2019-03-31

සර්පයන් දිව දිගු කරන්නේ ඇයි?

අජිත් පැරකුම් ජයසිංහ

හත ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතේ අපූරු කවියක් තිබෙනවා. ඒ කවිය මෙසේයි.
A snake can glide from side to side.
They’re really long and like to hide.
They have long backbones, but no hair.
They use their tongues to taste the air.
They taste your scent if you are near,
And hiss a threat for you to hear.
It’s wise of you to clear their way,
So you don’t have an awful day!
– By Mariah Deitrick
මේ කවියේ ක්ෂණික පරිවර්තනයක් මෙහෙම කළ හැකියි.
සර්පයෙකුට පුළුවන් පැත්තෙන් පැත්තට ඇදි ඇදී යන්නට
ඔවුන් හරි දිගයි, හැංගෙන්න කැමතියි
ඔවුන් තම දිවෙන් වාතයේ රස බලනවා
ඔවුන් ඔබේ සුවඳ රස බලනවා, ඔබ ඔවුන් ළඟ නම්
ඉන් පසු පිඹිනවා තර්ජනයක් ඔබට ඇසෙන්නට
කෝකටත් හොඳයි එතනින් අයින් වෙන එක
මොකටද නිකම් අවුලක්!
– මාරියා ඩේට්‍රික්
කවිය මගේ අවධානයට ලක් වුණේ එහි තිබෙන සුන්දරත්වය නිසා විතරක් නෙමෙයි, එහි තිබෙන විද්‍යාත්මකභාවයත් නිසා. ඒ නිසා තමයි අර මුලින් ඇති මාතෘකාව යෙදුවේ.
බොහෝ සර්පයන්ගේ ඇස් පෙනීමත්, කණ් ඇසීමත් දුර්වලයි. ඔවුන්ට පැහැදිලි කණ් නැහැ. ඔවුන්ට ඇසීම ලැබෙන්නේ කම්පනය ඔස්සේයි. ඇසීම සඳහා උපයෝගී කරගන්නා අවයව ඔවුන්ගේ හිස තුළ හකු අස්ථිවල තිබෙනවා.
සර්පයන් ඇත්තට ම කරන්නේ දිවෙන් රස බැලීමක්. ඔවුන් දිව පිටතට විහිදුවා එයින් ලබන්නේ සංවේදනයක්. ඒක ටිකක් අමුතු එකක්. සර්පයන්ට හොඳ ඉවක් තිබෙනවා. නැහැ පුඩුවලින් වාතයේ තිබෙන ගඳ සුවඳ සංවේදනය කරනවාට අමතරව ඔවුන් දිවෙනුත් එම කාර්යය කරනවා. ඒක වෙන්නෙ කොහොමද?
ඔවුන් වරින් වර පිටතට දිගු කරන අග්ගිස්සෙන් දෙකට බෙදුණු දිවෙන් ඔවුන් වාතයේ පාවෙන ක්ෂුද්‍ර ජල අංශුවල තිබෙන ගඳ සුවඳ උරාගන්නවා. සර්පයන් දිව ඇතුළට ගත් විට මේ ජිව්හා අග්‍ර දෙක ඔවුන්ට තිබෙන ජේකොබ්සන් ඉන්ද්‍රියේ සිදුරු දෙකට ගානට පිහිටනවා. ජේකොබ්සන් ඉන්ද්‍රිය පිහිටා තිබෙන්නේ සර්පයාගේ උඩු තල්ලේයි. එවිට, දිව අග ඇති ජල වාෂ්පවල රැඳි සුවඳ අංශු ඉන්ද්‍රියේ ප්‍රතිග්‍රාහක අණු විසින් හඳුනාගන්නවා. එම ප්‍රතිග්‍රාහන විසින් සංවේදනා පිළිබඳ පණිවුඩ මොළයට යවනවා. මොළය විසින් ඒ පණිවුඩ විග්‍රහ කරගෙන එය මීයකුගේ ගඳක් නම් ඒ බව අවබෝධ කරවනවා.
මෙම කාර්යය නාසයේ තිබෙන සංවේදක මගින් ද කරනු ලබනවා. මේ දෙක එකතු වුණාම තමයි සර්පයන්ට ඉතා හොඳ ඉවක් ලැබෙන්නේ.
ජේකොබ්සන් ඉන්ද්‍රිය කටුස්සන්, තලගොයන් වැනි දිව දිගු කරන වෙනත් උරගයන්ටත් තිබෙනවා.
දැන් බැලුවා ම ඒ කවියේ තිබෙන ‘ඔවුන් තම දිවෙන් වාතයේ රස බලනවා -ඔවුන් ඔබේ සුවඳ රස බලනවා, ඔබ ඔවුන් ළඟ නම්’ කියන පද දෙක කාව්‍යාත්මක වගේ ම කොයි තරම් විද්‍යාත්මක ද?

අපේ නවෝත්පාදනයන් සමාජගත නොවන්නේ ඇයි?

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ ජනතාව අතර ව්‍යවසායකත්වය කෙරෙහි තිබෙන නැඹුරුව ප්‍රමාණවත් නැහැ. පිරිමින් අතර ව්‍යවසායකයන් ප්‍ර‍තිශතය 4%ක් පමණ වෙනවා. කාන්තාවන් අතර නම් එය 1%කටත් අඩුයි. සමස්ත ජනගහනයෙන් 3%ක් පමණයි, ව්‍යවසායක් ලෙස හඳුන්වන්නට පුළුවන් ව්‍යාපාරයක නියැලී සිටින්නේ. මෙය ආසියානු කලාපයේ තායිලන්තය වැනි රටක් සමග සන්සන්දනය කළ විට ඉතා පහත් මට්ටමක්. තායිලන්තයේ ජනගහනයෙන් 30%ක් පමණ ව්‍යවසායකයන් ලෙස හැඳින්විය හැකි බව වාර්තා වෙනවා. අලුත්, උගත් තරුණ පරපුර ව්‍යවසායකයන් බවට පත් වීම ලංකාවේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍යයි. ත්‍රිරෝද රියක්, ටැක්සියක් පාරට දැමීමට වඩා නිර්මාණාත්මක ව්‍යවසායන් එහිදී ඉතා වැදගත්.
Sinhala Tamil English Translations and Content Writing
ව්‍යවසායකත්වය ලංකාවේ සංවර්ධන ගැටලුවක්. ඇයි අප ව්‍යවසායකත්වයට අකැමැති? ව්‍යවසායකයකු ය කියන්නේ ලාභය වෙනුවෙන් මුල්‍ය අවදානම් ගනිමින් ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යන්නෙක්. ලාභ ලැබීම වැරදි ක්‍රියාවක් ද? ලාභය සාධාරණ ලාභ හා අසාධාරණ ලාභ ලෙස වර්ගීකරණය කරන්නට පුළුවන්. ලාභය අසාධාරණ ලාභයක් නොවන පරිදි නියාමනය කරන්නට රජයකට පුළුවන්. බදු, මිළ පාලනය වැනි පියවර ඔස්සේ එසේ කරන්නට පුළුවන්. කුමන අන්දමක ලාභයක් වුවත්, පරිභෝජනය නිසා නැවත සමාජය වෙත සංසරණය වෙනවා. ඉහළ පෙළෙ හෝටලයකින් කෑම කන ධනපතියෙකු ඒ හෝටලයේ සේවයේ රැකියාවල නියුතු අයගේ වැටුපට දායක වෙනවා. එක් රැස් කරගන්නා ලාභය නැවත ආයෝජන බවට පත් වෙනවා. හැබැයි, ධනවාදයට විෂමතා නැති කිරීමේ හැකියාව අඩුයි. සමාජයේ සුළු පිරිසක් විශාල දේපල ප්‍රමාණයක හිමිකරුවන් බවට පත් වෙනවා. අති බහුතරයකට හිමි වන්නේ දේපලවලින් සුළු ප්‍රමාණයක්. හැබැයි, කොයි තරම් හිමි කරගත්තත්, පුද්ගලයකුට පරිභෝජනය කරන්නට තිබෙන හැකියාවේ සීමාවක් තිබෙනවා. ඒ වුණත්, හිමිකාරිත්වය නිසා විශාල බලයක් ලැබෙනවා. බලය පරිභෝජනයට වඩා ප්‍රබලයි. බලය ඇති අයට කළ හැකි දේවල සීමාවක් නැහැ.
කෙසේ වෙතත්, අප මෙම ලිපියේ අවධානය යොමු කරන්නේ ලංකාවේ තිබෙන සමාජ ගැටලුවක් දෙසයි. රජය පැත්තෙන් ගත්තත් තරුණයන්ට වැඩි පෙළඹවීමක් ඇති කරන්නේ ව්‍යවසායකත්වයට නොවෙයි, රැකියා කිරීමටයි. රැකියා කරන අයට වඩා බෙහෙවින් අඩු ආදායමකදීත් කුඩා ව්‍යාපාර කරන අය රජයට බදු ගෙවිය යුතු තත්වයක් ඇති කර තිබෙන්නේ ඒ නිසායි. රැකියා පැත්තෙන් ගත්තත්, බොහෝ දෙනෙකු අවධානය යොමු කරන්නේ රජයේ රැකියාවලට. පෞද්ගලික අංශයේ රැකියාවලින් වැඩි වැටුපක් ලැබෙද්දීත්, ඒවායේ වැඩි ශ්‍රම ඵලදායිතාවකට ඉඩ ලැබෙද්දීත්, බොහෝ උගත් තරුණයන් රජයේ රැකියා සොයා යන ආකාරය දැකිය හැකියි.
ලංකාවේ තරුණයන් නවෝත්පාදන එළිදැක්වීමට උනන්දුවක් දක්වනවා. මෙවැනි නවෝත්පාදකයන් පිළිබඳ නිරතුරුව ම ජනමාධ්‍යවල වාර්තා වෙනවා. නවෝත්පාදන තරග ආදිය නිරතුරුව ම පැවැත්වෙනවා. එහෙත්, ගැටලුවක් තිබෙනවා. මේ නවෝත්පාදනවලට සිදු වන්නේ කුමක් ද? ඇතැම් ඒවා වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර පවා ලබා ගන්නවා. එහෙත්, නිෂ්පාදන ලෙස වෙළඳපොළට පැමිණෙන්නේ නව නිර්මාණ කීයෙන් කීය ද? එයට හේතුව කුමක් ද?
නවෝත්පාදන තරග පැවැත්වූ පළියට නවෝත්පාදක ව්‍යවසායකයන් බිහි වන්නේ නැති බව පැහැදිලියි. නවෝත්පාදක තරුණයන් කිසියම් උගුලක හසු කිරීමක් ද මේ තරගවලින් සිදු වෙනවා. තරග ජයග්‍රහණ පසුපස හඹා යාම හා ඒ ඔස්සේ වැඩිදුර පුහුණු අවස්ථා, විදේශ චාරිකා ආදිය පසුපස හඹා යාමත්, ඉන් අනතුරුව ව්‍යවසායකත්වය පැත්තක දමා රජයේ හෝ රාජ්‍ය නොවන අංශයේ රැකියා වෙත යොමු වීමත් සුලබව දැකිය හැකියි.
තරුණ සමාජ නවෝත්පාදක ව්‍යවසායකයන්ගේ වැඩමුළුවක් සමග දින කිහිපයක් ගත කිරීමේ අවස්ථාව මාස කීපයකට ඉහතදී මට ලැබුණා. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අනුග්‍ර‍හයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ජාතික තරුණ සේවා සභාව සමග එක්ව සංවිධානය කර තිබුණු මෙම වැඩසටහනට විශේෂඥ දායකත්වය හා පහසුකාරකත්වය සැපයුවේ මැලේසියානු ගෝලීය නවෝත්පාදන හා නිර්මාණ මධ්‍යස්ථානය නම් ආයතනයයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ සම්බන්ධ තේමාත්මක විශේෂඥ දායකත්වය සැපයුවා. 
මානව කේන්ද්‍රීය සැලසුම් ක්‍රියාවලිය සමාජ නවෝත්පාදනයේදී ඉතා වැදගත්. මානව කේන්ද්‍රීය සැලසුම් ක්‍රියාවලිය කියන්නේ නවෝත්පාදනය අවශ්‍ය වන ගැටලුව සම්බන්ධයෙන් නිර්මාණකරුවා සහකම්පනයෙන් යුක්ත වීම සහ විසඳුම නැවත නැවත අත්හදා බැලීම මත පදනම් වූ ගැටලු විසඳීමේ ක්‍රියාවලියකටයි. මෙහිදී සමාජයෙන් ලබාගන්නා ප්‍රතිපෝෂණය ඉතා වැදගත්. විවිධ පසුබිම්වලින් එන ජනයා සහ විසඳුම් යෝජනාවලිය අතර බැඳීම් ඇති කිරීම සඳහා සහ අදහස් ක්‍රියාකාරකම් බවට පත් කිරීම සඳහා ද මානව කේන්ද්‍රීය සැලසුම් ක්‍රියාවලිය ඉවහල් වෙනවා. එහි පියවර මෙසේයි:
රාමුගත කිරීම (framing): පිළිතුරු සොයාගත යුතු හා ජනතාව සම්බන්ධ කර ගත යුතු ප්‍ර‍ශ්නය අර්ථ නිරූපණය කරගැනීම
පර්යේෂණ (research): නවෝත්පාදකයා තම අවශ්‍යතා සහ වටිනාකම් පිළිබඳව ජනතාවගෙන් ඉගෙනීම
සංස්ලේෂණය (synthesis): විසඳුමක් නිර්මාණය කරගැනීම හා සම්බන්ධ වන රටා සහ අවස්ථා ඇති කලාප සොයාගැනීම
සංකල්පගත කිරීම (concepting): අලුත් අදහස් රැසක් නිර්මාණය කරගැනීම
ප්‍ර‍තිරූපක සැකසීම (prototyping): ප්‍රායෝගික ආදර්ශන සැකසීම හා ඒවා ක්‍රියාත්මක කර ප්‍ර‍තිපෝෂණය ලබාගැනීම. එසේ ලබා ගන්නා ප්‍රතිපෝෂණය ඇසුරෙන් වඩා දියුණු ප්‍රතිරූපක සකසා අත්හදා බැලීම
සමාජ නවෝත්පාදනයේදී පළමුව ප්‍ර‍ශ්නය පිළිබඳ ගැඹුරු සහකම්පනයක් ඇති කරගැනීම වැදගත්. සහකම්පනය යනු ප්‍ර‍ශ්නයට මුහුණ දෙන අය එය විඳින ආකාරය පිළිබඳ ඇති කරගන්නා ගැඹුරු අවබෝධයයි. එහිදී ප්‍ර‍ශ්නය හා අභියෝග පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කරගත යුතුයි. විසඳා ගත යුතු ප්‍ර‍ශ්නය පැහැදිලිව විග්‍ර‍හ කරගෙන වචනගත කරගත යුතුයි. ලබා දිය හැකි විසඳුම් පිළිබඳ ගැඹුරු සාකච්ඡා අවශ්‍යයි. විසඳුමක් තෝරාගත හැක්කේ සහ එය සංවර්ධනය කරගත හැක්කේ එමගිනුයි. ඊළඟට විසඳුම මුළුමනින් ම හෝ කොටස් වශයෙන් පරීක්ෂා කිරීම සඳහා ආදර්ශනයක් හෙවත් ප්‍ර‍තිරූපකයක් සකසා භාවිතා කර බැලිය යුතුයි. ක්‍රියාත්මක කරමින්, පරීක්ෂා කරමින්, සංවර්ධනය කරමින් කෙටි කාල චක්‍ර‍යන් තුළ දිගින් දිගට ම මෙම විසඳුම සංවර්ධනය කර ගත යුතුයි. 
කෙසේ වෙතත් විසඳුමක් තිරසර ලෙස ක්‍රියාත්මක කිරීමට නම් එය ව්‍යාපාරික වශයෙන් සාර්ථක විය යුතුයි. සමාජ නවෝත්පාදක අදහස් බොහොමයක් අසාර්ථක වන්නේ ඒවා තිරසරව ක්‍රියාත්මක කිරීමේදී අසමත් වීම නිසායි. සමාජ නවෝත්පාදකයන්ට හැම විට ම තම සමාජ ව්‍යවසායන්ට අනුග්‍ර‍හය සම්බන්ධයෙන් රජය ගැන විශ්වාසය තබා කටයුතු කළ නොහැකියි. ව්‍යාපාරික ආදර්ශකයක් සැකසීම වැදගත් වන්නේ එතැනදීයි. නවෝත්පාදක අදහස් ව්‍යාපාරික ලෝකයක් තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවා ගන්නේ කෙසේදැයි තේරුම් ගන්නට එයින් අවස්ථාව ලැබෙනවා.  
අපේ තරුණයන්ට අලුත් සමාජ නවෝත්පාදන අදහස් තිබෙනවා. එහෙත්, හැම අදහසක් ම යථාර්ථයක් වෙන්නෙ නැහැ. අදහසක් ඇත්ත ව්‍යාපෘතියක් බවට පත් කරගන්නට නම් එය ලෝකයට විවෘත කර, බාහිර ලෝකයෙන් ලැබෙන ප්‍ර‍තිපෝෂණයෙන් සංවර්ධනය කරගත යුතුයි. එය කෙසේ කරන්නේ ද යන්න ඉගෙන ගැනීම ඉතා වැදගත්. මනස යනු පැරෂූටයක් වැනි දෙයක්. එය ක්‍රියාත්මක වන්නේ එය විවෘත වූ විටයි.
කෙසේ වෙතත්, අවසානයේදී නවෝත්පාදන ලෝකයා වෙත සමීප වන්නේ මුල්‍ය අවදානම් සහිත ව්‍යවසායකට අතගැසීමේ එඩිතරකම හා කුසලතා නවෝත්පාදකයාට තිබේ නම් පමණයි. අපට හුරුපුරුදු නවෝත්පාදන සාර්ථකත්වයේ කතා වන ඇපල්, ෆේස්බුක්, අලිබබා ආදී කොයි දේ පසුපස වුණත් ඉන්නේ සාර්ථක ව්‍යවසායකයෙක්. ලංකාවටත් ඉදිරියට යන්නට නම් එවැනි ව්‍යවසායකයන් අවශ්‍යයි. ඔවුන්ට පුහුණුව, ණය, දිරිගැන්වීම් ආදිය අවශ්‍යයි.
(කවරයේ ඡායාරූපය රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ නවෝත්පාදක කණ්ඩායමක්. ඡායාරූපය UNFPA)
2019 පෙබරවාරි 17 දින ලංකා පුවත්පතෙහි පළ විය. මෙම ලිපියෙහි ඇතැම් කරුණු මීට පෙර ලේඛකයා විසින් www.ivoice.lk වෙබ් අඩවියට ලියන ලද ලිපියකින් උපුටා ගන්නා ලද බව කරුණාවෙන් සලකන්න.
අරුත්බර, රසවත් තොරතුරු නිරතුරු දැනගන්න අපේ සමාජ මාධ්‍ය පිටු එක්ක එක් වන්න.

සිංහල සමාජයට මල්ටිපල් සුරතාන්තයක් දෙන අරුලානන්දන් අරුල්

අජිත් පැරකුම් ජයසිංහ

ජනමාධ්‍ය විසින් කලින් කලට දෙන විවිධ හොල්මන් නිර්මාණය කර දීම ලංකාවේ පමණක් නොව ලෝකයේ ම සිදු වන්නකි.
Sinhala Tamil English Translations and Content Writing
ලෝක මට්ටමෙන් කවුරුත් දන්නා මීඩියා හොල්මනක් වන්නේ මලාලා යූසුෆ්සායි ය. කණගාටුදායක ඉරණමක ගොදුරක් වූ ඇය මේ වන විට විවිධ ජාත්‍යන්තර සංවිධානවල, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය හරහා ගොසිප් වෙබ් අඩවිය දක්වා එක එක අන්දමින් විකිණෙන වෙළඳ භාණ්ඩයකි.
මෙවැනි අපූරු වෙළඳ භාණ්ඩ ලංකාවේ මාධ්‍ය විසින් කලින් කල එළිදක්වා තිබේ.
රෝහිණී හතුරුසිංහ නම් කාන්තාවක් මතු වුණේ 1995දී ය. ඇය කොබ්බෑකඩුව ඝාතන කොමිෂමේ ප්‍රධාන සාක්ෂිකාරියක වූවා ය. කොබ්බෑකඩුව ඝාතනය හමුදාව ඇතුළේ ම වැඩක් බව පෙන්වීමට ඇය යොදාගැනිණි. ඇගේ කතා මත කොබ්බෑකඩුව මිය ගිය බිම් බෝම්බයෙන් ම මිය ගිය බ්‍රිගේඩියර් විජය විමලරත්න ගැන ද සැක කරන ලදී. ඔහුගේ පිළිම පවා කඩා දමන්නට ඇතැමෙක් පෙළඹුණ හ. එම බෝම්බය විජය විමලරත්නගේ උපදෙස් පිට ඇටවූයේ ඇගේ සැමියා වූ සුසන්ත හතුරුසිංහ බව රෝහිණී කොමිෂම හමුවේ පැවසුවා ය.
පියා නොදත් දරුවකුගේ මවක වූ ඇයට කොමිෂමේ විභාගය අවසන් වන විට උප්පැන්න සහතිකයට නම දෙන්නට පියෙකු නැති තවත් දරුවකු ලැබී තිබිණි. මාධ්‍ය ප්‍රචාරයට අමතරව ඇයට ලැබුණේ එපමණකි. ඇය දැන් කොහේ හෝ දුෂ්කර ජීවිතයක් ගත කරනවා ඇත.
ඔබට මතක ද කුමාරි කුරේ? පානදුර හිටපු මන්ත්‍රීවරියක වූ මර්වින් ජේ. කුරේගේ දියණියක වූ ඇය දේශපාලකයන් හා මාධ්‍ය විසින් රාවුෆ් හකීම් හරහා මුස්ලිම් දේශපාලනය මෙහෙයවා ගැනීම පිණිස පාවිච්චි කරන ලදී. මාධ්‍යවලින් අසාමාන්‍ය ලෙස පුම්බන ලද මානසික රෝග මායිමේ ජීවත් වූ මෙම කාන්තාව අවසානයේදී කොල්ලුපිටිය කානිවල් අයිස්ක්‍රීම්හලේදී පෙට්‍රල් කෑනයක් සිරුර මත හළාගෙන ගිනි තබාගෙන දුක් විඳ මිය ගියා ය.
මෑතදී මතු වූ මෙවැනි මාධ්‍ය හොල්මනක් වන්නේ නාමල් කුමාර ය. ජනාධිපති ඝාතන කතාවක් රැගෙන ආ ඔහු පාවිච්චි කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ සමග එක්ව කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පිළිබඳ කතාව නැවත කියන්නට අවශ්‍ය නැති තරම් අලුත් ය. මේ වන විට නාමල් කුමාර ඇල් මැරුණු තේ කෝප්පයක් වී තිබේ. මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත් වීමත් සමග ඔහු යළිත් කරළියට එන්නට උත්සාහ කළමුත් එය සාර්ථක වූයේ නැත.
අලුත් ම මාධ්‍ය හොල්මන අරුලානන්දන් අරුල් ය. ආවා කල්ලියේ නායකයා තමන් යයි අනියමින් අඟවමින්, ටොං පච කෙළිමින් කරළියට පැමිණ සිටින ඔහු මේ වන විට සිංහල දේශපාලනය තුළ අතින් අත මාරු වෙමින් දේශපාලන ගණිකා වෘත්තියක යෙදී සිටියි. ඔහු ආදරයෙන් කර තබාගෙන ගිය මහින්ද රාජපක්ෂවාදීන්ට ද මේ වන විට ඔහු කොකා පෙන්වා හමාර ය. උතුරේ දේශපාලනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඡන්දය ඉල්ලා මනාප 70ක් ගන්නට බැරි වූ මොහු අදටත් උතුරට කිසිදු වැදගත්කමක් නැති පුද්ගලයෙකි. එහෙත්, දකුණට ඔහු මල්ටිපල් සුරතාන්තයක් සපයමින් වරෙක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග ද, තවත් වරෙක අගමැති රනිල් වික්‍රමසිංහ සමග ද තවත් වරෙක ඩෑන් ප්‍රියසාද් සමග ද ඡායාරූප පළ කරමින් සිටියි. ඔහුගේ කටින් හැළෙන කෙළ බිඳ දක්වා විග්‍රහ කරන්නට සැදී පැහැදී සිටින සමාජ මාධ්‍යකරුවෝ සිටිති.
නාමල් කුමාර මාධ්‍ය හොල්මනට මෙන් ම අරුලානන්දන් අරුල් මාධ්‍ය හොල්මනට ද කාලය නියම වී තිබේ. ප්‍රශ්නය එය නොවේ. මේ රටේ පුරවැසියන්ට පමණක් නොව ජනමත නායකයන්ට පවා මෙවැනි මාධ්‍ය හොල්මන් තේරුම් ගැනීමට අවශ්‍ය මාධ්‍ය සාක්ෂරතාව නැතිකම බරපතල ගැටලුවකි.
අරුත්බර, රසවත් තොරතුරු නිරතුරු දැනගන්න අපේ සමාජ මාධ්‍ය පිටු එක්ක එක

අර්ජුනගේ, මහේලගේ සහ සංගක්කාරගේ ක්‍රිකට්; ද්‍රෝහියෝ කවරහුද? ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ජුදාස් තිලංග පමණද?

නන්ද වන්නිනායක

මම මේ ගිය සති අන්තයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ අසීරු, එහෙත් අති විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණය අවතක්සේරු කරනවා නෙවෙයි. ඒත් මෙය හුදෙක් අහම්බයක් පමණයි. ඕනෑම දුර්වල කණ්ඩායමකට මෙවැනි අහඹු ජයග්‍රහණ හිමිවෙන බව ඔබ ක්‍රිකට් ඉතිහාසය දෙස බැලුවොත් තහවුරු කරගනීවි. කුසල් ඉතාමත්ම දක්ෂ, එහෙත් අපරිණත ක්‍රීඩකයෙක්. හරියටම කිව්වොත් ඔප නොදැමූ මැණිකක්. ඔහුට අර්ජුන රණතුංග යටතේ සනත් ජයසූරියට ලබාදුන් නිදහස ලැබිය යුතුයි. එහෙම නැත්තං හයියෙන් ගහන්න කියා උපදෙස් දී, පසුව තරග කිහිපයක ලකුණු අතරට ඒමට නොහැකිවූ නිසාවෙන්ම පරණ ඇඳුමක් වීසිකරන්නා සේ කණ්ඩායමෙන් ඉවතට දැමූ එක්දින ක්‍රිකට් පිතිකරන රටාව විප්ලවීය වෙනසකට භාජනය කළ විශිෂ්ට පිතිකරුවා මෙන්ම ශ්‍රී ලංකාව මෙතෙක් බිහිකළ අතිවිශිෂ්ට කඩුලු රකින්නකු වූ රොමේෂ් කළුවිතාරණට අත්වූ ඉරණමම කුසල්ටත් වෙන්න පුළුවන්.
කුසල්ගේ පුද්ගලික දක්ෂතාවය නිසාම ලැබූ මේ කණ්ඩායම් ජයග්‍රහණය පුහුණුකරු චන්දික හතුරුසිංහට පිරිනමන කතාව විහිළුවක්. කුසල් (සහ සුරංග ලක්මාල්) මෙය ඔවුන්ගේ නිහතමානීකම නිසාම ඉතා සත්භාවයෙන් කළ ප්‍රකාශයක් වෙන්න ඇති. හතුරුසිංහ ඔය කියන තරම් කෙරුම්කාරයෙක් නෙවෙයි. බංග්ලාදේශ් කණ්ඩායම පරිණත වේගෙන පැමිණෙමින් සිටි කාලයේදී චන්දිකගේ වාසනාව නිසාම පුහුණුකාර තනතුර ලැබුණා. (අර්ජුන නිවැරදිව කිවූ ආකාරයට ඩැනියෙල් වට්මෝර්ටත් වුණේ මේ දෙයමයි. ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කළායින් පසුව ඔහුට කොතෙකුත් ජාතික කණ්ඩායම් පුහුණුකාර තනතුරු ලැබුණත් ඒ කිසිම විටක විශිෂ්ට දක්ෂතාවයක් පෙන්නන්න ඔහුට නොහැකි වුණා.) චන්දිකගෙ මේ සැබෑ තත්වය විග්‍රහ කරමින්, ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරය ලබාගැනීමටත් පෙර මම ලිපියක් ලියා තියෙනවා. කැමතිනම් කියවන්න. එම ලිපිය මෙතැනින් >>>
කොහොම වුණත් චන්දිකට අඩුම තරමින් ක්‍රීඩකයන්ගේ කැමැත්තක් තියෙනවා කියන එක අහන එකනම් සතුටක්. හැබැයි ඒ ඔහුගේ ප්‍රියතමයන් (favorites) පමණක් ඉහළින් තැබීමේ උත්සාහයක් නොමැත්තේ නම් පමණයි. චන්දිකගේ නොහැකියාව මෙන්ම ක්‍රිකට් කණ්ඩායමේ අසමත්කම් හැම දේකටම තිලංග සුමතිපාලට පමණක් දොස්කීම වැරදියි. ලංකාවේ ක්‍රිකට් වැටුණේ තිලංගගේ වැඩ නිසා බව ඇත්ත වුණත්, ඊළඟ දවසේ තරගයක් තිබියදීත් මහ රෑ වෙනකල් ක්‍රීඩකයන්ට පාටිවලට ගිහින් මත්පැන් බොන්නවත්, ගෑනු දෙදෙනා බැගින් කාමරවලට ගෙන්නගන්නවත් තිලංග ක්‍රීඩකයන්ට බලකලා වෙන්න බෑනෙ. මෙවා කණ්ඩායම් කළමනාකරු සහ නායකයගෙන් පිටතට යා නොදී විසඳාගත යුතු ප්‍රශ්න. ක්‍රීඩකයන් තමන්ගේ ජාතික වගකීම තේරුම් ගන්නේ නැත්තං හොඳම දේ වෙන රැකියාවක් කරගෙන අපිට පව් නොදී ඉන්න එකයි.
ඉම්රාන් ඛාන්, කපිල් දේව් සහ (කොතරම් අඩුපාඩු තිබුණත්) අර්ජුන රණතුංග වැනි දැඩි ගතිගුණ තියෙන නායකයන් යටතේ තමයි අප වැනි රටවල ක්‍රිකට් ක්‍රීඩාව නොහිතන මට්ටම්වලට දියුණු වුණේ. මොනතරම් පුද්ගලික දක්ෂතා තිබුණත්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර “චොකා බුරුස්” නායකයෝ. මම කියන්නේ නැහැ සියලුම නායකයන් අර්ජුන වගේ දැඩි වියයුතුයි කියා. සනත් ජයසූරිය දැඩි ගතිගුණ තිබූ නායකයෙක් නොවුණත් ඔහු කළ යුතු දේ නායකයෙක් වශයෙනුත්, ක්‍රීඩකයකු වශයෙනුත් හරියට කළා. කණ්ඩායම එකම ඒකකයක් ලෙස තබාගත්තා මෙන්ම මෙතෙක් බිහිවූ විශිෂ්ටම ශ්‍රී ලාංකික ක්‍රිකට් නායකයා වුණා. ඒත් අපි දන්නා කාලයේදී අර්ජුන සහ සනත් හැරුණකොට වැඩකට ඇති නායකයන් සිටියාද යන්න ප්‍රශ්නයක්. මහේලලා, කුමාර්ලා යටතේ හොඳ ක්‍රීඩකයන් හෝ නායකයන් බිහිනොවී දිනේෂ් චන්දිමාල් වැනි ගජමෑන්ලා බිහිවුණේ මහේලලාගේ, කුමාර්ලාගේ අතිශය ආත්මාර්ථකාරී ක්‍රියාකලාපය නිසයි. ජයසූරියගෙන් පස්සේ අඩුම තරමින් මුරලි හෝ නායකත්වයට පත්කළා නම් ක්‍රිකට් මේ තරම් බලු නොවී තියෙන්න තිබුණා. මුරලි කොතරම් ක්‍රීඩාවට සහ රටට ආදරය කරන්නකුදැයි ඔහුගේ පළමු තරගයේ සිට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටින අද දක්වාම ඉතාමත් පැහැදිලියි.
මුදලට කෑදර වූවායැයි දිල්ශාන්ට සහ ලසිත්ට පලු යන්න බනින අය මහේලගේ සහ කුමාර්ගේ මුදලට සහ පිතිකරු ලැයිස්තුවේ ඉහළින් තමන්ගේ තැනට තිබූ කෑදරකම ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? අර්ජුන, දෝනි වැන්නන් තමන්ගේ දක්ෂතා ඉහළම තලයක තිබියදීත් පිතිකරු ලැයිස්තුවේ කැමැත්තෙන්ම පහළට ගියේ ක්‍රීඩාවට තිබූ ආදරය නිසාම නවක, අපරිණත ක්‍රීඩකයන්ට නිසි ආරක්ෂාව සලසමින් සහ ඔවුනට වැඩි අවස්ථා ලබාදෙමින්, ඔවුන්ගේ ආත්ම විශ්වාසය නැංවීමට බව අපි හැමෝම දන්නවා. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාම කැපකළ අර්ධ ශතක සහ ශතක සංඛ්‍යාව කොපමණද? මහේල සහ කුමාර් ක්‍රීඩකයන් වශයෙන් මා ඉතාමත් අගය කළත්, මා පුද්ගලිකව විශ්වාස කරන දේ තමයි, ඔවුන් දෙදෙනාම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවයට වඩා හානිය අතිශයින්ම වැඩි බව. ඔවුන් දෙදෙනා තරම් නරක ආදර්ශයක් තරුණ ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩාවට යොමුවන දරුදැරියන්ට තවත් ඇතැයි කියා මා සිතන්නේ නැහැ.
මහේලට සහ කුමාර්ට දෙවන පෙළ ක්‍රීඩකයන් සහ නායකයන් ගොඩ නැගීමේ කිසිදු අවශ්‍යතාවයක් තිබූ බවක් පෙනුණේ නැහැ. ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික දක්ෂතා ඉහළින්ම තිබුණත්, ඒ වෙනුවෙන් පෝරකයට යැවුණු නවක ක්‍රීඩකයන් කොපමණද? අනික ඔවුන් දෙදෙනාම නායකත්වයෙන් ඉවත්වූයේ ඔවුනගේ නායකත්වය තවදුරටත් කණ්ඩායමට අත්‍යවශ්‍ය වූ අවස්ථාවන්වල. ඔවුන් නිහතමානීකම නිසා හෝ අලුත් නායකයකුට අවස්ථාව දීම සඳහා නායකත්වයෙන් ඉවත්වූ බව පිළිගැනීමට කිසිම සාධකයක් නෑ. එහෙම අදහසක් තිබුණානම් ඔවුන්ගේ සෙවණේ නවකයන් බිහිකළ යුතුව තිබුණා. මට හිතෙන්නේ නම් ඔවුනට තිබුණු අපේක්ෂාව “අපෙන් පස්සේ ක්‍රිකට් ඉවරයි” කියා පෙන්වීම පමණක් බවයි. සමහර විට මෙතනදී මම අසාධාරණ වෙන්නට පුළුවන්. එහෙත් රජයේ සහ පෞද්ගලික ආයතන ගණනාවක විවිධ නායකයන් යටතේ වැඩකර ඇති මට, මෙවැනි නායකයන් කොතෙකුත් හමුවී තිබෙනවා. නියම නායකයෙක් සන්තෝෂ වියයුත්තේ තමන්ගෙන් පසු තමන්ගේ කණ්ඩායම, ආයතනය තමන්ගේ කාලයටත් වඩා දියුණුවෙනවා දැකීමෙනුයි.
විස්සයි-20 ලීග් තරගාවලි සම්බන්ධයෙන් මගේ ගැටලුවක් නැහැ. ක්‍රීඩකයන්ට මුදල් සෙවිය හැක්කේ තමන්ගේ තරුණකම, ජවය සහ ජනප්‍රියත්වය ඇති කෙටි කාලය තුළ පමණයි. ඒ නිසා තුවාල ලබා අකාලයේ ක්‍රීඩාවෙන් සමුගන්නට හෝ තමන්ගෙ කැමැත්තෙන්ම විශ්‍රාම යාමට පෙර ඔවුන් හැකිතරම් මුදල් සොයාගත යුතුයි. නමුත් ක්‍රීඩකයෙකුට එවැනි ලීග් තරගවලට ආරාධනා ලැබෙන්නේ දේශීය වශයෙන් ක්‍රීඩා සමාජවලදී හෝ ජාතික කණ්ඩායම්වල දක්ෂතා දැක්වීමෙන් පසුවයි. ඒ නිසා තමන්ගේ රට වෙනුවෙන් කළ යුතු යුතුකම් සහ වගකීම්වලට මුල්තැනක් දිය යුතුමයි.
අප නිතරම සිහි තබාගත යුත්තේ අප ඉපදුන රට, අපට වඩා වටින බවයි. සැබෑ දේශප්‍රේමය මෙයයි.

රිචඩ් ද සොයිසා මරා දැමුවේ ඇයි?

අජිත් පැරකුම් ජයසිංහ

රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියෙකු පමණක් නොවේ. ඔහු රූපවාහිනී නිවේදකයකු, නළුවකු, නාට්‍යකරුවකු මෙන් ම දේශපාලන ක්‍රියාධරයකු ද වේ. ඉංග්‍රීසි වේදිකාවේ ප්‍රසිද්ධ පෞරුෂයක් වූ ඔහු සිංහල සිනමා රසිකයන්ට සමීප වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් මාටින් වික්‍රමසිංහයන්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද යුගාන්තය චිත්‍රපටය නිසා ය. පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ, සෝමවීර සේනානායකගේ රචනයක් වූ යශෝරාවය ටෙලි නාට්‍යයේ රින්ස්ලිගේ චරිතය රඟපෑවේ රිචඩ් ද සොයිසා ය.
Sinhala Tamil English Translations and Content Writing
1958දී උපන් ඔහු අද වනතුරු ජීවත් වූවා නම් මේ වන විට වයස අවුරුදු 61කි. 1990 පෙබරවාරි 20 දින ආසන්නයේදී ඔහු මරා දමන විට ඔහුගේ වයස අවුරුදු 32ක් පමණි. ඔහු එම වකවානුවේදී විනාශ කරන ලද තරුණ සම්පතෙහි ද සුවිශේෂ පුද්ගලයෙකි. අගනාගරික, ඉහළ මධ්‍යම පන්තික, ඉංග්‍රීසි කතා කරන පැළැන්තියෙන් පැවත ආ ඔහු ජවිපෙ දේශපාලනය සමග සමීපව කටයුතු කිරීම සුවිශේෂ තත්වයකි.
මෙම ලිපිය ලියන මා 2000 දශකයේ හිරු පුවත්පතේ හා හිරු කණ්ඩායමේ ක්‍රියාකාරිකයකුව සිටියදී රිචඩ් ද සොයිසාගේ සමකාලීන දේශපාලන හිතවතුන් මට හමු වී තිබේ. ඔවුන් පැවසූ පරිදි රිචඩ් ද සොයිසා රෝහණ විජේවීරගේ ‘දෙමළ ඊලාම් ගැටලුවට විසඳුම කුමක් ද?’ යන පොත ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට උපකාර කර තිබේ. කෙසේ වෙතත්, මෙම කණ්ඩායම ඒ සමග එම පොතෙහි අඩුපාඩු හා විජේවීර විසින් කරනු ලබන න්‍යායික වැරදි කෙරෙහි විවේචනයකින් යුතුව, ජවිපෙන් ඉවත් වූ හිරු කණ්ඩායමට සහයෝගය දැක්වූ හ.
රිචඩ් ද සොයිසා සිහිපත් කරමින් ජවිපෙට අයත් ලංකා පුවත්පතේ 2019 පෙබරවාරි 17 කලාපයට ලිපියක් ලියන හිටපු ජවිපෙ ක්‍රියාධරයකු බව පෙනෙන පියසිරි රත්නායක පවසන පරිදි රිචඩ් ද සොයිසා ඝාතනය කරනු ලැබුවේ ඔහු මාධ්‍යවේදියකු වූ නිසා නොවේ. ඔහු මෙසේ පවසයි:
“මා රිචඩ් මුණගැසෙන විට ඔහු හුදු මානව හිමිකම් සීමාවෙන් පිටතට තමන්ගේ ඉහළ මධ්‍යම පාන්තික ජීවිතය කැප කළ කෙනෙකු විය. මිත්‍රශීලී මෙන් ම, තරමක ලජ්ජාශීලී මිනිසකු වූ රිචඩ් භීම සමයක මිනිස් ඝාතනයන්ට එහෙිව දේශපාලනය කළේ සිය සමාජ මට්ටම උගසට තබා ය. අපි බොහෝ දෙනෙකුට රිචඩ් යනු විස්මයක් විය. ඉහළ සමාජ මට්ටමක් හිමි රිචඩ් වැන්නෙකු අප විශ්වාස කළ අපේ දේශපාලනයට සමීපව ක්‍රියාශීලීව සහාය දීම අපට මහත් විස්මයක් විය. එහෙත් ඔහු අපටත් වඩා අපේ අරගලයේදී සාමාන්‍යයෙකු විය.
“රිචඩ් අපට ආරක්ෂාව සැපයී ය. අපේ ආහාර සපයන්නා ද බොහෝ විට ඔහු විය. ඉතාමත් දුෂ්කර ජීවිත ගෙවමින් දේශපාලනය කළ අප බොහෝ දෙනෙකුට ඔහු ආධාර සහ අනුබලය දුන්නේ හුදු මිතුරුකමට හෝ ඔහුගේ හොඳ හිත මත නොව, ඔහු තෝරාගත් අපේ දේශපාලනය ඔහුගේත් දේශපාලනය වූ නිසා ය.”
රිචඩ් ද සොයිසා පමණක් නොව ඩී. සිවරාම් හෙවත් තරකි, ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩ පවා රජය විසින් මරා දමනු ලැබුවේ ඔවුන් හුදු මාධ්‍යකරුවන් වූ නිසා නොවන බව මගේ විශ්වාසයයි. ඔවුන් මරා දමනු ලැබුවේ ඔවුන් රජයට දේශපාලනිකව අභියෝග වූ නිසා ය.
රිචඩ් ද සොයිසා ජවිපෙ සමග තිබූ දේශපාලනික සම්බන්ධයේ ගැඹුර පිළිබඳ අපට අවබෝධයක් නැත. රිචඩ් ද සොයිසා මරා දමන වකවානුව වනාහි ජවිපෙ පළමු පෙළ මෙන් ම දෙවන පෙළ නායකත්වය ද ඝාතනය කර තිබූ සමයකි. එම වකවානුවේ ජවිපෙ නායකත්වය පැත්තෙන් පවා දැවැන්ත පාවාදීම් සිදු විය. එසේම, ජවිපෙ විසින් කරන්නට සැලසුම් කර තිබුණු ඉහළ පෙළේ ඝාතනයක් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදුවෙමින් තිබිණි. මාස අටකට පෙර ජවිපෙ විසින් රිචඩ් සේවය කළ ජාතික රූපවාහිනියේ ම තවත් සිංහල භාෂා නිවේදකයකු හා ප්‍රසිද්ධ කලාකරුවකු වන ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය කර තිබිණි.
රිචඩ් ද සොයිසා පැහැරගෙන යාමට පැමිණි කණ්ඩායමේ නායකයා වූ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහව මාස කීපයකට පසු රිචඩ්ගේ මව වන මනෝරානි සරවනමුත්තු විසින් හඳුනාගන්නා ලදී. රොනී ගුණසිංහ 1993 මැයි 1දා කොළඹ ආමර් වීදියේදී ජනාධිපති ආර්. ප්‍රේමදාස සමග ම දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ මිනිස් බෝම්බයක් විසින් ඝාතනය කරන ලදී.
රිචඩ් ද සොයිසා ඝාතනය සම්බන්ධයෙන් නඩු පවරන ලද සෙසු පිරිස පසුව අධිකරණයෙන් නිදහස් කරන ලදී. එසේ වූයේ එම පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි ද ගණනාවක් ම තිබියදී ය. කෙසේ වෙතත්, රිචඩ් ද සොයිසා සමග දේශපාලනය කළ අය මෙන් ම, ඔහු පැහැරගෙන ගොස් ඔහුට වධ දී ප්‍රශ්න කර, ඝාතනය කර මළසිරුර මුහුදට දැමූ අය ද තවමත් ජීවතුන් අතර සිටිති. රිචඩ් ද සොයිසා මරා දැමූ හේතුව ඔවුන් දන්නවා ඇත. හේතුව කුමක් වුවත්, එම ඝාතනය පැහැදිලිව ම අපරාධයකි.

ගින්නෙන් උපන්නේ සීතල පමණක්මද?

නිශාන්ත කුලරත්න

ඉතිහාසය සටහන්ව ඇත්තේ ඒකාකාරී ලෙස නොවේ. එය සාමකාමී කාල පරිච්ඡේදයගෙන් මෙන්ම ගිනිගත් යුගයන්ගෙන්ද ගහණය. මෙවන් ඇතැම් ගිනිගත් යුගයන් සමාජය වෙත අමිල දායාදයන් ලබාදී ඇති අතර සමහර එවන් යුගයන් අවසානව ඇත්තේ ඛේදවාචකම ලෙසිනි.
Sinhala Tamil English Translations and Content Writing
පසුගිය දශකවල ශ්‍රී ලංකාවේ සිදුවූ සිංහල සහ දෙමළ සන්නද්ධ නැගිටීම් ආශ්‍රිත කාල වකවානු සැලකිය හැක්කේ ඉහත දෙවන වර්ගයට අයත් ගිනිගත් යුගයන් ලෙසය. ක්‍රමක්‍රමයෙන් වැඩි වූ අතිවිශාල ප්‍රචණ්ඩවත්වයක් සමාජය වෙත මුදාහල ඒවා අවසාන වූයේ සමාජ මනස දරුණු ලෙස තුවාල කරමිනි. සිංහල සහ දෙමළ වශයෙන් වන දරුණු ධ්‍රැවීකරණයන්, අතාර්කික කුමන්ත්‍රණ භීතිකාවන්, තම සමාජයටම අයත් තවත් අයෙකු කෙරෙහි ඇති බිය හා සැකය, වෙනස් මත දරන්නන් මර්ධනය කිරීමේ මානසිකත්වය ආදී වශයෙන් අප සමාජය පුරා වර්තමානයේ පැතිර ඇති දරා ගත නොහැකි “සීතල”ට ඒවායින් සිදු කල දායකත්වය සුළුපටු නොවේ.
කෙසේවුවද, මේ යුගයන් සමාජයට දායක කල උණුසුම් තිළිණයක්ද වෙයි. එනම්, තම ජීවිතවලට වඩා විශාල අරමුණක් වෙනුවෙන් පසුනොබා සටන් වැදීමට තරුණ පිරිසක් තුල වූ කැපවීමයි. එය ඉන් පෙර ඉතිහාසය තුල අසන්නට නොලැබුණු දෙයකි. වර්තමානයේ තරුණයන්ට ආගන්තුකද වන දෙයකි. ගැටළුව වන්නේ එවන් සුවිසල් අධිෂ්ඨානයක් එතරම් විනාශකාරීත්වයකින් අවසන් වූයේ ඇයිද යන්නයි.
මෙම යුගයන් ආශ්‍රිතව නිර්මාණය කෙරුණු කලා කෘතියක් ඉහත ප්‍රශ්නයට යම් ආලෝකයක් ලබාදීමට සමත් වෙනවානම් මා වඩා සතුටුය. මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙන “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය නැරඹීමෙන් පසුව මට හැගී ගියේ චිත්‍රපටය එම කාරණයේදී අසමත් බවයි.
නළුනිලියන්ගේ රංගනය, කැමරාකරණය, කලා අධ්‍යක්ෂණය චිත්‍රපටය තුල ප්‍රශස්ත මට්ටමක පවතින බවක් දැකිය හැකිය. එහෙත් කලා නිර්මාණයක ගුණාත්මක බව වැඩි දියුණු වන්නේ අතීතයේ සිදුවීමක් එම ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම තුල පමණක් නොවේ. තම රසිකයා සමග සංවාදයකට මුල පිරීම ද ගුණාත්මක කෘතියක අංගයකි. මෙය “ගින්නෙන් උපන් සීතල” තුල ගිලිහී යන බවක් පෙනී යයි. ඊට ප්‍රධානතම හේතුව ලෙස දැකිය හැක්කේ චිත්‍රපටය පදනම් වන යුගයේ සමාජ-දේශපාලන දේශපාලන පසුතලය පිලිබදව ඉදිරිපත් කිරීමකට යාමකට නිර්මාණකරුවා එතරම් උනන්දුවක් නොදැක්වීමයි. එවන් සටහනකින් තොරව විප්ලවයක් පිලිබද කතා පුවතක් ඉදිරිපත් කිරීම නිසා තරුණ පිරිසක් රහසිගතව සාකච්ඡා කිරීම, වරින්වර පදිංචි තැන් වෙනස් කිරීම ආදී වශයෙන් වූ සිදුවීම් මාලාවක් බවට චිත්‍රපටයේ කතාව පත්වේ.
එහෙත් තම කතා පුවත තෝරාගැනීම නිර්මාණකරුවාගේ නිදහසකි. මෙම චිත්‍රපටය සදහා අධ්‍යක්ෂකවරයා පදනම් වන කතා පුවත සැලකිල්ලට ගතහොත් එය තුල ද ඉහත ආකාරයේ සංවාදයකට මුල පිරිය හැකි කතා වින්‍යාසයන් දෙකක් හදුනාගත හැකිය. එකක් නම් විජේවීරගේ පුද්ගලික ජීවිතය කේන්ද්‍ර කරගනිමින් ස්ත්‍රියගේ භූමිකාව සම්බන්ධයෙන් ඔවුනට පැවති අදහස පිලිබද ඉදිරිපත් කිරීමට යාමයි. (මේ සම්බන්ධ උදාහරණ කිහිපයක් චිත්‍රපටය තුල සදහන් වනමුත් ඒවා නිශ්චිත අවසානයකට දිශානත නොවේ). දෙවැන්න විජේවීරගේ ජීවිතය රැක දීම වෙනුවෙන් කැපවී කටයුතු කල ඔහුගේ සගයන් කේන්ද්‍ර කරගනිමින් ඉදිරිපත් කිරීමකට යාමයි. එම පිරිස එය සිදු කරන්නේ හුදු තවත් අයෙකුගේ ජීවිතය රැක දෙනවාය යන අදහසකින්ම නොව, තමන් ජීවත් වන ජරාජීර්ණ වූ ලෝකයට එහා ගිය නව ලෝකයක ආලෝකයක් ඔවුන් ඔහු තුල දකින බැවිනි. තමා දකින දෙය වෙනුවෙන් ඕනෑම අවදානමක් බාරගැනීමට තරම් අධිෂ්ඨානයක් ඔවුන් තුල වෙයි. ‘ලෝකය වෙනස් විය යුතුය’ යන බලාපොරොත්තුව අන් අය තුලද ඇති කරවන්නේ එවන් අධිෂ්ඨානයන් මගිනි. කෙසේවුවත් මෙය සම්බන්ධ උදාහරණද නිශ්චිත ඉලක්කයකින් තොරව ප්‍රධාන කතාව තුල අතරමංව යයි.
බොහෝදෙනෙකුට තවමත් මතක යුගයක සිදුවූ අතිශය විවාදපන්න ක්‍රියාවලියක් හැකිතාක් එම ස්වරූපයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමට අනුරුද්ධ ජයසිංහ දැක්වූ උත්සාහය අපගේ අගය කිරීමට ලක්විය යුතුය. ඒ සමගම අපගේ සමාජ සංවාදය පෝෂණය කරවන දෙයක්ද ඔහු අප වෙත ලබා දුන්නානම් චිත්‍රපටය “ගින්නෙන් උපන් සීතලක්” නොවීමට ඉඩ තිබුණි.
The Frozen Fire

චිත්‍රපටය පිළිබඳ තවත් අදහසක්:

දේශපාලනික වශයෙන් සීතල ගින්නෙන් උපන් සීතල >>

ලොව මුල්ම පෙම් කතාව – ඌර්වශී පුරුරව ආදරය

මේ කතාව ඍග් වේදයේ එන කතාවක්. එය ක්‍රි.ව. සිව්වන සියවසේදී කාලිදාසයන් විසින් වික්‍රමෝර්වශිය ලෙස නාට්‍යයට නැගුවා. වික්‍රමෝර්වශිය කියන්නේ ඌර්වශිය දිනාගැනීමේ වික්‍රමයයි. මහා භාරතයේ, විෂ්ණු පුරාණයේ එහෙමත් මේ පෙම් පුවත සඳහන් වෙනවා. මේ කතාවේ ස්වරූප කීපයක් තිබෙනවා. මේ කතාව එවැනි කතා කීපයක් ඇසුරෙන් කරනු ලබන දළ පෙළගස්වාගැනීමක් විතරයි.
ඌර්වශී කියන්නෙ දිව්‍ය අප්සරාවක්. අප්සරාවන් කියන්නෙ දෙව්ලොව දෙවියන් නැටුමින් ගැයුමින් තුටු කරන දෙව්ලියන් පිරිසක්.
ඌර්වශීගේ උපත සිදු වුණ හැටි ගැනත් අපූරු කතාවක් තිබෙනවා. හිමාලයේ භද්‍රිනාත් කියන අසපුවේ භාවනා කරමින් සිටි නරනාරායන් නම් මුනිවරයා දිව්‍ය බලයන් ලබාගන්නවාට අකැමැති වූ දෙවියන්ගේ නායක ඉන්ද්‍ර දෙවියන් නරනාරායන්ගේ දැහැන බිඳින්නට අප්සරාවන් දෙදෙනෙකු එවනවා.
ඌර්වශී සහ පුරුරව
නරනාරායන් මුනිවරයා ඔහුගේ කලවෙන් ඉන්ද්‍ර දෙවියන්ගේ අප්සරාවන් පැරදවිය හැකි රූමත්කමකින් යුත් අප්සරාවක් මවා ඉන්ද්‍ර වෙත තෑගි කර යවනවා. සංස්කෘත බසින් ඌර් නම් වන කලවෙන් උපන් නිසා ඇය ඌර්වශී නම් වෙනවා. ඇය ඉන්ද්‍රගේ මාළිගාවේ ආඩම්බරය බවට පත් වෙනවා.
ඌර්වශීට දෙව්ලොව ඒකාකාරී, කම්මැලි තැනක් වෙනවා. ඒ නිසා ඇය නිතර රෑට රෑට හොරෙන් මනු ලොව එනවා. ඇය පිනි පාගන්නත්, සිසිල් සුළං පහස විඳින්නත් කැමතියි.
පුරුරව කියන්නෙ මනු ලොව රජකෙනෙක්. ඉන්ද්‍ර දෙවියන් නිතර පුරුරවට උත්සවවලට දෙව්ලොවට ආරාධනා කරනවා. පුරුරව එහි ශ්‍රී විභූතිය දැක එයට ඊර්ෂ්‍යා සහගත වෙනවා. ඔහු සිය අස් රියෙන් අධි වේගයෙන් වළාකුළු අතරින් යද්දී මනු ලොව සිට ආපසු යමින් සිටි ඌර්වශීව යක්ෂයකු පැහැරගන්නා ආකාරය දකිනවා. එය දකින පුරුරව යක්ෂයා හඹා ගොස් ඌර්වශීව බේරගන්නවා.
ඒ අවස්ථාවේ තමයි අප්සරාවක වන ඌර්වශී මුල් වරට නරයකුගේ ස්පර්ශය විඳින්නේ. ඔවුන් ආදරය කරන්නට පටන් ගන්නවා. ඌර්වශී හිතනවා පුරුරව මුලින් ආදරය ප්‍රකාශ කරයි කියලා. ඒත්, පුරුරව එසේ කරන්නේ නැහැ. ඔහු බිය වෙනවා මේ දිව්‍ය අප්සරාව ඔහු ප්‍රතික්ෂේප කරයි කියලා.
මේ අතර ඉන්ද්‍ර දෙවියන් අබියස පැවති නැටුමකදී ඌර්වශීට විෂ්ණු දෙවියන් වෙනුවෙන් ගැයෙන ස්තෝත්‍රයක විෂ්ණු දෙවියන් වෙනුවෙන් යෙදෙන පුරුෂෝත්තම වෙනුවට ඇගේ පෙම්වතා වන පුරුරවගේ නම කියවෙනවා. එයින් කෝප වන නර්තන අධ්‍යක්ෂ භරත ඇයට සාපයක් කරනවා. ඒ අනුව, ඇයට සිය ආදරවන්තයා සමග ජීවත් වන්නට පුළුවන්. ඒත්, ඒ ආදරයට නිරතුරු බාධා සිදු වෙනවා.
අවසානයේදී ඔවුන් විවාපත් වෙනවා. ඌර්වශී කොන්දේසි තුනක් පනවනවා. ඒ අනුව, ඇගේ සයනය ළඟ හැම විට ම බැටළුවන් දෙදෙනෙකු සිටිය යුතුයි. එසේම, පුරුරව කිසි විටෙකත් නිරුවතින් ඇගේ නෙතට ලක් නොවිය යුතුයි. ඇයට නිරතුරු ගිතෙලින් සංග්‍රහ කළ යුතුයි. ඔය විදියට ඇය පුරුරවගේ මාළිගයේ වෙසෙනවා. ඔවුන් දෙදෙනා ම සතුටින් කල් ගෙවනවා.
මේ අතර දෙව්ලොව සංගීතඥයා වන ගාන්ධර්වට ඌර්වශී නොමැතිව පාළු දැනෙනවා. ඔහු සොයා බලනවා ඇය ගෙන්වා ගත හැකි ආකාරය. ඔහු දැනගන්නවා ඌර්වශීගේ කොන්දේසි. දැනගෙන ඇය නිදා සිටින අතර පැමිණ බැටළුවන් සොරකම් කරනවා. ඌර්වශී එය දැනගෙන වැළපෙන විට එය අසා නිදි යහනෙන් පැමිණෙන රජු බැටළුවන් සොරාගත් ගාන්ධර්ව පසුපස නිරුවතින් ම ලුහුබඳිනවා. ගාන්ධර්ව ගින්දර මවනවා. ඒ එළියෙන් ඌර්වශී රජුගේ නිරුවත දකිනවා. මේ ජවනිකාව අතරතුර ඌර්වශීට ගිතෙල් සැපයීමත් මගහැරෙනවා. අවසානයේදී ඇය මනුලොවින් දෙව්ලොවට නික්මෙනවා. ශෝකයෙන් පීඩිත වන පුරුරව රජු ඌර්වශිය සොයා කුරු ක්ෂේත්‍රය පුරා සැරිසරනවා. වරක් ඔහුට ඇය හමු වෙනවා. ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනා අතර සිදු වන සංවාදය ඍග් වේදයේ ප්‍රසිද්ධ සංවාදයක්.
මඳක් නැවතී කතා කරමු යයි පුරුරව බැගෑපත් වෙනවා. එවැනි කතාවකින් ඇති ඵලය කුමක්දැයි ඌර්වශී අහනවා. උදෑසන ප්‍රථම යාමය සේ මා ඔබෙන් දුරු වූ බවත්, හමන සුළඟ අතින් අල්ලා ගත නොහැකිවා සේ පුරුරවට තමා රඳවා ගත නොහැකි බවත් ඌර්වශී පවසනවා. ගැහැණුන්ගේ ආලය ස්ථාවර නැති බවත් ඔවුන්ගේ හදවත් සිඟාලයන්ගේ හදවත් වැනි බවත් ඇය පවසනවා.
ඌර්වශී කිව්වා ම 1994 කාදලන් දෙමළ චිත්‍රපටයට ඒ.ආර්. රහුමාන් නිර්මාණය කළ ටේක් ඉට් ඊසී ඌර්වශී ගීතයත් මතක් වෙන එක වළක්වන්නට බැහැ, විශේෂයෙන් ම එහි තිබුණු මනස්කාන්ත නැටුම් නිසා. වීඩියෝව පහත ඇත.

අජිත් පැරකුම් ජයසිංහ

විජය කුමාරතුංගට වෙඩි තැබූ බව කියන ලයනල් රණසිංහ පිළිබඳ මතකය

විජය කුමාරතුංග ඝාතනය කළ බවට සැක කරන ලයනල් රණසිංහ මට හමු වී තිබේ.
මා ඔහු මුලින් ම දුටුවේ කලුතර හා ගාලු දිස්ත්‍රික් මායිමේ යට්ටපාත පැවැත්වුණු ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන කඳවුරකදී ය. මා ද ඔහු ද එයට සහභාගි වූ හත් අට දෙනා අතර සිටියෙමු. එම අධ්‍යාපන කඳවුර සංවිධානය කළේ හා එය අවසන් පංතිය ද කරමින් එය විසුරුවා හරින සමාප්ති වැඩසටහන පැවැත්වූයේ එවකට ජවිපෙ කලුතර දිස්ත්‍රික් කමිටු සාමාජිකයකු වූ ටිල්වින් සිල්වා හෙවත් සුසිල් අයියා ය.
Sinhala Tamil English Translations and Content Writing
ලයනල් රණසිංහ සටන්කාමී චරිතයකි. භක්තිමත් පක්ෂ සාමාජිකයෙකි. අධ්‍යාපන කඳවුරේදී පවා ඔහු තුළින් ප්‍රකට වූයේ දැනුම හඹා යන්නකුට වඩා සටන්කාමියකුගේ ලක්ෂණයි. කෙසඟ උස් සිරුරක් හිමි තරුණයකු වූ ඔහු කඩිසර ජව සම්පන්න පුද්ගලයකු විය.
එම අධ්‍යාපන කඳවුරෙන් පසු අධ්‍යාපනය අත්හැර දැමූ මම ජවිපෙ පූර්ණකාලිකයකු වීමි. මුලින් ම මට පැවරුණේ හොරණ ප්‍රදේශයේ ශිෂ්‍ය අංශය සංවිධානය කිරීමයි. ඒ දිනවල මා හොරණ සැරිසරන විට මට ලයනල් රණසිංහ නිතර හමු විය. ඔහු නගරයේ ප්‍රධාන වීදියේ වික්ටෝරියා බාර් එක ඉදිරිපිට රටකජු ලෑල්ලක් පවත්වාගෙන ගියේ ය. පක්ෂයේ අය එකිනෙකාට පණිවුඩ තැබුවේ ඔහු ළඟ ය.
ඒ වන විට ජවිපෙ සන්නද්ධ අංශයක් ගොඩනගාගෙන තිබුණු බවත්, ලයනල් ද එහි ක්‍රියාකාරිකයකු බවත් දේශපාලන අංශයේ ක්‍රියාකාරිකයන් වූ අපි ටිකෙන් ටික දැනගත්තෙමු. පසු කලෙක ලයනල් කලුතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ ක්‍රියාකාරිකයෙකු විය. සන්නද්ධ ප්‍රහාර රැසකට තුවක්කුකරුවකු ලෙස සහභාගි වූ ඔහු පසුව කොළඹ දිස්ත්‍රික්කයට මාරු කරන ලදී. කලාතුරකින් දිනෙක ඔහු නවාතැන් ගත් නිවසකදී මට ඔහු හමු වී තිබේ. අප අතර සංවිධාන සම්බන්ධයක් තිබුණේ නැත.
ලයනල්ගේ නිවස පිහිටියේ හොරණ උදාගමක ය. ඔහුගේ මුළු පවුල ම බැතිමත් ජවිපෙ සාමාජිකයන් ලෙස සැලකිය හැකි ය. ජවිපෙ දුෂ්කර සමයේ එම නිවස ජවිපෙ සාමාජිකයන්ට බත් වේලක්, තේ කෝප්පයක් හා රාත්‍රිය නිදාගැනීමට නවාතැනක් පමණක් නොව පක්ෂ කමිටු රැස්වීම් ආදියට ද ස්ථානයකි. ලයනල්ගේ මව ඇගේ දරුවන්ට සේ ම පක්ෂයේ සෙසු ක්‍රියාකාරිකයන්ට ද ආදරය කළා ය.
ලයනල්ගේ වැඩිමල් සොයුරකු හොරණ කුළුපන ප්‍රදේශයේ පදිංචිව සිටියේ ය. විවාහකයකු වූ ඔහු ජීවිතය ගැට ගසා ගත්තේ ලීයෙන් වෙස් මුහුණු කැපීමෙනි. එම දිළිඳු නිවස ද පක්ෂයේ ඕනෑම කටයුත්තකට විවෘත තැනක් විය.
ලයනල්ගේ නැගණියක ද පක්ෂයේ පූර්ණකාලීනව කාන්තා අංශයේ වැඩ කළා ය. ඇය පසු කලෙක පක්ෂයේ ම දිස්ත්‍රික් කමිටු නායකයකු සමග විවාපත් වූ බව දැනගන්නට ලැබිණි.
ලයනල් අත්අඩංගුවට පත් වූ පසු ඔහු තමන් සම්බන්ධ සන්නද්ධ කටයුතු සම්බන්ධයෙන් හෙළිදරව් කළ බව වාර්තා වේ. එහෙත්, ඔහු වෙනත් කිසිවකු පාවා දුන් බවක්න්නේ වාර්තා වන්නේ නැත. හමුදාව හෝ පොලිසිය හෝ විසින් ඔහු මරා දමන්නට ඇත. ඒ සමග ම ඔහු සම්බන්ධ එකී සන්නද්ධ ප්‍රහාරවල සාක්ෂි ද විනාශ විය.
ලයනල් රණසිංහ කුලී මිනීමරුවකු නොවේ. ඔහු ජවිපෙ භක්තිමත් ක්‍රියාධරයෙකි. ඔහු විසින් ක්‍රියාත්මක කරනු ලැබූ බව කියන කිසිදු ප්‍රහාරයක් ඔහුගේ පෞද්ගලික තීරණ නොවේ. එහෙත්, ඔහු ඒ කිසිවකට වරදකරුවකු කරනු ලැබුවේ නැත. එහෙයින් ලංකාවේ නීතිය ඉදිරියේ ලයනල් රණසිංහ අදත් නිර්දෝෂී පුද්ගලයෙකි.
පසු කලෙක ඔහු පිළිබඳ සඳහන් වූ කිසියම් විමර්ශන කොමිෂමක් ඉදිරියේ ලයනල්ගේ මව “යකෙකු වුණත් ඒ මගේ පුතා. මගේ පුතා මරා දාන්න ඔබලාට අයිතියක් නැහැ,” යි පැවසුවා ය.

අජිත් පැරකුම් ජයසිංහ

අරුත්බර, රසවත් තොරතුරු නිරතුරු දැනගන්න අපේ සමාජ මාධ්‍ය පිටු එක්ක එක් වන්න.

බුද්ධිමත් ආදරවන්තයන්ට ලැප්ටොප් එකක් තෑගි

වැලන්ටයින් දිනය වෙනුවෙන් ඔබට ලැප්ටොප් එකක් තෑගි දිනාගන්න මෙන්න අවස්ථාවක්. තරගයේ විස්තර පහත දැක්වෙනවා. අනුග්‍රහය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල.
පෙබරවාරි 14දාට යෙදෙන වැලන්ටයින් දිනය නිමිති කරගෙන ලෝකය ආදරය ️ සමරනවා ❤. ආදරය හා ලිංගිකත්වය සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගැනීම තරුණ තරුණියන්ට ඉතා වැදගත්. ඒ තීරණ ඔවුන්ගේ සිරුර හා ජීවිතය පිළිබඳ ගන්නා තීරණයි.
සෑම තරුණ පුද්ගලයකුට ම යම් දිනෙක ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් ජීවිතය වෙනස් කරන තීරණ ගන්නට සිදු වෙනවා. එහෙත්, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගෙන් 50%කට එවැනි දැනුවත් තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම නැති බව හෙළිදරව් වී තිබෙනවා. එහි ප්‍ර‍තිඵලයක් ලෙස දිනකට 600ක් පමණ ගබ්සා කිරීම් රටේ සිදුවෙනවා. නිවැරදි තොරතුරු හා සේවා වෙත ප්‍රවේශය ලබා දීමෙන් අපට සෑම ගැබ්ගැනීමක් ම අවශ්‍ය ගැබ්ගැනීමක් බවට පත් කරන්නට පුළුවන්.
මේ පෙබරවාරියේ ඔබේ දැනුම පරීක්ෂා කරගන්න. තෑගි දිනාගන්න.

කැන්ගරු දේශයේ අරුම පුදුම දන්සැල

අන්නලක්ෂ්මි භෝජනාගාරය තියෙන්නෙ ඕස්ට්‍රේලියාවේ, පර්ත් නුවර රමණීය ස්ථානයක් වන ස්වෝන් නදියේ ජැටිය අසල උඩුමහලකයි. මෙය 1991 වසරේ තමයි ස්වාමි ශාන්තානන්ද් සරස්වතී විසින් ආරම්භ කරල තියෙන්නේ.
අැතුළු වනවාත් සමඟ ඉන්දියානු ක්‍රමයට ඉතා සුහදව අපව පිළිගත්තා. නොඇසී ඇසෙන ඉතා මිහිරි ඉන්දියානු සාශ්ත්‍රීය සංගීත රාවය සහ හින්දු ආගම සහ සම්බන්ධ වගේම ඉන්දියානු සංස්කෘතිය විදහා දක්වන සංකේත සහ වර්ණ නිසාත්, ප්‍රණීත ඉන්දියානු හරිත අහාර සුවඳ නිසාත් නිසා ඇති වූ සුන්දර හැඟීම වචනයෙන් විස්තර කිරීම අපහසුයි. කුඩා කාලේ ගණිත විෂයට ඉගෙන ගත්ත කුලක පාඩම මතක් වුණා. ඒ විතරක් නෙවේ, ඉන්දියාව සම්බන්ධ අපේ ඉතිහාස කතා අතර “මහ ගෙදර ගියා” වැනි සිතුවිල්ලක්ද මට ඇති වුණා. ආසියානු ජාතිකයෙකු ලෙස මට එසේ දැනුනා නම්, ඉන්දියානු ජාතියෙකුට නම් තම රට ගැන මහා ආඩම්බරයක්, අභිමානයක් ඇතිවනවා නිසැකයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ, වසර පුරා ම එහි පැමිණෙන විවිධ ජාතීන්ට අයත් අමුත්තන්ට ඉන්දියානු ක්‍රමයට සැකසූ බත් ඇතුළු තවත් නිර්මාංශ අහාර පාන (තෝසේ, රසම්, මසාල, එළවළු, පලතුරු, අතුරුපස) ඉතා පිරිසිදුව සහ පිළිවෙලට දිවා සහ රාත්‍රී අහාර වලින් නොමිළේ ම සංග්‍රහ කිරීමයි.
(සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේදී එළවලු සමඟ කුඩා බත් පතක් ලංකාවේ මුදලින් අඩුම තරමේ රුපියල් 1500-2000 ක් පමණ වේ.) මෙහිදී තම කැමැත්ත අනුව කීයක් හරි දීම සිදු කළ හැක. එම මුදල් එහි නඩත්තුව සඳහා යොදාගනී. කැමති අයට කැමති පරිදි අනුග්‍රහ දැක්විය හැකියි. පර්ත් නගරයේ ඕනෑම තැනකට ඩොලර් 10කට දිවා ආහාර වේලක් ගෙනගොස් දීමේ සේවාවක් ද එහි ක්‍රියාත්මක වෙනවා. ඒ ආදායමත් මේ දන්සැල සඳහා භාවිතා වෙනවා.
මෙහි අහාර පිසීම ඇතුළු සියලුම දේ ඉටුකරන්නේ ස්වෙච්ඡා සේවකයින් ය. ඉන්දියානුවන් පමණක් නොව විවිධ ජාතීන් තම කැමැත්තෙන් පැමිණ දිනෙන් දින මෙහි සේවය කරනවා. සුදු කළු තලෙළු සියලු මිනිසුන් මෙහි ආහාර ගැනීමට පමණක් නොව ස්වේච්ඡා සේවය සඳහා ද පැමිණේ.
හින්දු දහම අනුව තම ආහාර වේල ගැනීමට පෙර මුලින්ම නිවසට එන අමුත්තෙකුට අහාරපාන දී සතුටු කිරීමේ සම්ප්‍රදායක් ඇත. දෙවියන් ආගන්තුකයාගේ ආකෘතියෙන් පැමිණෙන බවට විශ්වාස කෙරෙන මෙම සංකල්පය “අතිටි දේවෝ භවා” යනුවෙන් හැඳින්වේ. අමුත්තා දෙවියන් ය යන්න එහි අරුතයි. සම්ප්‍රදායට ගරු කරමින් පොදු සුබසාධනය සහ තම සංස්කෘතික අනන්‍යතාව ඉදිරියට ගෙන යාමත්, සියලු ජාතීන්, ආගම් සහ ඇදහිලි අතර සමාජ ඒකාබද්ධතාවය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමත් මෙම සත් ක්‍රියාවේ අරමුණ වී ඇත.
අන්නලක්ෂ්මි සූපවේදිනියෝ (උපුටා ගැනීම www.annalakshmi.com.au)
අන්න යනු පෝෂණය හා පැවැත්ම යන අරුතයි. ලක්ෂ්මී දෙවඟන යන අරුත දෙයි. පැවැත්මට අධිපති දෙවඟන අන්නලක්ෂ්මි නම් වේ. පුරාණයේ සිට ම හින්දු ජනයා ආහාර පිසීම හා පිරිනැමීම පූජනීය කාර්යයක් ලෙස සැලකුවා. අන්න දහම යනු කුසගින්න නැති කරමින් මිනිසුන් සතුටු කිරීමයි. එය ද ඉන්දියාවේ ඈත අතීතයේ සිට ම භාවිතාවේ පැවති දෙයකි. අන්නලක්ෂ්මි සූපවේදීන් සම්ප්‍රදාය නම් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි ලත් අය බව ද ඔවුන්ගේ සූප ශාස්ත්‍ර විධි වසර දහස් ගණනක් පුරා පරපුරෙන් පරපුරට හුවමාරු කරන ලද ඒවා බව ද ඔවුන් උදම් අනනවා.
(කවරයේ ඡායාරූපය: sbs.com.au)

නාලිකා කල්පගේ විසිනි

ආණ්ඩුව මුදල් උපයන මාර්ග සඳහා අවතීර්ණ වී සිටින බවට රනිල්ගේ ප්‍රකාශය අල්ලෙ පැලවෙන කෙබරයක්

රට බංකොළොත් වීමට ඉඩ නොදී විදේශ ණය වාරික කලට වෙලාවට ගෙවූ ආණ්ඩුව දැන් මුදල් උපයන මාර්ග සඳහා අවතීර්ණ වී සිටින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පෙරේදා කුරුණෑගලදී පැවසුවා.
මේණය ගෙවන හැටි ගැන 2019 පෙබරවාරි 11දා දිනමිණ පුවත්පතේ ඇතුළු පිටුවක මුල්ලක පළ වූ මේ ප්‍රවෘත්තිය නුවණින් විමසා බලන්න.
ශ්‍රී ලංකාව ලබා ගත් දෙස් විදෙස් ණය සඳහ‍ා පොලී හ‍ා ව‍ාරික ලෙස මේ වසරේ දී රුපියල් බිලියන 2200 ක් ගෙවීමට ඇතැයි මුදල් හා ජනම‍ාධ්‍ය අ‍ම‍ාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහත‍ා ප්‍රකාශ කළේය.
මෙහි ශ්‍රී ලංකාව යයි සඳහන් කළ ද මේ ණය ගන්නේ ශ්‍රී ලංකා රජයයි.
මින් රුපියල් බිලියන 1300ක් ව‍ාරික ලෙසද රු.බි. 900ක් පොලී ලෙසද ගෙවීමට තිබේ.
ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති රුපියල් බිලියන 635 දේශීය ණය හා රුපියල් බිලියන 265 විදේශීය ණය සඳහා ගෙවිය යුතු පොලී මුදල රුපියල් බිලියන 900ක් වේ.
රුපියල් බිලියන 1300 ක් ලබාගත් ණයවල වාරික ලෙස ගෙවීමට ඇත. ඒ අනුව රුපියල් බිලියන 635 ක් ‍දේශීය ණයවලටත් රුපියල් බිලියන 665 ක් විදේශීය ණයවලටත් වාරික ලෙස ගෙවීමට සිදුවන බව මුදල් හා ජනමාධ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මේ අන්දමට රජය මේ වසරේ ගෙවිය යුතු රුපියල් බිලියන 2200 මුදල ගෙවීමට රුපියල් බිලියන 1270 ක් දේශීය ණය වශයෙන්ද, රුපියල් බිලියන 930 ක් විදේශීය වශයෙන්ද ලබාගැනීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටි බවද ලේකම්වරයා කීය.
බිලියන් 2200ක් ණය ගෙවන්න ය කියලා බිලියන් 2200ක් ම ණයට ගන්නවා. ඔන්න මිත්‍රවරුනි රජය ණය ගෙවලා සතුටින් සවාරි ගසමින් ඉන්න හැටි.

මාකඳුරේ මධූෂ් වෙනුවෙන් පෙනී සිටින උදුල් ප්‍රේමරත්නගේ ඔලුවටත් කෙළ පඩික්කමක්?


අජිත් පැරකුම් ජයසිංහ

මෙම ඡායාරූපයේ දැක්වෙන සිද්ධිය මෙසේ ය. කෝට්ටේ පන්සලක භික්ෂූන් දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධියක සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සුමිත් සිල්වාට ගංගොඩවිල අධිකරණ භූමිය තුළදී ම බිම දමාගෙන අමානුෂික ලෙස පහර දෙන ලදී. සිදුවීම වුණේ 2012 මාර්තු මාසයේදී ය.
Sinhala Tamil English Translations and Content Writing
එම පහර දීම කර ඇත්තේ අදාළ සැකකරුවන් වෙනුවෙන් නීතිඥයන් පෙනී නො සිටිය යුතු බවට අධිකරණයේ උද්ඝෝෂණයක් කළ බෞද්ධ භික්ෂූන්, උපාසක, උපාසිකාවන් ඇතුළු පිරිසේ සිටි අය බව වාර්තා විය.
පහර දීමට භික්ෂූන් ද සහභාගි වී ඇති අතර උපාසිකාවක් නීතිඥයාගේ හිසේ සිට කෙළ පඩික්කමක් පෙරළා ඇත. 
මේ වන විට නීතිඥ උදුල් ප්‍රේමරත්න සම්බන්ධයෙන් ද මෙවැනි ම තත්වයක් දකින්නට ලැබේ. එතැනදී ද කියැවෙන්නේ බරපතල අපරාධකරුවකු ලෙස සැලකෙන මාකඳුරේ මධූෂ් වෙනුවෙන් ඔහු පෙනී සිටීම වැරදි බවයි.
උදුල් ප්‍රේමරත්න යනු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙකි. සටන්කාමී ශිෂ්‍ය දේශපාලනය වෙනුවෙන් ඔහු වෛද්‍ය උපාධිය ද අත්හැර දැමුවේ ය. වත්මන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ පිරිස් ජවිපෙන් කැඩී යන විට ඔහු ඔවුන්ට සමීපව කටයුතු කළමුත්, ඔහු පෙසප සාමාජිකයකු නොවන බව අපගේ වැටහීමයි. එබැවින් ඇතැම් මාධ්‍ය උදුල් ප්‍රේමරත්නගේ ක්‍රියා පෙසප සමග සම්බන්ධ කරමින් පෙසප අපරාධකරුවන්, කුඩුකාරයන් වෙනුවෙන් පෙනී සිටින බව කීම ද පදනම් විරහිත ය. අප දන්නා තරමින්, උදුල් ප්‍රේමරත්න වඩා සමීපව කටයුතු කරන දේශපාලන බහුජන සංවිධානය ‘අලුත් පරපුර’ ය.
උදුල් ප්‍රේමරත්නට ඉදිරිපත් වන චෝදනාව සම්බන්ධයෙන් දේශපාලන ක්‍රියාධරයකු වන විදර්ශන කන්නන්ගර විසින් මතු කරන ලද පහත දැක්වෙන විමසීමට උදුල් ප්‍රේමරත්න ප්‍ර‍තිචාර දක්වා තිබිණි.
විදර්ශන කන්නන්ගර: පාතාල ධනකුවේරයන්ට නීතිමය රැකවරණය දීමට මා සුමිතුරු උදුල් ඉදිරිපත් නොවේයැයි මම සිතමි.එසේ නොවේ නම් ඔහු සිය සටන් ඉතිහාසය පාවා දුන් නරුමයෙකි.
උදුල් ප්‍රේමරත්න: කනා මෙච්චරයි කතාව.මම ඩුබායි ආව.ඒ අමල් හා නදීමාල් වෙනුවෙන් කරන්න යමක් තියෙනව නම් කරන්න.එපමනයි.
ලංකවෙ ඉන්න සමහර ගෝතයො වගේ “ඔබට මදූශ් හමුවී තිබේද වගේ ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් මම නම් ඇබරෙන්නෙ නැහැ.උබ හොදටම දන්නව ඒක..මට මදූශ් හමුවී තිබේ පමනක් නොව ඔහු සමග එකම අඩි 6,10 කාමරයක එකම බත් පත කමින් මාස 4කට වැඩි කාලයක් ගත කර තිබේ කියල මම කියනවා.ඒ කොයි කාලෙද ,කොහේදිද ඇහුවොත් මීට වසර 9කට පෙර කොලබ CRP බනදනාගාරයේ J2 වාට්ටුවේදී බව මම කියනවා. ඇත්තටම ගත්තොත් අමල් අදුරනවට වඩා වැඩි කාලයක් මම මදූශ් අදුරනවා.

මට හොදටම පුලුවන්කම තිබුනා මේ case එකේදි කාටවත්ම නොදන්වා ඩුබායි ඇවිත් මදූශ් ගලවන්න සම්බන්ද වෙන්න.

නමුත් මම හිතනව එහෙම කල යුතු නැහැ කියලා.

මොකද වැරදි කරුවෙකුට විශේෂයෙන් මෙවැනි ආකාරයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ද හා මිනී මැරීම් ඇතුලු බරපතල ගනයේ අපරාද සම්බන්ද චෝදනා එල්ලවූ අයෙකුට නීති තර්ක යොදාගෙන ගලවා ගැනීම කල යුතුයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ.මම කරන්නෙත් නැහැ.උපරිම දඩුව්ම් දිය යුතුමයි.
උදුල් ප්‍රේමරත්න මුහුණ දෙන තත්වය සහ ඉහත දක්වන ලද කෙළ පඩික්කම් සිද්ධිය විසින් ලංකාවේ ක්‍රියාත්මක නීතිය සම්බන්ධයෙන් මූලික ගැටලුවක් මතු කර දක්වයි.
මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් බරපතල චෝදනා රැසක් තිබේ. එහෙත්, ඒවා ඔප්පු වන තෙක් මධූෂ් ද නීතිය ඉදිරියේ නිවැරදිකරුවෙකි. අනෙක් පැත්තෙන්, මධූෂ්ට චෝදනා එල්ල කරන පොලිසිය, මාධ්‍ය හා සමාජය නිවැරදිදැයි අප කිසිවෙකු දන්නේ නැත. කවුරු හරි ද, කවුරු වැරදි ද කියා තීරණය කිරීමට අප එකිනෙකාට වෙන වෙන ම අවස්ථාවක් දීමට සමාජයට බැරි ය. එහෙයින් අපි යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් වගකීම අධිකරණයට පවරා ඇත්තෙමු. අධිකරණය පූර්ව විනිශ්චයවලින් තොරව නඩු විභාගයක් පවත්වා අපට තීන්දුවක් දිය යුතු ය. සමාජයක් ලෙස එම තීන්දුව භාරගැනීමට අපි බැඳී සිටින්නෙමු.
මධූෂ් සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයක් පැවැත්විය යුතු ය. එහිදී ඔහුට තමන් නියෝජනය කිරීමට නීතිඥ සහාය ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතු ය. එසේ නොකළහොත්, එය සාධාරණ නඩු විභාගයක් වන්නේ නැත. මධූෂ්ට මරණ දඬුවම ලබා දෙන්නට ලංකාවේ නීතිය අනුව හැකියාව තිබේ. එහෙත්, එය සිදු විය යුත්තේ සාධාරණ නඩු විභාගයකට තිබෙන අවස්ථාව ඇවිරීමකින් තොරව ය.
නීතිඥයා යනු වෘත්තිකයෙකි. නීතිඥයෝ ඕනෑ තරම් චූදිතයන් වෙනුවෙන් පෙනී සිටිති. චෝදනාව එල්ල වන වරදෙහි ස්වභාවය කුමක් වුවත් චූදිතයාට කියන්නට තිබෙන කතාවට ද අධිකරණය සවන් දිය යුතු ය. මධූෂ් වෙනුවෙන් කවුරු හෝ නීතිඥයකු පෙනී සිටිය යුතු ය. එහි කිසිදු වරදක් නැත.
මධූෂ් වෙනුවෙන් උදුල් ප්‍රේමරත්න පෙනී සිටියත් එහි ඇති වරදක් නැත.
එපමණක් නොව, විදර්ශන හා උදුල් යන වාම ක්‍රියාධරයන් දෙදෙනා ම දේශපාලනිකව වැරදි බව අපේ අදහසයි. ලංකාවේ භාවිත නීතියේ මූලික මූලධර්මවලට ගරු නොකරන ඔවුන් පෙනී සිටින්නේ කුමන නීති ක්‍ර‍මයක් වෙනුවෙන් ද යන්න අපට පැහැදිලි නැත.
එක පැත්තකින් මෙම වාම ක්‍රියාධරයෝ යම් දුරකට මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වර්ධනය කිරීම ද කරති. මත්ද්‍ර‍ව්‍ය වර්ගීකරණය රජයක වැඩකි. නීත්‍යානුකූලබව හා නීති විරෝධීබව තීරණය කරන්නේ රජයයි. ලංකාවේ බොහෝ ප්‍ර‍ගතිශීලීන් ප්‍ර‍වර්ධනය කරන ගංජා, මරිජුවානා, කොකේන්, හෂීස් ආදිය ද හෙරොයින් මෙන් ම ලොව බොහෝ රටවල නීති විරෝධී ය. මධූෂ් මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් කිරීම නීතිමය ගැටලුවකි. ඒ පිළිබඳ සදාචාර විනිශ්චයන්වලට පැමිණීම කුමන වාමාංශිකකමක් ද යන්න අපට නොතේරේ.
දෙමළ කැරැල්ලේ වැරදිකරුවන් බවට පත් වී සිර දඬුවම් විඳින බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් මතු වන ගැටලුවක් වන්නේ ඔවුන්ට පූර්ව විනිශ්චයන්, භාෂා ගැටලු ආදිය හේතුවෙන් සාධාරණ නඩු විභාගයකට අවස්ථාව නොලැබුණු බවයි. මෙකී වාමාංශිකයන් එතැනදී එම තර්කයට විරුද්ධ වන්නේ නැත. එසේ නම්, මධූෂ්ට සාධාරණ නඩු විභාගයක් සඳහා තිබෙන අයිතියට ඔවුන් විරුද්ධ වන පදනම කුමක් ද?