කම්කරුවනි, පාලක මධ්‍යම පන්තියට විරෝධය පළ කරන්නට මැයි දිනය වර්ජනය කරමු

කම්කරු දිනය අභිචාරයක් කරගෙන සමරමින්, තමන්ගේ බලය පෙන්වීමට උත්සාහ කරන මධ්‍යම පන්තික පක්ෂ හා වෘත්තීය සමිතිවලට විරෝධය පළ කිරීම පිණිස, සැබෑ කම්කරුවන් කොහේවත් නො ගොස් තමන්ගේ දූ දරුවන් සමග ගෙදර සිටිය යුතු බව අපේ අදහසයි. 

ලංකාව පාලනය කරන මධ්‍යම පන්තිය ප්‍රධාන වශයෙන් ම යැපෙන්නේ රජයෙනි. රජයේ සිය ලාභ පංගුව කොන්ත්‍රාත්, කොමිස්, වැටුප් ආදිය හරහා බෙදා ගැනීම පිණිස මෙම පන්තියේ ස්ථර අතර ගැටුමක් තිබේ. පහත දැක්වෙන්නේ අප මෙම මධ්‍යම පන්තිය නියෝජනය කරන පක්ෂ ඒවායේ පදනම අනුව හඳුනා ගන්නා ආකාරයයි.

එජාප: ව්‍යවසායක හිතවාදී නාගරික මධ්‍යම පන්තිය
ශ්‍රීලනිප: ග්‍රාමීය මධ්‍යම පන්තිය
පොදු ජන පෙරමුණ: රාජ්‍ය මූලික කොල්ලකාරී මධ්‍යම පන්තිය
ජවිපෙ: මධ්‍යම පන්තියේ පහළ ස්ථරය
පෙසප: මධ්‍යම පන්තියේ පහළ ස්ථරයේ රැඩිකල් බලවේගය
ජාතික හෙළ උරුමය: සිංහල ජාතිකවාදී මධ්‍යම පන්තිය
දෙමළ ජාතික සන්ධානය: දෙමළ ජාතිකවාදී මධ්‍යම පන්තිය
බොදු බල සේනා: සිංහල ජාතිවාදී මධ්‍යම පන්තිය
දෙමළ මහජන සභාව: දෙමළ ජාතිවාදී මධ්‍යම පන්තිය
මුස්ලිම් කොංග්‍රසය: මුස්ලිම් මධ්‍යම පන්තිය

ලංකාවේ සැබෑ කම්කරුවන්ගේ ඍජු නියෝජනයක් තිබෙන පක්ෂ ලෙස සැලකිය හැක්කේ වතු කම්කරු පක්ෂ පමණි. එහෙත්, ඒවායේ නායකත්වය හැම විට ම ඉහළ පන්තික ය. මෙම ප්‍රජාව තුළ ශක්තිමත් මධ්‍යම පන්තියක් නැතිකම නායකයන් විසින් සිය වාසිය සඳහා උපයෝගී කර ගනු ලැබේ.

ලංකාවේ තිබෙන සෙසු දේශපාලන පක්ෂවලට පැහැදිලි ජන පදනම් නැති නිසා ඒවායේ පන්ති පදනම් විමසන්නට යාම තේරුමක් නැත. බොහෝ බෝඩ් ලෑලි වනාහි පක්ෂ ලෙස පෙනී සිටින මධ්‍යම පන්තික පුද්ගලයෝ ය. 

මේ කවුරු කවුරුත් කම්කරු දිනය සමරන්නේ තමන් කම්කරුවන් ය, තමන් වැඩ කරන්නේ කම්කරු පන්තිය වෙනුවෙන් ය ආදිය කියමිනි. එහෙත්, මේ කිසිදු පක්ෂයක නායකයකු කිසිදු දිනෙක ඵලදායී වැඩ කරන කම්කරුවකු ලෙස වැඩ කර තිබේ ද යන්න සැක සහිත ය. අඩු තරමේ වාමාංශික පක්ෂයක හෝ එවැනි කම්කරුවකුට නමට හෝ නායකත්වය ලැබී නැත. 

ලංකාවේ ශ්‍රම බලකායෙන් 35%කට වඩා කාන්තාවෝ ය. ඵලදායී වැඩ කරන කම්කරුවන් අතර කාන්තා ප්‍රතිශතය ඉතා ඉහළ ය. උදාහරණයක් ලෙස මැද පෙරදිග කම්කරුවන්, වැවිලි කම්කරුවන්, ඇඟලුම් කම්කරුවන් අතර කාන්තා ප්‍රතිශතය ඉහළ ය.

එහෙත්, කම්කරු දිනවල වේදිකාවල කතා කරන, පෙළපාලි යන පිරිසෙන් 5%ක්වත් කාන්තාවන් නො වේ. එපමණක් නොව, මෙම පක්ෂවල ඉහළ මණ්ඩලවල කාන්තාවක් ඉන්නේ ඉතා කලාතුරකිනි. 

මැයි දින පවත්වන වෘත්තීය සමිති ද තිබේ. ඒවායෙන් වැඩි හරියක් ද රජයෙන් යැපෙන මධ්‍යම පන්තිකයන්ගෙන් සැදුම් ලත් ඒවා මිස ඵලදායී වැඩ කරන කම්කරුවන් නියෝජනය කරන සමිති නො වේ. පෞද්ගලික අංශයේ ද වෘත්තීය සමිති බලයක් ඇත්තේ බැංකු වැනි තැන්පතු පොළියත්, ණය පොළියත් අතර දැවැන්ත පරතරය ඔස්සේ මහජනයා සූරා කා ඉහළ වැටුප්, විශ්‍රාම වැටුප් වැනි වරප්‍රසාද රැසක් ලබා ගන්නා සේවකයන් නියෝජනය කරන සමිතිවලට ය. 

ඇඟලුම් කම්කරුවන් වැනි ප්‍රජාවන් වෘත්තීය සමිතිවල නියෝජනය වන්නේ ඉතා සුළුවෙනි. ඇතැම් වෘත්තීය සමිති, සේවකයන්ගේ සමිතිවලට වඩා රාජ්‍ය නොවන සංවිධානයි. 

වෘත්තීය සමිති යනු ලාභදායී ව්‍යාපාරයකි. එය මැනැවින් කළමනාකරණය කර ගත් දක්ෂයෝ සිටිය හ. ඇතැමෙකු මහා විප්ලවවාදියකු යයි සිතන, එහෙම ෆැන්ටසියක ද සිටි බාලා තම්පෝ එවැන්නෙකි. මැරෙන කල් ම, අවුරුදු පනහකටත් වඩා සමිතියේ ලේකම්කම දැරීමෙන් ම මෙම සමිතිවල තත්වය පැහැදිලි කර ගත හැකි ය.

තම්පෝගෙන් පසු හොඳම මැනේජර් මුරුත්තෙට්ටුවේ ආනන්ද නම් වන වෘත්තීය සමිති නායකයා ය. 

මා ඉහත ලියන ලද මගුල් එකක්වත් කම්කරුවන්ට අදාළ නැති මුත්, මේ ජවුසන් නටන්නේ කම්කරුවන්ගේ නමිනි. ඵලදායී වැඩ කරන කම්කරුවන් මේ විකාරවලට දැන්වත් විරුද්ධ විය යුතු ය. 

ඵලදායී වැඩ කරන සැබෑ කම්කරු කොටසක සැබෑ උවමනාවන් තේරුම් ගන්නට නිර්මානශීලී උත්සාහයක් ජාතික හෙළ උරුමය විසින් දරා තිබේ. එය ඇගයිය යුතු ය.


අනෙකුත් පක්ෂ පැත්තකින් තබා වාමාංශික යයි හඳුන්වා ගන්නා පක්ෂවලට අප මෙම අභියෝගය කරන්නෙමු. 

ඔබ පෙනී සිටිනවා යයි කියන කම්කරුවා ගැන ඔබ දන්නේ කුමක් ද? ආපසු සිතා බලන්න. 

කොටින් ම කම්කරුවා යනු කවරෙක් ද? කම්කරුවන් නො වන්නේ කවරෙකු ද? වර්තමාන කම්කරුවා තේරුම් නො ගෙන කළ හැකි සමාජ වෙනසක් නැත. 

අප නම් ඉතා පැහැදිලිව ම කියන්නේ බලවත් කළ යුත්තේ රජයේ සේවකයන් නොවන බවයි. බලවත් කළ යුත්තේ රජය කර තබාගෙන යන, රජයේ සේවාවන් නිසි ලෙස නො ලබන, කොන් කරන ලද, එහෙත්, ඵලදායී වැඩ කරන කම්කරුවන් ය. අප පෙනී සිටින්නේ ඔවුන් වෙනුවෙන් ය. අපට අප පෙනී සිටින කම්කරු පන්තිය ගැන පැහැදිලි ස්ථාවරයක් තිබේ. එවැනි ස්ථාවරයක් තිබෙන එකදු වාමාංශික පක්ෂයක්වත් ලංකාවේ නැත. (මෙම ලිපියත් කියවන්න)

පීඩිතයන් ගැන කතා කරනවා නම්, රටේ ප්‍රධාන ම පීඩිත බලවේගය ඉන්නේ ඔබේ ගෙදර ය. ඒ සැමියා මැයි පෙළපාලියට කොළඹ ගිය මැයි දිනයේත් ගෙදර සිට දරුවන් බලා කියා ගනිමින්, උයා පිහා, රෙදි සෝදා වහලියක සේ වැඩ කරන ගැහැනියයි. 

රටේ ජනගහණයෙන් 51%ක් කාන්තාවන් වන මුත් නිල ශ්‍රම බලකායෙහි කාන්තා නියෝජනය 35%කි. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 6%කි. පළාත් සභාවල කාන්තා නියෝජනය 4%කි. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය තිබුණේ 2%ක මට්ටමේ ය. දැන් පළාත් පාලන ඡන්ද හදිසි වී ඇති අය අමතක කරන කාරණයක් වන්නේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක් බවට පත් කිරීම සඳහා රජය අලුතින් ගෙනැවිත් තිබෙන නීති සමග අලුත් ක්‍රමයට මැතිවරණ පැවැත්වීමට කටයුතු කළ යුතුව ඇති බවයි. 

මේ ඊනියා කම්කරු දිනයේ කම්කරුවන්, පීඩිතයන් ගැන කරන බොල් කතා අසන්නට කම්කරුවන් මැයි දිනයට නො යා යුතු ය. 

අපි දැන් කලක සිට මෙම අභියෝගය වාමාංශිකයන් ඉදිරියේ තබා තිබේ. එය නො දැක්කා සේ සිටීමේ හැකියාව දැන් අහෝසි වී යමින් තිබෙන බව මේ මැයි දිනයේ හෝ අවබෝධ කර ගන්න. දැන් සංවාදය විවෘත ය. බිය නො වී ඉදිරියට එන්න. කම්කරුවා කවු ද? 
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,

    // මැයි දිනය වර්ජනය කරමු//
    මම හිතන්නෙත් වැඩකරන ජනතාවට තම විරෝදතාවය පල කරන්න පුළුවන් මැයි දිනය වර්ජනය කිරීමෙනුයි හැබැයි මේ සියලු පක්ෂවල සාමාජික හරක් වගේ දක්කන්නත් දැක්කෙන්නත් මේ රටේ සැලකියයුතු පිරියක් සුදානම් වෙනවා, මෙයට මුලික හේතුව රටේ දෙසපාලුවොන්ට වඩා ජනතාව අතිශයෙන් දුෂිතයන් නිසයි

    JUST spend 3 minutes listen to this
    https://www.youtube.com/watch?v=rVXekzwkz10

    ReplyDelete
  2. පැරා මචං, අපි උඹට උත්තරයක් ලිව්වා. ඒක උඹේ තර්කණ විධි ක්‍රමයත් එක්ක ම කෙරෙන විචාරයක්. එකේ අපෝහකය හරහා අපි උඹේ කම්කරු, නිර්ධන සහ ධනපති පන්ති අවුලටයි මධ්‍යම පන්ති අවුලටයි උත්තර දෙනවා. පැරා, අපි ඒ උත්තරේ ලිව්වේ උඹේ කලින් පොස්ට් එකකට. අර උඹට අප සිහි වෙලා තිබුණේ වරහන් ඇතුලේ හරි!

    මචං අපි උත්තරේ proofread කරන්න කලා අනුමණ්ඩලේට යැව්වා. අද රෑ පළ කරන්නම්. මචං අපි ඒක මෙතන දාන්න ද පරණ පෝස්ට් එකේ දාන්න ද?

    ReplyDelete
    Replies
    1. මෙතන. මෙන්න මෙතන. ශිෂ්ට විදියට ලිව්වොත් අපි ඒක පෝස්ට් එකක් විදියට වුණත් දාන්න කැමතියි. අපට ඕනැ මේ සංවාදය මතු කරලා ගන්නට මිසක් අප දිනන්න නෙමෙයි.

      Delete
    2. //උත්තරේ proofread කරන්න කලා අනුමණ්ඩලේට යැව්වා.//

      මේවා කියවනකොට නම් ඇත්තට ම උඹලා ගැන පව් කියා හිතෙනවා. grandiose කියන්නෙ මචං මානසික ගැටලුවක්. මේවා ගැන දන්නා දොස්තර කෙනෙකු එක්ක කතා කළොත් හොඳ නැද්ද?

      Delete
    3. 1/6

      අපගේ ආදි මිත්‍ර අජිත් පැරකුම් ජයසිංහයෙනි,

      ඔබ මෙම ලිපියෙන් මතු කරන මූලික ගැටලුව පිළිබඳ වම වශයෙන් අප ගැඹුරු කතිකාවක් ඇති කළ යුතු ය. මේ දිනවල අපගේ සහෝදරවරුන් රාශියක් යුරෝපා ඉතිහාසය පිළිබඳ ලිඛිත පරීක්ෂණයකට සූදානම් වන බැවින් අපට දීර්ඝ ලිපියක් සම්පාදනය කිරීමට කාලය වෙන් කර ගැනීමේ අපහසුතාවක් පවතී. එනමුත් ලාංකීය සමාජ-දේශපාලන-ආර්ථික අවකාශයේ සමකාලීන ගැටලු පිළිබඳ ඔබගේ බුද්ධිමය මැදිහත් වීමට අපගේ ප්‍රණාමය පිදීමක් ලෙස අපි මෙම සංක්ෂිප්ත සටහන එක් කරන්නෙමු.

      ජයසිංහයන්ගේ තර්කණ න්‍යායට දාර්ශනික ප්‍රවේශයක්

      මිනිසා සමාජයක් වශයෙන් සංවිධානය වන්නට වූ ආදිතම යුගවල සිට ම පොදු සාමාජීය ක්‍රියාකාරීත්වය සඳහා පුද්ගලයකු ලෙස මිනිසා දක්වන දායකත්වයේ සද්භාවය පිළිබඳ සැකසංකා, අවුල්වියවුල් පැවතිණි. මිනිසාගේ සද්භාවය පිළිබඳ ප්‍රශ්න කිරීම "සද්භාවය යනු කුමක් ද?" යන ප්‍රශ්නය තුළ දාර්ශනික ගැටලුවක් බවට පත් විණි. දේව ආගමික සදාචාරවාදී තර්කණය විසින් එම දාර්ශනික ගැටලුව ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම නිසා සද්භාවය පිළිබඳ ගැටලුව සාධුභාවය පිළිබඳ ගැටලුවක් බවට පත් විණි. සද්භාවය සමඟ සාධුභාවය ද අසද්භාවය සමඟ අසාධුභාවය ද ඇමිණුණි. පූර්වසොක්ක්‍රටික යුගයේ සිට පැවති මෙම ගැටලුව වඩාත් දාර්ශනික ස්වරූපයක් ලබන්නේ ඇරිස්ටෝටලියානු දර්ශනය තුළ ය; එනම් ද්විරූපික (ද්විමය) ප්‍රතිවිරුද්ධතාව පිළිබඳ ඇරිස්ටෝටලියානු තර්කනය විසින් එම දාර්ශනික ගැටලුව නැවතත් ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම නිසා ය.

      ඇරිස්ටෝටලියානු ඉගැන්වීම් අනුව කිසියම් ප්‍රපංචයක් සහ එහි නිෂේධය සැලකූ විට සත්‍යය විය හැකි වන්නේ එකක් පමණි; එනම් ප්‍රපංචය හෝ එහි නිෂේධය ය. සාධු හෝ අසාධු, සද්භාව හෝ අසද්භාව, කළු හෝ සුදු ආදී ලෙස ය. ජයසිංහයෙනි, ක්‍රිස්තු පූර්ව හතර වැනි ශතවර්ෂයේ දී ඉදිරිපත් වූ එම දැනුම දහසක් ලුහුඬුකම් පැවතිය ද අද වන තුරු ද මිනිසාගේ චින්තනය කෙරෙහි බලපාන ආකාරය ආශ්චර්යවත් ය. අතීතයේ දී ජයසිංහයන් විශිෂ්ට කාව්‍ය නිර්මාණයකින් එම තත්ත්වය සාකච්ඡා කළ බව අපට මතක ය.

      ද්විරූපික (ද්විමය) ප්‍රතිවිරුද්ධතාව පිළිබඳ දාර්ශනික අවධානයක් යොමු කළෝ අපරදිග දාර්ශනිකයෝ පමණක් නො වෙති. කපිලයන්ගේ සාංඛ්‍ය ගුරු කුලය ආශ්‍රයෙන් ඇරඹී අක්‍ෂපාද ගෞතමයන්ගේ න්‍යාය ගුරුකුලය සහ ධර්මකීර්තීන්ගේ පශ්චාත් කාලීන සම්ප්‍රදානයන් ඔස්සේ වර්ධනය වූ භාරතීය ද්වෛතවාදය තුළ ද ද්විරූපික (ද්විමය) ප්‍රතිවිරුද්ධතා තර්කනයේ විවිධ ස්වරූප දැක ගත හැකි ය.

      රූපික ව එකිනෙකට ප්‍රතිරුද්ධ වූ ද ස්වාධීන වූ ද ගුණයන් වෙන් වෙන් ව නො සිට ඒවා එකිනෙක අන්තර්ක්‍රියා කිරීම පිළිබඳ ශාස්ත්‍රීය ව රුචිකර ආරම්භක ඉගැන්වීමක් සිදු කෙරෙන්නේ විල්හෙම් හේගලයන් විසිනි. වියුක්ත-නිෂේධක-සංයුක්ත යන හේගලියානු ත්‍රිපාදීය සූත්‍රය කාන්ටියානු ප්‍රවාද-ප්‍රතිවාද-සහවාද යන පැරණි සූත්‍රයක නව්‍යාර්ථකථනයකට යෝග්‍ය වන ලෙස සකසා, ඒ ඇසුරින් රූපික ප්‍රතිවිරුද්ධතාවන්ගේ අන්‍යෝන්‍ය ඝට්ටනය, නිෂේධනය, අන්තර්විනිවිදීම හා පොළාපැනීම මඟින් සිදුවන ප්‍රගමනය හැඟවුම්කරණය වන අපෝහකය හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ හේගල්ට ය.

      එහෙත් හේගල් විසින් අපෝහකය භාවිතා කරන ලද්දේ වියුක්ත විඥානවාදී ආකාරයකට ය. අපෝහකයේ හේගලියානු අභිසම්ප්‍රදානයේ ආදි දාර්ශනික මූලධාතු වූ කපිල, අක්ෂපාද ගෞතම, නාගාර්ජුන, දිග්නාග, ධර්මකීර්ති වැනි දාර්ශනිකයන්ගේ නන් නය පෙරදිග ඉගැන්වීම් ද පූර්ව සහ පශ්චාත් සොක්‍රටික යුගවල ග්‍රීක මහා දාර්ශනිකයන්ගේ සහ ශාන්ත ඇක්වයිනස්, ඩෙකාර්ට්, කාන්ට් වැනි අපරදිග දාර්ශනිකයන්ගේ නන් නය ඉගැන්වීම් ද විඥානවාදී ස්වරූපයක ම පැවතිණි.

      විඥානවාදී අපෝහකය හෞතිකවාදී අපෝහකයක් බවට පත් කරනු ලබන්නේ අපගේ ශ්‍රේෂ්ඨ ආදි ආචාර්ය කාල් මාර්ක්ස් විසිනි. හේගල් විසින් හිස මත සිටුවා තිබූ අපෝහකය තමා විසින් දෙපා මත සිටුවන ලද බව මාර්ක්ස් තම අභිකෘතිය වූ දාස් කැපිටාල්හි‍ පෙරවදනෙහි සඳහන් කරන්නේ එකී හේතුව නිසා ය.

      වාම (තරුණ) හේගල්වාදය සමඟ එක මඟ පිය නඟන කාල් මාර්ක්ස් එක් සංධිස්ථානයක දී හේගල්වාදයට සමුදෙමින් සම්ප්‍රදානය කරන වැදගත් ම විශ්ලේෂණ විධික්‍රමය වන්නේ අපෝහක භෞතිකවාදයයි (හේගල්වාදයට සමුදෙන මාර්ක්ස් හේගලයන්ට ගෞරව කරමින් “ගරු ණයක්” පිළිබඳ ශිෂ්ට සංකල්පයක් සූත්‍රගත කළේ ය. අපගේ මෙම ලේඛනයෙන් කෙරෙන්නේ ද කලක් අප සමඟ එක මඟ පිය නැඟූ අජිත් පැරකුම් ජයසිංහයන්ට “ගරු ණයක්” ගෙවීම යැ යි සලකන්නේ වුව වරදක් නැත).

      මනස මූලික කර ගත් මනස සහ ශරීරය පිළිබඳ කතිකාවක් මනසෙන් පරිබාහිර ද්‍රව්‍යමය ලෝකය මූලික කර ගත් කතිකාවක් බවට පත් කළ මාර්ක්ස් අවසානයේ දී එය සමාජ ප්‍රගමනය පිළිබඳ විශිෂ්ට න්‍යායක් බවට පත් කළේ ය. මාර්ක්ස්ගේ ලේඛන තුළ හොඳ, නරක, සදාචාරවත්, සාධු, අසාධු, සද්භාව, අසද්භාව ආදී ව්‍යාකූල වදන් ඉතා විරල ය. ඔහුට වැදගත් වූයේ ක්‍රියාවක දිශානතිය සමාජ ප්‍රගමනයේ ප්‍රගතිය දෙසට යොමු වේ ද නැත හොත් සමාජ ප්‍රගමනයේ ප්‍රගතියෙන් ඉවතට යොමු වේ ද යන්න ය.

      Next…

      Delete
    4. 2/6

      මාර්ක්ස් විසින් අවධාරණය කෙරෙන්නේ මිනිසා තනි තනි පුද්ගලයන් ලෙස පුද්ගල විමුක්තියක් ළඟා කර ගැනීම නො ව සමාජයක් ලෙස සමාජ විමුක්තියක් ළඟා කර ගැනීම පිළිබඳ ය. පුරාණ භාරතීය දර්ශනයේ අජිතකේසකම්බලින්ගේ සහ චාර්වාකයන්ගේ ඉගැන්වීම් මත වර්ධනය වූ ලෝකායත/චාර්වාක දර්ශනය ද භෞතිකවාදී ඉගැන්වීමකි. එනමුත් එය පුද්ගල විමුක්තිය උදෙසා මිස සමාජ විමුක්තිය උදෙසා න්‍යායගත වූ භෞතිකවාදයක් නො විණි.

      ජයසිංහයන්ගේ මනස වියවුල් කළ කාල් මාර්ක්ස්ගේ අපෝහක භෞතිකවාදය

      මාර්ක්ස් විසින් සූත්‍රගත කෙරුණු අපෝහක භෞතිකවාදී න්‍යාය මිනිස් සමාජයේ ඵෙතිහාසික විකාසනය (ඵෙතිහාසික භෞතිකවාදය ලෙස ප්ලෙහානොව් විසින් රුසියාව තුළ වර්ධනය කෙරුණු දැනුම) මත ව්‍යහාර කිරීමෙ දී ප්‍රතිවිරුද්ධතාවන් පැවතීම යනු සාධනීය තත්ත්වයකි; එකී ප්‍රතිවිරුද්ධතාවන්ගේ (ප්‍රවාද හා ප්‍රතිවාද) ගැටීම විසින් අවසානයේදී නව්‍ය ප්‍රගමනයක් (සහවාද) ජනනය කෙරෙන නිසා ය. මිනිස් සමාජයේ ප්‍රගගමනට දායක වන ගාමක බලය වන්නේ ප්‍රවාද බිහි වීම, එවාට ප්‍රතිවිරුද්ධ ව ඒවා නිෂේධනය කරමින් ප්‍රතිවාද බිහි වීම සහ එකී ප්‍රවාද-ප්‍රතිවාද ගැටීමෙන් නව සහවාද බිහි වීම ය. අපි එම තර්කණය මෙසේ සංකේතණය කරමු:

      ⁣1. පෞද්ගලික දේපළ හිමිකාරීත්වය පිළිබඳ හැඟීමක් නැති ප්‍රාග්තන සමාජවාදය (ප්‍රවාදය),
      ප්‍රාග්තන සමාජවාදය නිෂේධනය කරමින් වහල් හිමියන්ගේ විප්ලවය (ප්‍රතිවාදය),
      වහල් ක්‍රමය නම් වන නව්‍ය ප්‍රවාදය බිහි වීම (සහවාදය)

      2. වහල් ක්‍රමය නිෂේධනය කරමින් වැඩවසම් වංශාධිපතියන්ගේ විප්ලවය (ප්‍රතිවාදය)
      වැඩවසම් ක්‍රමය නම් වන නව්‍ය ප්‍රවාදය බිහි වීම (සහවාදය)

      3. වැඩවසම් ක්‍රමය නිෂේධනය කරමින් ධනපතියන්ගේ විප්ලවය (ප්‍රතිවාදය)
      ධනපති ක්‍රමය නම් වන නව්‍ය ප්‍රවාදය බිහි වීම (සහවාදය)

      4. ධනපති ක්‍රමය නිෂේධනය කරමින් නිර්ධනිකයන්ගේ විප්ලවය (ප්‍රතිවාදය)
      අභිවර්ධිත සමාජවාදය නම් වන නව්‍ය ප්‍රවාදය බිහි වීම (සහවාදය)

      ඉහත ඵෙතිහාසික අපෝහක භෞතිකවාදී තර්කණයේ වැදගත් ලක්ෂණයක් නම් අභිවර්ධිත සමාජවාදය දක්වා එහි සෑම ප්‍රවාද-ප්‍රතිවාද-සහවාද චක්‍රයක් ම ක්‍රමයෙන් ඉදිරියට ගමන් කිරීම ය. සෑම සහවාදයක් ම ඉනික්බිති ව ප්‍රවාදයක් බවට පත් වී එහි ප්‍රතිවාදය සමඟ අන්තර්ක්‍රියාවෙන් තවත් සහවාදයක් බවට පත් වේ. සරල රේඛීය වේගවත් චලිතයක් නො වුණ ද මෙය සර්පිලාකාර ඉදිරි ගමනකි. මාර්ක්ස්ගේ තර්කණ විධික්‍රමය සමාජ ප්‍රගමනය දෙසට යොමු වන්නේ එලෙස ය.

      ඉහත එක් එක් ප්‍රවාදය නිෂේධනය කරමින් සහවාදයන් ඇති කරවන ප්‍රතිවාදයන්ගේ ගාමක බලය ඒ ඒ සමාජයේ විප්ලවීය විඥානයෙන් හෙබි සමාජ සංඝටකයන් විසින් සැපයේ. එම සංඝටකයන් විප්ලවීය විඥානයක් ලබන්නට පන්තියක් වශයෙන් සංවිධානය විය යුතු ය. කිසියම් සමාජයක පවතින ප්‍රවාදය නිෂේධනය කර නව්‍ය ප්‍රවාදයක් (සහවාදයක්) බිහි කරවන්නට විභවතාව ඇති සමාජ සංඝටකය තම විප්ලවීය කාර්යභාරය පිළිබඳ දැනුම්වත් වී, තමන්ගේ සඟයන් සමඟ සංවිධානය වී නිසි වෙනස සිදු කිරීමට මෙහෙයවනු ලබන අව⁣බෝධය පන්ති විඥානය ය. කම්කරුවන් පන්ති විඥානයෙන් සන්නද්ධ නො කර කැති ද පොලු ද ඔවුන්ගේ අතට දී ධනපති පන්තිය නැති කරව් යැ යි උසිගැන්වීමෙන් කළ හැකි විප්ලවයක් නැත. පන්ති විඥානය විප්ලවයේ ආවශ්‍යයික කොටසකි. සාමාජීය මිනිසාගේ ඉතිහාසය යනු පන්ති අරගලයේ ඉතිහාසය බවට පත් වන්නේ එනයින් ය.

      ප්‍රාග්තන සමාජවාදයේ සිට ධනවාදය දක්වා ඵෙතිහාසික ව ⁣ක්‍රියාත්මක වූ අපෝහක තර්කණය ධනපති ක්‍රමය නිෂේධනයෙන් ඇකි වූ අභිවර්ධිත සමාජවාදය මත ක්‍රියා නො කරන්නේ ඇයි යනුවෙන් ප්‍රශ්නයක් ඇති විය හැකි ය. ප්‍රාග්තන සමාජවාදී සමාජයේ සිට ධනපති සමාජය දක්වා පැවති සමාජ පන්තිමය විභජනයක් සහිත ය. එනිසා ඵෙතිහාසික ව අපෝහක භෞතිකවාදී තර්කණය දිගින් දිගට ම ක්‍රියාත්මක වේ. නමුත් ධනපති ක්‍රමය නිෂේධනය කරමින් නිර්ධනිකයන්ගේ විප්ලවයකින් බිහි වන අභිවර්ධිත සමාජවාදී සමාජය යනු නිෂ්පාදන මාධ්‍යයන් පෞද්ගලික හිමිකාරීත්වයෙන් නිදහස් වී පොදු හිමිකාරීත්වයට යටත් වන සමාජයකි. නිර්ධනපන්තිය විසින් ධනපති පන්තිය පරාජය කර සමාජවාදී රාජ්‍යයක් පිහිටුවා නිෂ්පාදන මාධ්‍යවල පෞද්ගලික හිමිකාරීත්වය පොදු හිමිකාරීත්වයකට පත් කිරීමෙන් සමාජවාදී විප්ලවය අවසන් වන්නේ නැත (සමාජවාදය යනු රාජ්‍ය ධනවාදයකි වැනි මනස්ගාත දොඩවන්නෝ පෞද්ගලික හිමිකාරීත්වය පොදු හිමිකාරීත්වයකට හුවමාරු වීමෙන් විප්ලවය අවසන් වේ යැ යි සිතන්නෝ ය). එම සමාජවාදී සමාජයේ සාමූහික නිෂ්පාදනය වර්ධනය වන විට නිෂ්පාදනයේ ඵල සඳහා සියල්ලන්ට ම පූර්ණ නිදහස් ප්‍රවේශයක් ලැබේ. එය පෞද්ගලික දේපළ අහෝසි වූ, පන්තිමූල සූරාකෑමට අවකාශයක් නො පවතින පන්ති රහිත සමාජයකි (මුදල් සහ රාජ්‍යය ද එහි නොමැත). එනිසා අභිවර්ධිත සමාජවාදයේ සාර (කොමියුනිස්ට්) සමාජය මත අපෝහක භෞතික තර්කණයක් ක්‍රියාත්මක නො වේ.

      මෙම කරුණු ධාරණය කර ගෙන අපි ජයසිංහයන්ගේ වාම ව්‍යාකූලත්වය වෙත එළඹෙමු.

      Next...

      Delete
    5. 3/6

      ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය පිළිබඳ ජයසිංහයන්ගේ ව්‍යාකූලත්වය

      අජිත් පැරකුම් ජයසිංහයෝ දශක තුනක් වමේ ව්‍යාපාරයේ සිටි උද්‍යෝගිමත්, කාර්යශූර හිටපු සහෝදරයෙක් වන්නාහ. ජයසිංහයන් අවම වශයෙන් තම පශ්චාත්-ජ.වි.පෙ යුගයත් පශ්චාත්-සුනාමි යුගයත් අතර සමයේ දී හෝ සම්භාව්‍ය මාර්ක්ස්වාදී ශාස්ත්‍රීය සම්ප්‍රදානය භාෂා ද්වයයකින් ම මනා ව ඇසුරු කළ බව අපට නිශ්චිත ව ම පැවසිය හැකි ය. එහෙව් ජයසිංහයෝ හදිසියේ ම පරාවර්තී විස්මෘතියකට පත් වූ අයකු සේ “ධනපති පන්තිය කවුරු ද?”, “නිර්ධන පන්තිය කවුරු ද?” යනාදී ප්‍රශ්න විමසති. එම ප්‍රශ්න නැඟීම යනු ජයසිංහයන්ගේ එක් විතණ්ඩ තර්කණ න්‍යායකි. වෘත්තීය පරීවර්තකයකු වන ජයසිංහයන් අතිසූර වාගාලංකාරිකයකු වන බව අපි දනිමු.

      ධනවාදී සමාජයක නිෂ්පාදන මාධ්‍යයන්ගේ හිමිකාරීත්වය දරන, නිෂ්පාදනය සඳහා ආයෝජනයට ධනය ඇති, නිෂ්පාදනයේ අතිරික්ත වටිනාකම/ප්‍රතිලාභය මත යැපෙන පන්තිය ධනපති පන්තිය ය. නිෂ්පාදනයේ හිමිකාරීත්වයක් නැති, නිෂ්පාදනය සඳහා දායක වීමට ශ්‍රමය හැර වෙනත් ධනයක් නැති, තම ශ්‍රමය වැගිරීම සඳහා ලබන වැටුපෙන් යැපෙන පන්තිය නිර්ධන පන්තිය ය.

      මාර්ක්ස්වාදී වාමාංශිකයන්ට නින්දාපහාස කිරීමේ ද මාර්ක්ස්වාදය රාක්ෂසකරණය කිරීමේ ද අතිදුෂ්ට, අතිපවිටු චේතනාවෙන් මෙහෙයවෙන ජයසිංහයන් මාර්ක්ස්වාදයේ අතිමූලික සංකල්පයන් දෙකක් වන ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය හිතාමතා ම විකෘති කරයි; එමඟින් තරුණ පරපුර මාර්ක්ස්වාදයෙන් ඉවතට යොමු කරවයි. එම අතිදුෂ්ට, අතිපවිටු අරමුණ සඳහා ජයසිංහයන් විසින් අපහරණය කෙරෙන්නේ භාෂාත්මක ප්‍රයෝගයකි. මෙහි ඇති නරුමවාදී ශාස්ත්‍රීය කුහකත්වය සුපැහැදිලි ව මතු වන්නේ ජයසිංහයන් ඉංග්‍රීසියෙන් ම The Communist Manifesto, Das Kapital, A Contribution to the Critique of Political Economy, Grundrisse වැනි මාර්ක්වාදයේ සම්භාව්‍ය කෘති කියවා ඇති හිටප වාමාංශිකයකු වීම ද දිවුරුම් දුන් ප්‍රවීණ භාෂ⁣ා පරිවර්තකයකු වීම ද සලකන විට ය.

      ධනපති පන්තිය ලෙස සිංහලයෙන් හඳුන්වන්නේ ප්‍රංශ භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට තත්සම වූ bourgeoisie යන වචනය ය. Bourgeoisie යන වචනය මාර්ක්ස්වාදී සාහිත්‍යයේ ව්‍යවහාර වන්නේ පෙර සඳහන් කෙරුණු අර්ථයෙන් ධනපති පන්තිය යන අර්ථය හැඟවීමට ය. අනවශ්‍ය ව්‍යාකූලත්වයක් ඇති කිරීම සඳහා ජයසිංහයයෝ bourgeoisie යන වචනයේ ව්‍යවහාරික ඉංග්‍රීසි අර්ථයක් වන ද්‍රව්‍ය පරිභෝජනවාදී මධ්‍යම පන්තිය යන්න තීව්‍රාලෝක කර අවධාරණය කරති.

      අවුල් වියවුල් වන්නේ ජයසිංහයන් නිර්ධන පන්තිය ⁣වෙත පැමිණි කල ය. නිර්ධන පන්තිය ලෙස සිංහලයෙන් හඳුන්වන්නේ ලතින් භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට තත්භව වූ proletariate යන වචනය ය. Proletariate යන වචනය මාර්ක්ස්වාදී සාහිත්‍යයේ ව්‍යවහාර වන්නේ පෙර සඳහන් කෙරුණු අර්ථයෙන් නිර්ධන පන්තිය යන අර්ථය හැඟවීමට ය. එම වචනයේ ලතින් නිරුක්තිය සපයන අර්ථය ද දේපළ ධනය නැති, නිෂ්පාදනයෙන් පමණක් රාජ්‍යයට දායක වන යන්න ය. මෙනයින් proletariate යනු වැඩ කරන පන්තිය (working class) ය. මාර්ක්වාදී සාහිත්‍යයේ proletariate යන වචනය ව්‍යවහාර වී ඇත්තේ ධනයක් නැති වැඩ කරන පන්තිය යන අර්ථය දීමට බව නිරීක්ෂණය කළ හැකි ය. එය පෙර දැක් වූ අර්ථකථනයට ද අනුකූල ය. Proletariate යන වචනයට සිංහල වචන හඳුන්වා දුන්නෝ එසඳහා නිර්ධන පන්තිය, වැඩ කරන පන්තිය යන නාමයන් දෙක ම භාවිත කළහ. එසඳහා ම හඳුන්වාදුන් තවත් සිංහල වචනයක් වූයේ කම්කරු පන්තිය යන්න ය. Proletariate යන්නට කම්කරු පන්තිය ලෙස ව්‍යවහාර කිරීම ගැටලුවක් වන්නේ ජයසිංහයන් වැනි විතණ්ඩවාදී ලාංකික දාර්ශනිකයන් කම්කරුවා පිළිබඳ මවා ඇති සංකල්ප රූපයේ පවතින සීමිත පරාසය නිසා ය. විසිඑක් වැනි ශතවර්ෂයේ ජීවත් වන ජයසිංහයන්ගේ කම්කරුවා දහඅට වැනි සහ දහනව වැනි ශතවර්ෂවල යුරෝපයේ කාර්මික විප්ලවය සමයේ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක කායික ශ්‍රමය වැය කරන්නෙකි. ජයසිංහයන් අනුයන කම්කරුවා පිළිබඳ අර්ථකථනයේ ම රැඳුන හොත් ගොවියන්ගෙන් සැදි රුසියානු සමාජය තුළ හෝ චීන සමාජය තුළ හෝ මාර්ක්ස්වාදය ප්‍රතිෂ්ඨා කළ නො හැකි වන්නට ඉඩ තිබුණි. එහෙත් මාර්ක්ස්වාදී අපගේ කම්කරුවා කායික මෙන් ම මානසික ශ්‍රමය ද වැය කරන්නෙකි. එම කම්කරුවා කිනම් වෘත්තියක යෙදෙන්නේ ද යන්න මත පමණක් ඔහුගේ/ඇයගේ පන්තිය නිර්ණය වන්නේ හෝ වියවුල් වන්නේ හෝ නැත. ශ්‍රමය යනු උත්කර්ෂණයට ලක් කළ යුතු දෙයක් බව මින් අදහස් කෙරෙන්නේ නැත. ශ්‍රමය උත්කර්ෂණීය වන්නේ ශ්‍රමයෙන් පරාරෝපණය වූ ධනපති පන්තියට මිස ශ්‍රමය හිමි නිර්ධන පන්තියට නො වේ. ශ්‍රමාභිවන්දනය ප්‍රතිගාමී වන්නේ එනිසා ය. මාර්ක්ස්වාදයේ ශ්‍රම න්‍යාය යනු ශ්‍රමය උත්කර්ෂණය කිරීමක් නො ව සමාජ සම්බන්ධතාවල අගය නිර්ණයේ මිනුමකි.

      Next...

      Delete
    6. 4/6

      ධනපති පන්තිය (bourgeoisie) සහ නිර්ධන පන්තිය (proletariate) යනුවෙන් සුනිශ්චිත සමාජ-ආර්ථික ස්තරණයක් අනුයන මාර්ක්වාදයේ පන්ති විග්‍රහය වීබරියානු සමාජ ස්තරණය සමඟ දුශ්චේතනීය ව සහ සම්ප්‍රජන්‍ය ව පටලවන ජයසිංහයෝ වරක දී නිර්ධනය පන්තිය යනු මධ්‍යම පන්තිය යැ යි ද තවත් වරක දී ධනපති පන්තිය යනු මධ්‍යම පන්තිය යැ යි ද නන්දෙඩවීම් කරති. පහළ පන්තිය, මධ්‍යම පන්තිය සහ ඉහළ පන්තිය යන සමාජ ස්තරණය මාර්ක්ස් සමඟ පැටලැවීම ජයසිජහයන් විසින් වහා නවතා දමනු ලැබිය යුතු ය. රෝහණ සහෝදරයාගේ කල්ලිය සමඟ එක් ව ධනපති පන්තිය නසනු ලබන්නේ යැ යි සිතා රාජ්‍ය සේවකයන් ඝාතනය කළ අපකීර්තිමත් ඉතිහාසයක් ඇති ජයසිංහයන් යළිත් වරක් තරුණ පරම්පරාව නොමඟ යැවිය යුතු නැත. මාර්ක්ස්වාදය යනු වියවුල් සහගත දැනුම් පද්ධතියකි යි චේතිය බොරුවක් ප්‍රචාරණය කරන්නට, එඟින් තරුණ පරපුර මාර්ක්ස්වාදයෙන් ඉවතට යොමු කරවන්නට තතමන ජයසිංහයෝ අවසානයේ දී තුමු ම ව්‍යාකූල ව දාර්ශනික උමතුභාවයකට පත් වෙති. අප තරුණ පරපුරට පවසන්නේ ⁣සන්සන්දනාත්මක දාර්ශනික ව්‍යායාමයක් ලෙස මාර්ක්ස්වාදය අධ්‍යයනය කරන ලෙස ය.

      අජිත් පැරකුම් ජයසිංහයන් කෙතරම් මාර්ක්ස්වාදයට බැණ වැදුණ ද ඔවුන් අවිඥානික ව මාර්ක්ස්වාදයේ දාර්ශනික සම්ප්‍රදානයට ප්‍රේම කරන බව ද දැක ගත හැකි ය. පශ්චාත් සුනාමි යුගයේ දී වම හැර දා දකුණට ගොස් ලිබරල් ධනවාදයේ මිල්ටන් ෆ්‍රීඩ්මන් ආකාරයේ න්‍යායාචාර්යවරයකු බවට පත් වුව ද ජයසිංහයන්ගේ තර්කණ න්‍යාය කෙරෙහි මාර්ක්ස්ගේ අපෝහක භෞතිකවාදය යම් බලපෑමක් එල්ල කර ඇත. එම බලපෑම දෝෂ සහගත වීම අවාසනාවකි.

      ජයසිංහයන්ගේ තර්කණ විධික්‍රමයේ න්‍යාය සහ භාවිතය

      අජිත් පැරකුම් ජයසිංහයෝ එක්සත් ජාතික පක්ෂවාදී, වඩා නිවැරදි ව පවසන්නේ නම් වික්‍රමසිංහවාදී, දේශපාලන න්‍යායවාදියෙක් ද ක්‍රියාකාරිකයෙක් ද විචාරකයෙක් ද වෙති. එනමුත් ජයසිංහයන් තම ආධාරය වික්‍රමසිංහයන්ට ⁣පුදනුයේ නිර්මාණාත්මක (අස්ත්‍යාත්මක) විවේචනයක් සමඟ බව නිතොර වෙසෙස් කර පවසනු අප දැක ඇත. එය විවේචනාත්මක සහායක් බව ද ඔවූහු පවසති. බැලූ බැල්මට එය ඉතා සබුද්ධිමත් ප්‍රතිපත්තියකි. ඔවුන් එසඳහා භාවිත කරණ තර්කණ විධික්‍රමය ව්‍යුහාකාරයෙන් එකිනෙකට වෙනස් නිදර්ශන කීපයක් මඟින් විශ්ලේෂණය කර බලමු.

      1. A. රජයේ සේවකයන් සංඛ්‍යාව වැඩි ය; එනිසා එම සංඛ්‍යාව අඩු කළ යුතු ය.
      1.B. රජයේ සේවකයන් සංඛ්‍යාව අඩු ය; එනිසා එම සංඛ්‍යාව වැඩි කළ යුතු ය.

      2.A. සරත් ෆොන්සේකා විනය පාලකයකු ලෙස පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර ය.
      2.B. ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිතභාවය සඳහා සරත් ෆොන්සේකා විනය පාලකයකු ලෙස පත් කළ යුතු ය.

      3.A. යහපාලනාණ්ඩුව ලංකාවේ සමාජ-දේශපාලනික-ආර්ථික ගැටලු කිසිවක් විසඳා නැත.
      3.B. ලංකාවේ සමාජ-දේශපාලනික-ආර්ථික ගැටලු විසඳිය හැකි වන්නේ යහපාලනාණ්ඩුවට ය.

      1.A සහ 1.B තර්කාංග වෙන වෙන ම සැලකූ විට තාර්කික බවක් හඟවන්නේ වුව ඒවා සමස්ත තර්කයක් ලෙස ගත් විට ඇරිස්ටොටලියානු සම්භාව්‍ය තර්ක ශාස්ත්‍රය විසින් තර්කාභාස බවට පත් කෙරේ. මක් නිසා ද යත් ද්විමය ප්‍රතිවිරුද්ධතාව අනුයන සංවෘත පද්ධතියක දී 1.A සත්‍ය වන විට 1.B අසත්‍ය විය යුතු බැවිනි. එලෙස ම එවැනි පද්ධතියක දී 1.B සත්‍ය වන විට 1.A අසත්‍ය විය යුතු ය. එනම් සත්‍ය විය හැකි වන්නේ 1.A හෝ 1.B ය.

      2.A සහ 2.B තර්කාංග යනු අන්‍යෝන්‍ය වශයෙන් බිඳ වැටෙන පද්ධතියකි. එම පද්ධතිය තුළ ද සත්‍ය විය හැකි වන්නේ 2.A හෝ 2.B ය. එම පද්ධතිය තර්කාංග ද්වයයක් ලෙස පෙනුන ද ද්විමය ප්‍රතිවිරුද්ධතාව අනුයන සංවෘත පද්ධතියක දී තර්කාභාස ව බිඳ වැටේ. 2.A සහ 2.B අතර පවතින්නේ තාර්කික සම්බන්ධයක් නො ව පූර්ව-නිර්ණිත තෝරා ගැනීමක් පමණි. එම තෝරා ගැනීමේ පදනම කුමක් ද?

      3.A සහ 3.B තර්කාංග යනු ද 2.A සහ 2.B ආකාරයේ ම පද්ධතියකි.3.A සහ 3.B අතර පවතින්නේ තාර්කික සම්බන්ධයක් නො ව හුදු අනාගතවාදී තෝරා ගැනීමක් පමණි. එම තෝරා ගැනීමේ පදනම කුමක් ද?

      ලාංකීය සමාජ-දේශපාලන-ආර්ථික අවකාශයේ ප්‍රමුඛතම සමකාලීන සංවාදකරුවා බවට පත් ව සිටින ආචාර්ය කුමාර් කළුආරච්චි වැනි ශාස්ත්‍රීය ශික්ෂණයක් සහිත බුද්ධිමතකු ජයසිංහයන්ගේ විකාරරූපී කුතර්ක දුටු සැණ දාර්ශනික අර්ථයෙන් ජයසිංහයන් ඔසව ඔසවා පොළොවේ ගසයි. දැනටමත් ආචාර්ය කළුආරච්චින් ජයසිංහයන්ගේ ඉහත කුතර්ක පද්ධති තුන ප්‍රශ්න කර නිර්දය විවේචනයකට ලක් කර ඇත. පීඩිත ගතින් ද සිතින් ද යුත් ජයසිංහයෝ යළිත් මෙසේ කෙඳිරිගාති:

      “මා මෙම රජයට ලබා දෙන්නේ ⁣විවේචනාත්මක සහායකි. මා මෙම රජයට එරෙහි ව නිර්මාණාත්මක විවේචන කර ඇත.”

      ජයසිංහයන් හඟවන්නේ තම තර්කණය වූ කලී ඇරිස්ටෝටලියානු ද්විමය ප්‍රතිවිරුද්ධතා දර්ශනය තුළ ඥානනය කළ නො හැකි පද්ධතියක් බව ය. ඉන් නො නවතින ජයසිංහයන් තමා පවතින රජයේ ද එහි නායකයන්ගේ ද හොඳ සහ නරක කතිකාවට ගෙනැවිත් ඒවා අතර විසංවාදයක් ඇති කර පවතින රජය වඩාත් වර්ධිත තත්ත්වයකට ගෙන එන බව හඟවයි.

      Next...

      Delete
    7. 5/6

      සවිඥානික අජිත් පැරකුම් ජයසිංහයන් මාර්ක්ස්ට වෛර කරන අතර තුර අවිඥානික අජිත් පැරකුම් ජයසිංහයන් මාර්ක්ස්ට ප්‍රේම කරන බව අප පවසන්නේ ජයසිංහයන්ගේ මෙම චර්යාව සලකා ය. නමුත් ජයසිංහයන් අපේක්ෂා කරන සමාජ ප්‍රගමනය ඉෂ්ට වන බවක් දැක ගත නො හැකි ය.

      ජයසිංහයන් පවසන යහපාලනාණ්ඩුවේ හොඳ (විග්‍රහය සඳහා මොහාතකට) ප්‍රවාදය ලෙස සලකතොත් යහපාලනාණ්ඩුවේ නරක (විග්‍රහය සඳහා මොහාතකට) ප්‍රතිවාදය ලෙස සලකන්නට හැකි ය. එම ප්‍රතිවිරුද්ධතාවන්ගෙන් ජයසිංහයන් බලාපොරොත්තු වන සමාජ ප්‍රගමනය සිදු වන්නට නම් එකී යහපාලනාණ්ඩුවේ හොඳ (ප්‍රවාදය) සහ යහපාලනාණ්ඩුවේ නරක (ප්‍රතිවාදය) ගැටී යම් සහවාදයක් (නව්‍ය ප්‍රවාදයක්) බිහි විය යුතු ය. එසේ වුව හොත් ජයසිංහයන්ගේ ඊනියා “නිර්මාණාත්මක විවේචන” සහ “විවේචනාත්මක සහාය” මඟින් සමාජය කිසියම් ඉදිරි ගමනක් යනු ඇත. එහෙත් එය එසේ වී නැත. ඒ ඇයි? එයට හේතුව ජයසිංහයන්ගේ ව්‍යාජ ප්‍රවාද සහ ප්‍රතිවාද ගැටී සහවාදයක් බිහි නො වීම ය. සහවාද වෙනුවට ජයසිංහයෝ මහා වට වන්දනාවක ගොස් යළිත් යහපාලනාණ්ඩුව හොඳ යි යන ව්‍යාජ ප්‍රවාදය වෙත ම පැමිණෙති. අංශක 360 ක භ්‍රමණ චලිතයක යෙදී තමා සිටි තැනට ම පැමිණීම ප්‍රගමනයක් නො වේ. මාර්ක්ස්වාදී අපෝහක භෞතිකවාදී තර්කණය යනු සර්පිලාකාර චලිතයකි. එනිසා එමඟින් ප්‍රගමනයක් සිදු වේ. අහෝ! ජයසිංහයෙනි, බෙරේ පළුවකුත් නැත; නැටූ තොවිලයකුත් නැත!

      ජයසිංහයන් පළමු ව කළ යුතු ව තිබුණේ තම තර්කණ විධික්‍රමය හුදු සංවෘත ද්විමය ප්‍රතිවිරුද්ධතා පද්ධතියක් ලෙස නො ව විවෘත පරාස ප්‍රතිවිරුද්ධතා පද්ධතියක් බවට පත් කර ගැනීම ය. එසේ වූයේ නම් හොඳ හෝ නරක පිළිබඳ ඒකවිධ නිත්‍ය වටිනාකමක් නො ව බහුවිධ විචල්‍ය වටිනාකමක පවතින පරාස පරිමාණයක් ජයසිංහයන්ගේ තර්කණෝපාංග අතරට එක් වන්නට හැකි ව තිබිණි. ජයසිංහයන්⁣ගේ ඇතැම් ලිපිවල එම පරාස ප්‍රතිවිරුද්ධතාවන් දැක ගත හැකි වුව ද ඔවුන් එය පිරිහදු කර, සුසර කර විදුහුරු බසකින් ප්‍රකාශ කරන්නට ව්‍යාවෘත නො වන බව අපගේ නිගමනය ය.

      සත්‍ය ලෙස ම ජයසිංහයන්ගේ සියලු තර්ක ප්‍රකාශනවල ඇත්තේ වික්‍රමසිංහයන්ගේ මූලාකෘති සමඟ එකඟ වීම සහ වික්‍රමසිංහයන් සතුටු කිරීම ය. දාර්ශනික අර්ථයෙන් අජිත් පැරකුම් ජයසිංහයන් යනු සියලු තර්කණවල සාරය දිව්‍යමය මූලාකෘති සමඟ එකඟ වීම බව විශ්වාස කළ, මින් සහස්‍රක දෙකකටත් එහා ජීවත් වූ ප්ලේටෝගේ ද සියලු තර්කණවල සාරය දෙවියන් වහන්සේ සතුටු කිරීම බව විශ්වාස කළ, මින් ශතවර්ෂ හතකටත් එහා ජීවත් වූ ශාන්ත තෝමස් ඇක්වයිනස් මුනිඳුගේ ද අනුගාමිකයෙකි. ජයසිංහයෙනි, දැන් ස්ටුට්ගාර්ඩ්හි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ලා සංරක්ෂණය කළ යුත්තේ අප ද නැත හොත් ඔබ ද? ජයසිංහයන් මෙකී සන්දර්භයේ දී ප්ලේටෝගෙන් සහ ශාන්ත ඇක්වයිනස්ගෙන් වෙනස් වන්නේ ඔවුන් දෙවියන් පිළිබඳ විශ්වාසය තැබීමත් ජයසිංහයන් මිනිසකු වන වික්‍රමසිංහයන් පිළිබඳ විශ්වාසය තැබීමත් නිසා ය. ආධානග්‍රාහී විශ්වාසය යනු ඇදහීමකි. ජයසිංහයෙනි, දැන් ආගමික ඇදහීමක යෙදෙන්නේ අප ද නැත හොත් ඔබ ද? (කරුණාකර ඔබගේ ශාස්තෘ ලිපිය ඔබ ම යළි කියවන්න)

      ජයසිංහයන්ගේ කාර්යභාරය විය යුත්තේ වමාංශිකයන්ට අවලාද නැඟීම ද?

      අපගේ ආදි මිත්‍ර අජිත් පැරකුම් ජයසිංහ හිටපු සහෝදරයාණෙනි, ඔබ මේ මොහොතේ විමසිය යුතු වන්නේ ඔබගේ කාර්යභාරය කුමක් ද යන්න ය. ඔබගේ ආශිර්වාදය ද උපදේශනය ද බුද්ධිමය දායකත්වය ද ලබන වර්තමාන යහපාලනාණ්ඩුව තම ක්‍රියාකලාපයෙන් වර්ෂ 2020 දී ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ නායකයා කරවන්නට සුවිශාල වැඩ කොටසක් කරමින් සිටී. වර්ෂ කීපයකට වරක් ආණ්ඩු මාරු කිරීම විප්ලවයක් ලෙස සලකන්නට පුරුදු වූ (එම පුරුද්ද ඇති කරන්නට ද ඔබ දායක වී ඇත) ජනතාවක් වෙසෙන රටක ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීම යනු සම්භාවිතාවක් නො ව සුනිශ්චයකි. ජාතික ප්‍රශ්නය මූලික කර සලකන වම ලෙස අපට ඔහුගේ දේශපාලනය පිළිබඳ මහා පිළිකුලක් තිබුණ ද අප ලාංකීය දේශපාලන යථාර්ථයට මුහුණ දිය යුතු ය.

      පවතින දේශපාලන යථාර්ථය තුළ තව දුරටත් සිංහල ජාතිකත්වය සමඟ පසමිතුරුතාවන් වර්ධනය කර ගැනීමෙන් ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවිය නො හැකි ය. අප අනිවාර්යයෙන් ම සිංහල ජාතිකත්වය සමඟ සංවාදශීලී විය යුතු ම ය. දෙමළ ජාතික විමුක්ති අරගලයේ සන්නද්ධ අංශයේ පූර්ණ පරාජයෙන් පසු දෙමළ විමුක්ති අරගලය අද පවතින්නේ ශ්‍රී සභාරත්නම්ට පූර්ව යුගයේ ය. එය යුද්ධයේ පසමිතුරුකම වෙනුවට සුසංවාදයේ සහෝදරත්වය මතු ව පැවති යුගයකි. සුසංවාදයේ සහෝදරත්වය ප්‍රයෝජ්‍ය කර සහමන්ත්‍රණයක් සඳහා අවම වශයෙන් පූර්වමන්ත්‍රණයක් හෝ ආරම්භ කිරීම අප වෙත පැවරී ඇති ඵෙතිහාසික කාර්යභාරයකි. ඒ සඳහා ඉදිරියේ දී ඇතැම් විට ජාතින ප්‍රශ්නය ඥානනය කිරීමේ වාමාංශික සුමාදර්ශයන්ගේ වෙනසක් වුව සිදු කරන්නට අවශ්‍ය විය හැකි ය.

      Next...

      Delete
    8. 6/6

      අපි අපගේ එම කාර්යභාරය සඳහා සූදානම් වෙමින් සිටිමු. ජයසිංහයෙනි, ඔබ වික්‍රමසිංහයන් 2020 දී හවුල්-අවුල් නැති ව තනි ව බලයට ගෙන ඒමේ ඔබගේ කාර්යභාරය සඳහා සූදානම් වෙමින් සිටින බවක් නම් නො පෙනේ. ඔබගේ කාර්යභාරය විය යුත්තේ වමට අවලාද නඟමින් කාලය කා දැමීම නො වන බව අපි සිතමු.

      පූර්වසුනාමි යුගයේ සංවාදශීලී ජයසිංහයන්ගේ සොඳුරු මතකය සිත දරා ලියවෙන සමාප්ති සටහන

      ජයසිංහයන් පසුගිය වර්ෂයක පමණ කාලයක් තිස්සේ හැසිරුණේ වික්‍රමසිංහාකාරයේ උද්ධච්චකමකිනි. ඔවුහු තම පාඨකයන්ට කිසිදු ගෞරවයක් නො දැක්වූහ. “මෙහි නො පැමිණියාට කමක් නැත”, “තොපි කාලා කාලා යුරෝපයට වෙලා මැරියං”, “වමේ තොපේ කමෙන්ට් මෙහි පළ කෙරෙන්නේ නැත”, “මට කමෙන්ට් වැදගත් නැත” වැනි උද්ධච්ච කතා හැර වෙනත් බසක් ජයසිංහයන්ගෙන් නො ඇසිණ. එහෙත් පසුගිය මාසයක පමණ කාලයක් තිස්සේ ජයසිංහයන් කිසියම් ආචාරශීලීත්වයකින් කටයුතු කරන බව නිරීක්ෂණය කළ හැකි ය. එය සුබ පෙරනිමිත්තකි. ජයසිංහයන්ගේ ගිලිහුණු කිරුළ යළි පැලඳ ගන්නට නම් තව බොහෝ හික්මීමක් ඔවුන්ට අවශ්‍ය වේ. ආචාර්ය කළුආරච්චිහු පැලඳ ගත් කිරුළ පහසුවෙන් අත්හරින විද්වතෙක් නො වෙති.

      අපගේ ආදි මිත්‍ර අජිත් පැරකුම් ජයසිංහයෙනි, එක ම මඟක පැමිණි අපට අතීතයේ එක් අප්‍රසන්න හෝරාවක ⁣⁣වෙන් වන්නට සිදු විණ. ඉනික්බිති ව ඔබ පාලක පන්තිය සමඟ සහවාස වී අපගේ ජීවිත අවදානමට හෙළු බව අපට අමතක නැත. එහෙත් පූර්වසුනාමි යුගයේ ජීවත් වූ දිරිමත්, සංවාදශීලී අජිත් පැරකුම් ජයසිංහයන්ගේ ප්‍රසන්න මුහුණ අපගේ මතකයේ සදා නො මැකී පවතිනු ඇත. ඔබ ද අප ද පැතූ අනාගත සාර සමාජය ළඟා කර ගන්නට ඔබට හැකි වේවා. වෙන් වෙන් ව ගමන් කරමු. එක් ව පහර දෙමු.

      වමේ අපි (අන්තර්ජාතික වාම විප්ලවීය දේශපාලනයක ලාංකීය සන්ලකුණ) සහ වමැ පැරැණි මිතු කැල විසිනි.

      End.

      Delete
    9. මෙතෙක් පළ කළ කොටස් කියැවීමි. ඇත්තෙන් ම, මවිසින් මතු කරන ලද මූලික ප්‍රශ්න කිසිවකට නැවුම් පිළිතුරු කිසිවක් මෙහි ඇතැයි මට නො සිතේ. එහි ඇත්තේ සුපුරුදු දෘෂ්ටිවාදීමය පුනරුච්චාරණයක් පමණි.

      අප ප්‍රශ්න කරන්නේ න්‍යාය වර්තමාන යථාර්ථය විග්‍රහ කිරීමට අසමත් වීම තුළ ඇති අර්බුදයයි. එහෙත්, ඔබ නැවත නැවතත් යෝජනා කරන්නේ දෘෂ්ටිවාදීමය විශ්වාසයක අවශ්‍යතාවයි. එය කතිකාමය ප්‍රවේශයකි. අප යෝජනා කරන්නේ නිදහස් ප්‍රශ්න කිරීමකි.

      තර්කණය පිළිබඳ ඔබගේ ලේඛනය දාර්ශනික ය. මා ඒ කරුණු ගැන එතරම් දන්නේ නැත. නැවත කියවිය යුතු ය.

      රනිල් වික්‍රමසිංහ සමග මා ගැට ගැසීම සඳහා ඔබ විසින් නාස්ති කර ඇති වචන සංඛ්‍යාව ඇත්තෙන් ම අපරාධයකි. 2005 සිට ම ඔබ මා මෙවැනි කී දෙනෙකු සමග ගැට ගැසීම සඳහා ඔබේ වචන නාස්ති කර ගත්තා ද යන්න කල්පනා කර බලන්න. අප සිටින්නේ රනිල් වික්‍රමසිංහට ගව් ගණනක් ඉදිරියෙනි.

      ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අප විසින් අපගේ විසඳුම ඉදිරිපත් කර තිබේ. අප ජාතිකවාදයන්ට එරෙහි නැත. එහෙත්, ප්‍රගතිශීලීන් සිටිය යුත්තේ ජාතිකවාදයන් සමග නො ව, ජාතිකත්වය ඉක්මවා ගිය දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීමේ ව්‍යාපෘති සමගයි.

      පීඩිත ජාතිවාදයන් පීඩක ජාතිවාදයන් සමග හාමු කිරීමේ ඔබේ ව්‍යායාමය කාන්දමක උත්තර ධ්‍රැවය දක්ෂිණ ධ්‍රැවය සමග යා කිරීමට උත්සාහ කරන්නාක් වැනි වූ නිෂ්ඵල ව්‍යායාමයකි.

      කෙසේ වෙතත්, හෙට ගෝල්ෆේස් යන කුමාර් කළුආරච්චිටත් ඔබටත් බුදු සරණ පතමු!

      Delete
    10. //ඔබ පාලක පන්තිය සමඟ සහවාස වී අපගේ ජීවිත අවදානමට හෙළු බව අපට අමතක නැත.// මචං මේ වගේ ඒවා ලියන එක නවත්තපං. මං උඹලගේ රට යන සෙල්ලං ගැන මුළු කතාව ම අක්මුල් සහිතව ලිව්වොත් උඹලට රෙදි නැති වෙන බව උඹල දන්නවා නේ.

      උඹලා ගියා. අපි කාගෙන හිටියා. උඹලා දන්නෙ නැහැ ඒ වකවානුවේ අප හිටිය හැටි. හැබැයි ඉතින් අපේ ඉඳීම නිසා ම අප ලංකාවේ දේශපාලන වලංගුභාවය රැක ගත්තා.

      උඹලා ගිය එක ගැන එච්චර පසුතැවෙමින් අපට අවලාද නගමින් සිත් සනසා ගන්නට උත්සාහ කරන එක තේරුමක් නැහැ. ගිය අතක් බලා ගනිල්ලා.

      Delete
    11. මේ මේ මේ පැරා, මඩ ගහන එක නවත්තපං බං. උඹ මෙතන මඩ ගහැව්වම මිනිස්සු හිතනවා ඒවායේ ටිකක් හරි ඇත්ත කියලා. උඹලා හතර දෙනා වෙනුවෙන් දාපු අපේ කමෙන්ට් එකට කැත රිප්ලයි එකක් දැම්මේ උඹ ම ද කියලත් අපේ සහෝදරයන්ට පොඩි සැකයක් තියෙනවා. මොකද අපට කොටි ලේබලය ඇලවීම උඹගේ ඵෙතිහාසික කාර්යභාරයක්නේ.

      අනික පැරා මොකක් ද බං මේ විකාර කතා. උඹ අපිට ගොල්ෆේස් යන්න කියන්නේ එතන වමේ රැලියක් ද තියෙන්නේ? මඩ වළක් බං උඹත්.

      පැරා උඹ ප්‍රසිද්ධියේ රනිල්වාදී ක්‍රිටික් කෙනෙක්නේ. උඹට එරෙහි ව ආචාර්ය කුමාර් කළුආරච්චි ඇතුළු පිරිස නඟන චෝදනාවලට උඹ පිළිතුර් නො දී උද්ධච්ච කතා කියලා වැඩක් නැහැ බං. උඹේ ඔය ⁣විවේචනාත්මක සහාය කියන කන්සෙප්ට් එක උඹ රාජපක්ෂවාදීන්ට ස්කොලර්ලි පැහැදිලි කරන්න ඕන.

      උඹ විසා ගැන මහන්සිවෙන්න එපා. අපි ඒ ප්‍රශ්නෙ පර්මනන්ට්ලි විසදගන්නවා ළඟදිම. ඕ.කේ. බේබී? (චීයා බං)

      ආහ් පැරා මේ තව දෙයක අහන්න හිටියේ උඹ කූල් දවසක. අර මොකක් ද බං උඹ ටාටා බස් එකක කොන්දොස්තර වගේ පාපුවරුවේ එල්ලිලා මඟීන් ලෝඩ් කරන පොටෝ එක. උඹලට ඔච්චර සල්ලි තියෙන එකේ AC බස් එකක් ගනින්කෝ.

      අපි ගියා. ලන්ච් එකෙන් පස්සෙ එන්නම් පරය තුනකින් විතර.

      Delete
    12. පැරා, අන්තිම වාක්‍යයේ "පරය" නෙවෙයි "පැය". ඉට්ස් අ ටයිපෝ. සොරි මේට්.

      Delete
    13. කුමාර් ද කුමාර ද දන්නෙ නැහැ. අන්න අර මල්ලෙ පොල් ලියන හාදයා නම් හෙට ගෝල්ෆේස් යනවලු.

      ජාතිවාදීන් ජාතිවාදීන් සමග සෙට් වන අපූරුව මචං. ඔක්කොම කුණු බේරුවල් බොක්කට ය කිව්වෙ නිකම්යැ.

      Delete
  3. ඕකට කරන්න තියෙන්නේ ලංකාවේ සිරාවටම වැඩකරන 'කම්කරුවන්ට' මහන්සිවෙලා ඉන්ග්‍රීසි ඉගෙන ගෙන තමන්ගේ රස්සාවට සහතිකයක් එන NVQ වගේ වෘතීය සුදුසුකමක් අරගෙන ඉක්මනින් ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තෙ බැරිනම් සිංගප්පූරුව, මැලේශියාවෙ වත් පදිංචියට යන එක..
    ලංකාවට ඩොලර් එන එක අඩු වෙලා, කම්කරුවො හිග වෙලා දෑතෙ වැඩක් කර ගන්න, කාර් එක හදාගන්න, ගෙදරට ටයිල් ටික දාගන්න, බිත්ති පේන්ට් කරගන්න රටේ ඉන්න කම්කරුවන්ට පැය 3-4ට දාස් ගනන් ගෙවන්න උනහම ඔය මධ්‍යමපාන්තික කාලකන්නින්ට කම්කරුවගෙ අගේ තේරෙයි..

    ReplyDelete
    Replies
    1. දැනට ම ඒක වෙලා තියෙන්නේ. අපේ ගම් පැතිවල උග්‍ර කම්කරු හිඟයක් තිබෙනවා විශේෂයෙන් ම තේ, රබර් වැනි වැවිලි අංශවල. පොල් ගහකට යන්නත් රු. 150ක් ඉල්ලන්නට කම්කරුවන්ට හැකියාව ලැබිලා තියෙනවා. කුලී කම්කරුවන් අවම රු. 1200ක් ගන්නවා. ශ්‍රම ඉල්ලුම අධික වුණාට ඉල්ලුම්කරුවන්ට මීට වඩා ගෙවන්නට හැකියාවක් නැතිකම නිසා තමයි මෙතැන තුලනය වෙලා තියෙන්නෙ.

      වඩු, මේසන්, විදුලි කාර්මික, ජලනල කාර්මික වගේ රස්සාවල සුදුසුකම් තියෙන එවුන් ඇත්තෙම නැහැ. මාසයක් දෙකක් අත්වැඩ දුන්නාම පුළුවන් ඊළඟ දවසේ ඉඳලා තනියම වැඩය යන්න. ඉගෙන ගන්න ගමන් සම්පූර්ණ පඩිය ම ගන්න පුළුවන්. කොලිටිය කියලා දෙයක් ඕනැම නැහැ.

      කම්කරුවන්ගෙ ජීවිත කාලකණ්ණි වෙන්නෙ වැඩ නො කරන, කළ නො හැකි දින වෙනුවෙන් පඩි, ඉතුරුම්, රක්ෂණාදිය නැතිකමත්, බේබදුකම, නූගත්කම වැනි කාරණාත් නිසායි. ඔවුන්ට අවශ්‍ය දේවල් හඳුනා ගැනීමේ උත්සාහයක් අර ජාතික හෙළ උරුමයේ වැඩේ තියෙනවා. වාමාංශිකයන් නම් ඔය සැබෑ කම්කරුවන් ගැන දන්නෙ ම නැහැ.

      Delete
    2. මගේ ගමේ රුපියල් 1500ට අඩුවෙන් වැඩ කරන්න කෙනෙක් හොයාගන්නවත් නැහ.මේ දිනවල කුඹුරු වැඩ උදේ දහවල් ආහාරයත් වරු දෙකට තේ පානයේදී ගොල්ඩ්ලීෆ් දෙකකුත් දෙන්න ඕන.මිල වැඩිවෙන්න කලින් හතරක් දුන්න

      Delete
  4. මැයි දිනයත් දේශපාලන පක්ෂ තමන්ගෙ බලය ගැන සමරන්න යොදාගනිද්දි කම්කරුවට තමන්ගෙ පීඩනයෙන් මිදෙන්න යන්න වෙන්නෙ කෝවිල පන්සල් පල්ලිවලට මධ්‍යම පාන්තිකයන්ගෙ මීඩියාවල ඒවට මඟපෙන්වීම් තියෙනව

    ReplyDelete
    Replies
    1. කම්කරුවන්ට (ඵලදායී වැඩ කරන) පන්ති විඥානයක් නැහැ. අඩු ගණනේ වෙනම අනන්‍යතාවක්වත් නැහැ. ඔවුන් තමන්ගේ වටිනාකම, ශක්තිය ගැන දන්නෙවත් නැහැ.

      වාමාංශිකයන් විසින් ඔවුන්ට ගිල්වා තිබෙන ව්‍යාජ විඥානය තුළ තියෙන්නේ තනිකර ම මධ්‍යම පන්තික ආකල්ප. ඒවා කොයි තරම් විකෘති ද හානිකර ද කියනවා නම් එහි ශ්‍රම විරෝධයකුත් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් ම කය වෙහෙසා වැඩ කිරීම බාල පීචං වැඩක් ය කියන ආකල්පය තිබෙනවා.

      කම්කරුවන්ගේ විමුක්තිය කියලා කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරලා තිබෙන්නේ වැඩ නො කර පඩි ගන්නට හැකියාව ලබා ගැනීමයි. ලංකාවේ නම් ඒකට ලේසිම ක්‍රමය රජයේ රස්සාවක්. ගුරුවරුන් වුණත් කම්කරුවන්ගේ දරුවන්ට පාසල්වලදි උගන්වන්නේ හොඳින් ඉගෙනගෙන රජයේ සේවකයකු වුණොත් අම්මලා තාත්තලා වගේ දුක් විඳින්නට ඕනැ නැහැ ය කියලායි.

      මෙ ශ්‍රම විරෝධී ආකල්ප නිසා පුහුණු කම්කරුවන් වීමේ විභවය ඇති විශාල පිරිසක් ත්‍රීවීල් පාක්වල ඈනුම් අරිමින් කාලකණ්ණි වෙනවා.

      ලංකාව වෙනස් කරන්නට නම් මුලින් ම ශ්‍රමය අගයන තත්වයක් හදන්නට ඕනැ. අපි වැඩ කරන්නෙ, ලියන්නෙ ඒකට. වැඩ නො කරන මධ්‍යම පන්තික රජයේ සේවකයන්ට අපේ ලේඛනවලින් දරුණු ලෙස පහර දෙන්නෙ ඒකට. ඵලදායී වැඩ කරන මිනිසුන් ශක්තිමත් කරන දේශපාලනයක් ගැන කතා කරන්නෙ ඒකට.

      සමහර විට, මේ පන්ති දේශපාලනයේ තිබෙන එක ම තේරුම ඒක විතරක් වෙන්නටත් පුළුවන්.

      Delete
  5. සමාජවාදී විප්ලවය මාර්ක්ස්වාදය විසින් සොරකම් කළා ද?
    කම්කරුවා ලෙස සාමාන්‍යයෙන් හඳුනා ගන්නේ කම්කරුවන් වුවත්, ඇත්තට ම වැටුපක් සඳහා වැඩ කරන හැමෝම කම්කරුවන්. විශ්වවිද්‍යාල ආචාර්යවරයා, වෛද්‍යවරයා, ඉංජිනේරුවරයා, ගණකාධිකාරිවරයා,ලිපිකරුවා, පරිපාලන නිලධාරියා, කාර්යාල කාර්ය සහායකයා, කුලීවැඩ කරන්නා, නා‍‍ට්ටාඹිවරයා ඇතුළු හැමෝ ම වැටුපක් සඳහා තම සේවය සපයන පිරිස්. ව්‍යාපාරිකයා පවා මීට අයත්. තත්වය එසේ තිබිය දී කම්කරුවා ලෙස සාමාන්‍ය ව්‍යවහාරයට පැමිණ ඇත්තේ, එක්තරා ආකෘතයක පමණක් වැටුපක් සඳහා වැඩ කරන අය පමණයි.
    මෙම තත්වයට හේතුව කුමක් ද? මගේ අදහස නම්, කම්කරු පංතියක් නිර්මාණය කොට ඒ වෙනුවෙන් පෙනී සිටින මාර්ක්ස්වාදීන් විසින්මයි මීට පදනම දැම්මේ. මේ ඓතිහාසික වරද මාර්ක්ස් දක්වාම යනවා. ඔවුන් කම්කරුවන් අතරින් ම එක්තරා පිරිසක් පමණක් කම්කරු පන්තිය කරල තවත් පිරිසක් ධනපති පන්තිය කළා. ඒක ඇත්තට ම ඔය ධනපතියන් කියන අයට දුන්න පිළිගැනීමක් කියල කියන්න පුළුවන්. ඉන් කම්කරුවා පීචං කරල දැම්මා. මේ පන්ති නිර්මාණය අවසානයේ අර කිවූ කම්කරුවාගේ ම නස්පැත්තියට හේතු වූ බව කිව යුතුයි. ඒ කියන්නේ, කම්කරුවා කියන කෙනා හැමදාම කම්කරුව ලෙස සිටීමත්, අර ධනපතියා ලෙස ලේබල් කළ කෙනා ධනපතියා ලෙස සිටීමත් දක්නට හැකියි.
    පන්ති පිළිබඳ විඥානයක් පුරවැසියා අතර නොතිබෙන්නට, මීට වඩා සාධාරණ සමාජයක් නිර්මාණය වෙන්න ඉඩ තිබුණැයි කියන්න පුළුවන්. දැන් බලන්න විශ්වවිද්‍යාලයක කම්කරු පන්තිය වෙනුවෙන් සටන් කරන සිසු නායකයින් බහුතරයක් නවතින්නෙ කොහෙද කියල. ඔවුන් ඉතා හොඳ රැකියාවක් කරගෙන අර තමන් අයත් බවට තමන් තුළ ඇති කළ විස්වාසයට එරෙහි වෙමින් ධනපති ස්වරූපයක් පෙන්නුම් කරන්න හැකි උපරිමය කරනවා.
    දැන් මේක සමාජය තුළ ඝණිභවනය වෙලා තියෙන්නෙ. ලෝකය සමබිමක් කරන්න නම් පළමුවෙන් ම මේ පන්ති ඉරි අහෝසි කළ යුතු බව මගේ හැඟීමයි. මේකත් හරියට අර, සිගරැට් කොම්පැනි දානකොට, ඒවා දැමීමට එරෙහි ව ඇත්ත විරෝධය මතු වෙන්න නොදී, කොම්පැනිය විසින් ම පාලිත විරෝධතාවක් නිර්මාණය කරනවා වගේ වැඩක්. පසුගිය දිනවල පැවති, තෙල් වැඩ වර්ජනයත් එහෙම එකක් ද කියල මට සැක හිතිල තියෙනවා.ඒක අමතර කාරණයක්. කොහොමහරි, ඇත්ත සමාජවාදයත් මාර්ක්වාදය විසින් සොරකම් කළා ද?

    - මහින්ද පතිරණ

    ReplyDelete
    Replies
    1. පන්ති විඥානය ව්‍යාජ විඥානයක් ද යන තර්කයට පිළිතුරක් ද වාමාංශිකයන් විසින් ඉදිරිපත් කළ යුතුයි. වැල්ලේ ඔලුව සඟවා ගත්තා ය කියා වැඩක් නැත.

      අප නම් ඉතා පැහැදිලිව ම තෝරා ගත් සංයුක්ත සමාජ කොටසක් බලගැන්වීම දේශපාලනයේ අරමුණ ලෙස තෝරාගෙන ඇත. ඒ වනාහි ඵලදායී වැඩ කරන කම්කරුවෝ ය. (මෙය පවා පරිපූර්ණ අර්ථ නිරූපණයක් නො වේ.)

      ඔවුන් සවිබලගැන්වීම මේ මොහොතේ අත්‍යවශ්‍ය, ප්‍රගතිශීලී කාර්යයකි.

      මාක්ස්වාදීන්ගේ පන්ති විග්‍රහය හා කම්කරුවා පිළිබඳ අර්ථ නිරූපණය අතිශය වියුක්ත එකකි. ලංකාවට අදාළව නම් එය විකෘතියකි. විහිළුවකි.

      Delete
  6. මැයි දිනය කම්කරුවන්ගෙන් උදුරගත්තේ 1978 දි ජේ ආර් ජයවර්ධන රජය කියා මට හිතෙනව පැරා. ඊට කලින් දේශපාලන මුහුණුවරකින් පැවතිච්ච මැයි දිනය ඉන්දියානු ගායකයින් ගෙන්නල ලොකු ෂෝ එකක් කලේ එතෙන්දි වගෙයි මතක. ඊට පස්සෙ ඒක දේශපාලන හයිය පෙන්නන්න කම්කරුවො නොවන බස් වලින් අදින සෙනගෙන් 'ශක්තිය' පෙන්නන දෙයක් වුණා වගේ හිතනවා.

    ReplyDelete
  7. කම්කරුවන් බොහොමයකට මැයි දිනයේද වැඩ කිරීමට සිදුවී තිබේ.පසුදා කෑම වෙල සපයා ගැනීමටය

    ReplyDelete
  8. කාලෙකට කලින් (මතක විදිහට 2015 ජනවාරි 8) මේ සයිට් එකේ එල්ලලා තිබ්බ මාරු බෝර්ඩ් එකක්. 'සොෂලිස්ම් ඈස් අ ලයිෆ්ස්ටයිල්' කියල. එකට වෙච්ච දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් බෝඩ් නැහැ. ප්‍රැක්ටිසිං.

      Delete
  9. පැරා දවසින් දවස පහලටම වැටෙනවනේ...

    හෙල උරුමේ රක්ෂ්ණාවරන මගඩියට කඩේ යන්න කලින් ඒ රක්ෂණ ගිවිසුම බලලා ඉන්න.

    ඒ මිනිස්සුන්ට ජීවිතේට ඔය රක්ෂණාවරනයෙන් ක්ලේඉම් ගන්න ලැබෙනෙ නෑ.

    ලඟකදි ඉඳන් පැරා මිනිස්සුන්ට සාක්ෂි නැතුව අවලාද කරනවා, හොඳ කියන කොටවත් හොයල බලල කියන්න, මොකද, හැම එකටම බනින උන් මොකක් හරි හොඳයි කිව්වම මිනිස්සු හිතනවා ඒක ඇත්තටම හොඳයි කියල.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා