ජයලලිතා නම් අවාසනාවේ සාධකය | Jayalalitha the factor of misfortune

(2011 මැයි 15, W3Lankaප්‍රභාකරන්ට වරදින විට සියල්ල වැරදුණේ ය. 2009 මැයි මස ප්‍රතිඵල නිකුත් වූ ඉන්දීය මහ මැතිවරණයෙන් කොංග්‍රසය ජය ගැනීම ද ජයලලිතා ජයරාම්ගේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායකත්වයෙන් යුක් සන්ධානය තමිල්නාඩුවේ පරාජය වීම ද ප්‍රභාකරන්ට අවාසිදායක ලෙස බල පෑවේ ය.


ලංකාවේ යුද්ධයට එරෙහිව තමිල්නාඩුවේ ජනතාව තීරණාත්මක ලෙස පුබුදුවා ගැනීමට කොටි සංවිධානය අසමත් විය. මහ ඇමති කරුණානිධි සහ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලංකාවේ දෙමළජනයාගේ ප්‍රශ්නයට සාකච්ඡාමය විසඳුමක් ලංකාවේ රජයෙන් ලබා දීමට කටයුතු කරන බවට තමිල්නාඩුවේ දෙමළ ජනයාට පොරොන්දු වූයේ ය.


කොටි සංවිධානය සමූලඝාතනය කිරීම පිණිස අවසානයේදී ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේත්, තමිල්නාඩු රජයේත් පූර්ණ අනුග්‍රහය ලැබිණි.


කොටි නායක ප්‍රභාකරන් ඝාතනය කර තව දින කීපයකින් දෙවසරක් පිරෙයි. ලංකාවේ දෙමළ ප්‍රශ්නයට තවමත් ස්ථිර විසඳුමක් දී නැත. තමිල්නාඩු ප්‍රාන්ත මහ මැතිවරණයෙන් ලංකාවට විරුද්ධ නායිකාවක වන ජයලලිතා ජයරාම් ජයගෙන ඇත.


ජයලලිතා ලංකාවේ නායකයන් යුද අපරාධ අධිකරණ වෙත ගෙන යා යුතු බව ප්‍රසිද්ධියේ පවසන්නියකි. එපමණක් නොව, ඉන්දියාව විසින් 1970 දශකයේදී ලංකාවට පවරා දෙන ලද කච්චතිවු දූපත ආපසු පවරා ගත යුතු ය යන ප්‍රතිපත්තියේ ද සිටින්නියකි. ඇගේ ජය ගැනීම පිටුපස ලංකාව සම්බන්ධයෙන් ඇගේ මෙම දැඩි ස්ථාවරයන් ද ඇති නිසා තමිල්නාඩු ආණ්ඩුව ඉදිරියේදී ලංකාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියකින් කටයුතු කරන බව නිසැක ය. එසේ ම, මන්මෝහන් සිංගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කොංග්‍රස් ආණ්ඩුව ද ජනප්‍රියත්වයෙන් පිරිහෙමින් ඇති වකවානුවකයි ජයලලිතාගේ ජයග්‍රහණය වාර්තා වන්නේ. පසුගිය මහ මැතිවරණයේදී ඇය සන්ධානගත වු සිටියේ හින්දු ආගමික පදනමකින් ලංකාවේ දෙමළ ජනයාට සහයෝගය දෙන භාරතීය ජනතා පක්ෂය සමගයි.


2009දී තමිල්නාඩුවේ හා ඉන්දියාවේ සිදු වූ දේ ප්‍රභාකරන්ගේ අවාසියට සිටියේ යම් සේ ද අද වන විට එහි සිදු වන දේ මහින්ද රාජපක්ෂගේ අවාසියට සිට ඇත.


මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නැ‍ඟෙමින් තිබෙන යුද අපරාධ චෝදනාවන්ගෙන් ගැලවීම පිණිස එකම මාර්ගය ඇත්තේ දෙමළ ජනයා සමග සංහිඳියාව සඳහා ගන්නා පියවර තුළ ය. එනම්, ලංකාවේ තිරසාර සාමයක් ඇති කිරීමට සමත් වන්නේ නම් පමණි. තිරසාර සාමයක් ඇති කිරීම යනු දකුණේ කලබල ඇති කර ගැනීම ද නො වේ.


උතුරේ හා නැගෙනහිර තත්වය සාමකාමී යයි කියන්නේ රජයේ මාධ්‍යයි. එහෙත්, පසුගිය දින කීපයේ අමුතු සිදුවීම් දෙකක් මඩකලපුවේ සිදු විය. නාඳුනන තුවක්කුකරුවෝ කරුණාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ හිටපු පැරා මිලිටරි ඔත්තුකරුවකු හා පිල්ලෛයන්ගේ ආධාරකරුවකු වෙඩි තබා මරා දැමූ හ. 


ලංකාවේ රජය මෙතෙක් කල් සංහිඳියාව යයි කියුවේ දෙමළ ජනයා බියපත් කර කට ඇරීමට නො දී පවත්වා ගැනීමේ දක්ෂතාවටයි. ඇත්තෙන් ම, එහිදී ලංකාවේ ආණ්ඩුව අති දක්ෂ විය. යුද්ධයේ අවසාන කාලයේ රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද යුද මුක්ත කලාපයේ සිටි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා සහ රෝහල්වල සිටි වෛද්‍යවරු ආදීන් ලවා යම් යම් ප්‍රකාශ පවා නිකුත් කරවා ගන්නට ආණ්ඩුව සමත් වී තිබේ. එහෙත්, ඔවුන් රහසින් කුමන විස්තර දරුස්මාන් කමිටුව වෙත ලබා දුන්නා ද යන්න අපි නො දනිමු.


නිරායුධ කර, බිම දාගෙන පහර දී, නැගිටපියව් කියා, තුවක්කුවලින් වට කරගෙන, "දැන් තොපට හොඳයි නේ ද?" කියා ඇසූ කල යමෙකු "හරි ෂෝක්!" යයි කියන ප්‍රකාශය දැන් ඉතින් සාමාන්‍ය තත්වය හා සංහිඳියාව ඇති වී තිබේ යයි පෙන්නීමට උපයෝගී කර ගැනීම අසාර්ථක ය.


සිහල ජාතිවාදී අන්තවාදීන්ගේ බලපෑමට යට වී තිබෙන ආණ්ඩුව මෑතක් වන තුරු ම සිටියේ සුළුතර ජාතීන්ට කිසිදු බලයක් නො දෙන ස්ථාවරයකයි. ‍දෙමළ ප්‍රශ්නයට විසඳුම් දෙන්නැයි ජාත්‍යන්තර පීඩනය වැඩි වන විට දෙමළ ජාතික සන්ධානය සමග නිකමට වගේ සාකච්ඡා ආරම්භ කරන ලද මුත්, දැන් දෙමළ ජාතික සන්ධානය ඉන්නේ සාකච්ඡා ආරම්භ කරද්දී සිටි බියගුළු තත්වයේ නො වේ. 


වැඩිය කට ගහලා ගෙදර යන්න නො ලැබේ ය යන බිය දැන් දෙමළ ජාතික සන්ධානයට නැත. උපරිම බලය බෙදීමක් ඉල්ලන්නැයි දෙමළ ජාතික සන්ධානයට කියා ඇත්තේ ඉන්දීය මධ්‍යම රජයයි. ආණ්ඩුව දිවි හිමියෙන් නො දෙන බව සපථ කර සිටි පළාත් සභා සඳහා වූ පොලිස් හා ඉඩම් බලතල ද ඉල්ලන්නැයි ඉන්දීය රජය දෙමළ ජාතික සන්ධානයට කියා ඇති බව ද එතැනින් නො නැවතී දරුස්මාන් වාර්තාවෙන් මතු වූ තත්වය හමුවේ ලංකාවට ඉන්දීය සහයෝගය දෙන්නට එය කොන්දේසියක් බවට පත් කරන්න ද සැරසෙන බව අද Sunday Times මුල් පුවත හෙළි කරයි. 


දරුස්මාන් වාර්තාව නිකුත් වූ හැටියේ දෙමළ ජාතික සන්ධානය එය අගය කළේ ය. හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක එයට විරෝධය පා දෙමළ ජාතික සන්ධානයක් සමග සාකච්ඡා කරන රජයේ කමිටුවෙන් ඉල්ලා අස් වූයේ ය. කොයි තරම් චණ්ඩි වුණත්, දෙමළ ජාතික සන්ධානයට එරෙහිව කටක් අරින්නටවත් ආණ්ඩුවේ සිටින වෙන කිසිවෙක් අසමත් ය.


ආණඩුව මහ ලොකුවට ගෙන ආ සෙනෙට් සභා යෝජනාව දෙමළ ජාතික සන්ධානය පයිසෙකට හෝ ගණන් ගෙන නැත. එය පිළිබඳ සලකා බැලීමට පෙර 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කළ යුතු බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් අද Sunday Times පුවත්පතට කියා ඇත. 


දෙමළ ජාතික සන්ධානයට බැන්න රත්නසිරි හොරණ ය. රාජ්‍ය නො වන සංවිධාන සමග ඉතා ළග සම්බන්ධකම් තිබුණු ඉතිහාසයක් ඇති, බටහිර ආධාර ලබන ලිබරල් පක්ෂයේ නායක රජීව විජේසිංහ රත්නසිරි වෙනුවට කමිටුවට පත් වී සාකච්ඡා හෝ ගා සිදු වෙයි. මොනවා කතා කළත් කිසිවක් දෙන්නේ නැති ය යන ආණ්ඩුවේ රහසිගත ප්‍රතිපත්තියට කුමක් වේ ද යන්න අපි නො දනිමු. එහෙත් එකක් පැහැදිලි ය. මේ සාකච්ඡා සිදු වන්නේ ආණ්ඩුවට ඕනෑ හැටියට අර මාක්ස්වාදී තිස්ස විතාරණගේ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව කකා බිබී නඩලං නැටූ අන්දමට නො වේ. සාකච්ඡා න්‍යාය පත්‍රය තීරණය කරන්නේ ආණ්ඩුව නො ව දෙමළ ජාතික සන්ධානයයි. සාකච්ඡා වන්නේ එදා එපා කී ෆෙඩරල් ක්‍රමයේ විසඳුමක් ගැනයි. ඒ පිළිබඳව තොරතුරු දෙපාර්ශවය ම හෙළි කරන්නේ නැත. හැංගි හැංගි වෙස් බැන්දාට නටන විට සියල්ල එළියට එනු ඇත. ආණ්ඩුව ඉන්නේ 'ෆෙඩරල් උගුලක ය'. උගුල අටවා ඇති දෙමළ ජාතික සන්ධානය හයිය ගන්නේ ඉන්දියාවෙන් හා බටහිරිනි. ලංකාවේ ආණ්ඩුව ඉතින් බටහිර විරෝධී ජාතික චින්තනය මත පදනම් වුණ එකක් නේ.


ප්‍රභාකරන් මරා කිරිබත් කමින් කළ ජය පැන් බීමෙන් දෙවසරකට පසු, සිංහල ජාතිවාදීන් ලංකාව ඔවුන්ගේ ම වචනවලින් 'දෙකඩ වෙන්නට ඔන්න මෙන්න තත්වයකට'‍ හෙවත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් යෝජනා කරන තත්වයට හෝ 'රට බෙදීමේ මුල් පියවර වන' බලය බෙදීමේ තත්වයට හෝ ඇද දමා තිබේ. ඒ බව රටේ ජනතාවගෙන් වසං කිරීමට ද ඔවුහු සමත් වී තිබේ. එහෙත්, ඒ කොතරම් කලකට ද යන්න අපි නො දනිමු.


සිංහල ජාතිවාදී බලවේග මේ ආණ්ඩුව පත් කර ගත්තේ දෙමළ ජනතාවට බලය බෙදන්නට නො වේ. එහෙත්, ඔවුන් නිසා රාජපක්ෂ ආණ්ඩුව 'සාකච්ඡා උගුලක' සිර වී ඇත. ආණ්ඩුව නහයට උඩින් වතුර ගලන එක වළක්වා ගන්නට ඇගිලි තුඩින් ඉස්සී සිටියදී සිංහල ජාතිකවාදීහු දස සිල් සමාදං වී 'අපට මොකද අපි දස සිල් උපාසක' යි කියති.


කවුරු කවුරුත් අත සෝදා ගනිමින් සිටිති. තමන්ගේ පිඟානට සියල්ල බෙදා ගත් අයට දැන් විකාල භෝජන කන්නට සිදු වී තිබේ.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. SL still at the beginning.After independence 1948; still no democratic political structure. The result of a federal system is NE part of SL will need to become a state of India (at least be under force of it). To avoid it SL Gov.'s solution is a post of a king or general. Where's the balancing point?..

    ReplyDelete
  2. බලවතා(බහුතරය) විසින් දුබලයා(සුලුතරය) පාගාගෙන සිටීම ලෝකයේ සදාතනික ධර්මතාවයයි.බලවතා ගේ මිනීමරු නියෝජිතයා වූ පිරබාහිරන් විසින් දශක 3 ක කාළයක් තිස්සේ අප පාගා දමා සිටියෙමු.ඒ මිලේච්චයා විනාශ කොට නිදහසේ ගතකරන්නට වූයේ වසර 2කට අඩු කාළයකි.බහුතරයා නැවත තර්ජනාංගුලිය ඔසවයි.

    ReplyDelete
  3. what's this sin of equator. all d countries near it sucks.P.tan,T.land,myanmar,laos etc...all militarized. SL has 2 choices. follow militarization and be miserable like them. or copy thaiwan or S.korea and rent land for US army. Then SL get chance to manufacture cheap plastic crap for US market. timing is bad.US's not collapsed enough.BRIC nations hvn't got risen enough.

    ReplyDelete
  4. ජය ශ්‍රි ටිකක් ඈත්ත ටිකක් බොරු.

    මයිම් ගම්මානවල ඉඩම්කොල්ලය වගේ දේවලදි අපේ සමහර දේශපාලුවො කොටින්ටත් අන්තයි.උන් මිනිස්සුන්ව කපලා මෑරුවා මු0 නොමරා මරනවා.මේ ම0කොල්ලකර ඈමතිලා රජයට කෑලලක්.උන් ආන්ඩුවට මුවවෙලා තමුන්ගෙ ගොඩ වෑඩිකරගන්නවා.ඵයාල ගෑන රජය පියවරක් ගනී කියලා හිතනවා.
    අනික රටේ ආර්තිකය ශක්තිමත් කරද්දි ඵක ප්‍රතිලාබ සාමාන්ය ජනයාට මීටවඩා දෑනෙන්න ලෑබෙන්න ඔනෙ නේද?

    ReplyDelete
  5. awastha wadi wenna epooo !!!
    vipakshaya wenuwen noawa,, rata wenuwen liyanna.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා