද්‍ර අයියාගේ උත්සාහය නිසා කාටවත් කරදරයක්‌ නැතුව ආපහු ගෙදර ආවා."


- ඕෂන් 4 යාත්‍රාවේ සිටි ධීවරයකු වූ ලක්‍ෂ්මන් පෙරේරා


පෙනෙන අන්දමින් ඔවුන් පෙබරවාරි 11දා සිට 25දා දක්වා දෙසතියක කාලයක් මුහුදේ යාත්‍රා කරමින් මේ ගමන පැමිණ තිබේ. ඒ ගමනේ අත්දැකීම ත්‍රාසජනක කතාවක් බවට සැක නැත. 


"රේඩාර් යන්ත්‍රය කොල්ලකරුවන් ගලවා ගත්තාට පස්‌සේ ආපහු බේරුවල සොයාගෙන එන එක ලේසි වුණේ නෑ. ඒත් මම කොහොම හරි ඒ දේ කළා. මට ගොඩක්‌ සතුටුයි. අපේ හැඳුනුම්පත් ඔක්‌කොම ඒ කට්‌ටිය ගත්තා. මම දියවැඩියාව රෝගයට ලබාගන්න බෙහෙත් ටික පවා උන් උදුර ගත්තා. දවස්‌ ගානක්‌ තිස්‌සේ බෙහෙත් නැතුව මහ මුහුදෙදි කට්‌ටියව ආපසු ගේන්න විඳපු දුක අද මට ලොකු සතුටක්‌ වෙලා."


- ඕෂන් 4 යාත්‍රාවේ නියාමක චන්ද්‍ර පුෂ්පකුමාර


ඈත මුහුදේ අනතුරුදායක යාත්‍රාවන්හි යෙදෙමින් මත්ස්‍ය සම්පත නෙළාගෙන සය රට ගෙන එන මේ ධීවරයන් නිසා පවතින ධීවර අමාත්‍යංශය ගැන අනතුරට පත් ධීවරයකුගේ බිරිඳ පවසන්නේ මෙසේ ය:


"මම ධීවර අමාත්‍යාංශයට ගිහිල්ලා මගේ මහත්තයවයි, අනිත් කට්‌ටියවයි බේරල දෙන්න කියලා බැගෑපත් වුණා. ඒත් ඒ නිලධාරීන් මට මහ අමුතු විදියට කතා කළේ. "මනුස්‌සයා මුහුදු ගියේ පොල් කඩන්නද?" කියලා මගෙන් ඇහුවා. ලොකු පුටුවල වාඩිවෙලා ඉන්න මහත්වරුන්ට අපේ දුක තේරුම් ගන්න බෑ. ඒගොල්ලො ඇඟ බේරගෙන දුප්පත් අපිත් එක්‌ක තර්ක කරනවා."


- අපේ කාලයේ වීරයකු ලෙස අප හඳුන්වන ඕෂන් 4 යාත්‍රාවේ නියාමක චන්ද්‍ර පුෂ්පකුමාරගේ බිරිඳ ඩබ්ලිව්. කමලාවතී ද සිල්වා


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අද අරාබියේ වෙන විප්ලවය ලොව පුරා පැතිර යනවා නියතයි. මෙවැනි විප්ලවයන්ට color revolutions කියා පත්තර කාරයන් නම් කරනවා. ඒ අනුව අද වේගන යන විප්ලවයන්ට jasmin නොහොත් සමන් මල් විප්ලවය කියා සමහරු කියනවා.

    මට මේවා පෙනෙන්නේ texting revolution කියායි. Face Book, Twitter ආදී ලෝ පරිගණක වැලේ තැන්වලින් උසිගන්වා ඉන්පසු මහජනයා අතර text (SMS) පණිවිඩ මාර්ගයෙන් සංවිධාන වී සාමකාමීව රැස්වී තම ඉල්ලීම් කිරීම මෙවායේ ලකුණකි. මුල්ම texting රැස්වීම වුනේ ඕබමා ඡන්දය දිනූ දිනයේයි. එදා ධවල මන්දිරය ඉදිරිපිට පිටියට ළඟ විශ්වවිද්‍යාලවල සිසුන් රැස්වී කල කලබලය පොලිසියවත් පත්තරකාරයන් වත් කලින් දැන හිටියේ නෑ.

    අද ඇමෙරිකාවේ ප්‍රාන්ත 50හේම පෙලපාලි යනවා. ඒවාට ආදර්ශය ලැබුණේ ඊජිප්තුවෙනුයි. මේ හැම තැනම අය කියන එක දෙයක් තමා "මගේ තිබුන බය නැතිවෙලා කවදාවත් නොදැණුනු නිදහසක් අද මට දැනෙනවා" කියායි. අද ලංකාවේ කාටත් අර ධීවරයාගේ බිරිඳ ලැබූ අවමානය නිතිපතා බලවතුන්ගෙන් ලැබෙනවා. මෙම අවඥාවන්වලට මුල් හේතුව රටේ බලය තමන් අතේ නැතිව ගොස් ඇති නිසා කියා ජනයා තේරුම් ගත් විටයි නැගී සිටින්නේ. ඒ දිනය ලංකාවට ළඟ වග කාටත් හිතෙනවා ඇති.

    ලිස්ට් ක්‍රමයෙන් දාමරිකයන් බලයට පැමිණීමත් ඒ නිසා සංස්කෘතියක් නැති පාදඩයන් රට සූරා කන වග රටේ මධ්‍යම පංතියට පෙනී යයි. කොළඹ කාක්කන්ගේ ඉරණම එදා තීන්දු වෙනවා ඇත.

    ළඟදීම හදිසියේම දකියි බෝගම්බර පිටියේ මහජනයා එක් රැස් වෙනවා. ඒ විටම කොළඹ තුරඟ තරඟ පිටියේ තව එකක් දකියි. ඔය විදිහට හතු පිපෙනවා වගේ හැම තැනම පිරිස් රැස් වෙයි. එදා තමන්ගේ වාසියට හදාගෙන ඉංග්‍රීසියෙන් ලියාගත් ව්‍යවස්තාවක මුවාවෙන් පාලනය ගෙනියන දේශපාලකයන් හදිසියේම හුළං බැහැලා වල්ගේ පස්සේ ගහගෙන යනවා ඇති.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා