ලංකාවේ ආණ්ඩුවත් සක්විති පන්නයේ පොන්සි ස්කීම් එකක් ද? | Is Sri Lanka government also a Ponzi Scheme like Sakvithi's?

(2010 අගෝස්තු 09, W3Lankaසක්විති රණසිංහගේ ව්‍යාපාරය වුණේ අධික පොලියට ණය ලබාගෙන එයින් එදිනෙදා ජීවිතය සැපට ගත කිරීමයි. ගත් ණයවල පොලිය හා ණය ‍ආපසු ගෙවීම කළා නම් කළේ තව තවත් ණය ගැනීමෙනි.


මෙවැනි ව්‍යාපාර ලෝකයේ ප්‍රසිද්ධ පොන්සි ස්කීම් යන නමිනි. එම නම වැටුණේ ‍එක්සත් ජනපදයේ සිට ඉතාලියට සංක්‍රමණය වූ චාල්ස් පොන්සි නම් පුද්ගලයකු විසින් 1820 දශකයේ මුල් භාගයේදී මෙවැනි ව්‍යාපාරයක් පවත්වා හසු වීම නිසා ය.


එහෙත්, ඔහු ඉපදීමටත් පෙර චාල්ස් ඩිකන්ස් විසින් ලියන ලද ‍ලිට්ල් ඩොරිට් නවකතාවේ පවා මෙවැනි ව්‍යාපාරයක් පිළිබඳ සඳහන් වේ.


එක්සත් ජනපදයේ හිටපු කොටස් වෙළඳපොල තැරැව්කරුවකු වූ බර්නාඩ් මැඩොෆ් සිය ධන කළමනාකාර ව්‍යාපාරය පොන්සි ස්කීම් එකක් බවට පත් කිරීම සම්බන්ධයෙන් වරද පිළි ගැනීම නිසා 2009දී ඔහුට වසර 150ක උපරිම සිර දඬුවමක් නියම කරන ලදී. ඔහු විසින් වංචා කරන ලද මුදල එක්සත් ජනපද ඩොලර් බිලියන 21කි.


ලලිත් කොතලාවලගේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාරය මෙන් ම ප්‍රමුඛ බැංකුව ද ඇත්තෙන් ම මෙවැනි පොන්සි ස්කීම් ය. මේවා අනිවාර්යයෙන් ම බිඳ වැටීමට නියමිත ව්‍යාපාර වේ. සක්විතිගේ ව්‍යාපාරය බිඳ වැටුණේ එහි අති විශාල ණය පොලිය ගෙවා ගැනීමට ප්‍රමාණවත් තරම් අලුත් මුදල් තැන්පත්කරුවන් සොයා ගත නොහැකි තැනට ආ පසු එහි ම බරෙනි. එතෙක් පොලිසියේ හෝ මහ බැංකුවේ හෝ මේවායේ මුදල් ආයෝජනය කළ මිනිසුන්ගේ හෝ අවධානය මෙම ව්‍යාපාරය කෙරෙහි යොමු වූයේ නැත.


සක්විති විසින් ණයට ගන්නා ලද මුදල් කිසිදු හරවත් ආයෝජනයක යොදවා ඇති බවක් නො පෙනේ. ඔහු විසින් ආරම්භ කරන ලද නිවාස ඉදි කිරීමේ ව්‍යාපාරය මෙම මුදල් ආයෝජනය කරන බව පෙන්වීමට කරන ලද බොරුවකි. දඬුවම් මුදලාලිට එහෙම එකක්වත් තිබුණේ නැත.


ගෝල්ඩන් කී සමාගම මෙය මීට වඩා විධිමත් අන්දමින් කළේ ය. එහෙයින් එය කඩා වැටුණේ කල් ගත වී ය.


ලංකාවේ ආණ්ඩුව කරන දෙය ද එක්තරා අන්දමක පොන්සි ස්කීම් එකකි. රට සංවර්ධනය කිරීම සඳහා ඇතැම් විට ඉහළ පොලියට පවා ණය ගනු ලැබේ. ඉන් පසු සක්විතිගේ නිවාස ඉදි කිරීමේ කොම්පැනිය සේ යම් යම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ සඳහා වූ කොන්ත්‍රාත්තු හරහා ගත් ණයවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් විවිධ බලවතුන් විසින් වංචනික අන්දමින් ගසා කනු ලබන බව කවුරුත් දනිති. මෙම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ සැක සහිතය. ඒවා පිළිබඳ මවනු ලබන දැවැන්ත සිහින සැබෑ වේ ද යන්න දැන ගැනීමට දිගු කාලයක් අවශ්‍ය ය.


ඒ සිහින නිර්මානය කරනු ලබන සමයේදී ඒවාට වශී වන ජනයා වැල නො කැඩී ඒවා බැලීමට යති. ඒ කාලයේදී ඒවා සැක කිරීම පවා දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස සැලකේ. 


නිදසුනක් ලෙස මහවැලිය හැදූ කාලයේ ලංකාවේ දේශපාලකයන් කීවේ ලංකාව එයින් නිපදවන විදුලිය ඉන්දියාවටත් යවනු ඇති බවයි. එහෙත් දැන් මහවැලියෙන් හැදූ බොහෝ ජලාශ රොන් මඩින් පිරී ගොසිනි. දැන් දේශපාලකයන් කතා කරන්නේ ඉන්දියාවෙන් ලංකාවට විදුලිය ගෙන එන අන්දම ගැන හා ගල් අඟුරු බලාගාර ගැනයි.


අනාගත පරම්පරා ගණනාවක් උගස් තබා කරන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති නිසා සිදු වන්නේ රටේ ණය බර දිනෙන් දින ඉහළ යාමයි. ඒ ණය ගෙවන්නේ තව තවත් ණය ගැනීමෙනි.


2009 වන විට ලංකා‍වේ රජය විසින් ගෙන තිබෙන ණය හා පොලිය ගෙවන්නට දළ දේශීය නිෂ්පාදිතයෙන් 86%ක් වෙන් කරන්නට සිදු විය.
මේ අතරින් විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 36.5%කි.


මේ වනාහි ඔබගේ මාසික ආදායම රු. දහදාහක් වෙද්දී ‍‍මසකට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රු. 8600ක් වනවා වැනි තත්වයකි. එම මුදල ගෙවූ විට ඔබට මාසය කෑමට ඉතිරි වන්නේ රු. 2400ක් පමණි. ඔබ කරන්නේ තව ණය ගැනීමයි. 


මෙය ද ලෝකය ම හවුල කරගෙන දීර්ඝ කාලයක් තිස්සේ කරන පොන්සි ස්කීම් එකකි. මෙතැන ඇති වෙනස වන්නේ ණය ලබා දුන් අයට හා ඇත්තට ම ණය ගත් අයට ඇති ආරක්ෂාවයි. ඒ ආරක්ෂාව තහවුරු කරන්නේ ලංකාවේ ජනතාව විසිනි. ඔවුහු මේ ණය ගෙවීම සඳහා දිවි හිමියෙන් කඹුරති. මේ පොන්සි ස්කීම් එක ඉක්මණින් කඩා නො වැටීමේ රහස එයයි. මන්ද ණය දුන් අයට එම මුදල ආපසු ලැබීම පිළිබඳ විශ්වාසය ආරක්ෂා වන බැවිනි. එහෙත්, මේ සෙල්ලමට ද කවදා හෝ අවසානයක් තිබේ. 


සක්‌විති රණසිංහ හිඟන්නෙක්‌ බවට පත්වීම පුදුමයක්‌ නොවේ යෑයි ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස්‌ නිලධාරියෙක්‌ අද "දිවයින" ට පවසා තිබේ. මසකට සියයට 6,7 සහ 8 වැනි ඉතා ඉහළ පොලී ප්‍රතිශතයන් ගෙවීමට කිසිම ව්‍යාපාරයක්‌ කිරීමෙන් හැකියාවක්‌ නැහැ. ඒ නිසා ඔහු කරන්නට ඇත්තේ අලුත් තැන්පත්කරුවන්ගෙන් ගන්නා මුදල්වලින් පරණ තැන්පත්කරුවන්ට පොලී ගෙවීමයි. ආයෝජනයකින් හෝ ව්‍යාපාර කටයුත්තකින් උපයන ලාභයෙන් මෙවැනි පොලී මුදල් ගෙවීමට පුළුවන්කමක්‌ නැති නිසා අද සක්‌විති රණසිංහ සිඟන්නෙක්‌ බවට පත්වීම ගැන පුදුමයට පත්විය යුතු නැති බව ද ඔහු පෙන්වා දුන්නේය.


ලංකාවේ මිනිසුන් හිඟන්නන් වීමේ රහස ද මෙම අදහස තුළ සැඟවී තිබේ.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. මේ සටහන පසුපස ඇත්තේ සක්විති ගෙනගිය ක්‍රියාවලිය පිළිබඳ ඔබේ ඇති නොදැනුවත්කමයි. ඔබට පමණක් නොව මහ බැංකුවේ 'උගත්' මහත්වරුන්ටද වැරැදී ඇති නිසා එය පුදුමයක් නොවේ. මේ අය දන්නේ පොතේ අර්ථ ශාස්ත්‍රයයි. එයින් පිට බොහෝ දේ සිදුවන බව ඔවුහු නොදනිති.

    සක්විති ගෙනගියේ පොන්සි ස්කීම් එකක් නොවේ. එය පොන්සි ස්කීම් එකක් නම් ඔහු කඩා වැටෙන්නේ මීට පෙරාතුවය. පොන්සි ස්කීම් එකක් දිගු කල් ගෙන යා නොහැකි බව මහ බැංකුවේ උගත් මහත්වරු නොදනිති.

    සක්විති ක්‍රියාත්මක වූයේ මහ බැංකුවේ මහත්වරුන් නොදන්නා අඩවියකය. ඔහු මූල්‍ය ක්‍රමයට (financial system) ඇතුළු වූයේ වත් නැත. එසේ වී නම් ඔහුට කවරදාකවත් මසකට 6%-8% ගණනේ පොළිය දීමට හැකි වන්නේ නැත.

    සක්විති ක්‍රියාත්මක වූ යුගය රටේ ඉදිකිරීම් (constructions) බහුලව සිදුවූ සමයක් විය. මේ ඉදිකිරීම් සඳහා මහා පරිමාණයෙන් running cash අවශ්‍යය. මුදල් නොමැති කම නිසා ඇතිවන දවසක පමාව වුව ඉදිකිරීමක අති විශාල පාඩුවක් ඇති කරයි. සක්විති ගිනි පොළියට ණයට දුන්නේ මේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ටය. එනිසා ඔහුගේ තැන්පත්කරුවන්ට ලොකු පොළියක් දීමට සක්විතිට පුළුවන්කම ලැබුණේය. (සම්මත මූල්‍ය ක්‍රමයෙන් පිට මෙවැනි ගනුදෙනු සුලබය. මහ බැංකුවේ ආර්ථික විද්‍යා උගතුන් පිටකොටුවට ගියොත් වෙළඳුන් අතර overnight interest rates ගැන අසා ක්ලාන්තය හැදී වැටෙනු ඇත.)

    සක්විතිගේ වරද මේ සෙල්ලම හැමදා කළ හැකි දෙයක් බව ඔහු උපකල්පනය කිරීමයි. එය ඔහුගේ ගොන් කමය. අනෙක් අතට ඔහුගේ තැන්පත්කරුවන්ද තමන් ගන්න අවදානම ගැන දැන නොසිටි බව සිතිය නොහැකිය.

    සක්විති කළේ වැරැදි වැඩක් වුවද මහ බැංකුව මීට ඥානාන්විතව මැදිහත් වී නම් සක්විතිට කෙසේ වෙතත් ඔහුගේ තැන්පත්කරුවන්ට හා ඔහු වැනි අනෙකුත් 'බැංකු කරුවන්ගේ' තැන්පත්කරුවන්ට මීට වඩා හොඳ විසඳුමක් ලැබෙන්නට ඉඩ තිබුණේය. දැන් ඒ සියල්ල අතීතයයි.

    මේ සටහනද මීට සම්බන්ධය.http://taboosubjects.wordpress.com/2009/06/15/01-9

    ReplyDelete
  2. මෙ ලිපියේ ගත යුත්තක් ඇත...විස්තර වන පරිදිම ලංකා ආණ්ඩුව හැසිරෙන්නේ සක්විති මෙන් නොව වඩා විශාල වපසරියකය. ක්ෂණික බියක් අවැසි නොවන්නේ අනෙකුත් ඌන සංවර්ධිත රටවලද තත්වය මෙයම වන බැවිනි.මෙම ස්තම්භ(pillars)මත ගොඩ නැගුනු බටහිර සංවර්ධිත රටවල් ස්තම්භ්හයන් වෙව්ළුම් කෑමෙදී සලිත වෙයි. පැලැස්තර වැනි වූ හෝ විසදුම් මගින් ස්තම්භ්හය ආරක්ෂා කරයි. මඟ හැරිය නොහැකි සත්‍යයනම් ජනතාව දිනෙන් දින අසරණ වන බවයි.

    ReplyDelete
  3. විශාල පොලී දෙන භාණ්ාඩාගාර බිල්පත් ගන්නට යයි පිට රටවල ඉන්නා මිණිස්සුන්ට පසුග්‍රි දවස්වල ආණ්ඩුව කියමින් හිටියා. කී දෙනෙක් රැවටුනාද මන්දා?

    ReplyDelete
  4. @කතන්දරකාරයා,

    හවස් වන විට ත්‍රීවීල් කරුවෝ රුපියල් දෙසීයේ දුර සීයට දුවති. පේව්මන්ට් එකේ එළවළු වෙළෙන්දෝ දවල් විකුණූ මිළෙන් භාගයකට විකුණති. මේ ලාභය තකා කෙරෙන ගනුදෙනු නොවේ. එදා වේල රන් කිරීමට 'කීයක් හෝ හොයා ගන්නට' දරණ උත්සාහයන්ය. ලාභය යකාට ගියාවේ, අතේ මිටේ කීයක් වත් නැත්නම් දරු පවුලම බඩ ගින්නේය.

    ලොකු පොලියක් දෙන්නම් කියා මහ බැංකුව අනේවාසික ශ්‍රී ලාංකිකයන්ට භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන ලෙස ඉල්ලුවේ අපේ ආණ්ඩුවටද එදාවේල සොයා ගැනීමේ ප්‍රශ්නයක් ඇතිවූ නිසාය. නැතුව රැවැටීමකට නොවේ ඩොලර් වලට 4% යනු ලොකු පොලියකි. මෙයින් බඩට වැදෙන්නට තිබුණා නම් ඒ නේවාසික අපගේ මිස අනේවසිකයන්ගේ නොවේ.

    - Taboo

    ReplyDelete
  5. taboo ගේ "සක්විති ගෙනගියේ පොන්සි ස්කීම් එකක් නොවේ"යන්න යම් දුරකට නිවැරිදිය නමුත් සක්විති ගෙනගියේ පොන්සි ස්කීම් එකකට බෙහෙවින සමාන "A bubble" එකකි. pyramid scheme, "Robbing Peter to pay Paul" වැනි දේ bubble ‍මෙන් පොන්සි ස්කීම් එකකට සමාන යම් දුරකට වෙනස් දේවල්ය.bubble එක වෙළද පොලේ සිදුවන නිරන්තර මිළ ඉහල යෑමක් සම්බන්ද කර ගනී.මෙහිදී සක්විති නිවාස වෙළද පොලේ මිල ඉහලයෑමට සම්බන්ද කර තම ව්‍යාපෟතිය ගෙනගියද අවසානයේ පොන්සි ස්කීම් එකක ලාක්‍ෂණික ගතියක් වන "The promoter will vanish" පෙන්වමින් අතුරුදහන් විය.bubble එක වෙළද පොලේ නිවාස මිල ඇත්ත වටිනාකමට වඩා ඉහල ගිය පසු යම් මොහොතක බිද වැටේ නමුත් පොන්සි ස්කීම් මෙන් කිසිවෙකු තවකෙකු රැවටීමක් නැත. සක්විති "A bubble" සහ පොන්සි ස්කීම් hybrid කර අතුරුදහන් වී "සක්විති ස්කීම්" හදුන්වා දෙනලදී.

    ReplyDelete
  6. @උදිත,

    බොහෝ දුරට එකඟයි. මේ ටිකද එක් කරමි.

    සක්විති වෙන රටක තම "සාධාරණ" ව්‍යාපාරය ගෙන ගියා නම් ඔහුට සැඟවෙන්නට වන්නේ නැත. විය හැකිව තිබුණු ලොකුම දෙය ඔහු බංකොළොත් වී අන්ත දුගියකු බවට පත්වීමයි. ඔහුගේ ගනුදෙනුකරුවන්ට තම අලාභය විඳ දරා ගැනීමට සිදුවනු ඇත. දැඩි අවදානමක් ගැනීම ඔවුන් කැමැත්තෙන් කළ නිසා හා ඔවුන්ගෙන් කොටසක් දැනටමත් තම ආයෝජනයට සරිලන හා ඉක්මවා යන ප්‍රතිලාභ විඳ ඇති නිසා (කවුරුත් ඒ ගැන කියන්නේ නැත!) එය අසාධාරණය එකහෙළා කිව නොහැකිය.

    සක්විති හිටියේ ඇමෙරිකාවේ නොව ලංකාවේ නිසා ඉදිකිරීම් වෙළඳපළ කඩා වැටෙද්දී ඔහු ඊටත් වඩා දැඩි අවදානමක් ගත්තේය. ඒ නැතිවූ මුදල් සොයා ගැනීමට සූදු කෙළීමට පටන් ගැන්මයි. ඔහු ඉන් පරාද විය. මේ ඔහු අතින් සිදුවූ දෙවන විශාලතම වරදයි. රටින් පනින්නට ඔහුට සිදුවූයේ එනිසාය. (ඒ මදිවාට මේ මැට්ටා පොලිසියේ ලොකු මහත්තුරුන් කීප පොළකගේම තැන්පතු ගෙන තිබුනාලු.)

    සක්විති කළ ව්‍යාපාරයම සාර්ථක ලෙස කළ, එහෙත් මුදල් වංචා කළැයි කිසිම චෝදනාවකට ලක් නොවූ තව බොහෝ දෙනෙක් සිටිති. දඬුවම් මුදලාලි මේ ගේම අවුරුදු විස්සක් ඇදෙගෙන ගියේය. මහ බැංකුව ඔහු මාරුවේ නොදමන්නට ඔහු තව දුරටත් ඒ ගේම ඇදෙගෙන යනවා ඇත.

    අපේ සමාජයේ ඇති වැරදි මතයක් නම් තැන්පතු ලෙස මුදල් ගන්නා කෙනකු අනිවාර්යයෙන්ම ඒ මුදල් ආපසු දීමට බැඳී සිටින බව හැමදෙනකුම උපකල්පනය කිරීමයි. මෙය වැරදිය. හැම තැන්පතුවක්ම අවදානමකි. ප්‍රතිලාභ වැඩි තරමට අවදානම ඉහළ යයි. දැඩි අවදානම් ගන්නා පුද්ගලයින් ඉඳහිට තම මුදල් අහිමි වීමේ අවස්ථාවට මුහුණ දිය යුතුය. (රැකියාවේ දැඩි අවදානම් ගන්නා කම්කරුවන් උසකින් වැටී මියයාම දුලබ නොවේ.) මීට සක්විතිට බැන ඵලක් නැත.

    මගේ නිගමනය නම් සක්විති මැට්ටකු මිස හොරකු නොවන බවයි. ගනුදෙනු කරුවන් රැවැටීම අතින් මහජන බැංකුව මහ බැංකුව හා එක්ව සක්විතිට වඩා ලොකු හොරකම් කර ඇත. මේ එකකි. http://taboosubjects.wordpress.com/2009/08/28/01-20

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා