2016-05-09

ජවිපෙ දිවයින සමග ගියේ ඩීල් එකක් ද?

ජවිපෙ පෝස්ටර් ගැසීම මධ්‍යගතව මෙහෙයවෙන ක්‍රියාවකි. එ්වායේ සටන් පාඨ තීරණය කරන්නේ දේශපාලන මණ්ඩලයයි. ජවිපෙ දැන් ඉස්සර තරම් සටන් පාඨ පෝස්ටර් ගහන්නේ නැත. අප්‍රේල් සමරුව, මැයි දිනය, ඉල් මහ විරු සමරුව සඳහා අලවන කැලැන්ඩර් පෝස්ටර් හැරුණු විට සටන් පාඨ සහිත පෝස්ටර් ඇලවෙන්නේ කලාතුරකිනි. 

ජවිපෙ ගැන ඉරිදා දිවයින පත්තරයේ නොවැදගත් මුල් ප්‍රවෘත්තියක් හා විශේෂාංග ලිපියක් ඇත. සම්බන්ධතා පුරුක් ඔස්සේ ඒවා කියවා බලන්න. එහි ඇති දෙයක් නැත.

ඉරිදා දිවයින පිට වන්නේ සෙනසුරාදා ය. ඉරිදා ම ජවිපෙ නායක මණ්ඩලය  මාධ්‍යයට විරිත්තමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වී ය. සඳුදා උදේ වන විට රට පුරා ම පෝස්ටරයක් අලවලා ය. 

ඒ කියන්නේ මේ පෝස්ටරය ගැන තීරණය කිරීම, මුද්‍රණය, බෙදාහැරීම හා ඇලවීම යන සියලු ක්‍රියා පැය 48ක් පමණ ඇතුළත කර තිබේ. ජවිපෙ නම් කියනු ඇත්තේ එය ඔවුන්ගේ සංවිධාන ශක්තියේ තරම බවයි. පක්ෂයෙන් කියන ඕනෑම මරි වැඩක් කරන කේඩරයක් ඔවුන්ට සිටින බව මෙම සිද්ධියත් සමග පැහැදිලි ය.

එහෙත්, මේ සිද්ධිය මෙහෙම වෙන්නත් පුළුවන. ජාතිවාදය හා කීර්ති වර්ණකුලසූරිය පන්නයේ අඥානකම විකුණාගෙන යන්තම් තල්ලු වන දිවයින සමග මෙවැනි හබයක් පටලවා ගැනීමේ සිට දිවයිනට දැවැන්ත ප්‍රචාරයක් ලබා දුන් මෙම පෝස්ටරය රට පුරා ඇලවීම දක්වා සිද්ධි දාමය මනා ලෙස සැලසුම් කරන ලද අලුත් ම පන්නයේ මාකටිං ප්‍රමෝෂන් එකක් වෙන්නට බැරි ද? මීට පෙර ජවිපෙ සනීපාරක්ෂක තුවා වර්ගයක පෝස්ටර් ප්‍රචාරක කොන්ත්‍රාත්තුව කර අත්දැකීම් ලබා තිබේ. 

මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේ වටිනාකම රු. කෝටි පහකට පමණ පහසුවෙන් තක්සේරු කරන්නට පුළුවන. 

ජවිපෙ වෙනුවෙන් මේ පෝස්ටර් ඇලවීම සිදු කළ මල්ලිලාට එය පැහැදිලි කර දුන්නේ කෙසේ ද යන්න නො දනිමි. සමහර විට එහි කිසිදු පැහැදිලි කිරීමක් නැති වන්නටත් පුළුවන. ඕඩර් එක හා පෝස්ටර් එක එවීම පමණක් ඇත. පොඩිවුන්ට රොටි පුච්චා දිය හැකි පිටි ටිකෙන් පාප්ප හදාගෙන නිදි මරාගෙන පෝස්ටර් ගසා ඒවා රකින්නටත් ඇත. රෙද්ද පෙන්නන එක විතරක් ඇති ය. මිළ දී අරගෙන, කපාගෙන, මහගෙන ඇඳගන්නා කේඩරයක් ජවිපෙට සිටියි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.