ජවිපෙ බෙදීම ඇතුළේ ම වැඩක්දැයි ආණ්ඩුවට සැකලු

මේ වන විට ආණ්ඩුව සිය අංක එකේ සතුරා ලෙස ජවිපෙ වාම පාර්ශ්වය පත් කරගෙන තිබේ. ආණ්ඩුවට සිය පැවැත්ම සඳහා ශක්තිමත් සතුරකු අවශ්‍ය ය. ඒ එකී සතුරාට එරෙහිව මාධ්‍ය මෙහෙයවීමට ය. එකී සතුරා කොටි සංවිධානය සමග ගැට ගසා, කොටි ජාත්‍යන්තර ප්‍රජාව සමග ගැට ගසා, මුළු ලෝකය ම ලංකාවට එරෙහි යයි කියා ඒ සතුරන්ගේ තුමන්ත්‍රණවලින් රට බේරා ගැනීමට පෙරට එන්නැයි ඉල්ලා සිටින්නට ආණ්ඩුවට පුළුවන.


රටේ බඩු මිළ ඉහළ යාම, මූර්ත වැටුප් අඩු වීම, බදු බර ඉහළ යාම, අනාගතය අනාරක්ෂිත වීම වැනි හේතු මත ඇති වන ජනතා අසහනය යටපත් කිරීමට එමගින් පුළුවන.


අදත්, සමාජයේ දේශපාලනික වශයෙන් ක්‍රියාකාරී‍ කොටස් සරසවි සිසුන්ගේ සටන් දෙස සුබවාදී ඇසකින් බලන මුත්, අදේශපාලනික කොටස් සිසුන් දෙස වෛරයෙන් බලති. රටේ බහුතරයක් දිළින්දන්ට සේ ම තමන්ට ද පෞද්ගලික විශ්ව විද්‍යාලයකට දරුවකු ඇතුළත් කර ගන්නට වත්කමක් නැති වුණත් ඒවා හොඳ යයි කියති.


මේ වන විට විශ්ව විද්‍යාලවල රැඩිකල් බලවේග සිය අණසක පැතිරවීමට සමත් වී ඇති අතර උසස්පෙළ ප්‍රතිඵල ගැටලුවට, පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට හා සරසවි පරිපාලනය සඳහා පත් කර ඇති බත්බැලයන්ටත්, උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායකටත් එරෙහිව ශක්තිමත් විරෝධතා පෙළ ගස්වා ගැනීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමත් වී තිබේ.


ප්‍රායෝගිකව ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය ඇත්තේ ජවිපෙ වාම පාර්ශ්වයේ ය. එසේ ම, ජවිපෙ වාම පාර්ශ්වය සක්‍රිය තරුණ බලවේගයක් ද දියත් කර තිබේ. 'වෙනසක් සඳහා තාරුණ්‍යය' ලෙස නම් කර ඇති මෙම ව්‍යාපාරය ඉදිරියේදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය වැනි සම්ප්‍රදායික ප්‍රශ්නවල ද සක්‍රිය මැදිහත්කරුවකු වනු ඇත.


ජවිපෙ වාම පාර්ශ්වයට එල්ල කරනු ලබන කොටි චෝදනාවලට 'අපි ශ‍්‍රී ලාංකිකයෝ' සංවිධානයේ කැඳවුම්කරු උදුල් පේ‍්‍රමරත්න ශක්තිමත් පිළිතුරක් සපයා ඇත. සිංහල ජාතිවාදයට බියෙන් ව්‍යාජ, වංක පිළිතුරු දෙනවා වෙනුවට ඔහු 'තම සංවිධානය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සමග දේශපාලනය කරන බවත් ඔවුන් ලාදුරු රෝගීන් සේ සමාජයෙන් කොන් කිරීම තමන් අනුමත නොකරන බවත් පවසයි. ආණ්ඩුව තමන්ට විරුද්ධ බලවේගවලට කොටි ලේබල් අලවන්නේ එමගින් එම ව්‍යාපාර මර්දනය කිරීමට තමන්ට ලයිසන් එකක් ලැබෙනවා යැයි සිතා ගෙන බව පැවසූ උදුල් ප්‍රේමරත්න මහතා වහාම මෙම අවලාද නැගීම නතර කරන ලෙස ඉල්ලා සිටියි. දෙමළ තරුණ දේශපාලනය අද පවත්නා දැඩි මර්දනකාරී පරිසරයෙන් පිටතට ගෙන සාමාන්‍යකරණය කිරීමේ හැකියාවක් 'අපි ශ්‍රී ලාංකිකයෝ" දේශපාලනයට ඇත. එහෙත්, ජාතික ප්‍රශ්නය විෂයෙහි කිසියම් ස්ථිරසාර ප්‍රතිපත්තියකට නො එළඹුණහොත් දෙමළ තරුණ දේශපාලනය යළි දෙමළ ඊලාම් ජාතිකවාදය වෙත තල්ලු වීම වැළැක්වීමට හැකි වන්නේ නැත.


කෙසේ වෙතත්, ජවිපෙට එරෙහිව නඟනු ලබන අභූත චෝදනා පිළිබඳ සාධාරණ පොලිස් පරීක්ෂණයක් පවත්වන ලෙස මන්ත්‍රී අජිත් කුමාර පොලිස්පතිට ලිපියක් යවා ඉල්ලා ඇත.


උදා වී ඇති තත්වය පොදුවේ ජවිපෙ පාර්ශ්ව දෙකට ම හොඳ කලදසාවක් උදා කර ‍දී තිබේ. මැතිවරණ පරාජයන්ගෙන් කුජීත වී සිටි ජවිපෙ දැන් මැතිවරණ ක්‍රමයෙන් බාහිරව සක්‍රිය දේශපාලන බලවේගයක් ලෙස යළි මතු වී තිබේ. ආණ්ඩු වෙනස් කිරීමේ ක්‍රමවේදයක් ලෙස හුදු මැතිවරණ පමණක් ලංකාව වැනි ව්‍යවස්ථා පාදක ඒකාධිපති පාලනයන් තුළ සාර්ථක නැත. මැතිවරණවලින් පරිබාහිර සක්‍රිය දේශපාලනයක් අවශ්‍ය වන්නේ ඒ නිසා ය. 


යටි තලයේ මුළු බලය ම පාහේ ජවිපෙ වාම පාර්ශ්වයේ පාලනයට නතු වෙමින් තිබේ. නිල ජවිපෙ ද 'කොහොමද නයින්ගේ අපේ වැඩ?' යි ඇසූ ගැරඬියා සේ සිටියි. පොදු සමාජ දේශපාලන අරගලය තුළ නිල ජවිපෙට ද භූමිකාවක් ඇත. පැරණි සහෝදරයන් අනෙකා කරගෙන දේශපාලනය කිරීම අතහැර දිමුවොත් නිල ජවිපෙට ද ආයතනගත දේශපාලනය තුළ පියවරක් ඉදිරියට තැබිය හැකි වනු ඇත. 


තමන්ට විරුද්ධ දේශපාලන බලවේග බිඳ දැමීමේ මහින්ද රාජපක්ෂ උපායමාර්ගය එක්සත් ජාතික පක්ෂය විෂයෙහි 100%ටත් වඩා සාර්ථක වූ මුත් ජවිපෙ වර්තමාන බෙදීම විෂයෙහි සාර්ථක වී නැති බව පෙනේ. එබැවින් ජවිපෙ බෙදීම ජවිපෙ ඇතුළේ ම උපායික කාර්යයක්දැයි දැන් ආණ්ඩුව පරීක්ෂා කරමින් සිටින බව ද වාර්තා වේ.


අප දකින පරිදි නම් ජවිපෙ බෙදීම වනාහි ආයතනගත වීමේ නැඹුරුව හා අරගලකාරී දේශපාලනය අතර දේශපාලනික ගැටුමේ අනිවාර්ය ප්‍රතිඵලයක් මිස කුමන්ත්‍රණයක් නො වේ. නිල ජවිපෙ දැන් වඩා හොඳින් ආයතනගත ය. අරගලය වාම පාර්ශ්වය අතේ ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔබ හරි... ජ වි පෙ බෙදීම මගින් මතුවෙන ප්‍රවනතාවය...ජාතික ප්‍රශ්නයට මේ සමාජ දේශපාලන ක්‍රමයතුල දෙන්න පුළුවන් බලය බෙදීම වැනි විසඳුමක් ගැන ස්ථාවරයක් ගන්නේ නැතිව...රතු පාටින් විසදුම් දෙන්න නම් යන්නේ...රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට පටු වාමවාදී උත්තර බඳින්නේ නැතිව පුළුල් බලවේග සමග යන්න සුදානම් නැතිනම්...ඔය බෙදීමෙන් ඇති වැඩක් නැහැ...

    ReplyDelete
  2. ආණ්ඩුවට මෝල්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා