එක එක ජාතියේ සේපාල ඒකනායකලාගේ ලංකාවේ දුමින්ද සිල්වා

ලංකාවේ මිනිසුන්ට නීතියේ ආධිපත්‍යය ඇත්තෙන් ම අවශ්‍ය ද යන ප්‍රශ්නය මේ දිනවල සාකච්ඡා වන අදහස් සමග මතු වේ.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වාම නායිකාවක හා කාන්තා ක්‍රියාකාරිනියක වූ විවියන් ගුණවර්ධනට පහර දුන් පොලිස් නිලධාරීන් වරදකරුවන් කළ ශ්‍රේ්ෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ නිවෙස් ඉදිරිපිට මැරයන් යොදවා හූ කියවූ අතර, වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් උසස් කිරීමට කටයුතු කළේ ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් සරත් එන්. සිල්වා වැනි දූෂිත පුද්ගලයෙකු අග්‍ර විනිශ්චයකාර තනතුරට පත් කළා ය. අධිකරණයට දේශපාලනය ඇඟිලි ගැසීමෙහි දිගු ඉතිහාසයක් මෙරට තිබුණු අතර, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එය උච්ච තලයකට ගෙන ගියේ ය.

මහින්ද රාජපක්ෂ විසින් නීතිය වක්‍ර කළ අවස්ථා ඕනෑ තරම් තිබේ. එහි කූටප්‍රාප්තිය අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයයි. ඒ අතරතුර ඔහු විසින් කරන ලද සෙසු වික්‍රමයන් කීපයක් මෙසේ ය:


  • ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ පෙම්වතියක හා ඇගේ සේවිකාව මරා දමා වරදකාරිය වූ මිල්රෝයි ප්‍රනාන්දුගේ නීත්‍යානුකූල බිරිය විශේෂ ජනාධිපති සමාවක් දී නිදහස් කිරීම
  • චන්දන කත්‍රිආරච්චිට එරෙහි මිනී මැරුම් චෝදනා නීතිපතිවරයා ලවා ඉවත් කර ගැනීම
  • ඒ හා සමානව ම අබ්දූල් කාදර්ට එරෙහිව පැවති දූෂණ චෝදනා ඉවත් කර ගැනීම
  • තමන් ඝාතනය කරන්නට කොටින්ට ඔත්තු දී මුදල් ලබා ගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නො ගෙන ඔවුන් තමන්ගේ තුරුළට ගැනීම
  • හෙරොයින් සම්බන්ධ සැකයට භාජනය වූ ලන්සාගේ නිවස පොලිසිය විසින් වැටලූ පසු වහා ඔහුගේ නිවස වෙත ගොස් නීතිය අභියෝගයට ලක් කිරීම


පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ යනු රාජපාක්ෂික සොරුන්ට, මිනීමරුවන්ට හා දූෂිතයන්ට රැකවරණ සපයන ප්‍රධාන ආරක්ෂකයා විය. ඒ වෙනුවෙන් නීතිය තුට්ටුවකට මායිම් නො කරන ලදී.

මෙම ක්‍රියාවන්ට එරෙහි කිසිදු විරෝධයක් ඔහු ගණන් ගත්තේ ද නැත. විරෝධය පළ කරනවුන්ට ජීවත් වන්නට සිදු වුණේ කොයි මොහොතේ පැහැරගෙන ගොස් මරා දමනු ඇද්දැයි සැකයක් තුළ ය.

2015 ජනවාරි 8න් පසුව මෙම තත්වය වෙනස් වෙමින් තිබෙන බව දකින්නට බැරි කුහකකමකින් ද බොහෝ ලාංකිකයෝ පෙළෙති. ඉන් පසුව සිදු වූ ප්‍රධාන ම වෙනස වන්නේ ආයතන ශක්තිමත් වීමයි. අධිකරණය මෙහිදී විශේෂ ය. ස්වාධීනත්වය හා අපක්ෂපාතිත්වය පිළිබඳ උරුමයක් ඇති අධිකරණය විසින් දෙන ලද අවස්ථාව භාවිතා කරන බවක් පෙනේ. වැට් බද්දට එරෙහිව දුන් තීන්දුව වනාහි රජය පවා නීතිය ඉදිරියේ සමාන බව පෙන්වූ අවස්ථාවකි. ඉදිරියේදී ද මෙවැනි තවත් අවස්ථා යෙදෙන්නට නියමිත ය.

රෝමය එක් දිනකින් ඉදි නො වුණා සේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය හා යහපාලනය ද එක් රැයකින් හෝ එක් වසරකින් ඇති කළ නො හැකි ය. අඩුපාඩු එමට ය. යහපත් දේ අගය කරමින්, වැරදි නිර්දය ලෙස විවේචනය කරමින් පාලනයට සහයෝගය දීම පුරවැසියන්ගේ වගකීමකි.

පුරවැසියන් දූෂණයට ලොල් වූ විට දේශපාලකයන්ට එය පනින රිලවුන්ට ඉනිමං තැබීමක් වැනි ය. තීරු බදු රහිත වාහන බලපත්‍ර වරප්‍රසාදය ඉවත් කරන්නට දේශපාලකයන් පැත්තෙන් යෝජනා ඉදිරිපත් වූ විට රජයේ ඉහළ නිලධාරීන් පැත්තෙන් මතු වූ විරෝධය සමග සිදු වූයේ කුමක් ද? තිබුණු තත්වය ඒ ලෙස ම නැවත ස්ථාපිත වීමයි. දැන් නැවත වතාවක් 500කට අඩු දේශපාලකයෝ ද 40,000ක් පමණ රජයේ නිලධාරීහු ද පොදු මහජනතාව ගෙවන බද්ද මගහැර වාහන ආනයනය කර විකුණා ලාභ ලබති. තීරු බදු රහිත වාහන වරප්‍රසාදයට එරෙහිව මෙරට කිසිදු රැඩිකල් සංවිධානයක් සටන් කර තිබේ ද යන්න නැවත සිතා බලන්න. 

ලංකාවේ තිබෙන ප්‍රධාන ගැටලුව දේශපාලනඥයන්ගේ ය කියා හඳුනා ගැනීම ම වැරදි ය. ප්‍රධාන ම ගැටලුව තිබෙන්නේ ජනතාවගේ ය. දේශපාලකයන් පත් වන්නේ ඒ ජනතාවට ගැලපෙන ලෙසයි. රටට හරි හමන් නායකයන් නැති වීමට එක් හේතුවක් වන්නේ සමාජ විරෝධීන් වීරයන් ලෙස සලකන සම්ප්‍රදායක් අපට ඇති බැවිනි. ඉතාලි ගුවන් යානයක් පැහැරගෙන ගොස් රට අපකීර්තියට ලක් කළ සේපාල ඒකනායක එසේ වීරයකු ලෙස තොරොම්බල් කරන ලද සමාජ විරෝධියෙකි. 1983දී ඔහු වැලිකඩ බන්ධනාගාරයේ දෙමළ සිරකරුවන් සංහාරයකට ද සම්බන්ධ වූ බවට චෝදනා තිබේ. මේවා විමර්ශනය කළ යුතු ය.

විශේෂයෙන් ම ඇතැම් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන්න. එය මෙවැනි ය:

“හා, කරල පෙන්නහල්ලකො බලන්න."

ඔවුන් කිසිවකට සහාය දෙන්නේ නැත. එපමණක් නොව, ඍජුව හෝ වක්‍රව හෝ රාජ්‍ය විරෝධී කඩාකප්පල්කාරී ක්‍රියාවල ද යෙදෙති. ආණ්ඩුව පැහැර ගන්නට මාන බලමින් සිටින ප්‍රතිගාමී රාජපක්ෂ බලවේගයට වක්‍රව බැල මෙහෙ කරති. ඒ ගමන් සියල්ල කෙරෙහි අසුබවාදී අදහස් ප්‍රවර්ධනය කරති.

හොඳම උදාහරණය වන්නේ භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් විනිසුරුවරුන් පිළිබඳ දක්වන ප්‍රතිචාර වේ.

නඩුවේ තීන්දුව බෙදුණු තීන්දුවකි. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුව අනුව දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් වැරදිකරුවෝ වූ හ. විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා වෙනස් තීන්දුවක් දුන්නේ පැමිණිල්ලේ සාක්ෂි පරස්පර බැවින් සැකයේ වාසිය මත සියලු විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කරමිනි. එය ඔහුගේ ස්වාධීන තීන්දුවකි. එහෙත්, 2011 ඔක්තෝබර් 8දා කෝලාහලයකදී සිදු වූ වෙඩි තැබීමකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු මිය ගිය බව පැහැදිලි සත්‍යයකි. එසේ මරා දමන ලද අය භාරත ලක්ෂ්මන්ගේ පාර්ශ්වයේ අයයි. දුමින්ද සිල්වාට වෙඩි වැදුණුමුත් ඔහුගේ සත්‍ය තත්වය ගැන සැක මතු වන පරිදි ඔහුගේ පාර්ශ්වය ම කටයුතු කර තිබේ. පැමිණිල්ල නිසි පරිදි මෙහෙයවුණේ නැතිකමට පසුපස ද රාජපක්ෂ පාලනයේ අවනීතික කටයුතු තිබිණි.

දුමින්ද සිල්වාට හා සෙසු අයට අභියාචනා කරන්නට අවස්ථාව තිබේ. මෙවැනි වැරදි කරන සෙසු සාමාන්‍ය පුද්ගලයෝ ද මෙම ක්‍රියාවලියට මුහුණ දෙති. ඇතැම් විට මුදල් නොමැතිකම නිසා අභියාචනා කර ගන්නට හෝ අසමත් වෙති. දුමින්ද සිල්වා මෙම අපරාධය සම්බන්ධයෙන් නියමිත පරිදි රිමාන්ඩ් භාරයේවත් සිටියේ නැත. මේ මෙම අපරාධය සම්බන්ධයෙන් ඔහු සිරගත වූ පළමු අවස්ථාවයි. එය ඔහුට මහත් කම්පනයක් ඇති කරන තත්වයක් බව නිසැක ය. එහෙත්, මේ සියලු කාරණා සලකා බැලිය යුත්තේ නීතිමය සංදර්භයක් තුළයි. එය දේශපාලනයෙන් දූෂණය වන්නට ඉඩ නො තැබිය යුතු අතර, සාක්ෂ්‍ය මත පදනම් නො වුණු අවලාද පතුරුවා හරිමින් ගොඩනැගෙන සාධනීය තත්වයන් කඩාකප්පල් කිරීම ද නො කළ යුතු ය.

මෙවැනි තත්වයන් තුළ පවා අප මරණීය දණ්ඩනයට එරෙහි අපගේ ස්ථාවරයන් වෙනස් නො කළ යුතු ය.

මේ වන විට බලවතුන්, දේශපාලකයන් විසින් කරන ලද බොහෝ අපරාධ සම්බන්ධයෙන් නීතිය සෙමින් මුත්, ස්ථාවරව ක්‍රියාත්මක වෙමින් තිබේ. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතන අඩු කාර්යක්ෂමතාවකින් වුව ද ක්‍රියාත්මක වෙමින් තිබේ. අඩුපාඩු ඕනෑ තරම් පෙන්වා දිය හැකි ය. පරමාදර්ශී තත්වයන් බලාපොරොත්තු විය නො හැකි ය. එහෙත්, තිබුණාට වඩා හොඳ තත්වයක් තිබේ. එය ඉදිරියට ගෙන යා යුතු ය. 

අප ඒවා දිරිමත් කළ යුතු ය. තවමත් සැඟවී තිබෙන ආණ්ඩුවේ ප්‍රබලයන්ට එරෙහි චෝදනා පවා ඉදිරියට ගන්නට අවශ්‍ය තල්ලුව ආයතනවලට ලබා දිය යුතු ය.

නීතිය හා මනුෂ්‍යත්වය යන දෙක ම ස්ථාපනය වන අන්දමින් කටයුතු කළ යුතු ය. රටේ ජනාධිපතිගේ වෙබ් අඩවියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයකු ගැන විමර්ශනය කර හමාර වන්නටත් පෙර එම වැරදිකරුට සම්මාන දීම ගැන කතා කරන සමාජයක් යොමු වන්නේ කුමන දිශාවකට ද? 

සීගිරි කැටපත් පවුර මත කුරුටු ගා පොදු සංස්කෘතික උරුමයක් විනාශ කළ වැඩිහිටි තරුණිය පිළිබඳ රජය කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය ය. පළමුව දඬුවම් කළ යුතු ය. මානුෂික තත්වයන් සලකා සමාව දීම කළ යුත්තේ දෙවනුව ය. 

දේශපාලන ප්‍රශ්නයක් වන කුමාර් ගුනරත්නම් ප්‍රශ්නය දෙස වුව ද අප බැලිය යුත්තේ එම දෘෂ්ටි කෝණයෙනි. දේශපාලන චණ්ඩිකම්වලින් මේ ප්‍රශ්න විසඳා ගත නො හැකි ය. දේශපාලන මැදිහත්වීම් කළ යුත්තේ නීතිමය ක්‍රියාවලිවලට බලපෑම් නො වන පරිදි ය. 

දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය ද තවත් එවැනි ප්‍රශ්නයකි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, සාධාරණ නඩු විභාගවලින් තොරව, ජාතිවාදී පක්ෂපාතිත්වයන් ද සහිතව දී තිබෙන නඩු තීන්දු නැවත සලකා බැලිය හැකි ක්‍රමවේදයක් වෙනුවෙන් සංයුක්ත යෝජනා ඉදිරිපත් කරනවා මිස එය වවාගෙන කන රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘති දියත් කිරීමෙන් කිසිවක් සිදු වන්නේ නැත. 

එසේම, යුද්ධය හා සම්බන්ධ දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොදු සමාවක් පිළිබඳ අදහස ද ප්‍රවර්ධනය කළ හැකි ය. එහෙත්, එවැනි පොදු සමාවක් රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කිරීම නිසා වැරදිකරු වී සිටින සුනිල් රත්නායක වැනි සෙබළුන්ට ද අදාළ වන බව අප මතක තබා ගත යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මම නම් දුමින්ද ට මරණ දඬුවම ලැබෙයි කියල කවදාවත් හිතුවෙ නැහැ. මොකද තවමත් රටේ වැදගත් වගේම මෙලෝ රහක් නැති ආයතන හැම එකකම මහින්ද මහත්තයාගේ බත් බැලයො රජකරන නිසා. මේ තීන්දුවනම් අතිවිශිෂ්ට එකක්. ඒ වගේම මයිත්‍රී රනිල් මහත්තයල එක්ක ඩීල් දාගන්ට හදන්න දෙන්නෙ නැතිව මහින්ද පාර්ශවයේ අයටත් තරාතිරම බලන්නෙ නැතිව නිතිය ක්‍රියාත්මක වෙනවනම් වඩා හොඳයි. මොකද නාමල් යෝෂිත බැසිල් ඇතුලට යනව එනවනම් දැකලම එපා වෙලා..

    ReplyDelete
  2. //2015 ජනවාරි 8න් පසුව මෙම තත්වය වෙනස් වෙමින් තිබෙන බව දකින්නට බැරි කුහකකමකින් ද බොහෝ ලාංකිකයෝ පෙළෙති. //

    විශේසයෙන්ම දකුනේ සිංහලබෞද්ධ මධ්‍යමපාන්තිකයින්ගේ තමා ඔය කුහකකම වැඩියෙන්ම තියෙන්නේ..
    මම හිතන විදිහට මේකට ප්‍රධාන හේතුව අධිකරනය ස්වාධීන වීමෙන් "තම ජාතියේ ස්වෝත්තමවාදය වෙනුවෙන් පෙනීසිටින තාක් නීතියට ඉහලින් ඔසවා තැබූ" සිංහලබෞද්ධ ගෝත්‍රික නායකයින්ට (මහින්ද/ ගෝටාභය ) එරෙහිවත් නීතිය ක්‍රියාත්මක විය හැකියි කියල ඔවුන්ගේ යටිහිත දැනසිටීම

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව....සමහරු හිතන් ඉන්නේ මහින්ද/ගෝඨාභය තමයි රටේ නීතිය කියලා. ඒ තරමටම නීතිය පුස්සක් කරලා තිබුනේ.

      Delete
  3. මහින්ද නීතිය නවපු තව එකක්-
    රත්නපුර සමන් දේවාලෙ බස්නායක, පුතාගේ බිරිඳ මරල වරද පිලිගතිපු වෙලාවෙ .

    ReplyDelete
  4. තාම වේල හොයාගන්නේ රාජපක්ෂ මුව හමට තඩිබාල නේද ? ලැජ්ජයි බං.

    ReplyDelete
    Replies
    1. උඹ රාජපක්ෂලා මුව හමක් කියලා පිළිගත්තු එක ලොකු දෙයක්

      Delete
    2. ඒක මුව හමක් නෙවේ, ගෙරි හමක්. බෙරේ සද්දේ වැඩි ගෙරි හමක් බැන්දාම.

      Delete
  5. ඉතා වැදගත් ලිපියක් . විශේසයෙන්ම ඩියුටි ෆ්‍රී වාහන ගැන කරන කතාව. මේක මහා අසාධාරණයක් බිලියන් අටක් විතර ඩොලර් ලංකාවට ගෙනෙන ශ්‍රමිකයන්ට. ඔවුන්ගේ සල්ලි නේද මේ සේරම සෙල්ලම් දාන්න යොදාගන්නේ. නැත්නම ගාමන්ට් කර්මාන්තයේ යෙදිල ඉන්න තරුණියන්ගේ ශ්‍රමයෙන් උපයන විදේශ විනිමය නේද? මොකක්ද ඒ ගොල්ලන්ට ලැබිල තියෙන දෙය,

    ReplyDelete
    Replies
    1. +++++ සූරන්කෑම කියන්නේ ඕකටයි.

      Delete
  6. ඔව්, ගොඩක් අය නොදන්න එකක් තමා රත්නපුර මහසමන් දේවාලෙ හිටපු බස්නායක නිළමේ ඇන්ටන් තෙන්නකෝන්ව නිදහස් කරපු එක. මිනිහා මැරුවේ පුතාගෙ බිරිඳ නොවෙයි, තමාගේ අනියම් බිරිඳ! ඒක ඇත්තටම කලේ පුතා කියලා කතාවක් තියෙනවා... කොහොම උනත් ඇන්ටන් වරද පිලිගෙන මරණ දන්ඩනයට නියම උනා... මරා හොර රහසෙම මිනිහව නිදහස් කරලා ගෙදර ඇරියා!

    ReplyDelete
  7. මෙ රටේ ජනතාවට ඕනෙ තමන්ගෙ පාර්ශවයට නැතුව අනික් පාර්ශවයට අකුරටම ක්‍රියාත්මක වෙන නීතියක්. යුද්ධෙ ඉවරකරපු මහින්ද පොඩ්ඩක් හොරාකෑවම මොකද කියන්නෙ ඒ නිසානෙ .
    වැට් බද්දට එරෙහිව නඩුකියල ඒක නැවත්තුව කියල විමලසිරි ගම්ලත්ට හුරේ දාන්න පුලුවන් වෙලා තියෙන එකෙන් පේනව නීතිය ස්වාධීන වෙමින් පවතිනව කියල.
    හැබැයි එතුමා ඒ ගමන්ම අමතක කරනව ඉන්ධන මිල අඩුකරන්න කියලා අධිකරණය දුන්න තීන්දුව ගනන් නොගෙන හිටපු ආණ්ඩුවක ඇමති කෙනෙක් වෙලා හිටිය කියල

    ReplyDelete
  8. නීතීඤයෝ අසාධාරණ ලෙස තම සේවාදායනයන් ගසා කෑම නවත්තන්න ක්‍රමයක්
    ස්ථාපිත කලයුතුයි!

    ReplyDelete
  9. වෙන්නේ මෙහෙමයි.අඩු විනිසුරන් ගානක් බාගන්න බලාගෙන ජූරිය නැතුව නඩුව අහන්න විත්තිය ඉල්ලනවා. විනිසුරන් තුන්දෙනාගෙන් එක්කෙනෙක් මුදල් බලයෙන් බාගන්නවා. අනිත් දෙන්නගෙන් එක්කෙනයි බාගන්න ඕනේ. එයා වැට උඩ. කුජීත වෙලා ඉන්නවෙලාවේ ශ්‍රීලනිප පාක්ශිකයො ආපහු දිනාගන්න මේ ස්වර්නමය වෙලාවක් බව විධායකයට පේනවා. අර වැට උඩ එන්න කෙනාට කියනවා හොම්බ තලාගන්නැතුව වැටෙන් බහින්න කියලා. මුදල් බලය දේශපාලන බලයට යටවෙනවා. අජිත්ලා පාන්දර නැඟිටගෙන අධිකරනයේ ස්වාධිපත්‍යය ගැන මාගල් ලියනවා.

    ReplyDelete
    Replies
    1. ඔතන දී විනිසුරුවන්ගේ බහුතරේ (3 න් දෙකක්ම) අධිකරණයේ ස්වාධිපත්‍ය පෙන්නල තියනවනේ, එක්කෙනෙක් සල්ලි අරගෙන තීන්දු දෙන්න තමුන්ට ඇති ස්වාධිපත්‍ය පෙන්නලා තියනවා අනෙකා තමුන්ගේ විශ්වාසයට අනුව ස්වාධිපත්‍ය පෙන්නලා තියනවා, ඔබ කියන හැටියට එක්කෙනයි ස්වාධිපත්‍යයක් නැතුව වැට උඩ ඉඳලා තියෙන්නේ. මට නම් වැදගත් අධිකරණයේ ස්වාධිපත්තේ නොවේ මානුෂ නීතියේ ආධිපත්‍යයයි.

      Delete
  10. කුමාර් ගුණත්නගේ ප්‍රශ්ණය කොහොමද දේශපාලන එකක් වෙන්නේ? කොහොමද ටුවරිස්ට් වීසා වලින් ඇවිත් දේශපාලනය කරන්නෙ?

    ReplyDelete
  11. සේපාල ඒකනායක පිළිබඳව ඔබ දන්නේ කුමක්ද? ඔහු ගැන ඔබට වඩා මා හොඳින් දනී. ඇසුරු නොකල පුද්ගලයන් විනිශ්චය කිරීමෙන් වලකින්න සොයුර.
    බුදුසරණයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් ඌ අපරාධකාරයෙක්නේ.
      පැරා කියල තියෙන්නේ ඇත්තනේ.

      Delete
    2. නිකන් බොරු කියන්න එපා ඇනෝ
      සේපාල ඒකනායක ගැන හොඳටම දන්නා කෙනෙක් මම. බය නැතිව කියන්න පුළුවන් ඔහු අපරාධ රාශියකට සම්බන්ධ කෙනෙක්. පැරා කියන කතාව එක්ක මම එකඟයි

      Delete
  12. කෝකව හරි කමක් නෑ එකෙක් එල්ලන්න ඕනේ. එතකොට අනික් එවුන් ඇත්ත කියනවා. මරාට බයේ කට වහගෙන ඉන්න එවුන්ගේ කටවල් අරවන්න නම් එකෙක් දෙන්නෙක් එල්ලන්නම ඕනේ.

    ReplyDelete
    Replies
    1. එවුං එල්ලල වැඩක් නැහැ. මරයි උගේ පවුලේ උනුයි ඔක්කොම ගෝල් ෆේස් ගෙනල්ල ප්‍රසිද්දියේ එල්ලලා මරන්න ඕන රටට කරපු විනාශයට. නඩු අහන්න ජනතා ධනය නාස්ති කිරීමත් අපරාධයක්

      Delete
  13. I don't agree with this statement " දේශපාලන මැදිහත්වීම් කළ යුත්තේ නීතිමය ක්‍රියාවලිවලට බලපෑම් නො වන පරිදි ය." My opinion is , there shouldn't be any political interference for legal issues.

    ReplyDelete
  14. හොමාරිස්ගෙ අදහස මොකක්ද දන්නෙ නෑ.

    ReplyDelete
  15. "එවැනි පොදු සමාවක් රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කිරීම නිසා වැරදිකරු වී සිටින සුනිල් රත්නායක වැනි සෙබළුන්ට ද අදාළ වන බව අප මතක තබා ගත යුතු ය"

    මෙය රාජයත්‍රස්ත්‍රවාදයද? එහෙම නැතිනම් මොහු ඔහුගේ සේවය අවභාවිතා කර කල මිනීමැරුමක් ද?

    ReplyDelete
  16. පැරා මචං, මොකෝ නිහඬ? අප මේ දිවා ආහාරයට පසු ටිකක් නිවි සැනසිල්ලේ ඉන්නෙ. වරෙන් වරෙන් බය නැති ව. උඹේ රස කතා ටිකක් ඇහැව්ව නම් හොඳ යි කෑම ටික දිරවන්නත් එක්ක.

    මචං අපට අවංක කනගාටුවක් දැනෙනවා බං උඹ ගැන කල්පනා කරනකොට. බලපං අද හෙට උඹට අවුරුදු පනස් එකක් වෙන්නත් එනවා. උඹේ මුළු මහත් ජීවිතය ම බ්ලොග් පඩංගුවකට යි මතුගමට යි සීමා වෙලා. උඹලා අප සමඟ ඒ කාලේ හිටි සහෝදරවරුන් අද මොන තරම් දියුණුවක් ලබාගෙන තියෙනවා ද? අද බොහෝ දෙනෙක් අන්තර්ජාතික මට්ටමේ විප්ලවීය දේශපාලනයක ජය කෙහෙළි නංවනවා. ඒත් උඹ? ඇත්තෙන් ම දුක යි මචං.

    උඹ මචං ටිකක් මේවා ගැන හිතන්න ඕන. උඹ දැරි‍යන් දෙදෙනෙක්ගේ තාත්ත කෙනෙක් බව හෝ අවම වශයෙන් හිතපං. උඹ උඹේ ජීවිතේ සෑම අසාර්ථකත්වයකට ම හිරු කණ්ඩායමට ඇඟිල්ල දික් කරන්න එපා. ඇත්තෙන් ම අජිත් පැරකුම් ජයසිංහ නම් චරිතය ගොඩ නැඟෙන්නේ හිරු නිසා. හිරු නැති වුණා නම් උඹ නිකම් ම නිකං විශ්‍රාමික උපගුරු. ඕනෙ ම නම් අපකීර්තිමත් සේවා වාර්තාවක් සහිත කියලා කියනිනත් පුළුවන්.

    ආශාවේ වස්තුව වගේ සංකල්ප උඹට අමාරු යි නේ තේරුම් ගන්න. ඒක නිසානේ උඹ ඒ වගේ සංකල්පයක් අවභාවිතා කරන්නේ උඹේ මේ බ්ලොග් පඩංඟුවේ. අපි ඕක උඹට තේරුම් ගන්න පුළුවන් විදියට මෙහෙ ම කියමු: “නරියා මිදි තිත්ත යි කිව්වා වගේ”! නරියා සහ තිත්ත මිදි සංකල්පය අපි උඹට යොදා බලමු.

    උඹට උසස් අධ්‍යාපනයක් ලබන්න බැරි වුණු නිසා උසස් අධ්‍යාපනය ලද අය උඹට තිත්ත යි. උඹට ලංකාවේ දෙවන පැරණි ම ඉංගිරිසි පුවත්පත වගේ සම්භාවනීය පුවත්පතක කර්තෘකම ලබන්න බැරි නිසා එවැනි විශිෂ්ට කර්තෘවරුන් උඹට තිත්ත යි. උඹට වාම විප්ලවීය දේශපාලනයේ ප්‍රභාමත් චරිතයක් බවට පත් වෙන්නට නො හැකි වූ නිසා වාම විප්ලවීය දේශපාලනයේ ප්‍රභාමත් තාරකාව උඹට තිත්ත යි. ඔය වගේ කරුණු රැසක් උඹේ ජීවිතයෙන් පෙන්නුම් කෙරෙනවා. ඒ සියල්ලෙන් ම උඹට වැඩි ම පීඩාවක් ලැබෙන කරුණ වන්නේ උඹට යුරෝපයේ රටකට සංක්‍රමණය වී අන්තර්ජාතික මට්ටමකට විප්ලවීය දේශපාලනයේ වර්ධනයක් ලබන්න නො හැකි වුණු එක.

    ඉතිං මචං මෙහෙම යි දැන් තත්ත්වේ. උඹේ වයසත් එක්ක දැන් නම් එන්න එනින ම යුරෝපයට විසා ගන්න එක අමාරු වෙනවා. නරක ද මචං ඔස්ට්‍රේලියා, නිව් සීලන්ඩ් වගේ රටකට උත්සහ කර බැලුවොත්? ඔස්ට්‍රේලියාවේ ඇබෝලා ඉන්න පැත්තක හෝ ටිකක් ඇතුලට වෙන්න තියෙන සීමිත වීසා ලබා දෙන පැත්තකට හෝ යා ගන්න බලපං. කාලෙකට ඉස්සර නම් එහෙම වීසා පදනමක් තිබුණා. තව එක ක්‍රමයක් තියෙනවා. නර්ස් නෝනාට වීසා ලබා ගෙන උඹට ස්පවුස් වීසාවලින් එල්ලෙන්න පුළුවන් ද කියලා සොයා බලපං. නර්සස්ලාට ඉල්ලුමක් තිබෙනවා. ඒත් උඹට යුරෝපය ම නම් අවශ්‍ය අප උඹට සහයක් දෙන්න බලන්නම්. උඹ ඉතිං කවදත් කන්න දුන්න අත සපා කන එකා කියලා අප දන්නවා. ඒත් කමක් නැහැ උඹ උඹේ ආත්මය පෙළන සමාජ වෛරය සමනය කර ගන්නවා නම් අපට ඒ ඇති.

    පැරා මචං, ජීවිතය දෙස, ලෝකය දෙස, අනාගය දෙස ආදරයෙන් බලන්න පුරුදු වෙයං. උඹ කුකුළු කූඩු කතා කිය කිය අපහාස කළාට සන්නගෙන් උඹට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා බං.

    එහෙනම් පැරා අප ගිහිං එන්නම්. පැරාගේ ආත්මයට සැනසීම ලැබේවා!

    ReplyDelete
    Replies
    1. "... උඹලා අප සමඟ ඒ කාලේ හිටි සහෝදරවරුන් අද මොන තරම් දියුණුවක් ලබාගෙන තියෙනවා ද? අද බොහෝ දෙනෙක් අන්තර්ජාතික මට්ටමේ විප්ලවීය දේශපාලනයක ජය කෙහෙළි නංවනවා. .."

      මේක දැකල පුකෙනුත් හිනා ගියා. මේ යුරෝපෙ කොහෙද අන්තර්ජාතික මට්ටමේ විප්ලවීය දේශපාලනයක් තියෙන්නේ. තියෙන 'විප්ලවීය' කියාගන්න සංවිධානත්, ලංකාවේ තියෙන NGO වලට තමා වඩා සමාන වෙන්නේ. යුරෝපෙන් පිටත රටවල විවිධාකාර බෙදුම්වාදී සංවිධාන වලට සම්බන්ධ සහ අනුබද්ද සංවිධාන නම් තිබේ. නමුත් ඒවා විප්ලවකාරී වන්නේ බෝඩ් ලෑල්ලට පමණි.

      දුඹුරු සහ කළු රටවලින් පැමිණෙන දේශපාලන සරණාගතයන් මේවාට සම්බන්ධ වීමට හේතු කාරක ගණනාවක් තිබේ. පළමු සහ ලොකුම කාරණය නම් සරණාගත අයදුම සලකා බැලෙන කාලය තුලදී ඔවුන්ට උදව් කිරීමට සහ ඔවුන් සමඟ ආශ්‍රය කිරීමට ඉදිරිපත් වන්නේ එවැනි සංවිධාන වලට සම්බන්ධ පුද්ගලයන්වීමයි. ලංකාව වැනි රටවලින් පැමිණ නන්නත්තාර වී සිටින සරණාගතයන්ට කොක්ක ගැසීමට ම විශේෂ වුනු ක්‍රියාකාරිකයන් ගැන මා යුරෝපයේ විවිධ නගර වලදී අසාතිබේ. විශ්ව විද්‍යාල වල නවක වධය මෙන්, මෙම සරණාගතයන් අතරින් සමහරක් පසුව කොකු ගසන්නන් බවට පත්වේ. දහසකට අඩු සාමාජිකයන් සහ සීයකට අඩු ක්‍රියාකාරිකයන් ඇති මෙවැනි සංවිධාන වලට එක නව සාමාජිකයෙක් යනුද මහමෙරකි. එකෙකු එකතුවූ විටද හඳුන්වාදීමේ හමු, මත් පැන් බීමේ හමු ආදී වශයෙන් විකාර සැමරුම් කරති. කිසිදු විප්ලවීය ලක්ෂණයක්, රහස්‍ය භාවයක් මේ අවස්ථාවල් දී නොපෙනේ. ප්‍රීතියට හේතුව වන්නේ අනුගාමිකයන්ගේ සංඛ්‍යාව අනුග්රාහකයන්ගෙන් ලැබෙන අරමුදල් වලට අනුලෝමව සමානුපාතික බැවිනි.

      තවත් හේතුවක් වන්නේ, මේ වාමාංශික පසුබිම සහිත සරණාගතයන් බොහොමයක් මේ රටවල කළහැකි වෘත්තීයක හැකියාවක් හෝ, ඇඟ හොල්ලා වැඩක් කිරීමට කැමැත්තක් හෝ, යුරෝපීය භාෂා ප්‍රවීනතාවයක් හෝ නැති, 'කතාව පමණයි' මාදිලියේ සත්ව කොට්ඨාශයක් බැවින්, ආණ්ඩුවේ සල්ලි වලින් ජීවිතය ගෙනයාමට ඇබ්බැහි වෙත්දී ඉබේම මෙන් ඔවුන් ගොනු වන්නේ සමාන ඩෝල් කාරයන් අතර බැවිනි. ආණ්ඩුවේ සල්ලි වලින් ජීවත් වෙන ගමන් කාලය කා දැමීමටත්, තමන්ගේ රටවල දී තිබුණු සමාජ පිළිගැනීම ගැන සාංකාව නැතිකර ගැනීමටත් මේ බෝඩ් ලෑලි සංවිධාන වලට යාම් ඊම් කරති.

      මෙවැනි සංවිධාන බොහෝවිට ඇතුලතින් හැසිරවෙන්නේ යුරෝපීය ආණ්ඩු වලට සම්බන්ධ ඔත්තු සේවා හෝ පොලීසි වලින් මෙහෙයවෙන මුදලට වැඩකරන පුද්ගලයන් මගිනි. මේවායේ පොදු ලක්ෂණය වන්නේ අවිධග්ද අනුගාමිකයන් කලක් යත්දී ඔවුන් විප්ලවකාරීන් බව සිතීමට පටන් ගැනීමයි. මෙය වාමාංශික/ආගමික විප්ලවයක්, රටක් බෙදීමක් හෝ රෙජීම මාරුවක්‌ වියහැකි අතර, යුරෝපීය සමාජයට තවමත් සංයෝග විය නොහැකි වූ අප සරනාගතයාද තමන් මහා පෙලෙහරක බලකණුවක් බව සිතා සිත සනහා ගනී. තමාගේ රටේ යාළු මිත්‍රාදීන්ටත් , සමහරවිට පුවත් පත් වලටත් තවදුරටත් අතිශයෝක්තියෙන් ම ලියා /කියා යවයි.

      ඉතින් මේ ව්‍යභිචාරය හැර යුරෝපයේ කිසිවෙකු කරන විප්ලවයක් නම් දක්නට නොලැබේ. මෙහි ආණ්ඩුවලටත්, මාධ්‍ය වලටත් ජනතාවටත් නොදැනෙන ලෙස සම්පූර්ණයෙන්ම රහසිගතව එය සිදු වේ නම් , ඒ පිළිබඳව අපගේ සුබ පැතුම්! එහෙත් එවැනි දේශපාලනයක 'ජය කෙහෙළි නන්වන්නන්' නම් මෙහි සිටිය නොහේ. එවැන්නන් පිළිබඳව වහාම පියවර ගනු ලැබෙන බැවිනි.

      Delete
  17. මිත්‍රවරුනි,

    මෙන්න මේ ප්‍රවෘත්තිය බොලොග වලටත් අදාළද?

    //මෙරට ක්‍රියාත්මක වන සියළුම ආකාරයේ වෙබ් අඩවි විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසම සමග පසුගිය සතියේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබදව සාකච්ඡා කර උපදෙස් ලබා දී ඇත. ඇතැම් වෙබ් අඩවි මාධ්‍ය නිදහස අයථා ලෙස යොදාගෙන ඇති බවට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බවට විදුලි සංදේශ නියාමන කොමිසම පවසා ඇති අතර මේ තත්ත්වය වැලැක්වීමට සුදුසු පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර වෙබ් අඩවි නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසටද උපදෙස් දී ඇත.

    විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි නොවන වෙබ් අඩවි අවහිර කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසටද මෙහිදී ජනාධිපතිවරයා මෙහිදී නියෝග කොට ඇත.//

    කරුණාකර දන්න කෙනෙක් පැහැදිලි කර දෙන්න ප්ලීස්.

    ReplyDelete
    Replies
    1. Good point. Ko me ape osthadla ekek wath me gana katha karala nane.. Passa paththata payin gahala yanakam mun danne na..

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා