2016-08-14

සන්නස්ගල, දෙරණ, අජිත් ගලප්පත්ති හා ලංකාවේ විචාර කලාව

අජිත් ගලප්පත්තිගේ කීර්ති නාමයට හානි වන අන්දමින් අපහාසාත්මක ලෙස කටයුතු කිරීම නිසා දෙරණ රූපවාහිනියට හා උපුල් ශාන්ත සන්නස්ගලට රු. ලක්ෂ 25 බැගින් වන්දි ගෙවීමට සිදු වී තිබේ.

මෙයට හේතු වී තිබෙන්නේ ගලප්පත්තිගේ විචාරයකි. ගලප්පත්ති කිසිදු ගුරුකුලයක් හෝ දෘෂ්ටිවාදියක් හෝ වෙනුවෙන් විශේෂයෙන් පෙනී සිටින්නෙකු නො වේ. අප දන්නා පරිදි හේ ස්වාධීන විචාරකයෙකි. මෙම සිදුවීම පිළිබඳ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ වූ විස්තරය මෙසේ ය:

විත්තිකාර සන්නස්ගල මහතා 2003 දී නිෂ්පාදනය කළ ‘තනි තටුවෙන් පියාඹන්න' චිත්‍රපටිය පිළිබඳ විචාරයක් මාධ්‍ය වෙත යැවීම සඳහා තමා වෙත එවන්නැයි එහි නිෂ්පාදක සන්නස්ගල හා අධ්‍යක්ෂ අශෝක හඳගමගේ අත්සනින් යුතුව 2003 ජනවාරි 25 දිනැති ලිපියක් අජිත් ගලප්පත්ති වෙත ලැබී ඇත.

ස්වාධීන විචාරකයකු ලෙස ඔහු තම විචාරය 2003 ජනවාරි 31 දිනැති ‘දිණමිණ‘ පුවත්පතෙහි පළ කොට ඇත. පසුව එම විචාරයෙහි එක් වාක්‍යයක් එහි අර්ථය සපුරා වෙනස් වන අයුරින් විකෘති කොට අනවසරයෙන් ප්‍රචාරක පත්‍රිකාවක මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීම සම්බන්ධව එහි නිෂ්පාදක සන්නස්ගල මහතාගෙන් ‘360‘ වැඩසටහන ප්‍රශ්න කර ඇත. ගලප්පත්ති විචාරයක් ලිවීම සඳහා 2003 මාර්තු මාසයේ දී තමාගෙන් මුදල් ඉල්ලූ බව එහිදී සන්නස්ගල මහතා පවසන ලදී.


මෙයින් ගලප්පත්තිට බලවත් අපහාසයක් සිදුවී යැයිද ඔහු සමාජයේ යම් ආකාරයක පහත් තත්වයකට පත් වුණු බවත් අධිකරණයට අනාවරණය වන බවත් අධිකරණය දුන් නඩු තීන්දුවෙහි දැක්වේ.


සිනමා විචාරකයකු ලෙස කටයුතු කරන පැමිණිලිකාර අජිත් ගලප්පත්ති ස්වාධීනව කටයුතු කරන විචාරකයකු නොවන බව ඒත්තු ගැන්වීමට සන්නස්ගලගේ මෙම ප්‍රකාශය හේතු වන බවත්, අජිත් ගලප්පත්තිගේ විචාර කියවන පුද්ගලයින් තුළ එම විචාර ස්වාධීන විචාර ද යන ප්‍රශ්නයක් මතු විය හැකි බවද අධිකරණය තීන්දු කර ඇත.


මෙම නඩු තීන්දුව ඇසුරෙන් වැදගත් කරුණු කීපයක් මතු වේ. විචාරය යනු කුමක් ද? විචාරය හා ප්‍රචාරය එකිනෙකින් වෙනස් වන්නේ කොතැනින් ද?

විචාරය යනු කුමක් ද යන්න හඳුනා ගැනීම වඩා සංකීර්ණ ය. ලංකාවේ ඇතැම් දේශපාලනාගමික ගුරුකුලවලට අනුව විචාරය යනු ඔවුන් අනුදත් දැනුම් පද්ධතියකට අනුකූලව කරනු ලබන කියවීම් පමණ ය. ඒ අනුව, සාමාන්‍ය රසිකයන් තබා අජිත් ගලප්පත්ති වැනි පිළිගැනීමක් ඇති විචාරකයන් විසින් ලියනු ලබන විචාරයන් ද විචාර නො වේ. ලංකාවේ සිනමා විචාරයෙහි සමාරම්භකයකු ලෙස කීර්තියට පත් ජයවිලාල් විලේගොඩ වැන්නකු පවා ඔවුන්ගේ මිනුම් දඬු අනුව විචාරකයකු නො විය හැකි ය.

එහෙත්, විචාරය පිළිබඳ ඔවුන්ගේ ආකල්පවලින් පෙන්නුම් කරන්නේ අන් කිසිවක් නොව, ඔවුන් තමන් අනුයන ව්‍යූහවාදී, පශ්චාත් ව්‍යූහවාදී, පශ්චාත් නූතනවාදී ඈ න්‍යායික ධාරාවන් පවා හරි හැටි තේරුම් නො ගත් ගිරවුන් පිරිසක් බවයි.

අප නව න්‍යායික විචාර ප්‍රතික්ෂේප කරන්නේ නැත. එහෙත්, කලාව තුළ පැවතිය යුත්තේ න්‍යායික විචාරය පමණක් නො වේ. නව න්‍යායන්ට අනුව ගත්තත් සෑම කියවීමක් ම විචාරයකි. ලංකාවේ ඊනියා නව න්‍යාය ගුරුකුලවල හා මාක්ස්වාදී ගුරුකුලයේ සාහිත්‍ය විචාරකයෝ අප වැනි සාමාන්‍ය බ්ලොග්කරුවන් කලා කෘතියක් ගැන රසවින්දනයක් ලියූ විට අපට තර්ජනය කරන හා අපහාස කරන තැනකට පවා පත් වූ හ. එය පාඨකයා කෘතිය ගැන කතා කිරීම වළක්වන ත්‍රස්තවාදයක ස්වරූපය ගෙන තිබේ.  

නිදසුනක් ‍ලෙස, 2015 වසරේ ලියැවුණ නවකතා අතරින් දැන් ස්වර්ණ පුස්තකවලට නම් වී තිබෙන ඇතැම් කෘති හා පසුගිය සමයේ අප කතා බහට ලක් කළ සුරේඛා සමරසේනගේ ‘මේ කතාව' වැනි කෘති සසඳා බලන්න. සුවර්ණ පුස්තකයෙන් කපා හරින ලද සමන් වික්‍රමආරච්චිගේ අසන්ධිමිත්තා නවකතාව රස විඳින්නට අපට අවශ්‍ය වූ මුත් මෙතන ඇවිත් එක එකා කියූ කතා සමග අප කල්පනා කළේ එවැනි විචාරක තගෙකුගේ නවකතාවක් වෙනුවෙන් අප එක එකාගෙන් බැනුම් අසන්නේ කුමට ද යන්නයි. එහෙත්, අප නම් සිතන්නේ අසන්ධිමිත්තා යනු සම්මාන සඳහා නිර්දේශ වී තිබෙන නවකතාවලට වඩා උසස් කෘතියක් බවයි. 

න්‍යාය වන්දනාකරුවන් විසින් ඇත්තෙන් ම කර තිබෙන්නේ විචාරය හුදී ජනයා වෙතින් ඈත් කර දැමීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට පොදු ජන රුචිකත්වය තවත් පිරිහී තිබේ. පත්තිනි දින සීයක් ප්‍රදර්ශනය වීම නිමිත්තෙන් එහි අධ්‍යක්ෂවරයා වන සිංහල මහාචාර්යවරයකු වන සුනිල් ආරියරත්න පවසන අදහසකින් මේ තත්වය තේරුම් ගත හැකි ය.

පත්තිනි ලද විචාරක ප්‍රතිචාර වලින් සියයට අනූපහක්‌ම සාධනීය නෑ. මට දිනපතා ඊ.ඒ.පී සමාගමෙන් ආදායම් වාර්තා ලැබෙනවා. ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත්වල 'පත්තිනි' සම්බන්ධව නිර්ධය විචාර පළවූ දිනට පසුදින ආදායම් වාර්තා නිර්ක්‍ෂණය කරද්දී චිත්‍රපටයට එක රුපියලක හෝ බලපෑමක්‌ කරන්නට එම විචාරකයන් සමත් නොවූ බව මට ප්‍රතක්‍ෂ වුණා. බොහෝ කලකට ඉහතදී ජයවිලාල් විලේගොඩ, කරුණාසේන ජයලත්, රෙජී සිරිවර්ධන, ඒ. ඡේ. ගුණවර්ධන, බෙනඩික්‌ට්‌ දොඩම්පෙගම වැනි විචාරකයන්ට චිත්‍රපටයක්‌ ඔසොවා තබන්නටත්, චිත්‍රපටයක්‌ වානිජමය වශයෙන් අසාර්ථක කරන්නටත් හැකියාවක්‌ තිබුණා. මට මතක්‌ වෙනවා මහාචාර්ය සරච්චන්ද්‍රයන් දිනමිණට ලියූ ගම්පෙරළිය විචාරය. "ගම්පෙරළිය" පොදු රසිකයා වෙත වගේම සම්භාව්‍ය රසිකයා වෙත ගෙන යන්නටත් සරච්චන්ද්‍රයන්ගේ එම විචාරය සමත් වුණා. 
- සුනිල් ආරියරත්න, දිවයින පුවත්පත 

මෙම තත්වයේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට නවකතාව වැනි ක්ෂේත්‍රවල ජනතාවට බලපෑමක් වන විචාරය බවට පත් වී තිබෙන්නේ ස්වර්ණ පුස්තක වැනි සම්මාන උළෙලවල නිර්දේශයයි. හතරවරං සාහිත්‍යකරුවන් යයි සිතා සිටින සම්මානලාභී ලේඛකයන් ලොසින්ජරවලට රණ්ඩු වන පොඩි ළමයින් සේ සම්මානවලට ගහ බැන ගන්නේ ඒ නිසා ය. විචාර යයි ලියවෙන පල් හෑලි සාමාන්‍ය රසිකයන් නො කියවන්නේත්, ඒවායින් පොදු ජන රුචිකත්වය අංශු මාත්‍රයකින්වත් ඉහළ නො යන්නේත් මේ තක්කඩි පණ්ඩිතමානී විචාරය නිසා ය. 

විචාරය යනු පාඨකයාට කෘතිය රස විඳීම පහසු කරන වියමනක් මිස රසවින්දනය එපා කරන, විචාරකයා දන්නා දේවල පට්ටංදරයක් නො විය යුතු ය. 

අනෙක් කාරණය වන්නේ විචාරය හා ප්‍රචාරය අතර තිබෙන සම්බන්ධයයි. විශේෂයෙන් ම මෙම නව න්‍යායයන් පදනම් කර ගත් විචාරකයන්ගේ විචාරක චර්යාව නිරීක්ෂණය කර බලන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මොවුන් විචාර ලියා ඇති කෘති මොනවා ද? ඒවාට පමණක් ඔවුන් විචාර ලියා තිබෙන්නේ ඇයි? ඒ පසුපස තිබූ හේතු හුදෙක් ම බුද්ධිවාදී කාරණා පමණක් ද? 

නිදසුනක් ලෙස මම එක් කරුණක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමි. රාජ්‍ය නොවන සංවිධාන ආධාර යටතේ කර ඇති නිර්මානවලට මොවුන් වැඩිපුර විචාර ලියා තිබේ ද නැද්ද යන්න අධ්‍යයනය කර බලන්න. 

උපුල් ශාන්ත සන්නස්ගල විසින් අජිත් ගලප්පත්ති සම්බන්ධයෙන් කියන ලද, උපුල්ට ඔප්පු කරන්නට බැරි වූ කාරණය වන විචාර ලියන්නට මුදල් ඉල්ලුවා ය කියන කාරණය වෙනත් සංදර්භයන් තුළ ඇත්ත යයි නො සිතන්නට සාධාරණ හේතු තිබේ ද? 

ලංකාවේ බොහෝ විචාරකයන් යයි කියන අය පෙනී සිටින තරම් අහිංසක ද? සද්භාවයෙන් යුතුව කටයුතු කරන්නෝ ද? වෙළඳපොළ විරෝධීන් යයි කියන අය තමන් වෙළඳපොළේ අලෙවි කර ගන්නේ නැද්ද? 

ඔවුන් තෝරා ගත් කෘති වෙනුවෙන් පමණක් විචාර කරන්නේ ඇයි? විචාරය සඳහා කෘති තෝරා ගැනීමේ තමන්ගේ පදනම විවෘතව පැහැදිලි කරන්නට ඔවුන්ට හැකියාවක් තිබේ ද? දැන හැඳුනුම්කම, මිතුරුකම, මුදල් ගනුදෙනු, ලිංගිකත්වය, සමාජ ගනුදෙනු ආදියෙන් තොරව, හුදෙක් ම කෘතිය පමණක් සැලකිල්ලට ගනිමින් කරන විචාර කලාවක් ලංකාවේ තිබේ ද? 

විචාරය ද බොහෝ දුරට ප්‍රචාරයක් වන නිසා කලා කෘතියක් අලෙවි කිරීමෙන් ලාභ ලබන සන්නස්ගල වැනි නිෂ්පාදකයෙක් විචාරකයකුට ඔහුගේ මහන්සිය ගෙවන එක වැරදි යයි අපි නො කියමු. එහෙත්, විචාරකයන් යයි කියන අය මුදලට, බලයට, ලිංගිකත්වයට, කීර්තියට ආදී කාරණාවලට ගිජුව ව්‍යාජ විචාර සිදු කරනවා නම් එය කෙතරම් නිවැරදි ක්‍රියාවක් ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.