දූල්වල අලංකාරේ අලංකාරය ඔබ තවම දුටුවේ නැද්ද?

සම්මානලාභී නවකතා කියවීම නිසා අවසානයේදී ගත වූ කාලය වෙනුවෙන් ඇති වූ කලකිරීම හේතුවෙන් දූල්වල අලංකාරය මිළ දී ගැනීමෙන් හා කියවීමෙන් වැළකී සිටියමි. එහෙත්, පසුගිය දිනෙක පුස්තකාලයකදී අත ගැටුණු එය ගෙදර ගෙනැවිත් කියැවූ මට ඇති වූ විස්මය සමග නැවත එය කියවීමට පෙර මෙම සටහන තබමි.

ඉතිහාසය නැවත ලියන නවකතා යයි කියමින් ඉතිහාසගත කාන්තා චරිත සංසර්ගයේ යෙදුණු හැටි අවුස්සන හෝ එතනිනුත් එහාට ගොස් ඉතිහාසයේ කාන්තා චරිත සමග රමණය කරන හා ඉතිහාසය උඩ තබා වර්තමානයේ තම තමන්ගේ ඔලුවල පහළ වන විකාර සිතුවිලි මෝචනය කරන ඊනියා රැඩිකල් ඉතිහාස නවකතා රැල්ලට එරෙහිව නියම ඉතිහාස නවකතාව නම් මේ යයි කියන නවකතාවක් ලෙස සුමුදු නිරාගී සෙනෙවිරත්න ලියූ දූල්වල අලංකාරේ සැලකිය හැකි ය.

අපභ්‍රංස ගොඩක් කවරයට තබා බැඳ සීරියස් කියවීමක් අවශ්‍ය යයි තමන් ම හෝ තමන්ගේ හිතවතුන් ලවා කියවා ගන්නා කොළඹ සාහිත්‍ය මාෆියාවේ නවකතාව කෙසේ වෙතත්, ඉතා බැරෑරුම් කියවීමක් සැබැවින් ම ඉල්ලා සිටින ගැඹුරු නවකතාවකි, දූල්වල අලංකාරේ. එය වනාහි නැවත නැවත කියවා රස විඳ ගත හැකි නවකතාවකි.

දූල්වල අලංකාරේ ප්‍රස්තුත කර ගන්නේ චරිතවලටත් වඩා කාල රාමුවකි. සමාජ පරිවර්තනයකි. එහිදී වඩා වැදගත් වන්නේ සමාජයයි. චරිත වැදගත් වන්නේ දෙවනුවයි.

දූල්වල අලංකාරේට පසුබිම් වන 19වන සියවසේ අවසාන භාගය වනාහි රටෙහි අතිශය ප්‍රචණ්ඩ සමාජ විපර්යාසයක් සිදු වූ අවධියකි. ඉංග්‍රීසි යටත් විජිතවාදීන් විසින් දියත් කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ලංකාවේ ගොඩනැගෙමින් තිබුණු ධනවාදය පෞරාණික ස්වයං පෝෂිත ගමට බලපාන හැටි හා ඒ ඔස්සේ ගැමි ජන ජීවිතය දැවැන්ත විපර්යාසයකට ලක් වන හැටි සුමුදු නිරාගී වචනයෙන් චිත්‍රණය කරන්නේ දැවැන්ත පෙතිකඩක් මත සියුම් විස්තර සහිත චිත්‍රයක් අඳින්නා සේ ය. 

කතාවේ ප්‍රධාන චරිතයත් පාරම්පරික සිත්තරෙකි. රාජකාරි ක්‍රමය අහෝසි වී යාමත්, පන්සලට රාජ්‍යානුග්‍රහය නැති වී යාමත්, වෙහෙර විහාර ගරා වැටීමත් හේතුවෙන් සුරේන්දර නයිදේගේ ජීවනෝපාය බිඳ වැටෙයි. ඊටත් වඩා ඔහු වැදගත් ලෙස සලකන සිය පරම්පරා උරුමය රැක ගැනීම ඔහුට ඉතා දුෂ්කර වෙයි. ඔහුගෙන් පසු ඇත්තෙන් ම ඒ සිත්තර සම්ප්‍රදාය බිඳ වැටෙන බව පෙනේ. මේ වන විට පන්සල්වල ඇඳ තිබෙන චිත්‍ර ය කියන ජාතිය දෙස බැලූ විට අපට අහිමි වූ සම්ප්‍රදායේ තරම තේරුම් ගත හැකි ය.

දක්ෂ සිත්තරකු වීමේ පෙර ලකුණු පහළ කරමින් සිටි සුරේන්දර නයිදේගේ පුතා ජීවන් නයිදේ සිත්තර කර්මය හැර දමා, ගැමි ගොවි ජීවන රටාවෙනුත් මිදී, අලුතෙන් වැදගත් වන්නට පටන් ගත් මුදල් සෙවීම වෙනුවෙන් මිනිරන් පතල් කම්කරුවකු බවට පත් වේ. 

සුරේන්දර නයිදේගේ ඊළඟ සිසුවා වන ඔහුගේ දියණියගේ පුත් ඩිංගිරි පල්ලියේ පාසල් හරහා අධ්‍යාපනය ලැබ ඩේවිඩ් ලෙස නමත් වෙනස් කරගෙන අවසානයේදී සාර්ථක කර්මාන්තකරුවකු බවට පත් වේ. 

මේ අතර, මුඩුබිම් පනත හා විහාර දේවාලගම් පනත එයි. රාජකාරි ක්‍රමය අහෝසි කෙරේ. බ්‍රිතාන්‍යයෙන් පැමිණි වැවිලිකරුවෝ අක්කර දහස් ගණනින් මිළ දී ගෙන පළමුව කෝපි ද, දෙවනුව තේ ද වවති. ගැමියන්ට පොදු ඉඩම් හා අනාගත පරම්පරාවලට ව්‍යාප්ත වීම සඳහා ඉඩකඩ අහිමි වෙයි. හරකුන්ට කන්නට තණ බිම් නැති වෙයි. ගොවියන්ට යැපෙන්නට කුඹුරු මදි වෙයි. පරිසරයේ හා දේශගුණයේ සිදු වන විපර්යාස ගැන නම් ලේඛිකාව එතරම් අවධානයක් යොමු කර නැතැයි මට සිතේ.

සරළ, අල්පේච්ඡ ජීවිතයකට හුරු වූ උඩරට ගැමියෝ මේ විපර්යාසයට ප්‍රතිරෝධය දක්වති. කතුවරියගේ ස්පර්ශයට ලක් වන යුගය වන විට කැරැලි දෙකක් මර්දනය කර, සරදියෙල්වත් මරා දමා, ස්වදේශිකයන්ගේ කොඳු බිඳ දමා තිබුණු යුගයකි. සුද්දන්ට ගැති රණමල් බණ්ඩා වැනි ආරච්චිලාගේ සිට අලුත් හෝ අලුත් වූ ප්‍රභූ පැළැන්තියක් හිස ඔසවමින් සිටි යුගයකි. පහතරටින් මිනිරන් කර්මාන්තය හා රේන්ද කර්මාන්තය හරහා නව ධනපති පංතියක් නැගී සිටින අතර ඔවුහු වැවිලි කර්මාන්තයට ද පිවිසෙති. ඒ ප්‍රධාන වශයෙන් පොල් කර්මාන්තය ඔස්සේ ය.

සුමුදු නිරාගී අඩුවෙන් ස්පර්ශ කරන අංශ ද තිබේ. නුවරට කෝච්චි පාර දැමූ මෙම යුගය ඇඟ බදු වැනි තිරශ්චීන බදු පැණවුණු යුගයකි. ගැමි ජනයාට එදා දැනුණු පීඩනය දූල්වල අලංකාරේහි නිරූපිත තරමටත් වඩා වැඩි විය යුතු ය.

රාජකාරිය මිස වැටුප් ශ්‍රමය ගැන නො දැන සිටි සිංහල ගැමියා වතුවල වැඩට නො ගිය හෙයින් වැවිලිකරුවන් විසින් දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද දෙමළ වතු කම්කරුවන් විසින් ද උඩරට භූමි චිත්‍රය වෙනස් කරන ලදී. නවකතාවේ අවසන් හරියට එන විට සිංහල ගැමි ගැහැනුන් ද වතුවල වැඩට යන්නට පෙළඹෙන තත්වයක් නිර්මානය වී තිබේ.

මේ අතර සංස්කෘතික තලයේ සිදු වන දේ ද වැදගත් ය. පාරම්පරික සිත්තරකු වන සුරේන්දර නයිදේ ජීවත් වන ගම මැදින් අසු පිටින් යන ඔලීවියා නම් වන වතු හිමියාගේ බිරිඳ ද චිත්‍ර ශිල්පිනියකි. සුරේන්දර නයිදේට වත්තට පැන සිය එළදෙන කළ අලාභය පියවීම සඳහා පෙතිකඩ චිත්‍රයක් ඇඳ වතු හිමියාට දෙන්නට සිදු වෙයි. එහෙත්, ඔහුට කිසි දිනෙක ඔලීවියා හමු වන්නේ නැත. ඔලීවියාට සුරෙන්දර නයිදේ හමු වන්නේ නැතැයි කීවා නම් වඩා සාධාරණ ය. එහෙත්, අවසානයේදී බෘස් නම් සිත්තරාට සුරේන්දර නයිදේ හමු වෙයි. අලුත් චිත්‍ර කලාවක් බිහි වෙයි. මට මංජු ශ්‍රී සිහි විය.

දූල්වල අලංකාරේ ගැන මට නම් කියන්නට තිබෙන්නේ එය වනාහි ඔය සම්මාන ලබන කෘතිවලට වඩා පරම්පරාවක් ඉදිරියෙන් සිටින ජාත්‍යන්තර මට්ටමේ කෘතියක් බවයි. මා වඩාත් විස්මයට පත් වන්නේ සුමුදු නිරාගී සෙනෙවිරත්න සිය පරිකල්පනය හා පර්යේෂණ විනය මෙහෙයවා නිර්මානය කරන මායාව යථාර්ථය සමග පැටලෙන තරමේ ඉන්ද්‍රජාලයක් වීම නිසායි. එය කියවන ඔබ පෞරාණික ලේඛන අධ්‍යයනය කරමින් දූල්වල ගම හා පැරණි සිත්තර පරම්පරා ගැන ද මහනුවර ඩේවිඩ් පෙරේරා සාප්පුව ගැන ද සෙව්වා නම් පුදුම විය යුතු නැත.   

මීට පෙර මා මෙවැනි කෘති කියවා ඇත්තේ ද සේපාලි මායාදුන්නේ, ලාංගනී ප්‍රනාන්දු අබේධීර, මුල් යුගයේ සුනේත්‍රා රාජකරුණානායක වැනි ගැහැනුන්ගෙන් ම වීම විස්මිත තත්වයකි. ලංකාවේ සාහිත්‍යය මත අඬු බඬු විහිදුවාගෙන සිටිමින් සම්මාන විනිශ්චය හා සම්මාන ලබා ගැනීම මාරුවෙන් මාරුවට කරන සාහිත්‍ය මාෆියාව හා එහිම කොටසක් වන විචාරක මාෆියාව මේ කාන්තාවන් ලිබ්බොක්කට තල්ලු කිරීම වළක්වා ගැනීම සිංහල සාහිත්‍යය බේරා ගැනීමේ අරගලයේ අතිශය වැදගත් කාර්යයකි.    

මෙයත් කියවන්න: සේපාලි මායාදුන්නේගේ මහාසාමි හා අතීතකාමයෙන් මිදෙන්නට අතීතය කියවීම




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)