2015-09-25

එකක් කඩතොලු වසන්නට ගොස් නැතක් කඩතොලු හැදුණු කොටදෙනියාවේ ළමා ඝාතනය

"මගේ පුතා එදා නිවසේ නිදාගෙන සිටියේ. පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ උදේ පාන්දර එකපාරටම නිවසට පැමිණියා. පස්‌සේ ඔවුන් පුතාගෙන් නොයෙකුත් දේ විමසන අතරේ පුතාගේ කාමරය අවුස්‌සමින් ඊයම් කොළ හෙව්වා. ඒ පුතා මත්කුඩු පානය කරන බව පවසමින්. එත් ගෙදර තිබුණු ඊයම් කොළයක්‌ නැහැ. පස්‌සේ ඔවුන් පුතාව අරගෙන යන්න ගියා.

“මම එදිනම සවස කොටදෙණියාව පොලිසියට පුතා බලන්න ගියා.. ඒත් දරුවා බලන්නවත් පොලිසිය මට ඉඩ දුන්නේ නැහැ. පොලිසියේ හිටපු උසස්‌ නිධාරියෙක්‌ ඉතාම කෝපයෙන් පහත් විදිහට මට බැණ වැදුණා. මම පොලිසියෙන් අහන්නේ ඇයි අපිට එහෙම කළේ කියලා. මගේ පුතා වරදක්‌ කළේ නැහැ. ඒ බව මම නිවසට ආපු පොලිස්‌ නිලධාරින්ට පුන පුනා කිව්වා. නමුත් ඔවුන් මට කන් දුන්නේ නැහැ. මහා මිනීමරුවෙක්‌ අරන් යනවා වගේ මගේ දරුවා අරගෙන ගියා.

“මම පොලිසියේ මහත්වරුන්ගෙන් අහන්නේ එකම දෙයයි. මගේ දරුවා තවමත් අවුරුදු දහහතක පාසල් ශිෂ්‍යයෙක්‌. කොහොමද මේ වගේ අවමානයක්‌ කළාම ඔහු සමාජයට මුහුණ දෙන්නේ. දරුවා ලබන වසරේ අපොස උසස්‌ පෙළ වභාගයට පෙනී සිටිනවා. මගේ දරුවා ඉගෙනීමට දක්‍ෂයි. ඔහු පහ වසර ශිෂ්‍යත්වය පවා සමත් වුණු දරුවෙක්‌. මගේ දරුවට අනාගතේ විවාහයක්‌වත් කර දෙන්න මට බැරි වන තත්ත්වයක්‌ නිර්මාණය වේවි. ඒකට වග කියන්න පොලිසියට පුළුවන්ද?"

මේ සැප්තැම්බර් 24දා දිවයින පුවත්පතේ වාර්තාවකින් ගත් කොටසක්. කතා කරන්නේ කොටදෙණියාව අකරන්ගහ පදිංචි පුෂ්පා ශ්‍රියානි ය. පසුගියදා කොටදෙනියාව පොලිසිය විසින් සේයා දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළේ ඇගේ 17 හැවිරිදි පුතාවයි.

මේ ඒ ගැන සැප්තැම්බර් 21දා දිවයින පුවත්පතේ ම පළ වූ වාර්තාවෙන් කොටසක්:

“කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ බරපතල සැකයක්‌ මතුවී ඇතැයි පොලිස්‌පති එන්.කේ. ඉලංගකෝන් මහතා "දිවයින"ට පැවසීය

“දැනටමත් ඒ පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක්‌ පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර ඒ ඔස්‌සේ සිදුකරන විමර්ශන අනුව ඝාතකයා කොටු කර ගැනීමට හැකි වනු ඇතැයිද පොලිස්‌පතිවරයා සඳහන් කළේය.

"සැක සහිත පුද්ගලයන් දෙදෙනාගෙන් එක්‌ අයකු සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක්‌ පොලිසිය භාරයට ගෙන ඇති අතර එහි සම්පූර්ණයෙන්ම අසභ්‍ය වීඩියෝ දර්ශන ගබඩා කර තිබූ බවද පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

"එම පරිගණයකය මේ වන විට වැඩි දුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යවා වාර්තාවක්‌ ලබා ගැනීමටද පොලිසිය කටුයුතු කර තිබේ.

"සිදු කරගෙන යනු ලබන විමර්ශන අනුව සේයා ඝාතනයේ සැකකරුවන් ඉක්‌මනින්ම කොටු කර ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළ පොලිස්‌පතිවරයා මෙය අභිරහසක්‌ වීමට පොලිසිය කිසිසේත්ම ඉඩක්‌ නොතබන බවද පැවසීය.

“මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනකු මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද පොලිසිය කටයුතු කර තිබේ.

“සේයා ඝාතනයට සම්බන්ධ ඝාතකයා නිශ්චිතව හඳුනා ගැනීම සඳහා පොලිසිය දැනටමත් ජීව විද්‍යාත්මක පරීක්‍ෂණ ගණනාවකට යොමු වී ඇති අතර දැනට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ සේයා ළැදැරියගේ සිරුරේ තිබූ කොටස්‌ සන්සන්ධනය කර ඩීඑන්ඒ පරීක්‍ෂණයක්‌ සිදු කිරීමටද පියවර ගෙන ඇත."

මෙම වාර්තා දෙක ම ලියන්නට සමන් ගමගේ නම් මාධ්‍යකරුවා සම්බන්ධ වී ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

මෙම වාර්තාකරණයේ ඇති ගැටලු කීපයක් පෙන්වා දෙන්නට කැමැත්තෙමි. “සැක සහිත පුද්ගලයන් දෙදෙනාගෙන් එක්‌ අයකු සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක්‌ පොලිසිය භාරයට ගෙන ඇති අතර එහි සම්පූර්ණයෙන්ම අසභ්‍ය වීඩියෝ දර්ශන ගබඩා කර තිබූ බවද පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත."

තවත් වාර්තාවල සඳහන් වන ආකාරයට මෙම ලැප්ටොප් පරිගණකය ඉහත සඳහන් කළ බාල වයස්කාර සිසුවාට අයිති එකකි. කිසිදු පරිගණකයක් සම්පූර්ණයෙන් ම අසභ්‍ය වීඩියෝ දර්ශනවලින් පුරවන්නට බැරි ය. සාමාන්‍යයෙන් පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය හා වෙනත් මෘදුකාංග ස්ථාපිත කිරීම සඳහා පරිගණකයේ සැලකිය යුතු ඉඩක් වෙන් වේ. ‘අසභ්‍ය' වීඩියෝ නැරඹීමට ඇබ්බැහි වූ වැඩිහිටි පුද්ගලයකු හෝ සිය පරිගණකය සම්පූර්ණයෙන් ම එවැනි වීඩියෝ දර්ශනවලින් පුරවා ගනු ඇතැයි සිතිය නො හැකි ය. එසේම, ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා ඒවා පරිගණකයේ ගබඩා කර ගත යුතු නැත. ඒවා නැරඹීමේ පහසුකම් ලබා දෙන වෙබ් අඩවි ඕනෑ තරම් තිබේ. පසුගිය ආණ්ඩුව සමයේ මෙවැනි වෙබ් අඩවි ගණනාවක් ලංකාවේ සිට නැරඹිය නො හැකි අන්දමට බාධා පනවන ලදී. ඒවා තවමත් එසේ ය. මෙවැනි කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවට උපදෙස් දෙන අය මෙම විෂය ගැන කෙතරම් ගැඹුරු අවබෝධයක් ඇති අය ද යන්න ඇත්තෙන් ම ගැටලුවකි.  

අනෙක් පැත්තෙන් අසභ්‍ය යයි කියන වීඩියෝ බැලීම අපරාධයක් ලෙස සැලකිය හැකි තරම් අමුතු වැඩක් නො වේ. මේ පාසල් සිසුවා ඒවා බලන ඉතා සීමිත පිරිසක් අතරින් එක් අයෙකු ලෙස සැලකිය නො හැකි ය. මෙවැනි වීඩියෝ දර්ශන කිසිදාක නරඹා නැති අය ඒවා ගැන අසාමාන්‍ය පරිකල්පන නිර්මානය කරගෙන ඇති බව පෙනේ. ඒවා බලා තිබෙන ඇතැම් අයත්, පොලිසිය හා ආණ්ඩුවත් හැසිරෙන්නට උත්සාහ කරන්නේ ඒවා නරඹා නැති ගැමියන්ගේ මානසිකත්වයෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සිසුවා බරපතල අගතියකට පත් වූයේ ය. 

පොලිසිය ඔහු හා තවත් පුද්ගලයෙක් රිමාන්ඩ් කළේ ඇයි ද යන්න බරපතල ප්‍රශ්නයකි. ඔවුන්ගේ ඩී.එන්.ඒ. සහ ඝාතකයාගේ ඩී.එන්.ඒ. නො සැසඳෙන බව දැන් පොලිසිය ම පවසයි. පරීක්ෂණ මෙහෙයවීම සඳහා සැක සහිත පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ යුතු ම ද? අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් කිරීම කළ යුත්තේ පරීක්ෂණයේදී සැලකිය යුතු දුරට සාක්ෂි තහවුරු වුණොත් නොවේ ද? මව්පියන්ගෙන් යැපෙන බාල වයස්කාර පාසල් සිසුවකුට අධිකරණයෙන් පළා යාමට හෝ සාක්ෂි විනාශ කිරීමට තරම් හැකියාවක් තිබේ ද? පොලිසියේ ක්‍රියාකලාපය නිසා ඔහු සියදිවි නසා ගන්නට ඉඩ තිබෙන තත්වයක් නම් නිර්මානය වී තිබේ. රිමාන්ඩ් සිරගෙදර ඔහුට තිබෙන ආරක්ෂාව කුමක් ද? මෙවැනි බරපතල අපරාධ සම්බන්ධයෙන් සැකයට භාජනය වන්නන්ට සමාජය දක්වන ප්‍රතිචාරය මෙම පාසල් සිසුවාට රිමාන්ඩ් බන්ධනාගාරයේදී කුමන අන්දමින් බලපාන්නට ඇද්ද? 

මෙම සිසුවාගේ ලැප්ටොප් පරිගණකය ගැන අතිශයෝක්ති වාර්තාව මාධ්‍ය වෙත ලබා දෙන්නට ඇත්තේ පොලිසිය විසිනි. කිසිදු පැහැදිලි සාක්ෂියකින් තොරව සැකකරුවකු පමණක් බවට පත් වී තිබෙන බාල වයස්කාර පුද්ගලයකුගේ අතිශය පෞද්ගලික ජීවිතය පිළිබඳ එවැනි තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමත්, මාධ්‍ය ඒවා වාර්තා කිරීමත් කෙතරම් සදාචාරවාදී ද? ළමයකු සම්බන්ධයෙන් මේ අන්දමින් කටයුතු කිරීම අපචාරයක් නො වන්නේ ද? එසේ පිළි ගන්නේ නම්, එයට වගකිවයුතු පොලිසිය හා මාධ්‍ය වින්දිතයාට වන්දි ගෙවන්නේ කුමන ආකාරයෙන් ද?

මෙම අපරාධයේදී ජනමාධ්‍ය කටයුතු කළ ආකාරය අතිශය නින්දිත ය. විශේෂයෙන් ම, සිංහල පුවත්පත් හා සමාජ මාධ්‍ය කටයුතු කළේ අතිශය ආචාරධර්ම විරෝධී ස්වරූපයකිනි. දරුවාගේ මළ සිරුර හමු වූ අවස්ථාවේ මාධ්‍යකරුවන් දරුවාගේ පියා එක එක ආකාරයට තබමින් නිරුවත් මළ සිරුර ඡායාරූප හා වීඩියෝගත කරන්නට යාම හේතුවෙන් පියාත්, ජනමාධ්‍යකරුවනුත් අතර ගැටුමක් ඇති විය. ජනමාධ්‍ය විසින් පියා ද, මව ද, දරුවාගේ සීයා ද සැකයට භාජනය කරන ලදී. පවුලේ ගැටුම් හා පියාගේ අතීත සිද්ධි අතිශයෝක්තියට නඟමින් ඔවුන් වැරදිකරුවන් බවට පත් කරමින් ඔවුන්ගේ ජීවිත බරපතල අනතුරුදායක තත්වයකට පත් කරන ලදී. 

පොලිසිය විමර්ශන කරන ආකාරය අතිශය අපූරු ය. ඔවුන්ගේ සැකයට භාජනය වන හැම දෙයක් ම සැණෙකින් ජනමාධ්‍ය වෙත දැනුම් දෙන ආකාරය දැකිය හැකි ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තුන්වන සැකකරුවකු ද දැන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පිළිබඳව ද කලින් සැකකරුවන් පිළිබඳ සේ ම අනාවරණය කිරීම් හා පූර්ව විනිශ්චයන් සම්පාදනය සිදු වෙමින් තිබේ. 

බරපතල අපරාධයක් ඉදිරියේ ලංකාවේ වගකිවයුතු ආයතන හා සමාජය හැසිරෙන්නේ තනිකරම අයුතු ජනරාශියක් ලෙසයි. පසුගිය කාලයේ නම් පොලිසිය කළේ සැකකරුවන් නඩු විභාගයකින් තොරව මරා දැමීමයි. අධිකරණය, රජය හා සමාජය ඒ සැකකරුවන් ඝාතනය අනුමත කරමින් සැකකරුවන් ඝාතනය කළ මිනීමරුවන්ට නීතිමය මුක්තිය ලබා දුන්නේ ය. දැන් ඒවා සිදු වන්නේ නැත්තේ ආණ්ඩුව මුක්තිය ලබා දීමට සූදානම් නැති නිසා බව පැහැදිලි ය. සැකකරුවන් මරා දැමීමේ වගකීම සම්බන්ධයෙන් පෞද්ගලිකව කටයුතු කරන්නට සිදු වූ කල පොලිසිය තුළ සිදු වී තිබෙන පරිවර්තනය නිරීක්ෂණය කළ විට පසුගිය කාලයේ සිදු වූ ඝාතන හා ආණ්ඩුව අතර සම්බන්ධය පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන. 

එහෙත් තවමත් රන්ජන් රාමනායකගේ, සජිත් ප්‍රේමදාසගේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දක්වා ම දේශපාලන නායකයන් අයුතු ජනරාශි සමග රැල්ලට ගහගෙන යන්නට සූදානම් බව පසුගිය දිනවල මේ අය කළ මරණ දඬුවම ගැන කළ ග්‍රාම්‍ය ප්‍රකාශවලින් පෙනිණි. දේශපාලකයන්, වගකිවයුතු ආයතන හා ජනමාධ්‍ය දක්වා ම කටයුතු කරන ස්වරූපය විසින් පැරණි ප්‍රස්ථාව පිරුළක් සිහිපත් කරයි. “එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා - නැතක් කඩතොලු හදා දුන්නයි කම්මලේ ආචාරියා."

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.