ප්‍රේමකුමාර් ගුනරත්නම් සැගවී ඉන්නේ ඇයි?

ජවිපෙ කැරැලිකාර කණ්ඩායමේ සැඟවුණු නායක ප්‍රේමකුමාර් ගුනරත්නම්ගේ බිරිඳ වන ඔස්ට්‍රේලියාවේ පදිංචි චම්පා සෝමරත්න නිවාඩුවකට පැමිණ රටින් පිටව යද්දී ගුවන් තොටුපළේදී ප්‍රශ්න කිරීමට භාජනය වීම පුවත්පත්වල වාර්තා විය.


ගුනරත්නම් කොටි සංවිධානයේ කේ.පී. වැනි ජාත්‍යන්තර ත්‍රස්ත නායකයෙක් නො වේ. ඔහු කර ඇති වරද ලෙස පෙනෙන්නේ ව්‍යාජ හැඳුනුම්පත් හා ගමන් පලපත්‍ර භාවිතා කිරීමයි. එහෙත්, ඒවා ව්‍යාජ ද යන්න ද පැහැදිලි නැත. මිනිසකුට සිය නම වෙනස් කර ගැනීමට හිමිකමක් ඇත.


සාමාන්‍ය මධ්‍යම පංතික සිහින සහිත පවුලක් හිමි මේ පුද්ගලයා අනවශ්‍ය ලෙස සැඟවී සිටින්නේ මන් ද?


ඔහු පිළිබඳ තොරතුරු බුද්ධි අංශවලට දුන්නේ ඔහු රහසිගත ජීවිතයකට තල්ලු කළ අය විසින් ම බවට චෝදනා ඇත.


ජවිපෙ මෙවැනි රහසිගත නායකයන් පවත්වාගෙන ගියේ පක්ෂය වෙනුවෙන් සිය දිවි කැප කර සිටි පහළ සාමාජිකයන් තුළ සමාජවාදය පිළිබඳ බලාපොරොත්තුව හා විශ්වාසය පවත්වාගෙන යන්නට ය. අද දවසේ ධනේශ්වර දේශපාලනය සමග සන්ධානගතව නායකයන් විවිධ වැරදි දේශපාලන ක්‍රියාකාරිත්වයන්හි යෙදී සිටියත් පක්ෂයේ සමාජවාදය කෙරෙහි ‍කැපවීම නො නැසී ඇති බව සාමාජිකයන්ට මාකට් කළේ ප්‍රේමකුමාර් ගුනරත්නම් වැනි අය විසිනි.


නායකයන්ට සිය උන්නතිකාමී සිහින පසුපස හඹා යාම පිණිස හෝ පක්ෂය විසින් අත්පත් කර දුන් සමාජ ප්‍රාග්ධනය රැස් කර ගැනීමට සාමාජික ශ්‍රමය මිරිකා ගත හැකි වුණේ ඒ ඔස්සේ ය.


ප්‍රේමකුමාර් ගුනරත්නම් ද කලෙක මෙම කුමන්ත්‍රණයේ හවුල්කරුවකු වන්නට ඇත. ඔහුට 1989 කැරැලි සමයේ ක්‍රියාකාරිකයන්ව සිටි සෙසු ජවිපෙ සාමාජිකයන්ට නො තිබුණු අන්දමේ සුවිශේෂ ආරක්ෂක ගැටලුවක් තිබුණා නම් ජවිපෙ ආණ්ඩුව සමග සන්ධානගතව සිටි සමයේ පහසුවෙන් සිය නෛතික පැවැත්ම තහවුරු කර ගන්නට ඔහුට හැකියාව තිබිණි. 


සෝමවංශ අමරසිංහට රටින් පැන වන්නට උදව් කළ පුද්ගලයන් සිර දඬුවම් වින්දත් සෝමවංශ ආපසු පැමිණීමෙන් පසු එවැනි කිසිදු දුෂ්කරතාවකට මුහුණ දුන්නේ නැත. විමලසිරි ගම්ලත් ලෙස ප්‍රසිද්ධ වී සිටි විමල් වීරවංශ වහා සිය සැබෑ නම භාවිතා කිරීමට පටන් ගත්තේ ය.


දරුවන් ප්‍රභූ පාසල්වලට ඇතුළත් කිරීම, පවුල සමග දියුණු ධනේශ්වර රටක් වන ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම වැනි කාරණාවලදී ගුනරත්නම් උපයෝගී කර ගත් ඒ සබඳතා සිය පැවැත්ම නීත්‍යානුකූල කර ගන්නට යොදා ගන්නට බැරි වන්නට කිසිදු හේතුවක් නැත. ඒ වෙනුවට හේ තමන් රහසිගත නායකයකු ලෙස සාමාජිකයන්ට ‍මාකට් වීම තෝරා ගත්තේ ය.


ඒ ගුනරත්නම්ව ම දැන් ප්‍රධාන ධාරාවේ ජවිපෙ විසින් පාවා දී ඇත. ඔවුන්ගේ පාවා දීම් නිසා අපහසුවට පත් වී සිටින ගුනරත්නම්ගේ බිරිඳ හා දරුවන් වනාහි අද ජවිපෙ නායකයන් විසින් කලක් ළඟින් ඇසුරු කළ අයයි. අවසානයේදී උන්නතිකාමී සාමාන්‍ය මධ්‍යම පංතික පවුලකට අයත් දුරු රටක වෙසෙන දරුවන් දෙදෙනෙකුට සිය ආදරණීය පියාගේ ඇසුර අවශ්‍ය ම කාලයක අහිමි වී ඇත.


ජවිපෙ වැනි පෙරටුගාමී පක්ෂවල දැලට හසු වන මිනිසුන්ට තමන් කලක් සහෝදරයන් ලෙස සැලකූ අයගෙන් මෙවැනි අදහා ගත නො හැකි අමානුෂික තෑගි ලැබෙන බව තේරුම් යන්නේ පක්ෂයෙන් දොටිට බැස්ස දාට ය.


ජන අරගල ව්‍යාපාරයට තවත් පෙරටුගාමී පක්ෂයක් නො හදන්නටත්, මනුෂ්‍යත්වයේ දේශපාලනය යළි සොයා යන්නටත්, ප්‍රේමතුමාර් ගුනරත්නම්ට තවත් හැංගිමුත්තන් සෙල්ලමක් පටන් නො ගන්නටත්, මේ අත්දැකීම හේතු වේවා යි අපි පතමු.


මෙම ලිපියත් කියවන්න
Why Sri Lanka Marxist JVP's Premakumar Gunarathnam hiding?


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හොද විවේචනාත්මක විග්‍රහයක්..

    ReplyDelete
  2. ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, එක්තරා කාලෙකදී අපි තුල කොච්චර බලාපොරොත්තු ඇතිකලාද? අපි ඉස්කෝලේ යන කාලේ එන් එම්, කොල්වින්, වැනි අපේ වීරයන්ගේ පින්තූර වලට මල් පහන් පූජා කලේ නැතුවා විතරයි. ඒත් අන්තිමට මොකද වුනේ? ඒ ඔක්කොම යට කරන්ඩ සිරිමවොට, ජේ ආර් ට, පුළුවන් වුනා. අපි 1971 දේ ජේ වී පී එකට එක්වුණා. නොමැරී බේරුනා. 1988 වෙනකොට යුද හමුදා නිලධාරියෙකුව සිටිය මම, ජේ වී පී තරුණ තරුණියන් සෑහෙන පිරිසක් අත් අඩංගුවට ගත්තත් එකෙක්වත් නොමැරූ බව මගේ දරුවන්ගේ ඔලුවේ අත තියලා දිවුරන්න පුළුවන්. මේ තුන්වැනි බලවේගය, 1960 ගණන්වල අපි තියපු බලාපොරොත්තු සඵල කරයි කියලා අපි හිතුවා. නමුත් ඔවුන් දැන් යන්නේ කොහෙද? කරන්නේ මොනවාද? දරන්නේ මොන මෝඩ අදහස්ද? එක අතකට දැන් තමයි තේරෙන්නේ, එදා එන් එම් ලා, කොල්වින්ලා, අපිට කියපු විදිහට සන්නද්ධ නොවී වෙනත් සටන් ක්‍රියාමාර්ග වලින් ගියානම්, මේ වෙනකොට නියම වාමාංශික රජයක් බිහි වෙලා.

    ReplyDelete
  3. meyage baila. wena sbject eke aththema nedda.

    ReplyDelete
  4. මම දන්න විදියට නම් කුමාර්ට දිගටම හැංගිල ඉන්න කියල උපදෙස් දිල තියෙන්නෙ අමරසිංහ,අනුරකුමාර,ටිල්වින්ල තමයි.ජ.වි.පෙ සමාජවාදී පක්ෂයක් කියල තාම හිතාගෙන ඉන්න මිනිස්සු ඒ අයගෙන් තාමත් මනුස්සකම සහෝදරත්වය බලාපොරොත්තු වෙනව.කුහකකම පිරැනු ගෝත්‍රවාදී කල්ලියකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් මරණය විතරයි.මනුස්සකම,සහෝදරත්වය වෙනුවෙන් නව කතිකාවක් පටන්ගන්න වෙනව

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා