2015-07-08

කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්

ජනතාව වෙනුවෙන් යුක්තිය පසිඳලන විනිසුරුවරු නීතිය හා සමාජය ගැන දැන උගත්, ඉවසිලිවන්ත, කාරුණික, මානව දයාවෙන් පිරිපුන්, නිහතමානී, ගෞරවනීය මිනිස්සු විය යුතු ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ විට එම පුද්ගලයා මෙම ගුණාංගයන්ගෙන් පිරිපුන් විය යුතු ය. 

එහෙත්, හැම විට ම එසේ වන්නේ නැත. ශ්‍රී ලංකාවේ නම් පසුගිය සමයේදී අධිකරණ සේවයට ද දේශපාලන අතපෙවීම් අධික විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය යහළුවන්ට ගෙදරට අඩ ගසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරු පිරිනැමුවේ ය. ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණේ සුවච, කීකරු සේවයකි. එය සපුරන්නට අසමත් වූ අයට එරෙහිව දැඩි පියවර ගන්නා ලදී. හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක් කිරීම එක් සිද්ධියකි. 

ඇතැමෙක් මහින්ද රාජපක්ෂ බලයෙන් පහ වූ පසුවත් ඔවුන්ට සේවය කිරීම නවත්වා නැත. බරපතල දූෂණ චෝදනා එල්ල වූවන් අත්අඩංගුවට නො ගන්නැයි නියෝග නිකුත් කරන තත්වයට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පත් වී තිබේ.  

අලුත් ම සිද්ධිය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු සිය නිවසේ මෙහෙකාරියගේ හිසට රාජකාරි ආරක්ෂාව වෙනුවෙන් සපයා තිබෙන පිස්තෝලයේ මිටෙන් පහර දී හිස් කබලට හානි කළ බවට හා ලිංගික අඩන්තේට්ටම් කළ බවට චෝදනා ලැබීමයි. 

මෙවැනි විෂමාචාර චෝදනාවක් එල්ල වූ විට, විමර්ශනය අවසන් වන තෙක් නඩු ඇසීමෙන් ඉවත් වීමේ සදාචාරය හෝ තිබිය යුතු ය. එහෙත්, මෙම විනිසුරුවරයාට එරෙහිව ගෘහස්ථ කම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණ කරද්දීත්, විනිසුරුවරයා නඩු විභාගවලට සහභාගි වූයේ ය. නීතිඥ සංගමය පවා එයට විරෝධය පළ කළේ ය. 

ලංකාවේ අධිකරණ පද්ධතිය දූෂ්‍ය වී තිබෙන තරම පෙන්වා දීම සඳහා මෙය කදිම නිදසුනකි. රටට අවශ්‍ය වී තිබෙන සමාජ ප්‍රතිසංස්කරණයේ ගැඹුර තේරුම් ගැනීමට මෙය සිද්ධි අධ්‍යයනයක් බවට පත් කර ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.