2016-08-21

හසන්ත මහත්තයා දඩිබිඩිස් වන සමාජ මාධ්‍ය යුගයේ මාධ්‍ය සාක්ෂරතාව

ඒ කාලෙ ඉවරයි චතුර 
සාක්ෂරතාව සරළව කිව්වොත් අකුරු හැකියාවයි.

වර්තමානයේදී අපි මාධ්‍ය සාක්ෂරතාව ගැනත් කතා කරනවා.

මොකක්ද මේ මාධ්‍ය සාක්ෂරතාව? ඇයි අපට එය අවශ්‍ය?

නූතන සමාජය කියන්නේ මාධ්‍ය සමාජයක්. එහි ජීවිතය හා මාධ්‍ය අතර ඇත්තේ කිසි සේත් වෙන් කළ නො හැකි තරමේ දැඩි සම්බන්ධයක්. මාධ්‍ය නූතන මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි දෙයක්. එය හැම තැනම තිබෙනවා. හැම දේකට ම සම්බන්ධ වෙනවා. සම්බන්ධ නො වන්නේ කුමකට ද කියන එක තමයි හිතා ගන්නට බැරි. 

මාධ්‍ය කියන්නේ වෙළඳපොළක්. එය පවතින්නේ වෙළඳපොළ ඉල්ලුම සැපයුම න්‍යාය තුළ. මූලිකව මාධ්‍ය පවත්වාගෙන යන්නට නම් සන්නිවේදකයන් හා ග්‍රාහකයන් සිටිය යුතුයි. එහෙම නැතිව මාධ්‍ය විතරක් තිබිලා වැඩක් නැහැ. ඒවා පවතින්නේත් නැහැ. ඒත්, මාධ්‍ය මේ වෙළඳපොළේ හැසිරෙන්නේ කොහොමද කියන එක ජනතාව දැන ගත යුතුයි. මන්ද, වෙළඳපොළ විසින් මාධ්‍ය ඉතා භයානක ලෙස හසුරුවනු ලබනවා. ඒ වගේම, මාධ්‍යත් වෙළඳපොළ හසුරුවනවා. 

කෙටියෙන් කියනවා නම්, නූතන මාධ්‍ය සමාජයේ ජීවත් වන එක හරියට ඔලුව කන පණුවන් ගොඩක් මැද මොළේ බේරාගෙන ජීවත් වෙනවා වගේ වැඩක්. 

සාමාන්‍ය මාධ්‍ය ග්‍රාහකයන්ට මාධ්‍ය ලෝකයේ සිදු වන කුමන්ත්‍රණ, ගේම්, ගනුදෙනු තේරුම් ගන්න බැහැ. ඒත්, අඩු තරමේ ඔය රූපවාහිනී නිවේදකයන් ගැනවත් තේරුම් ගන්නට බැරි නම් ප්‍රේක්ෂකයන්ට සිදු වන්නේ ගොනාට ඇන්දෙන්නයි.

මේක සරළ උදාහරණයකින් පැහැදිලි කරමු. අපි හිතමු රියලිටි වැඩසටහනකට එන ජැක්සන් ඇන්තනි එනවා ය කියලා. සිංදුවක් අහලා එයාට ඇඬෙනවා. මේ ඇඬිල්ල පිටිපස්සෙ මුදලට කරන රඟපෑමක්, මාධ්‍ය සංවිධානයේ මොකක් හරි කුමන්ත්‍රණයක් වැනි දෙයක් තියෙන්න පුළුවන් ය කියන අවබෝධය නැති ප්‍රේක්ෂකයාට වෙන්නේ බාල ම කොලිටියේ රංගනයකට ඇන්දෙන්නයි. 

ජනමාධ්‍ය හා නව තාක්ෂණය භාවිතාවට පැමිණීමත් සමග මානව සන්නිවේදන ක‍්‍රියාවලියේ හා චර්යාවේ තීරණාත්මක වෙනස්කම් සිදු වී තිබෙනවා. 

මාධ්‍ය සාක්ෂරතාව විසින් අරමුණු කරනු ලබන්නේ දැනුම, කුසලතා, ආකල්ප යන නිපුණතා මගින් පුරවැසියන් බලසතු කිරීමයි. සම්ප‍්‍රදායික මාධ්‍ය හා නව තාක්ෂණයන් සමග නිමග්න වීමට ඒවා අවශ්‍ය ය. එයට පහත සඳහන් මූලිකාංග සහ ඉගෙනුම් ප‍්‍රතිඵල ඇතුළත් වේ.


  • ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජයේදී මාධ්‍යවල ක‍්‍රියාකාරිත්වය හා භූමිකාව තේරුම් ගැනීම
  • මාධ්‍යවලට එම ක‍්‍රියාකාරිත්වය ඉටු කළ හැකි කොන්දේසි තේරුම් ගැනීම
  • මාධ්‍ය අන්තර්ගතයන් ගැඹුරින් තක්සේරු කිරීම
  • ස්වයං ප‍්‍රකාශනය හා ප‍්‍රජාතාන්ත‍්‍රික සහභාගිත්වය සඳහා මාධ්‍ය සමග එක්ව කටයුතු කිරීම
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා ඇතුළුව, මාධ්‍ය භාවිතා කරන්නන්ට අන්තර්ගතයන් නිර්මානය කිරීමට අවශ්‍ය කුසලතා විවරණය කිරීම

මාධ්‍ය හා සන්නිවේදන ජාලයන්හි ගුණාත්මක මාධ්‍ය හා තොරතුරු අන්තර්ගතයන් හා සහභාගිත්වයන් වෙත ප‍්‍රවේශය විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශයේ 19වන වගන්තිය සාධනය කිරීම සඳහා අවශ්‍ය ය.

මූලාශ‍්‍රය: යුනෙස්කෝ වෙබ් අඩවිය (උපුටා ගත්තේ: Rebuilding Public Trust: An Assessment of Media Industry and Profession in Sri Lanka, by Secretariat for Media Reform, May 2016)

ශ්‍රී ලංකාවේ පාසල්වල 10, 11 ශ්‍රේණිවල හා උසස් පෙළ උගන්වන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයෙන්වත් මාධ්‍ය සාක්ෂරතාව ගොඩනැගෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස මේ විෂයන්වලින් උසස් ලෙස විභාග සමත් වන සිසුවෙකුට සරළ ප්‍රවෘත්ති වාර්තාවක් ලියාගන්නට පුළුවන් ද කියන එක විභාගවලදී පරීක්ෂා වෙන්නේ නැහැ. ඒ වගේ ම එහෙම ප්‍රායෝගික අභ්‍යාසවලට මේ විෂය නිර්දේශවල කිසිදු වැදගත්කමක් දීලාත් නැහැ. 

හැබැයි, සමාජ මාධ්‍ය භාවිතාවට පැමිණීමත් එක්ක මාධ්‍ය සාක්ෂරතාවේ සුවිසල් වර්ධනයක් ඇති වුණා ය කියන්නට පුළුවන්. එක පැත්තකින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් සඟවන ලද තොරතුරු එළියට එනවා. උදාහරණයක් විදියට රූපවාහිනී නිවේදකයෙකුගේ හොර ඩීල් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන්නට පුළුවන්. ඊළඟට, සමාජ මාධ්‍ය හරි සංවාදශීලීයි. රූපවාහිනිය ඉතාම කුමන්ත්‍රණකාරී ලෙස සජීවීව සම්බන්ධ කරන දන්නා හඳුනන අය වෙනුවට ඕනෑම කෙනෙකුට, ඕනෑම අදහසක් රැගෙන සංවාදයට සහභාගි වෙන්නට අවස්ථාව සමාජ මාධ්‍ය ලබා දුන්නා. 

සමාජ මාධ්‍ය විසින් කරන ලද වැදගත් ම කාර්යය තමයි, අන්තර්ගතයන් නිර්මානය කරන්නේ නැතිව සක්‍රිය ග්‍රාහකයකු වන්නට බැරි මාධ්‍ය ලෝකයකට අප හැමෝම ඇද දැමීම. දැන් ඉතින් නිකම් බලා ඉඳලා බැහැ. අපි අන්තර්ගතයන් හදන්නට ම ඕනැ. අඩු තරමේ සෙල්ෆියක්වත් පළ නො කරන කෙනෙකුට මේ මාධ්‍ය අවකාශයේ පණ ගැට ගහගන්නට බැහැ. 

කවදාවත් ලියන්න නො හිතපු, චිත්‍රපට ගහන්න නො හිතපු මිනිස්සු සමාජ මාධ්‍යවල ඒ දේවල් කරනවා. කාටද ආඩම්බර?

මාධ්‍ය ලෝකයේදී 

  • පිවිසෙන්න
  • විශ්ලේෂණය කරන්න
  • තක්සේරු කරන්න
  • නිර්මානය කරන්න
මේක පැහැදිලි කරන්න තව උදාහරණයක් මතක් වුණා. දැන් අර දොරමඩලාවේ ප්‍රබුද්ධ විදියට ඇඳගෙන අදහස් ඔලුවට ඔබන නිවේදකයා ගන්නකෝ. එයා තව අයත් එක්ක එකතු වෙලා තෝරලා දෙන දේවල් අපි බණ වගේ අහගෙන ඉන්න ඕනැනේ. ඒ වුණාට ඒ හසන්තට ම අටපට්ටමේදි මොකද වෙන්නෙ? ග්‍රාහකයන් නිර්මානය කරන අන්තර්ගතයන් තමන්ගේ වගේ පළ කරමින් ජෝක් වෙන්න. ඔන්න ඕක තමයි හසන්ත මහත්තයෝ සමාජ මාධ්‍ය යුගයේ මාධ්‍ය සාක්ෂරතාව විසින් ඇති කර තිබෙන තත්වය. ඕක ඔහෙලගේ සම්ප්‍රදායික මාධ්‍යවලටවත්, අධ්‍යාපනයටවත් අහු වෙලා නැහැ. හැබැයි සමාජ මාධ්‍ය නිසා දැන් ඔහෙලට ගේම් ගහන්න පුළුවන් ගම්වල උපාසකම්මලා එක්ක විතරයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.