සම්බන්ධන්ගේ මාතර ප්‍රකාශය හා රනිල්ගේ නො කෙරෙන වෙදකම


‘ත්‍රිවිධ හමුදාවක් රටට අවශ්‍යයි. මුදල්, ආගමන හා විගමන, විදේශ වැනි කටයුතු මධ්‍යම රජය යටතේ තිබිය යුතුයි. රට බෙදීමට අපේ පක්ෂය කැමැති නැහැ. තව යුද්ධයකටත් අපි කැමති නැහැ. යුද්ධයේ ආදීනව අපි දන්නවා. යුද්ධයක් ඇතිවිය හැකි මාර්ග නැති කිරීමට අපි සූදානම්.' විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මාතරදී

ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ දෙමළ ජාතියේ නියෝජිතයන්ගේ නායකයා වන ආර්. සම්බන්ධන් මාතරදී කරන මේ ප්‍රකාශය දේශපාලනිකව ඉතා වැදගත්.

ජාතියක් ලෙස දැඩි අසාධාරණයන්ට ලක් වීමෙන් පසුව, බලය බෙදා ගැනීම ඔස්සේ සංහිඳියාවකට පැමිණෙන්නට බණ්ඩාරනායක-චෙල්වනායගම් හා ඩඩලි-චෙල්වනායගම් ගිවිසුම්වලින් දැරූ උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව, වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කළ තිස් අවුරුදු යුද්ධයකින් පසුව, පරම්පරා ගණනාවක දෙමළ හා සිංහල රුධිර පතනයකින් පසුව, දෙමළ ජාතියේ නායකයෙකු කරන මේ රැඩිකල් ප්‍රකාශයෙන් පසුව දැන් සිංහල ඔබ කියන්නේ කුමක් ද?

විමල් වීරවංශ නම් කියනු ඇත්තේ මෙසේ ය: “ඔහොම කියයි. හැබැයි බලය බෙදා ගත්තට පස්සෙ එතන ඉඳලා ආපහු ඊලාම් සටන පටන් ගනියි."

එවැනි අසුබවාදී කතා කියන එක ඉතා පහසු ය. එසේම, ඒවාට පිළිතුරු දෙන්නට කිසිවෙකුට හැකියාවක් නොමැත. මන්ද, අනාගතය ගැන කළ හැක්කේ අනුමාන පමණි. ඉහත ප්‍රකාශයේ තිබෙන්නේ ද අනුමානයක් පමණි. එය එසේ ම වනු ඇතැයි කිසිවකුට කිව නො හැකි ය. එහෙත්, එය ජාතිවාදයෙන් ඔද්දල් වූ සමාජයකට ගිල්වන එක ඉතා පහසු ය. දෙමළ සමාජය තුළ ද, සිංහලයා විශ්වාස කළ නො හැකි ය යන මතය ගිල්වන එක ඉතා පහසු ය.

දැන් ඉතින්, පන්දුව ඇත්තේ ආණ්ඩුව පැත්තේ ය. රනිල්, ඔබ කරන්නේ කුමක් ද? එට්කා සම්බන්ධයෙන් තීන්දු ගැනීමට ඔබට ගැඹුරු සාකච්ඡා නැත. එක්සත් වෘත්තික ව්‍යාපාරය පසුගිය සතියේ පදනම් ආයතනයේදී රැස්වීමක් පවත්වමින් ඉල්ලා සිටි ආකාරයට ආර්ථීක විශේෂඳයින් ඇතුළු අවශ්‍ය කරන සියලුම විෂයානුබද්ධ විද්වතුන් සහිත ජනාධිපති කොමිසමක් පත් කරලා, අවශ්‍ය කරන උපරිම කාලය ගෙන, රටේ ආර්ථීකය පිලිබඳව විධිමත් අධ්‍යයනයකින් පසුව, රටේ තිබෙන ආර්ථික ගැටලුව හඳුනාගෙන, ඉන් පසු ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් නීතිමය රාමුවකුත් සකසා ගන්නා තෙක් ඉන්දියාව වැනි බලවත් රාජ්‍යයන් එක්ක ආර්ථික සහයෝගිතා ගිවිසුම් අත්සන් කරන්න එපාලු.

ඉන්දු ලංකා ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් ඔබ මේ නො කෙරෙන වෙදකම පිළි ගන්නවා ද?

එහෙත්, ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් යෝජනා කිරීම සම්බන්ධයෙන් ඔබ කරමින් ඉන්නේ එය ම නො වේ ද? 2009න් පසු මහින්ද රාජපක්ෂත් කළේ ඔය ටික ම ය. 

විවිධ කමිටු ආදිය පත් කරමින් කල් ගන්නට පුළුවන්. එහෙත්, අවංක ආධ්‍යාශයකින් යුක්ත නායකත්වයක් නැතිනම් කිසිවක් සිදු වන්නේ නැත. මන්ද, නපුරට නායකත්වය දීමට ඕනෑ තරම් පාදඩයන් දේශපාලනය තුළ සිටින බැවිනි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. විපක්‍ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
    රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
    එරට මෙරට කොයි දේසෙත් එක වාගේ
    බලමු හෙට කෙරුම් ජනපති ඔබමා ගේ

    (ජනවාරි 2009)

    ReplyDelete
  2. පැරා, මේකේ රසිකගේ කමෙන්ට්ස් පල කිරීමට පෙර කරුණාකර ගෝතලන්ගේ අවසරය ලබා ගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලමි. නැතිනම් කුණුහරුප ප්‍රහාරයකට ඔබත් ගොදුරු විය හැක.

    ReplyDelete
  3. බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම හෝ ඒ ආකාර ගිවිසුමක් හෝ අත්සන් කර ක්‍රියාත්මක කරන්න දැන් රනිල්ගේ රජය බිය විය යුතු නැහැ. ජේ.ආර්. ජයවර්ධන 1987 දී 13 වන සංශෝධනය බලාත්මක කළේ ඔහු විපක්ෂයේ සිටින පඟර නැට්ටන් නැතිනම් රජ ගෙදර රිළවුන් වැනි අය ශත පහකටවත් ගණන් නොගෙන. මම ඒ කාරණය නිසාම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිට හරිම කැමතියි. වැරදි කිහිපයක් තිබුණත් කශේරුකාව කෙළින් තබා ගත් දේශපාලඥයෙක්. ඔහුගේ බෑනා දැන් තමාගේ කශේරුකාව පෙන්විය යුතුයි. 9 වන ශ්‍රේණිය තෙක් පමණක් පාසල් ගිය නූගත්, මුග්ධ සංකිලි පනික්කියාට රනිල් බිය වන්නට කිසිදු හේතුවක් නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා