ඔබේ නගරයටත් ජනාධිපතිතුමා එනවා ද? ක්ෂණික සංවර්ධනයක් බලාපොරොත්තු වන්න

ජනාධිපතිතුමා නිතර නො යන, රජයේ අවධානය එතරම් යොමු නො වුණ යම් කිසි ප්‍රාදේශීය නගරයකට එතුමා යනවා යයි සිතන්න.


ප්‍රාදේශීය දේශපාලන බලධාරීහු හා නිලධාරියෝ ඒ ප්‍රදේශය ද හම්බන්තොට සේ ම වේගයෙන් දියුණු වෙමින් ඇති බව  ජනාධිපතිතුමාගේ දෑස හමුවේ මවා පාන්නට දැවැන්ත උත්සාහයක් දරති. 


ලේඛකයා මේ දිනවල එවැනි සංදර්ශනයක් නරඹමින් සිටියි. ප්‍රදේශයේ නම ඍජුව සඳහන් නො කරන්නේ ප්‍රාදේශීය බලධාරීන් ගෙදරට පරිප්පු එවනවාට ඇති අවංක බිය නිසා ය. ප්‍රාදේශීය දේශපාලනය ජාතික දේශපාලනය වැනි එකක් නො වේ. ප්‍රාදේශීය දේශපාලනඥයන්‍ට කේලම් කියන අයට සාමාන්‍යයෙන් යමක් කියවා එහි සැබෑ අර්ථය වටහා ගැනීමේ ගැටලු ඇත. 


අනෙක් පැත්තෙන් උපන් දා සිට ජීවත් වූ ගමට කුමන අන්දමින් හෝ යම් වැඩක් වෙනවා නම් ලේඛකයා ද කැමති ය. 


මේ දිනවල නගරයේ‍‍‍‍‍‍‍‍‍්‍ සිදු වෙමින් ඇති 'සංවර්ධනය' පසුගිය වසර බොහෝ ගණනක් තුළ නිදා සිටි නගරයේ සෙමින් සිදු වූ වෙනස්කම් අභිභවා නගරය ක්ෂණික විපර්යාසයකට ලක් කරමින් තිබේ. එය හරියට ගොළුබෙල්ලෙක් හිටි හැටියේ අශ්වයකුගේ වේගයෙන් දුවනවා වැනි අස්වාභාවික ගතියකින් යුතු සංසිද්ධියකි. 


වසර ගණනාවක් තිස්සේ තිබුණු අනවසර කඩ විශාල ගණනක් එක රැයින් මුලිනුපුටා දමන ලදී. ඒ කඩ නිසා රැඳී තුබුණු නගර මධ්‍යයේ පිහිටි තාප්පයක් දැන් දිරා ගිය දතක තත්වයට පත් වී ඇත. එය ක්ෂණිකව හදන්නට බැරි ය. ගැවසෙන මිනිසුන්ගේ ජීවිතවලට තර්ජනයක් වෙමින් ඒ තාප්පය ජනාකීර්ණ ස්ථානයක කෝච්චියක් සේ දිගට දිගේ සිටගෙන සිටියි. 


අනවසර යයි කියූ කලින් අවසර දී තිබුණු කඩවලින් ජීවත් වූවන්ට දැන් ජීවනෝපාය අහිමි ය. නගරයේ පත්තර ලෑල්ලක් සමග ප්‍රවෘත්ති පත්‍ර ද  අවතැන් වී ඇත. 


කඩතොලු පාරවල් ප්‍රමිතිය ගැන නො සිතා දිවා රෑ නො බලා කාපට් කරනු ලැබේ. පාර පනින කහ ඉරි ද වැහිලා ය. තවත් බොහෝ ප්‍රශ්න ද ඇත. කොටින් ම කීවොත් නිදාගෙන සිටි නගරයක උන් හිටි හැටියේ සිදු වන මේ විපර්යාසය නගරයට දරා ගන්නට බැරි ය. 


දිගු කලක් තිස්සේ සිදු නො වූ සංවර්ධනයක් ජනාධිපතිතුමා එන නිසා හිටි හැටියේ සිදු වීම ආශ්චර්යයකැයි ඇතැමෙක් සිතති. 


මෙසේ වන්නේ ඇයි?


ප්‍රාදේශීය දේශපාලන බලධාරීන් හා නිලධාරීන් මේ කරන දේ ජනාධිපතිතුමා නො දනී ද? 


මේ වනාහි රටක ආයතනික ව්‍යූහ නිසි පරිදි ගොඩ නො නැඟී තිබීමේ ගැටලුවකි. එහි ප්‍රතිඵලයක් ලෙස සියලු ක්‍රියාකාරිත්වයන් පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන සිදු වේ.  මේ සිදු වන්නේ එයයි. 


සාමූහිකත්වයක් නැති, පුද්ගල සංදර්ශන වූ දේශපාලන ක්‍රියාකාරිත්වයන් තුළ ඇති ලක්ෂණයක් වන්නේ මේ අන්දමින් එකිනෙකා රවටා ගැනීමයි. එහෙත්, රවටන්නෝ ද රැවටෙන්නේ යයි පෙනෙන්නෝ ද මෙම ජවනිකා පසුපස නේපථ්‍යාගාරයේ සිදු වන දේ දන්නා නිසා ඇත්තෙන් ම කීවොත් මේවා සියලු දෙනා දැනුවත්ව කරන රඟපෑම් බවට පත් වේ. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මොකටද කොලේ වහලා ගහන්නෙ??? 17 වෙනිදා ජනපතිතුමා එනවා කියලා මතුගමයි අගලවත්තයි කනපිට හරෝගෙන යනවා මේ අයියලා....

    ඉස්සර රටේ කොතැනක හරි අනවසර ගොඩනැගිලි කඩනකොට මොනම මාධ්‍යයකින් හරි වාර්තා වෙනවා. නමුත් මතුගම නගරයේ ප්‍රදේශිය සභාවට බදු ගෙවමින් තිබූ කුඩා ව්‍යාපාරික ස්ථාන 68 කිසිදු විකල්පයක් නොදී කඩා දැමූවත් එතැන ඡායාරූපයක්වත් ගන්නට ඉඩක් දී නෑ.

    හිටි හැටියේ පුක කැඩුනු කඩියන් සේ දඟලන දැඟලිල්ලේ තරම බලා ගත හැකි වන්නේ තව මාස දෙක තුනකිනි. ශාන්ත මේරී විදුහලේ අබලන් තාප්පය හැමටම අමතක වනු ඇත. එය යම් අහින්සකයෙකුගේ හිසට කඩා නොවැටේවායි පතමු!!!!

    ReplyDelete
  2. mewa karanna janadipathithumagenma thamai adarshayak aragena thiyenne. Hariyata chande lanwela ape karana sanwardanaya wagei.

    ReplyDelete
  3. එකම සින්දුව . . එකම තනුව . . .

    එකල යූ එන් පී ආන්ඩුවේ ගම් උදාව

    මෙකල යූ එන් පී උන් රජ කරන ශ්‍රී ලංකා ආන්ඩුවේ (ජනාධිපති එන නිසා) ගම් උදාව .. .

    එකම සින්දුව . . එකම තනුව . . .

    ReplyDelete
  4. මේ රටේ ආයතන ව්‍යුහ ගොඩ නැගීමේ ක්‍රියාවලියක් වෙනුවට තිබෙන්නේ තියෙන ආයතන ව්‍යුහයන් ටිකත් බිඳ දාන එක...අඩු වශයෙන් සුද්ද ගේ කාලේ හදපු ලිබරල් ආයතනික ක්‍රියාදාමයවත් ඉදිරියට ගියේ නෑ...ස්වාධින අධිකරණ පද්දතිය...ඒක පදනම් කරගෙන ගොඩනැගුන සිවිල් අයිතිවාසිකම්...ඒවා රකින්නත් ඒවාට ගරු කරන්නත් පුරුදු කරපු රාජ්‍ය සේවය...පොලිසිය...
    මේවා ඔක්කොම් අද දේශපාලකයන්ව රකිනවා...ඒක තමා අන්තිමට චන්දයෙන් තෝරා ගත් ජනපති කෙනෙක් වෙනුවට මහා රජෙක් හොයාගෙන ගීත ගයන තැනට මිනිස්සු පත් වෙලා ඉන්නේ...මේ නිසා ජනතාව සතුටු කිරීම වෙනුවට රජු සතුටු කිරීමෙන් සියල්ල කර ගත හැකිය යන මානසිකත්වයට නිල දරන්නන් පත් වෙලා ඉන්නවා...අන්තිමට මෙයාල රජුත් රවටා රටත් රවටා ජීවත් වෙනවා...කාලය කොහොම හරි ගෙවා ගැනීමේ කලාව මෙයාල හොඳට ප්‍රගුණ කරලා ඉන්නේ...පන්සලේ මල් වට්ටි වෙන්දේශීය වගේ යන්තමට වෙන කෙනකුගේ වැඩට අත් තැබීම තමා බොහෝ රාජ්‍ය සේවකයෝ කරන්නේ...අන්තිමට තමන් රැවටුන බව පාලකයා තේරුම් ගන්න කොට ඔහුගේ හෝ ඇයගේ කාලය ගිහිල්ල ඉවරයි...බලය නැති උන දාට ඔක්කොම ඉවරයි...එයාල නම් කොහොම හරි ජිවිතේ ගොඩ ගනියි...ජනතාව තමා අවසානයේ පරදින්නේ...නිදහස ලබා ගතවූ වසර හැටකට අධික කාලය අපි ලැබුවේ අසංවර්ධනය මිස සංවර්ධනය නොවේ... "අසංවර්ධනය සංවර්ධනය කිරීම" තමා මේකට කියන්න ඕන...50 ගණන්වල සින්ගපුරුවේ නායකයන්ට ආදර්ශයක් වශයෙන් පෙනුන රටකට ගිය කල...

    ReplyDelete
  5. Rasthiyadu kara DNA athi Maha ekage pawule ewun System ekakata wedak kala yuthu bawa nodani! Ithin, Raja part damamin Gon joke ekak weema Pare heluwen yanawath wada unta adambarayaki....

    ReplyDelete
  6. බුත්තල තිබුණු දැයට කිරුළ දැං තමා නියම ආශ්චර්යය............සොහොන් පොළක් වගේ...........ගහපු බෙරේකුත් නෑ..........නටපු තොවිලෙකුත් නෑ........බෙරේ පළුවකුත් නෑ...........

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා