ජනාධිපතිවරණයේදී උතුරේ මොකක් වෙයිද?

 

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය සහ කිලිනොච්චි යන පරිපාලන දිස්ත්‍රික්ක දෙක ඇතුළත් යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් තරග කළහ. මෙහිදී දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ සියල්ලම තරග කරන ලද්දේ ඉලංකෛ තමිළරසු පක්ෂය යටතේ වන අතර, එම පක්ෂය එහිදී ලබාගත්තේ ඡන්ද 112,967 ක් පමණකි. එය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 31.46% කි. ඛෝනස් ආසනයද සමග එම සන්ධානයට හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 3 කි.

දෙමළ ජාතික සන්ධානය අද බිඳී විසිරී ගොස් ඇති අතර එහි ප්‍රධාන පක්ෂය වන ඉලංකෛ තමිළරසු පක්ෂය පමණක් මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව සැප්තැම්බර් 16 වනදා ප්‍රකාශ කරන ලදී. එහෙත් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු ක්‍රියාකාරීන් රාශියක් ඒ තීරණයට එකඟ නොවන බව ප්‍රකාශ කොට ඇත. පක්ෂයේ නායකත්වය සඳහා වූ නිලවරණයේදී එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා පරාජය කරමින් නායකත්වයට පත්වූ එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ තමා සහය ලබා දෙන්නේ දෙමළ පොදු අපේක්ෂක අරියනේත්‍රන් මහතාට බවයි. තවත් මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 49,373 ක් හෙවත් 13.75% ක් ද, ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුතු ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නොහොත් ඊපීඩීපී පක්ෂය ඡන්ද 45,757 ක් හෙවත් 12.75% ක්ද ලබා එක් මන්ත්‍රී ධුරය බැගින් ලබා ගත්තේය. එම කණ්ඩායම් දෙකම සහාය දක්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය.

සී. වී. විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතු තමිළ් මක්කල් තේසීය කුට්ටනි හෙවත් දෙමළ ජනතා මහජන පෙරමුණ ඡන්ද 35,927 ක් හෙවත් 10% ක් ලබා ගෙන එක් මන්ත්‍රී ධුරයක් ලබා ගත්තේය. එම පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ සෙසු සාමාජික පක්ෂ මෙන්ම ඉලංකෛ තමිළරසු පක්ෂයේ නායකත්වයට පත්වූ එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ද ප්‍රකාශ කරන්නේ දෙමළ පොදු අපේක්ෂක අරියනේත්‍රන් මහතාට සහය ලබා දෙන බවයි.

ගජන් කුමාර් පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුත් අහිල ඉලංකෛ තමිළ් කොන්ග්‍රස් පක්ෂය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 55,303 ක් හෙවත් 15.4% ක් ලබා එක් මන්ත්‍රී ධුරයක් දිනා ගත්තේය. එම පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය වර්ජනය කළ යුතුය යන ස්ථාවරය දරයි.

මේ වන විට උතුරේ දෙමළ දේශපාලනඥයන් රැසක් රනිල් වික්‍රමසිංහට සහාය පළ කර ඇත. ඒ අතර, ඊපීඩීපී හා ශ්‍රීලනිප ප්‍රධානය. ඉලංකෛ තමිල් අරසු කච්චි වැඩි පිරිසක් ද සහාය දෙන බව පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහටය. සුමන්තිරන් ප්‍රමුඛ ඉලංකෛ තමිල් අරසු කච්චි සජිත් ප්‍රේමදාසට නිල වශයෙන් සහාය පළ කර ඇත. එහෙත්, උතුරේ දෙමළ වැසියන්ගේ ඡන්දය දීමේ රටාව අනුව මෙවර වැඩි ඡන්ද ප්‍රමාණයක් උතුරෙන් ලබාගන්නා බව පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා