කෑම සීල් තියන කොමිෂන් හා Do No Harm Policy

 



මේ වෙලාවේ මැතිවරණ කොමිෂන් සභාව හා කොමසාරිස්වරයා කටයුතු කරන ආකාරය අනුව, අම්පයර්ලා ද ෆීල්ඩිං කරමින් ‘කැච් අල්ලන’ තත්වයක් නිර්මාණය වී තිබේදැයි සැකයක් මතු වේ.

ප්‍රජාතන්ත්‍රවාදය උස්මුරුත්තා වී සිටින ලාංකිකයන්ට බටහිර ප්‍රමිතියක් උගැන්වීමට අදහස් කරමි. ඒ වනාහි ඩූ නෝ හාම් පොලිසි හෙවත් කිසිවකුට කිසිදු හානියක් සිදු නොකිරීමේ ප්‍රතිපත්තියයි.

මැතිවරණ රැස්වීම්වලට එන අය කවුන්සිලේට ගිහින් කාර් පර්මිට් ගන්නේවත්, ඔය රාජ්‍ය නිලධාරීන් මෙන් විශ්‍රාම යන විට පාවිච්චි කළ වාහනය මහජන මුදලින් අලුත්වැඩියා ද කරගෙන ගෙදර ගෙන යන්නේවත් නැත. ඔවුන් ඡන්ද රැස්වීම්වලට එන්නට ඕනෑ අතින් කයිට් කරගෙනය. දවසේ රැකියාවට ද බාධා සිදු වේ. එමෙන්ම, වතුර බෝතල්, බත්මුල් අතින් කටින් ඩැහැගෙන ආවත්, ඔය රැස්වීම් පවත්වන තැන්වල ඒවා කන්නට බොන්නට තියා එළිබහින්නටවත් තැනක් නැත.

එහෙම මිනිසුන්ට කන්නට කෑම වේලක්, බොන්නට බීමක්, ගමන් ගාස්තුවක්, යන්නට එන්නට වාහනයක් පමණක් නොව දවසේ අහිමි වූ ආදායම වෙනුවෙන් යම් ගෙවීමක් කිරීම ද අතිශය සාධාරණය.

එහෙත්, කෑම බීම, බඩු පාර්සල් ආදිය ලබා දෙන්නේ හුදෙක් සහභාගී වන්නන් ආකර්ශනය කරගැනීම සඳහා නම් එය සාධාරණ මැතිවරණවලට බාධාවක් ලෙස සැලකිය හැකිය.

මේ වන විට රාජ්‍ය නොවන සංවිධාන නම් ඔය සහභාගී වන්නන්ට ගෙවීම් කිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරති. ඒ ගැන ඔය කොමිෂන් සභාවල මහත්තුරුන් දන්නේ නැති වන්නට බැරිය. මක් නිසාද යත්, ඒ මහත්වරුන් ද ඡන්දදායකයන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතිවල සම්පත් දායකයන් ලෙස කටයුතු කරන ආකාරය අපි දැක ඇත්තෙමු. කොමසාරිස්වරුන් කටයුතු කරන ආකාරය අනුව ඒවා ඉතින් ගෙදරින් බත්මුල බැඳගෙන ඇවිත් කාලා, යාළුවකුගේ, නෑදෑයකුගේ ගෙදරක හෝ පන්සලක නතර වී හිඳ ඇවිත් කරන ‘සේවාවන්’ වන්නට ද පුළුවන.

දේවානම්පියතිස්ස රජතුමා මුවාට විදින්නට පෙර දුනුදිය හැඬවූයේ ආහාර ගනිමින් සිටින සතකුට විදීම දඩයම් ආචාර ධර්මවලට පටහැණි නිසාය. මිනිසුන්ට කන්නට පිසූ ආහාරවලට සීල් තියන රාජ්‍ය නිලධාරීන් ඊට වඩා අවධානය යොමු විය යුතු උල්ලංඝනයන් දකින්නේ නැත්තේ ඇයි? ත්‍රිරෝද රථවල ස්ටිකර් අලවාගෙන, ටීෂර්ට්, පෝස්ටර්වල අපේක්ෂක රුව ප්‍රදර්ශනය කරමින් හා සමාජ මාධ්‍යවල සෙසු අයට තර්ජනය කරමින් කරන දේ දකින්නේ නැත්තේ ඇයි?

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න