මොකක්ද මේ ISB ණයවලට වෙන්න යන්නෙ?

 

අජිත් පැරකුම් ජයසිංහ

(ආර්ථික විශ්ලේෂකයකු නොවේ. ජනමාධ්‍යකරුවකු ලෙස මෙය තේරුම් ගැනීමට දරන ලද උත්සාහයකි.)

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 14.2ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන්ගේ සාමූහිකයන් දෙකක් සමග එකඟතාවකට පැමිණ තිබෙනවා. එම එකඟතාව වසරකට වැඩි කාලයක් තිස්සේ කළ දුෂ්කර සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක්. මේ සම්බන්ධ මූලික එකඟතාවකට පසුගිය ජුලි මාසයේදී එළැඹුණා.

සෙසු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් ද එයට එකඟ වනු ඇති. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණයට (DSA) හා විස්තීර්ණ අරමුදල් පහසුකමේ (EFF) රාමුවට එකඟයි. පැරිස් සමාජය හා චීනය වැනි සෙසු ද්විපාර්ශ්වික ණය හිමියන් විසින් ද එය අනුමත කරනු ඇති. ඔවුන්ට විරුද්ධ වීමට හේතු වන වෙනස් අන්දමේ සැලකීමක් මෙහිදී සිදුවන්නේ නැහැ.

මේ වන විට පැරිස් සමාජයේ හා චීනයේ ද්විපාර්ශ්වික ණය හිමියන් සමග ගිවිසුම්වලට එළැඹී තිබෙනවා.

මෙම එකඟතාව අනුව, ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේක්ෂිත තරමේ වර්ධනයක් ලබාගතහොත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණයවලින් 40.3%ක් උපරිම වශයෙන් කප්පාදු වෙනවා. එමගින් ශ්‍රී ලංකාවට ණය සම්බන්ධ වගකීම් දැරීමට හැකි වන එක තමයි අපේක්ෂා කරන්නේ.

මෙහිදී මුලින් සිදු වන ණය කප්පාදුව ඩොලර් බිලියන 3.2ක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළාට වඩා හොඳින් වර්ධනය වුණොත් එය ඩොලර් බිලියන 2 දක්වා අඩු වෙනවා. ආර්ථික වර්ධනය පිරිහුණොත්, කප්පාදුව ඩොලර් බිලියන 4.6ක් දක්වා වැඩි වෙනවා.

ඩොලර් මිලියන 12,550 ක පැහැර හරින ලද බැඳුම්කර වෙනුවට ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 9,158 ක මුහුණත වටිනාකමින් යුත් අලුත් බැඳුම්කර නිකුත් කරනු ඇති.

2029 මාර්තු 31 සිට 2038 මාර්තු 31 දක්වා කාලය තුළ බැඳුම්කර මිලියන 650 සිට මිලියන 1,196 දක්වා ප්‍රමාණයක් කල් පිරෙනවා. ඒවාට මොකක්ද කරන්නෙ?

2034 මාර්තු 31 සහ 2035 මාර්තු 31 දින කල් පිරෙන බැඳුම්කර දෙකක් රාජ්‍ය පාලනය සමග සම්බන්ධිත බැඳුම්කර බවට පරිවර්තනය කරනවා. එහිදී ශ්‍රී ලංකාවේ පාලනයට සම්බන්ධ යම් කාර්ය සාධන දර්ශකයන් වැඩි දියුණු වුවහොත් පොළී අනුපාතිකය අඩු වෙනවා. මේ දර්ශකයන් මොනවාද දන්නවාද? විනිවිදභාවය, දූෂණය නැති කිරීම වැනි දේ.

පසුගිය සමයේ ශ්‍රී ලංකාව නොගෙවූ පොළිය ඩොලර් මිලියන 1,678ක්. ඒවා අලුත් බැඳුම්කර බවට පරිවර්තනය කරනු ලබන අතර, ඒවාට ද 11%ක ඩිස්කවුන්ට් එකක් ශ්‍රී ලංකාවට හිමි වෙනවා. පොළිය 4%ක්.

ජාතික ආණ්ඩු විසින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නිකුත් කරන්නේ යටිතල පහසුකම් සංවර්ධනය, අයවැය හිඟය සහ පවතින ණය ප්‍රතිමූල්‍යකරණය වැනි විවිධ අරමුණු සඳහා ප්‍රාග්ධනය රැස් කිරීම සඳහායි. ISB නිකුත් කිරීම සාමාන්‍යයෙන් කළමනාකරණය කරනු ලබන්නේ ප්‍රබල ආයෝජන බැංකු සමූහයක් මගිනුයි. ඔවුන් බැඳුම්කර සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමට සහ ඒවාට සුදුසු මිල නියම කිරීමට රජයන්ට උපකාර කරනවා. පහත දැක්වෙන්නෙ එවැනි බැංකු කීපයක්.

Citigroup
Goldman Sachs
JPMorgan Chase
Morgan Stanley
UBS

මේ ණය ගෙවීම පැහැර හැරියාම රටක් බංකොලොත් ලෙස සැලකෙනවා. ජාත්‍යන්තර ණය දර්ශකවල පහළටම ඇද වැටෙනවා. තවදුරටත් ණය ගන්නට බැරි වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධානවල සම්බාධකවලට රට යටත් විය හැකියි. වෙළඳාම සහ ආයෝජන සීමා කිරීම් මෙම සම්බාධකවලට ඇතුළත් විය හැකිය. ඒ වගේම ආයෝජක විශ්වාසය නැති වෙනවා. අනුර කියන ඩොලර් ඉපැයීම ණය පැහැර හැරලා කරන්න බැහැ. ඔහු කියන පරිදි තමන් කැමති සමාගම්වලට විතරක් ආරාධනා කරන්න පුළුවන් වෙයිද එහෙම රටකට? ISB ණය නොගෙවන රටවලට විශාල අපකීර්තියක් ඇති වෙනවා.

ගමේ ගොඩේ වුණත්, අනුන්ගෙන් ණය අරගෙන නොගෙවා ඉන්න මිනිසුන්ට කිසිදු පිළිගැනීමක් නැහැ. මේ ණය වැඩි හරියක් ගත්තෙ අනුරලා මහින්ද රාජපක්ෂ එක්ක එකතු වෙලා පුළුල් කරපු රාජ්‍ය අංශය නඩත්තු කරන්න. ඒ වෙනුවෙන් ගත් ණය ගෙව්වෙත් ණය අරන්.

මේ ISB ණය ගෙවීම අත්හිටුවා ද්විපාර්ශ්වීය ණය පිළිබඳ එම රටවල් සමග සාකච්ඡා කළ යුතු යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මීට අවුරුද්දකට කලින් කීවා. ණයවලින් කොටසක් ගෙවීම ප්‍රතික්ෂේප කර සෙසු ණය විතරක් ගෙවාගෙන යාමට හෝ ප්‍රතිව්‍යූහගත කරගැනීමට හැකි යයි සිතීම හිතලුවක් විතරයි. චීනය වගේ රටක් නම් සමහර විට මේකට කැමති වේවි. තමන්ගේ ණය ආපසු ගෙවන්නට අලුත් ණයක් දෙන්නට එකඟ වනු ඇතැයි සිතන්නට පුළුවන්. අපට තියෙන එකම පිහිට චීනය විතරක් වුණොත් යසට තියෙයි. ලංකාව චීන කොලනියක් වෙයි.

මේ විදියේම ණය අර්බුදයකින් දැන් මාලදිවයින අමාරුවේ වැටිලා. ණය ගෙවන්නට උදව් ගන්නට මාලදිවයින් ජනාධිපතිවරයා යන්නෙ තමන් කලින් දැඩිව විවේචනය කළ ඉන්දියාවට. චීනය පවා කියන්නට ඇති ඉන්දියාවට යන්නය කියලා. මාලදිවයිනට ලංකාව උදව් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙරණ අංශක 360 වැඩස්‍ටහනේදී පැවසුවා.

ණය නොගෙවා සිටියොත් කුමක් වෙයිද? (උපුටා ගැනීම බංකොලොත් වීම හා ගොඩඒම: ජාත්‍යන්තර අත්දැකීම් පොතෙන්)

ISB ණය නොගෙවන රටවලට විශාල අපකීර්තියක් ඇති වේ. ගමේ ගොඩේ වුණත්, අනුන්ගෙන් ණය අරගෙන නොගෙවා ඉන්න මිනිසුන්ට කිසිදු පිළිගැනීමක් නැත. 1999 සිට ගත් ණයවලින් 74%ක් වැය වී ඇත්තේ පොළී ගෙවීමට හා විනිමය අනුපාතික වෙනස් වීම හේතුවෙන් ඇති වන පාඩු පියවා ගැනීමට බව පසුගියදා ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දුන්නේය.

ණයවලින් කොටසක් ගෙවීම ප්‍රතික්ෂේප කර සෙසු ණය විතරක් ගෙවාගෙන යාමට හෝ ප්‍රතිව්‍යූහගත කරගැනීමට හැකි යයි සිතීම හිතලුවකි. චීනය වැනි රටක් නම් සමහර විට මෙයට කැමති විය හැකිය. තමන්ගේ ණය ආපසු ගෙවන්නට ඔවුන් අලුත් ණයක් දෙන්නට කැමැත්තක් ද පෙන්නුම් කළහ. ලංකාවට ඇති එකම පිහිට චීනය පමණක් වුවහොත්, ශ්‍රී ලංකාවට චීනයට දැඩිව යටත් වීමට සිදු විය හැකිය.

ලෝක ප්‍රසිද්ධ බංකොලොත්භාවයකට පත් වූ  ග්‍රීසිය දැනුත් තමන් නොගෙවා පැහැර හැරි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවමින් සිටින අතර ඔවුන්ගේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ ගොස් දැන් නැවතත් ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ණය ගැනීමේ හැකියාව ලැබී තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගෙවීම සම්පූර්ණයෙන්ම පැහැර හැරියොත් ආයෝජන ආරවුල් විසඳීම සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICSID) වැනි ජාත්‍යන්තර උසාවිවල ISB ණය ගෙවීම පැහැර හරින රටවලට එරෙහිව නඩු පැවරිය හැකිය. බැංකු නඩු දිනුවොත්, ණය පැහැර හැර ඇති ISB ප්‍රමාණය සහ පොලී සහ නෛතික ගාස්තු අය කරගැනීමට ඔවුන්ට හැකිය.

ඒ වන්දිත් ගෙවන්නේ නැතිනම් රටවල වත්කම් අත්පත් කර ගැනීම දක්වා යන්නට ද ඔවුන්ට හැකිය. ISB ණය ආපසු ගෙවීම පැහැර හරින රටවල බැංකු ගිණුම්, රජයේ ගොඩනැගිලි සහ විදේශ විනිමය සංචිත වැනි වත්කම් බැංකුවලට අත්පත් කර ගත හැකිය.

උදාහරණයක් ලෙස, 2018 දී, Aurelius Capital Management විසින් එක්සත් ජනපද ෆෙඩරල් උසාවියේ වෙනිසියුලාවට එරෙහිව නඩු පවරා ඩොලර් මිලියන 600ක වන්දියක් දිනාගත් අතර නඩුව තවමත් අවසන් නැත. Aurelius Capital Management විසින් වෙනිසියුලාවේ වත්කම් අත්පත් කර ගැනීමට උත්සාහ කරයි.

එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපීය රටවල් කිහිපයක් වෙනිසියුලාව සමඟ ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවා එරට රජයට සම්බාධක පනවා තිබේ. කෙසේ වෙතත්, රුසියාව, චීනය සහ ඉරානය වැනි රටවල් වෙනිසියුලාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දිගටම පවත්වාගෙන යයි.

ඇමරිකානු ජනපද සංවිධානය (OAS) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන කිහිපයක වෙනිසියුලාවේ සාමාජිකත්වය ද අත්හිටුවා ඇත. කෙසේ වෙතත්, වෙනිසියුලාව නොබැඳි ව්‍යාපාරයේ සාමාජිකයෙකි.

Asdapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා