Posts

Showing posts with the label නවකතා

දූල්වල අලංකාරේ අලංකාරය ඔබ තවම දුටුවේ නැද්ද?

Image
සම්මානලාභී නවකතා කියවීම නිසා අවසානයේදී ගත වූ කාලය වෙනුවෙන් ඇති වූ කලකිරීම හේතුවෙන් දූල්වල අලංකාරය මිළ දී ගැනීමෙන් හා කියවීමෙන් වැළකී සිටියමි. එහෙත්, පසුගිය දිනෙක පුස්තකාලයකදී අත ගැටුණු එය ගෙදර ගෙනැවිත් කියැවූ මට ඇති වූ විස්මය සමග නැවත එය කියවීමට පෙර මෙම සටහන තබමි. ඉතිහාසය නැවත ලියන නවකතා යයි කියමින් ඉතිහාසගත කාන්තා චරිත සංසර්ගයේ යෙදුණු හැටි අවුස්සන හෝ එතනිනුත් එහාට ගොස් ඉතිහාසයේ කාන්තා චරිත සමග රමණය කරන හා ඉතිහාසය උඩ තබා වර්තමානයේ තම තමන්ගේ ඔලුවල පහළ වන විකාර සිතුවිලි මෝචනය කරන ඊනියා රැඩිකල් ඉතිහාස නවකතා රැල්ලට එරෙහිව නියම ඉතිහාස නවකතාව නම් මේ යයි කියන නවකතාවක් ලෙස සුමුදු නිරාගී සෙනෙවිරත්න ලියූ දූල්වල අලංකාරේ සැලකිය හැකි ය. අපභ්‍රංස ගොඩක් කවරයට තබා බැඳ සීරියස් කියවීමක් අවශ්‍ය යයි තමන් ම හෝ තමන්ගේ හිතවතුන් ලවා කියවා ගන්නා කොළඹ සාහිත්‍ය මාෆියාවේ නවකතාව කෙසේ වෙතත්, ඉතා බැරෑරුම් කියවීමක් සැබැවින් ම ඉල්ලා සිටින ගැඹුරු නවකතාවකි, දූල්වල අලංකාරේ. එය වනාහි නැවත නැවත කියවා රස විඳ ගත හැකි නවකතාවකි. දූල්වල අලංකාරේ ප්‍රස්තුත කර ගන්නේ චරිතවලටත් වඩා කාල රාමුවකි. සමාජ පරිවර්තනයකි. එහිදී වඩා වැ...

නාගොල්ලාගම මේජර් ජනරාල් විදර්ශන????????

Image
පොත්  කොළඹ පොත් පොළ අවසන් විය. ඒ ආසන්නයේ නිතර ගැවසුණත්, මම නම් ඒ පැත්ත පළාතේ ගියේ නැත. එවැනි තදබද ස්ථානවල ගැවසෙන්නට මා තුළ කැමැත්තක් නැත. අනෙක, ඔය තරම් පොත් කියවන්නට ද මට හැකියාවක් නැත. මන්ද, මා ජීවත් විය යුතු බැවිනි. පොත් කියවීම ජීවත් වීමෙහි එක් කොටසක් පමණි. දවසකට එක ගණනේ ලොකු පොත් කියවිය හැකි විස්මිත චරිතවලට පවා අවුරුදු පනහක් පොත් කියැවූවත් කියවන්නට පුළුවන් පොත් 18,250ක් පමණි. එහෙයින්, ඔය කියවූ බව කියවන වැඩි දෙනෙක් කියවූ ප්‍රමාණයට වඩා නො කියවූ ප්‍රමාණය සුවිසල් බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මම නම් මගේ ජීවිතය තුළ බරසාර පොත් 2000ක්වත් කියවා ඇත් ද යන්න මට නම් සැක සහිත ය. අච්චර කියෙව්වා මෙච්චර කියෙව්වා යයි කියවීම ගැන පම්පෝරි ගැසීම පට්ට බොරුවකි. ඔය පම්පෝරිකාරයන් වැඩි දෙනෙක් පොත් 5000ක්වත් නො කියවූ අයයි. ඒ වුණාට පෙනී සිටින්නේ ලක්ෂ ගණන් කියවූ අය ලෙස ය.  රටක සාහිත්‍යයේ, කලාවේ ප්‍රබෝධයක් ඇති වන්නේ දේශපාලනයේ ස්ථාවරත්වය හා නිදහස් වටපිටාව හේතුවෙන් බව කී විට, එම ප්‍රකාශයට අකැමැති අය ඒ බරපතල ප්‍රකාශය කරන්නේ කුමන අනුභූතික සාක්ෂි මත පදනම්ව ද යන්න අසන්නට ද පුළුවන. එහෙත්, ඒ ප්‍රකාශයට ...

කුරුළු හදවත ගල් හදවතකින් ලියැවුණ බොල් පොතක් ද?

Image
ලියන‍ගේ අමරකීර්ති විසින් ලියන ලද කුරුළු හදවත නවකතාව රන්ජන් අමරරත්න හඳුන්වන්නේ ගල් හදවතකින් ලියැවුණ බොල් පොතක් ලෙසයි. ඔහු අමරකීර්තිගේ නවකතාව නිර්දය විවේචනයකට ලක් කරයි. අමරකීර්ති එය සිය පොතට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබෙනු දුටිමි. එහෙත්, අමරරත්නගේ ප්‍රහාරය මා සිතූ තරම් අවර ගනයේ එකක් වූයේ නැත. ඔහු සරළ ප්‍රශ්න දෙකක් මතු කරයි. (I) එක්තරා කාලයක වූ සිදුවීම් වැලක් එලෙස ම දෙසාබෑම නවකතාවද? (II) සියුම් චරිත නිරූපණයකින් තොරව සාර්ථක නවකතාවක් ගොඩනැඟිය හැකි ද? කුරුළු හදවතේ චරිත නිරූපණය පිළිබඳ අවධානය යොමු කරන කල එහි චරිත සියල්ලේ ම පාහේ කිසියම් භාවාතිශය ලක්ෂණයක් තිබෙන බව මට සිතේ. එ්වා අප හින්දි චිත්‍රපටවල දකින ආකාරයේ චරිත ය. රන්ජන් අමරරත්න මුත්තු අත්තා හැඳින්වීම සඳහා යොදා ගන්නා 'වාණිජ චිත්‍රපටවල එන විකටයා' යන යෙදුම ඔස්සේ මෙම කරුණ පැහැදිලි කර ගත හැකි ය. එහෙත්, මෙම භාවාතිශය ලක්ෂණය අමරකීර්තිගේ නවකතා කලාවේ ලක්ෂණයක් ලෙස හෝ ඔහුගේ ශෛලිය ලෙස සැලකිය හැකි ය. ඔහුගේ චරිත නිරූපණය යම් දුරකට කැමරාවකින් හසු කර ගත් චලන බඳු ය. එයින් අදහස් වන්නේ ඒවා යම් ආකාරයකට මතු පිට සීමාව වි...

ශාස්තෲ ලියන්නට මා පෙළඹවූ ලස්සන මනස | A Beautiful Mind that compelled me to write Shasthru

Image
අජිත් පැරකුම් ජයසිංහ මෙය කිසියම් අයෙකු විසින් ප්‍රචාරක සටහනක් ලෙස සැලකුවාට කම් නැත. මවිසින් ලියන ලද ශාස්තෲ නවකතතාව පිළිබඳ සංවාදයක් පෙබරවාරි 06දා, ඉරිදා, සවස 5.30ට නුගේගොඩ, පරණ කැස්බෑව පාරේ Art Way කලාගාරයේදී පැවැත්වේ. ලංකා අක්ෂය විසින් සංවිධානය කරන ලද එම වැඩසටහනට සහභාගි වන්නැයි මම ඔබට ආරාධනා කරමි.  කතුවරයකු යම් කෘතියක් කළ පසු ඔහු ම එය පිළිබඳ නැවත කතා කිරීම විකෘති තත්වයක් විය හැකි ය. කෘතියෙන් කියා ඇති දේ ගැන නැවතත් වෙනත් ආකාරයකින් කියන්නට යාම අරුත් සුන් විය හැකි ය. එහෙත්, අප මෙය රචනා කරන්නේ දේශපාලනික කාර්යයක් ලෙස සලකා යයි අපි පොතේ පෙරවදනේ ම කීවෙමු. එහෙයින්, මේ සටහන අදාළ වන්නේ එකී දේශපාලනයටයි.  ශාස්තෲ ලිවීමේදී අපට බල පෑ එක් චිත්‍රපටයක් තිබේ. ඒ වනාහි 2001දී නිපදවන ලද ඇමරිකානු චිත්‍රපටයක් වන A Beautiful Mind   ය. ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියකු වන ජෝන් ෆෝබ්ස් නෑෂ්ගේ ජීවිතය පාදක කරගෙන රෙන් හොවාඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ච්ත්‍රපටය භින්නෝන්මාදය හෙවත් schizophrenia නම් මානසික රෝග තත්වය පිළිබඳ අපූරු විවරණයකි.  සාහිත්‍යකරුවකු ලෙස මා උත්සාහ කළේ මෙකී ම...

ශාස්තෲ සහ ඇදහිලි කල්ලි | Shasthru novel and the cults

Image
නිශාන්ත කුලරත්න විසිනි “ලියන්නට ඇති කතා බොහෝ ය. එහෙයින් ඔබේ අදහස් මට බොහෝ වටී." ශාස්තෘ නවකතාවෙ පෙරවදනේ එහෙම තියනව. ශාස්තෘ නවකතාව ගැන කෙරෙන අදහස් දැක්වීමකට පොත එලිදැක්වීමේ උත්සවේදී පළකෙරුනු අදහස්වලින්ම මුල පිරීම හොඳයි කියල මට හිතුනෙ දේශන මාතෘකාව 'ශ්‍රී ලංකාවේ කැරලි සහ සාහිත්‍යය' වුනාට දේශකයො දෙන්නම කතා කලේ පොතේ තේමාව ගැන නිසයි.  උදාහරණ ගණනාවකට් යමින් කෙරුනු නිර්මාල්ගෙ කතාවෙ මූලික ලෙස කියවුනේ මේ යුගයේ ලංකාවේ බිහිවන බොහෝ නවකතාවල, මීට දශක කිහිපයකට පෙර කෙරුනු නිර්මාණවල අමතර තේමාවක් ලෙස කියවුනු, "ලෝකය වෙනස් කරන්න හදන කතා නායකයා 'යථාර්තයෙන්' වෙන් වූ ලෝකයකට යාම" නම් තේමාව කේන්ද්‍රය වී ඇතිබවයි. ප්‍රධාන පෙලේ කලා විචාරකයන් මේ තත්වය "අමූලික කෙප්ප " ලෙස සලකනමුත් තමන් අජිත් බැරැරුම් ලෙස සලකන නිසා මේ කාරණාව කතාබහට ලක්විය යුතු බව ඔහු යෝජනා කලා.  සුනිල් විජේසිරිවර්ධන පළකල අදහස්වල නවකතාවෙ තේමාව ගැන වගේම ඉදිරිපත් කිරීම ගැනත් කතා වුණා. තේමාව ගැන ඔහු ඉදිරිපත් කල අදහස් මූලික ලෙස යොමුවුනේ පොත තුල කියවෙන "සූර්ය ප්‍රජාව" නම් කණ්ඩායම පිලිබඳවයි. පොත තුළ...

අජිත් අමාරුවෙ දැමීමේ එකම මඟ ශාස්තෲ කියවීම මිස මඟ හැරීම නොවේ.

Image
( 2010 දෙසැම්බර් 04, සානුව )  කියවන්නේ වෙනසයි. වෙනස නොමැති තැන කියවීම නැත. කියවීමට අකුරු, ඇස හා මොළයේ සම්බන්ධයක් තිබිය හැකිය. එසේම අකුරු ගලක් මත කොටා තිබීම හෝ පත් ඉරුවක් මත ලියා තිබීම හේතු කොට ගෙන ඒවායේ ද කියවීමට සම්බන්ධයක් ඇත. එපමණක් නොව ඒ ඕනෑම පෘෂ්ඨයක් මතට ආලෝකය පතනය වී, ඉන් අනතුරුව පරාවර්තනයෙන් ඇස වෙත පැමිණෙන ආලෝක කිරණ නිසා දෘෂ්ඨිය සාධනය වන බැවින් කියවීමට ආලෝකයද සම්බන්ධ වන්නේය. ඒ කවරක් සම්බන්ධ වුවද කියවන්නේ වෙනසයි. ‘අ’ යන්න සහ ‘ර’ යන්න අතර වෙනස මිස ‘අ’ යන්නෙහි එහිම වු සාරයක් කියවනනේ නැත. ‘ර’ යන්නට ද අනෙක් අකුරු නොමැත්තේ නම් එහිම වු අනන්‍යතාවයක් නැත. එහෙත් කියවන විෂය (Subject) ඒ ඒ අකුරට වෙනස මඟ හැර සාරයක් ප‍්‍රක්ෂේපනය කිරීමට යත්න දරන්නේය. එවිට ‘අ’ යන්නට ‘ර’ යන්න හෝ ‘යා’ යන්න නොමැතිව ස්වාධීන පැවැත්මක් ඇතැයි සිතයි. නොඑසේ නම් එලෙස සිතීමට අවැසි පදනම සකසා ගනී. පාරභෞතිකය යනු මෙයයි. එනම් වෙනස මඟහැර පෙනෙන දෙය සාරයක් බවට පත් කර ගැනීමයි. මින් අනතුරුව වෙනස පෙන් වූ සැනින් සාරය/අනන්‍යතාවය තර්ජනයට ලක් වීමට නියමිතය. ඉන් ගැලවීමේ මඟ තහංචියයි. තහංචි පැනවීමයි. විෂය අනෙකා මතට ප‍්‍රක්ෂේපනය කළ...

ටැබූ සබ්ජෙක්ට්ස් එක හුස්මට කියැවූ ශාස්තෲ ඔබත් කියවන්න

Image
( 2010 දෙසැම්බර් 01,  W3Lanka )  මම ශාස්තෲ නම් නවකතාවක් ලියුවෙමි. වැරදි බොහෝ කර ඇතත් එය වරදක් ලෙස නො සලකමි. නවකතාවක් පළ කළ පසු මුලින් ම කළ යුත්තේ එය විකුණා ගැනීමයි. විකුණන්නේ එය වෙනුවෙන් යට කළ මුදල් ලබා ගැනීමට ම නො වේ. නිර්මානකරුවකු බලාපොරොත්තු වන මුල් ම දෙය තම නිර්මානය යම් ග්‍රාහක පිරිසකගේ නෙතට ලක් වීමයි. ධනේශ්වර වෙළඳපොළ ලෝකයේ නවකතාවක් ද තවත් වෙළඳ භාණ්ඩයක් වීම වැළැක්විය නො හැකි ය. එහෙයින් ලේඛකයා එය වෙළඳපොලකරණය කළ යුතු ය. විශාල ප්‍රාග්ධනයක් නොමැති සංදර්භයකදී ප්‍රචාරණය සඳහා හැකි තරම් නිර්මානශීලී විය යුතු ය. වෙළඳ ප්‍රචාරණය නැති තැනක් නැති මේ ලෝකයේ නවකතාවක් විකිණීම සඳහා කර්තෘ ප්‍රකාශකයකු කරන ප්‍රචාරය ගැන කිසිවෙක් කලබල විය යුතු නැත. ලේඛකයකු සාහිත්‍ය නිර්මානයක් එළි දැක්වූ පසු ඔහු බලාපොරොත්තු වන්නේ සහෘද ප්‍රතිචාරයි. නිර්දය විචාරය වුව සහෘද ප්‍රතිචාරයකි. ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා පොත පිට වූ දිනට පසු දා ම ශාස්තෲ පිළිබඳ සටහනක් ලියා ඇත. ඔහු එය නම් කර ඇත්තේ ‘ශාස්තෲ’ නිර්කියැවීම | Irreading ‘Shasthru’ ලෙසයි. එහි ආරම්භයේ ම ඔහු මෙසේ පවසයි. "මම විචාරකයෙක් නොවෙමි. ඒ ගැන...

ශාස්තෲ නවකතාව ගැන කතා කරන්න බ්ලොග් අඩවියක්

Image
( 2010 නොවැම්බර් 30,  W3Lanka )  නවකතාව යනු සමාජ දේශපාලන සංවාදයේ උත්තර සංවාදයයි - ගුණදාස අමරසේකර "මේ වනාහි දේශපාලන ව්‍යායාමයකි. තේරෙන කාලයේ හට ගත් තරුණ කැරැලි දෙකක් හරහා එක්ව යමින් සමාජවාදී විප්ලවයක සිහින දැක පැරදුණ මගේ පරපුරේ මිනිසුන් සමග තුවාල ලෙව කන්නටත්, පය ලූහුටා ගිය තැන් සිතියම්ගත කරන්නටත්, ජීවිතය නැවත කියවන්නටත් අරගල පිළිබඳ ප‍්‍රබන්ධ සාහිත්‍යයක් අවැසිව ඇතැයි සිතමි. සමාජවාදී සමාජයක් පිළිබඳ සියලූ සිහින බිඳ වැටුණු පසුවත් ඒ බලාපොරොත්තුව ජීවිතාශාව වඩවයි. ලියන්නට ඇති කතා බොහෝ ය......." - ශාස්තෲ නවකතාවේ පෙරවදනින් අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද ශාස්තෲ නවකතාව ලංකාවේ මෑතකාලීන රැඩිකල් දේශපාලනය පසුබිම් කර ගත් එකකි. නවකතාව ආශ්‍රිත තොරතුරු පළ කිරීමටත් එය කියවන ඔබට අදහස් දැක්වීම සඳහාත් මෙම බ්ලොග් අඩවිය වෙන් කර ඇත. පිවිසෙන්න Bookmark, remember easily and come again   www.w3lanka.com

ශාස්තෲ දොරට වඩින දා එන්න ඔබටත් ආරාධනා!

Image
ප්‍රිය සහෘදය, මා විසින් ලියන ලද ශාස්තෲ නවකතාව නොවැම්බර් 30දා අඟහරුවාදා සවස තුනට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දකී. නවකතාව පාදක කරගෙන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන හා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ලංකාවේ කැරැලි හා සාහිත්‍යය තේමා කරගෙන කතා කරති. අග්නීමා සංගීත කණ්ඩායම සමග අප නිර්මානය කළ ගී කීපයක් ද ගැයේ. සුපුන් පොගේ පිටු කීපයක් කියවනු ඇත. සුරේඛා වැඩසටහන මෙහෙයවන්නී ය. මෙදිනට ශාස්තෲ නවකතාව 20%ක් මිළ අඩුවෙන් රු. 200කට මිළ දී ගත හැකි ය. පොතේ මිළ රු. 250කි. පැමිණිය නො හැකි ඔබ වෙනුවෙන් දෙසුම් ලියා පළ කරන්නට අදහස් කරන්නෙමු. ලංකාවේ ඕනෑම තැනකට ශාස්තෲ නවකතාව රු. 250ක මිළකට තැපැල් කරන්නට කටයුතු යොදා ඇත. ගෙවන කාර්යාලය මතුගම ලෙස යොදා රු. 250ක මුදල් ඇණවුමක් එල්. ඒ. පී. ජයසිංහ, මහවත්ත පාර, ඉද්දගොඩ, මතුගම යන ලිපිනයට එවන්න. විදේශ රටවල තැපැල් ගාස්තු පිළිබඳ විස්තර පසුව දැනුම් දෙන්නෙමු. ඉදිරි සතියේදී ශාස්තෲ ප්‍රධාන පොත් වෙළඳසල්වලට එනු ඇත. -අජිත් පැරකුම් ජයසිංහ, W3Lanka සංස්කාරක පහත පළ වන්නේ කෘතියෙන් උපුටා ගත් කොටසකි. ''...

ශාස්තෲ නවකතාවෙන් කොටසක්

Image
( 2010 නොවැම්බර් 24,  W3Lanka )  ‘‘පක්ෂය නැවත පණ ගන්වන්න නම් අසීමිත කැප කිරීම් හරහා යන නව සටන්කාමිත්වයක් අවශ්‍යයි කියන යෝජනාව කළේ මම. අනුන්ට අභියෝග තල්ලූ කරන්න බැරි නිසා පළමු උත්සාහයේ වගකීම මම ම භාර ගත්තා. මගේ හවුල්කරුවා වෙන්න සිරා ඉදිරිපත් වුණේ මහත් කැමැත්තකින්. අපට තිබුණෙ හනිමූන් ගිය ජෝඩුවක් වගේ හෝටලයේ ඉඳලා අදාල ඉලක්කය අරගෙන බෝම්බය පුපුරුවාගෙන මැරෙන්න. ඒත්, ඊට කලින්දා රාත‍්‍රියේදී, ගිය සුමානේ අර වේදිකාව උඩදී උඹ මගෙන් උදුරා ගත් හිස් වටිනාකම මගෙන් අරගන්න ඌට උවමනා වුණා. මට හොඳට ම කේන්ති ගියා. මම කිව්වා ආදරය නො කරන මිනිහෙකු එක්ක හැමනෙන්න මම උගේ අම්මා වගේ වෙසඟනක් නෙමෙයි කියලා. උගේ මරණයට කාගේවත් තේරුම් නොවෙයි, උගේම අර්ථයක් උවමනා නිසා අකැමැති වුණොත් මාව බලෙන් දූෂණය කරන බවට ඌ මට තර්ජනය කළා. මම ඌට මේ දැන් උඹට ගැහුවා වගේ ගැහුවා. ඇත්තම කියනවා නම් මාව දූෂණය කරන්න තියා මගේ පාරක් වළක්වන්න තරම්වත් රළු හිතක් ඌට තිබුණෙ නැහැ. පොඩි දරුවෙක් වගේ මගේ දෙපා වැඳලා ඌ සමාව ඉල්ලූවා. මම ඌ දාලා ඇවිත් පක්ෂයට පැමිණිලි කළා. පක්ෂය නැවත ගොඩනැඟීමේ ඒ ව්‍යායාමයත් අසාර්ථක වුණා.’’ (නෙළුම්) ඒ වන විට පණ බේරාගෙන ව...