2015-02-12

ජවිපෙ ආප්පෙට මතක නැතිලු කැරැලි තාච්චියෙ හිටිය හැටි

කවදා හෝ තාත්තා ගෙදර එනතෙක් බලා සිටින කුගන්ගේ දියණිය
කේපීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට ගොස් ඇත.

ජනවාරි 19දා අභියාචනාධිකරණයේ ගොනු කරන ලද රිට් පෙත්සමින් ඉල්ලා සිටින්නේ කේපී අත්අඩංගුවට ගෙන ඔහු සම්බන්ධ බරපතල අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

‍කේපී යනු කොටි සංවිධානයේ ඉතිරි වී සිටින ප්‍රබල ම නායකයා වන අතර ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ එක් පාර්ශ්වයක් විසින් හෝ නායකයා ලෙස පත් කර ගන්නා ලද පුද්ගලයෙකි. ඔහු කොටි සංවිධානයේ සමස්ත ක්‍රියාකලාපය ගැන කෙතරම් වගකිවයුත්තෙක් ද යන්න ගැටලුවකි. එහෙත්, ඔහු කොටි සංවිධානය වෙනුවෙන් ආයුධ හා අරමුදල් රැස් කිරීම මෙහෙයවූ ප්‍රධානියෙකු බව නම් හෙළිදරව් වී තිබේ.

රාජපක්ෂ පාලනය සමයේ 2009 අගෝස්තු 5දා ලංකාවේ ‍ආරක්ෂක අංශ කේපී මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකා‍වට රැගෙන විත්, නීතිමය නො වන ක්‍රියාමාර්ග ඔස්සේ ඔහු සමග ගනුදෙනුවක් කරමින්, ඉන් පසු ඔහුට නිදහස් පුරවැසියකු ලෙස කටයුතු කරන්නට අවකාශ සලස්වා දුන්නේ ය. ඒ පසුපස කුමන ආකාරයේ ගනුදෙනු තිබුණා ද යන්න හෙළිදරව් වී නැත.

රාජපක්ෂ රජය ‍කේපී, කරුණා අම්මාන්, පිල්ලෙයාන්, දයා මාස්ටර්, ජෝර්ජ්, තමලිනී හා තවත් ඇතැම් කොටි නායක නායිකාවන් සම්බන්ධයෙන් හා සාමාන්‍ය කොටි සාමාජිකයන් සම්බන්ධයෙන් කටයුතු කළේ පැහැදිලිව ම වෙනස් ආකාරවලිනි. ‍කරුණා අම්මාන්, පිල්ලෙයාන් වැනි අය රජයට ඍජුව සම්බන්ධ කර ගන්නා ලදී. කේපී නීතිය ඉදිරියට ගෙන යන්නේ නැතිව, නිදහස් පුරවැසියකු ලෙස සමාජ කටයුතු කිරීමට ඔහුට අවස්ථාව දෙන ලදී. දයා මාස්ටර්, ජෝර්ජ් වැනි අය ද නීතිමය ක්‍රියාමාර්ගවලින් තොරව නිදහස් කරන ලදී. තමිලිනී පුනරුත්ථාපනය කර නිදහස් කරන ලදී.

මේ අතරතුර තවත් කොටි නායකයන් හා සාමාන්‍ය කොටි සාමාජිකයන් දහස් සංඛ්‍යාත පිරිසක් ඝාතනය කර දමන ලදී. ඇතැමෙක් යටත් වූ අයයි. තවත් අය භාර වූ අයයි. තවත් පිරිසක් නිරායුධව සිටියදී අත්අඩංගුවට ගන්නා ලද අයයි. තවත් සමහරු සැකකරුවන් ලෙස රැඳවුම්කරුවන් ලෙස සිටි අයයි. වත්මන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ ක්‍රියාකාරකම්වල යෙදී සිටියදී අතුරුදහන් වූ කුගන් වැනි අය පුනරුත්ථාපනය වී නිදහස් වී සිටි අයයි.

මරා දමන ලද දහස් ගණනක් වූ දෙමළ තරුණයන්ට අමතරව, කොටි සංවිධානයේ නායකයින්ගේ මෙහෙයවීමෙන් විවිධ සාපරාධී ක්‍රියාවලට සම්බන්ධ වූ තවත් දහස් ගණනක් කොටි සාමාජිකයෝ තවමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගතව සිටිති. වසර ගණනාවක් තිස්සේ සිරගත කර සිටින ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නැත. එහෙත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි අතිශය මර්දනකාරී නීති හේතුවෙන් ඔවුන්ට ඇපවත් ලැබෙන්නේ නැත. මේ වන විට වසර දහයකට වඩා කාලයක් සැකකරුවන් ලෙස රඳවාගෙන සිටින පිරිස් ඇති බව වාර්තා වේ.

කේපී වැනි පුද්ගලයන්ට ලබා දුන් නිදහස ප්‍රශ්න කරන්නට සිදු වන්නේ එවැනි සංදර්භයක් තුළයි.

දැන් මේ කාරණය මතු කරන ජනතා විමුක්ති පෙරමුණට ද මෙවැනි කැරැලිකාර ඉතිහාසයක් ඇති බව ඔවුන්ට මතක නැත. 1987-90 සමයේ ජවිපෙ කැරැල්ලේ ප්‍රධාන වගඋත්තරකරුවකු වන එවකට  ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවංශ අමරසිංහට එරෙහිව වුව ද ජවිපෙට මේ හා සමාන පැමිණිල්ලක් කරන්නට පුළුවන. එහෙත්, ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් ජවිපෙට එරෙහිව එවැනි පැමිණිල්ලක් කළේ නැත. එහෙත් තමන් වැනි ම වූ  දෙමළ  කැරැලිකාරී ව්‍යාපාරයකට එරෙහිව පැමිණිලි කරන්නට ජවිපෙ ඉදිරිපත් වී ඇත.

කේපීට එරෙහිව පැමිණිලි කරන ජවිපෙ කරුණා අම්මාන්ට එරෙහිව පැමිණිලි නො කරන්නේ මන්දැයි කියා ද ප්‍රශ්න කරන්නට පුළුවන. එසේම, යුද්ධයේ අවසාන සමයේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් එවකට සිටි බලධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන එක සම්බන්ධයෙන් ජවිපෙ විරුද්ධ වන්නේ කුමන පදනමකින් ද යන්න ද අසන්නට පුළුවන.

‍දෙමළ කැරැල්ල සම්බන්ධයෙන් සිංහල දේශපාලන පක්ෂ කටයුතු කරන ආකාරය බරපතල ප්‍රශ්න රැසක් මතු කරයි.

නිදසුනක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට ඉදිරිපත් කරන ඉල්ලීමක් වන්නේ නීති කඩ කිරීම් නො තකා හැර කුමාර් ගුනරත්නම්ට ලංකාවේ දේශපාලනය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. මේ අවස්ථාව කේපීට ලබා දෙන එක ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුමක් කියන්නේ ද යන්න දැන ගැනීමට කැමති ය.

1989 කැරැල්ලෙන් පසු පත් කරන ලද තරුණ අසහන කොමිෂම ඔස්සේ ගනු ලැබූ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ රැකියා ලබා දීම සඳහා තරග විභාග ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ එම ක්‍රමය විනාශ කර දමන ලදී.


හැරුණු කල, 1989 කැරැල්ල සම්බන්ධයෙන් පොදුවේ ලාංකීය සමාජය ජවිපෙට සමාව දෙන ලදී. 2004 වසරේදී ලංකාවේ ජනතාව ජවිපෙ අපේක්ෂකයන් දිස්ත්‍රික්කවල පළමුවැන්නන් කරමින් පාර්ලිමේන්තුවට පත් කළේ එ නිසා ය. ජවිපෙ ද සිය ක්‍රියාකාරිත්වය තුළින් කැරැල්ලේදී සිදු වූ වැරදි සම්බන්ධයෙන් ස්වයං විවේචනාත්මක ප්‍රකාශයනයක් කරන ලදී. 

ලාංකීය සමාජය ජවිපෙට සමාව දුන් බව නැවත මතක් කරමි. කිසිවෙක් සෝමවංශ අමරසිංහ නැවත ප්‍රශ්න නො කරන්නේ එහෙයිනි. එවන් සංදර්භයක් තුළ අඩු තරමේ දෙමළ කැරැල්ලට සම්බන්ධ වී ඉතිරි වී සිටින පිරිසට හෝ සමාව දෙන්නට ලාංකීය සමාජයට යෝජනා කිරීමේ වගකීමක් ජවිපෙට තිබේ. එහෙත්, ජවිපෙ කර තිබෙන්නේ එහි අනෙක් පැත්තයි.

කේපී සම්බන්ධයෙන් රාජපක්ෂ රජය කටයුතු කළ ආකාරය අපැහැදිලි ය. තමන්ගේ දේපල රාජපක්ෂ පවුල විසින් කොල්ල කෑ ආකාරය පසුගිය දිනෙක සෙලින්කෝ අධිපති ලලිත් කොතලාවල හෙළිදරව් කළේ ය. ඒ අන්දමින් ම කේපී විසින් හසුරුවන ලද කොටි සංවිධානයේ විදේශ දේපල රාජපක්ෂ පවුලේ අය විසින් පැහැර ගත්තා විය හැකි ය. ඒ පිළිබඳ හෙළිදරව් විය යුතු ය.

රාජපක්ෂ පවුලට හා යුද නිලධාරීන්, රජයේ නිලධාරීන් ඇතුළු තවත් පිරිසකට ද යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ. එහෙත්, ඔවුන් විසින් ගනු ලැබූ නීති විරෝධී ක්‍රියාමාර්ග පවා දකුණේ සිංහල ‍ජනතාවගේ දැඩි ඉල්ලීම හා අනුමැතිය මත වූ ඒවා බව අප අමතක නො කළ යුතු ය. ඒවා ආරක්ෂා කළ හා ප්‍රවර්ධනය කළ සෙසු දේශපාලන පක්ෂ, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් හා ජනමාධ්‍ය ආදිය අතහැර සීමිත පිරිසකට පමණක් එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒම අසාධාරණ ය.

අනෙක් පැත්තෙන් කොටි සංවිධානය ද මහා පරිමාණෙන් යුද අපරාධවල යෙදුණු බැවින් මෙය ඉතිහාසයෙන් මකා දැමිය යුතු කළු පැල්ලමක තත්වයට පත් වී තිබේ. වැඩි ම වන්දිය ගෙව්වේ දෙමළ ජනතාව බව ඇත්ත ය. එහෙත්, යුද්ධය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ම වගකිව යුතු ය. දෙපාර්ශ්වයේ ම නායකයන් සාම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරමින් යුද්ධයෙන් විසඳුම් සොයන්නට උත්සාහ කළ හ. දෙමළ හා සිංහල නායකයන්ගේ මෙම අමනෝඥ යුද්ධයට දෙපාර්ශ්වයේ ම ජනතාවගෙන් බහුතරය අනුග්‍රහ දැක්වූ බව ද අප අමතක නො කළ යුතු ය. 

මෙම සංදර්භය තුළ ලංකාවේ සමාජය දෙමළ කැරැල්ල හා එම කැරැල්ල මැඬලීම සඳහා නීති විරෝධී අන්දමින් කටයුතු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ද පොදු සමාවක් ලබා දෙන තැනකට යා යුතු බව මගේ යෝජනාවයි. මෙය ජවිපෙ කැරැල්ල සම්බන්ධයෙන් අවසානයේදී ක්‍රියාත්මක වූ අප්‍රකාශිත පොදු සමාව වැනි එකක් විය හැකි ය.

ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි කැරැලිකාරී ඉතිහාසයක් ඇති පක්ෂ මෙම ප්‍රශ්නයේදී ප්‍රගතිශීලී ප්‍රවේශයක් අනුගමනය කළ යුතු ය.

‍මගේ ‍යෝජනාව මෙයයි. දෙමළ ඊලාම් කැරැල්ල සම්බන්ධයෙන් සත්‍ය කොමිෂමක් වැනි ක්‍රියාමාර්ගයක් ඔස්සේ යුද්ධයේ දෙපාර්ශ්වයට ම පොදු සමාවක් ලබා දිය යුතු ය. දේශපාලන කැරැලිකාරිත්වය මතු වූ සංදර්භය වන ජාතීන්ගේ ප්‍රශ්නයට බලය බෙදා ගැනීම ඔස්සේ විසඳුමක් ලබා දිය යුතු ය.

කේ.පී., කරුණා අම්මාන් සහ ජීවතුන් අතර සිටින වෙනත් කොටි සටන්කරුවන්ට සමාජයට සේවයක් කර සිය අතීත වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාව ලබා දීම ඔවුන් සිරගත කිරීමට වඩා හොඳ ය. එසේම, දෙමළ සමාජය ද යුද අපරාධ සම්බන්ධයෙන් මහින්ද, ගෝඨාභය වැන්නන් පසුපස හඹා යාම අවසන් කළ යුතු ය. 

(රාවය 2015 - 02 - 15)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.