හොස්නි මුබාරක්, චාල්ස් ටේලර් සිපිරි ගෙට යැවූ ලෝක නීතිය හා සදාචාරය

ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ.


ඔහු සමග ඔහුගේ අභ්‍යන්තර ආරක්ෂක ඇමතිවරයා ද ජීවිතාන්තය දක්වා සිර ගෙට නියම වී සිටිති.


ඒ 2011 වසරේ ඔවුන්ගේ රජයට එරෙහිව පැවති උද්ඝෝෂණවලදී වෙඩි තබා මහජනතාව ඝාතනය කිරීමට පියවර ගැනීමේ වරදට ය.


සියේරා ලියෝන්හි 1991 වසරේ සිට 2009 තෙක් කාලයේ පැවැති සිවිල් යුද්ධයේදී දියමන්ති හිලව්වට එරට කැරැලිකරුවන්ට අවි ආයුධ සපයා දී, මහා පරිමාණයේ මිනිස් ඝාතන සිදු කිරීමට අනුබල දීමේ චෝදනා මත, ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර්ට 50 වසරක සිර දඬුවමක් නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය විසින් පනවනු ලැබුවේ පසුගිය 30දා ය. 


ලෝක නීතිය හා සදාචාරය අනුව, කුමන තත්වයක් යටතේ හෝ රටක ජනතාව මරා දැමීමට හා පොදු සම්පත් සොරකම් කිරීමට ඒ රටේ හෝ වෙනත් රටක පාලකයන්ට අයිතියක් නැත. එය ඇමරිකාව වැනි බලවත් රටවලට මෙන් ම ලයිබීරියාව වැනි දිළිඳු රටවලට ද පොදුවේ ක්‍රියාත්මක විය යුතු ය. ඇමරිකාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො වුණා ය කියා වෙනත් රටවල පාලකයන්ට ද එවැනි අපරාධ සම්බන්ධයෙන් මුක්තිය ලබා ගැනීමට අයිතියක් නිර්මානය නො වේ. 


දුබල රටවලට ලෝක නීතියට බලවත් රටවල් අවනත කර ගැනීමට හැකි වන්නේ තම අවකාශය තුළ ලෝක නීතියට ගරු කෙරෙන තත්වයක් නිර්මානය කිරීමෙනි. 


ඒ අතින් ඊජිප්තුව හා ලයිබීරියාව වැනි රටවල හිටපු පාලකයන් සම්බන්ධයෙන් ගන්නා ලද පියවර යහපත් ලෝකයක් වෙනුවෙන් ගැනුණු ඉදිරි පියවර ලෙස සැලකිය යුතු ය.


තම පාලනයට යටත් වැසියන් මරා දැමීමේ හා මහජන දේපල කොල්ල කා සැප විඳීමේ හිමිකමක් රාජ්‍ය පාලකයනට හා ඔවුන්ගේ පවුල්වලට ඇති ය යන අදහසක් විශේෂයෙන් ම ලෝකයේ දිළිඳු ම රටවල පාලකයන් අතර තහවුරු වෙමින් තිබේ. 


ඔවුන් සිය ක්‍රියා සාධාරණීකරණය කර ගන්නේ එවැනි ක්‍රියාවල යෙදෙන බලවතුන්ට මුවා වෙමිනි. විශේෂයෙන් ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බින් ලාඩන්ගේ ත්‍රස්තවාදය ඔස්සේ ලෝක නීතිය හා සදාචාරය පිළිබඳ සම්මතයන් බිඳ දැමූ අතර එයට මුවා වෙමින් දිළිඳු රටවල පාලකයන් කරන්නේ එම ක්‍රමවේද හා උපාය භාවිතා කරමින් තමන්ගේ ම යටත්වැසියන් මරා දැමීමයි. 


මෙය වහා නතර විය යුතු ය. ලෝක නීතිය හා සදාචාරය යළි ස්ථාපිත විය යුතු ය. සියලු මිනීමරු හා දූෂිත පාලකයෝ දඬුවම් ලැබිය යුත්තා හ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ලෝක නීතිය කවදා හෝ තමන් පසු පස එන බව ලංකාවේ පාලකයන්ද දැන ගත යුතු බව නේ ඔබ මේ කියන්නේ..බුදුන් වහන්සේ වදාළ පරිදි රට පාලනය කරන්න කියල ලෝකයේ අනිත් පාලකයන්ට බණ කියන අපේ පාලකයන්ට ඔය ලෝක නීතිය බල පාන්නේ නැති බවට මෙන්න කැට...

    ReplyDelete
  2. හැමදා බලයේ ඉන්නට සිතා සිටින කොයි ලොක්කටත් ඔය ටිකය.ඔය අනිත්‍යය මේ පොසොන් දවසේදී මතක් කර ගැනුම වටී.දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව තියා මොන මැජිකක් ගත්තත් ආතල් බැලුම පිපිරෙන දවසක් එයි.මීට දශක දෙකකට කලින් මේ රටේ හිටි එක පාලකයෙකුත් ඔය විදිහටම විරුද්දවාදින්ට ගේම දෙමින් මිත්‍යාවේ ඇලෙමින් ගැලෙමින් ඒකාධිපති පාලනයක් ගෙන ගියේ ශ්‍රීමත් නමක්ද මුලට දමාගෙනය.අන්තිමේදී රජකම් සොරි වී කල කම් පල දී පාර මැද්දේ සෙත්තපෝච්චි උන හැටි කාට කාටත් තාම මතක තිබිය යුතුය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා