වෙබ් අඩවි දෙකක කාරියාල සීල් තබා නවදෙනෙක් සිර කිරීමේ සුළු සිද්ධියක්

අදාළ වෙබ් අඩවියක පළ වූ ඡායාරූපයක්
ශ්‍රී ලංකා මිරර් හා ශ්‍රී ලංකා එක්ස් නිව්ස් නම් ත්‍රිභාෂා වෙබ් අඩවි දෙක පවත්වාගෙන ගිය කාර්යාල වටලා ඒවා සීල් තබා ජනමාධ්‍යකරුවන් ඇතුළු නවදෙනෙක් අත්අඩංගුවට ගැනීමේ සුළු සිද්ධියක් ඊයේ සිදු වී තිබේ.


මෙය සුළු සිද්ධියක් යයි අප කියන්නේ ලංකාවේ හෝ ජාත්‍යන්තර ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හෝ මෙය එතරම් වැදගත්කමක් දී වාර්තා කර නැති නිසා ය. ඒ විශේෂ වාරණයක් නිසා යයි සිතිය නො හැක. වාරණය තමන් විසින් ම කර ගන්නට මේ මාධ්‍ය දනිති. 


අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් රට අපකීර්තියට පත් කරමින් පවත්වාගෙන ගිය මෙම වෙබ් අඩවි දෙක අධිකරණ නියෝගයකට අනුව තහනම් කොට කාර්යාලය සීල් තැබූ බව ද අන්තර්ජාල ප්‍රවෘත්ති සේවාවන් ලියාපදිංචි කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබූවත් මෙම වෙබ් අඩවි දෙක එම තීරණයන්ට ගරු නොකරමින් පවත්වාගෙන ගොස්‌ ඇතැයි ද  ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ල පවසයි.


මේ නීති සියයට සියයක් ම අපැහැදිලි ය. එහෙත්, එකක් පැහැදිලි ය. ඒ 'නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත්  හාමුදුරුවන්ගේ' යන ප්‍රස්ථාව පිරුළයි. 


මෙම වෙබ් අඩවි දෙක ම එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී මංගල සමරවීරට සම්බන්ධ ය. මංගල සමරවීර යනු ආණ්ඩුවේ මාධ්‍ය ගේමට මුහුණ දෙන්නට මාධ්‍ය හැසිරවිය හැකි ඔස්තාද් කෙනෙකු බව සැබෑ ය. එහෙත් මේ වෙබ් අඩවිවල තිබුණු ඇටිකෙහෙලක් නැත.


‍මේ සිද්ධියෙන් ඕනෑ නම් මෙම වෙබ් අඩවි දෙකට ප්‍රචාරයක් හා ඒවායේ හිඟන පඩියට වැඩ කරන ජනමාධ්‍යකරුවන්ට නම්බුකාර ලෙස විදෙස් රටක දේශපාලන රැකවරණ සඳහා අවස්ථාවක් ලබා ගැනීමට හැකි වනු ඇත.


එසේම, ලංකාව දරුණු මර්දනයක් ඇති රටක් බවට ඇති මතය තහවුරු කරන්නටත්, ලංකාවේ දෙමළ ජාතිකයන්ට වැඩි වැඩියෙන් ඕස්ට්‍රේලියාව වැනි රටවල සරණාගතභාවය ලැබෙන්නටත් මෙවැනි සිද්ධි ඉවහල් වනු ඇත.


ආණ්ඩුවට එරෙහිව ඇති විරෝධය වෙබ් අඩවියක කමෙන්ටුවක් දමා මෝචනය කර ගන්නට අන්තර්ජාල පාඨකයන්ට ඇති අවස්ථාව ද නැති කර දැමීමෙන් ආණ්ඩුව කුමක් බලාපොරොත්තු වේ ද යන්න පැහැදිලි නැත. 


ආණ්ඩුවට හිසරදයක් වී ඇති බව කියන වෙබ් අඩවි ඔස්සේ පැතිරෙන්නේ ගොසිප් ය. ගොසිප් යනු ඕපාදූප වුණත්, ඒවා කටකතා තරම් අවිද්‍යාත්මක නැත. නිදසුනකට මේ දිනවල කටුගෙයින් නැති වූ කඩු ආදිය පිළිබඳ පැතිරෙන කටකතා විමසා බලන්න. 


‍ගොසිප් අවුරන්නට යන ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදු වන්නේ කටකතාවලටයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. loku putha horata minissu australiya yawanawalu neda

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා