අනුරගේ අනුහස් පුතා හා මනෝරංජන් දෙමළෙන් කතා කළ හැටි

 

– අජිත් පැරකුම්

අනුරගෙ රැස්වීමෙදි නැති වෙලා හමු වුණ අනුහස් පුතා නිසා පරණ කතාවක් මතක් වුණා. මතකද, 1994 චන්ද්‍රිකාගෙ සුදු නෙළුම් සාම කාලෙ එස්. මනෝරංජන් කියල හාදයෙක් හිටියා.

ඒ කාලෙ අපටත් ඔය රාජ්‍ය නොවන සංවිධාන සෙල්ලං ගැන වැඩි අවබෝධයක් නැහැ. රාජ්‍ය නොවන සංවිධාන කට්ටිය රඟන්නෙ ඒගොල්ලන්ට කවුරුවත් සල්ලි දෙන්නෙ නැහැ, ගෙදරින් ගෙනත් තමයි වැඩ කරන්නෙ වගේ. රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘතිවලට සේවය කරන අයට දැන් වගේ ගෙවන්නෙ නැහැ. ඒ කාලෙ අපි අවංක පල් මෝඩයන්. මාත් අතින් වියදං කරගෙන පදවිය පැත්තෙ ඔය සාම රැස්වීම් ගණනාවක් සංවිධානය කළා.

පාසල් කීපයක සංවිධානය කරපු සාම රැස්වීම්වල ප්‍රධාන කථිකයකු වුණේ එස්. මනෝරංජන්. ඒ දවස්වල මෑන්ගෙ කකුලක් මොනවා හරි වෙලා මිනිහා ආවෙ කිහිලිකරුවලින්. හිටපු දෙමළ සටන්කාමියකුගෙ පෙනුම තමයි එතකොට තිබුණෙ. කතා කළේ යුද්ධයෙන් දෙමළ ජනතාවට වෙන අසාධාරණකම් ගැන.

එයා රඟපෑවෙ උතුරු නැගෙනහිර යුදබිමේ ඉඳල ආපු කෙනෙකු වගේ. ඒ විස්තර කිව්වෙ පණ පිහිටුවලා.

පාසලක රැස්වීමකදි මනෝරංජන් කතා කළාට පස්සෙ චිට් එකක් ආවා ස්ටේජ් එකට. ළමයෙකු ඉල්ලනවා මෙහෙම. ‘මනෝරංජන් අයියේ, අපි කවදාවත් දෙමළ කෙනෙක් දෙමළෙන් කතා කරනවා අහල නැහැ. ටිකක් දෙමළෙන් කතා කරලා පෙන්නන්න.’ එතකොට මනෝරංජන් දෙමළෙන් කතා කරලා පෙන්නුවා. හරිම සංවේදීයි.

ඊළඟ ඉස්කෝලෙ රැස්වීමෙදිත් මේ වගේම චිට් එකක් ආවා කියන්නකෝ. මට ටිකක් කුකුසක් ඇති වුණා. ඊළඟ ඉස්කෝලෙ රැස්වීමෙදි බලනකොට මනෝරංජන් එක්ක එන පිරිසෙ කෙනෙකු තමයි ඒ චිට් එක දෙන්නෙ.

පස්සෙ බලනකොට මනෝරංජන් යුද බිමේ නෙමෙයි ඔය කඳුරට පැත්තෙ හාදයෙක්. නමත් මනෝරංජන් නෙමෙයි. මොනවා හරි දූෂණ චෝදනා වගයකුත් එල්ල වෙලා, ඒ කාලෙ හිරු පත්තරෙන් හෙන ප්‍රහාරයකුත් එල්ල වෙලා, අන්තිමට මෑන් ලංකාවේ සාමය ගොඩනැගීම පැත්තක තියලා කොහේ හරි රටකට ගිහින් එසයිලම් ගහගෙන දැන් කඩේ වහලා එහෙ ඉන්නවා.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා