සම්මාන හා ඉතිහාසගත නොවීම

 

අජිත් පැරකුම් ජයසිංහ

සම්මානයක් ලැබෙන එකත් මරු වැඩක්. වෙනදා මාව පයිසෙකටවත් ගණන් ගන්නෙ නැති හුඟදෙනෙකු අද මට සුබපැතුවා. සතුටුයි. ස්තුතියි.

ඒ වුණාට, හෙට ඉන්නෙත් ඊයේ හා අද හිටපු මංම තමයි. සම්මාන වෙනුවෙන් ජීවත් නොවන නිසා හෙටත් මං ඊයේ ලියපු ජාතියෙ ඒවම තමයි ලියන්නෙ.

විදර්ශන සාහිත්‍ය උළෙලට ස්තුතියි. අත් පිටපතේ නම සඳහන් නොවුණ නිසා සහ කෙටිකතා විනිශ්චය මණ්ඩලය නිසා තමයි මේ දුර එන්නට ලැබුණෙ.

මේ කෙටිකතා එකතුවට වඩා මා පෞද්ගලිකව කැමති විදර්ශන සාහිත්‍ය සම්මාන වෙනුවෙන් දිගු ලැයිස්තුගත වූ ‘අරුණෝදාකරුවෝ #Dawbreakers’ නවකතාවටයි. එය මා මුලින්ම ලිව්වේ ඉංග්‍රීසි බසින්. සිංහල බසින් නැවත ලියන ලද එම නවකතාව විදර්ශන ප්‍රකාශනයක් ලෙස ඉදිරියේදී පළ වීමට නියමිතයි.

විදර්ශන සාහිත්‍ය උළෙලෙන් ලැබුණු තෑගි මුදල පාවිච්චි කරලා ‘ඒ අතේ මල් මිටකි’ කාව්‍ය සංග්‍රහය හෙට අනිද්දාම පළ කරනවා.

බංකොලොත් වූ රටවල අත්දැකීම් අළලා මා ලියූ ‘බංකොලොත් වීම හා ගොඩ ඒම; ජාත්‍යන්තර අත්දැකීම්’ නම් පොත ලබන සතියේ We Have a Dream ප්‍රකාශනයක් ලෙස පළ වීමට නියමිතයි.

‘Strengthening Sri Lanka’s Social Safety Nets: A Comprehensive Analysis and Path Forward’ කෘතියේ පරිවර්තනය ‘අස්වැසුම ඇස්වැසුමක්ද? ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ජාල පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් සහ ඉදිරි මාවත’ යන නමින් Right to Life Sri lanka ප්‍රකාශනයක් ලෙස මේ මාසයේ පළ වීමට නියමිතයි.

උද්දේශනය පිළිබඳ පොතක් ලියමින් ඉන්නවා. එයට අවස්ථාව ලබා දුන් Right to Life Sri lanka ආයතනයට ස්තුතියි.

වෙනත් ආයතනයකට පරිවර්තනය කර දුන් ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් මහතාගේ ‘India Way’ ඉන්දීය මාවත ලෙස පළ වීමට නියමිතයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී මා සහයෝගය දෙන්නේ රනිල් වික්‍රමසිංහටයි. එයට හේතුව, ලංකාවේ සමාජ සංවර්ධනය සඳහා ඉවහල් වන පරිදි ධනේශ්වර ක්‍රමය තිරසර අන්දමින් ප්‍රතිව්‍යූහගත කිරීමේ හැකියාව ඇති නායකයා ඔහු වීමයි.

මගේ අයිතියක් වන ඒ තීරණය නිසා මා සමග බද්ධ වෛරයකින් කටයුතු කරන අය නිසා මෙසේ ලේඛකයකු වීමට තීරණය කළ බව ප්‍රසිද්ධියේ කියමි. මට එරෙහිව වෛරය මුදාහරින අය ද මේ ව්‍යායාමය තුළදී පාවිච්චි කළෙමි. නැතිනම්, මට ඕවායින් ඇති වැඩක් නැත. අදත්, හෙටත්, මගේ ප්‍රධානතම ප්‍රකාශන අවකාශය ජනමාධ්‍යයි. මම කලාකරුවෙකු නොවෙමි. දේශපාලනික පුරවැසියකු පමණක් වෙමි.

ඉතිහාසගත වන්නට මගේ බලාපොරොත්තුවක් නැත. අපේ යුගයේ ඉතිහාසගත වන්නට සිතාගෙන සිටින වැඩි දෙනෙකු ද ඉතිහාසගත වන්නේ නැත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා